කපුගේ මියයන විට මම පොඩි කොල්ලෙකි. ඔහුට අදටත් කපුගේ කියා කියන්නට මට කිසිඳු අවසරයක් නැත, ඔහු විශාරද ගුණදාස කපුගේ මහතාමය. ඒ ගෞරවයේ කිසිඳු අඩුවක් නැත. එහෙත් මම ඔහු කපුගේ කියා සහෝදරත්වයෙන් අමතමි. කපුගේ නැමති සංගීතය පිළිබඳ ලංකාවේ පත්තර පිටු පිරෙන්නට ලියා තිබෙනු දැක ඇත්තෙමි. ඒත් කපුගේ යන සංගීතය දැනෙන සමාජ ස්ථරය තුල සිට කපුගේ දකිනවා මිස සැපපහසු කාමර තුල සිට කපුගේ ස්පර්ශ කල සමාජය දැකීම පට්ටපල් බොරුවකි.
කපුගේ මියගිය දවසේ මගේ පොඩි අයියා පොඩි දරුවෙක් මෙන් හඬාවැටෙන අයුරු මම අත්වින්ඳෙමි. යන්තම් අවුරුදු දහයක් දොළහක් වූ මට උසස් පෙළත් පැන්නූ පොඩි අයියා හඬා වැටෙන්නේ ඇයිදැයි ගැටළුවක් විය. විශේෂයෙන්ම අඩුම තරමේ අපේ ගමේ සංගීත සංදර්ශනයකටවත් අඩිය නොතැබූ කපුගේ අභාවය ගැන පොඩි අයියා විස්සෝප වීම හරස්පද ප්‍රහේලිකාවක් විය. මොහිදීන් බෙග් සැත්කමකට භාජනය කරන්නට සිහිනැති කොට අවසානයේ සිහිය ගන්නට නොහැකිව මියගිය දවසේ අපේ ආච්චි හඬා වැටුණු අයුරු තාත්තා කියා ඇත. එයට ප්‍රධාන හේතුව වූයේ බෙග් ගැයූ බොඳු බැති ගීත වලට ආච්චි ගැලරියේ සිට සාදුකාර දුන් රසිකාවියක් වීම නිසා වන්නට ඇත. ඒත් පොඩි අයියා කපුගේ අභාවය නිසා අඬාවැටීම මා හට පෙනුනේ කැමිලස්ගේ කොමඩි කාටුන් එකක් ලෙසටය.