Oct 8, 2015

අධික විශ්වාසය කෙළවීමට මුලයි...


“ජීවිතේට මිනිස්සු විශ්වාස කරන්න එපා යකෝ“ මේ කියමන තරම් වැදගත් කියමනක් උඹලගේ ජීවිත කාලෙටම අහන්න වෙන්නේ නෑ. ඒ වගේම උඹලගේ ජීවිතකාලේ මේ කියමන තරම් නොපිලිගන්න වෙන කියමනක් නෑ. හැබැයි ජීවිතේ නැතිවෙන්නම කෙළවගත්ත දවසට මේ කියමන කොච්චර සත්‍යතාවක් තියන කියමනක්ද කියලා තේරුම්ගන්න පුළුවන් වෙයි. හැබැයි අපි මේ කියමන කවදාවත් තඹේකට මායිම් කරන්නේ නෑ. ඇත්තටම මිනිස්සු විශ්වාස කිරීම මත කෙළවෙනවා කියන එක අති බහුතරයක් සාක්ෂි වලින් තේරුම්ගන්න පුළුවන්. මොකද “විශ්වාසා පරමාඥාතී“ හෙවත් විශ්වාසය තරම් ඥාති සබඳතාවක් වෙන නැත කියන කියමනම තමයි ඒකට පදනම් වෙන්නෙත්. මොකද තියුණුම පන්නරයක් තියන පිහියෙන් හොඳටම එළවලු කපන්න පුළුවන් වගේම ඒ පන්නරයෙන්ම හොඳටම කාගේ හරි අඟල් හතරක් පහක් ඇඟ ඇතුලට බස්සවන්නත් පුළුවන්වීම නිසා.


මිනිස්සු ගැන තියන විශ්වාසය කෙළවීමට හේතුවෙනවා වගේම තමයි, තමන් ගැන තියන දැඩි විශ්වාසයත් බොහෝ වෙලාවට කෙළවීමට මුළු වෙනවා. මෙහෙම කිව්වම “ධනාත්මක චින්තකයෝ“ කඩු පොළු අමෝරගෙන යුද්ධෙට එන්න පුළුවන්, ඒත් ප්‍රායෝගික ලෝකේ පය ගහලා ඉන්න මිනිස්සු මේ කතාවේ සත්‍ය අසත්‍යතාව අමු අමුවෙම දන්නවා. දැඩි විශ්වාසය කියන එක අධි විශ්වාසයක් එහෙමත් නැත්නම් අධි තක්සේරුවක් වුණාම කෙළවෙන සම්භාවිතාව බොහොම වැඩියි. ජීවිතය සම්බන්ධ කාරණාවලදී මේක බොහොම සාමාන්‍යයි. විශේෂයෙන්ම ජීවිතයේ ඉලක්ක සම්බන්ධ තීන්දු තීරණවලදි ඇණ ගන්න බොහොම හේතු සාධක වෙන්නේ මේ අධික විශ්වාසය. මේකෙම ධනාතම්ක පැත්ත නිසා සාර්ථක වෙන උදවිය නැත්තේ නෑ, මොකද ඉන්දියාවේ මිසයිල මිනිසා විදියට හඳුන්වන ආචාර්ය අබ්දුල් කලාම් කියපු කතාවක් තමයි “ඔබ හඳ ඉලක්ක කරගෙන වැඩ කලොත් කවදහරි උස කන්දක් මුදුනට හරි යන්න පුළුවන්“ කියන එක. ඒක නිසා මේ විශ්වාසය කියන දේ හරියටම තියුණු ආයුධයක් වගේ තමයි.

ආදරය සම්බන්ධව මේ දැඩි විශ්වාසය නිසාම ජීවිතය,සතුට,මුදල්,පවුල් ජීවිත අහිමි කරගත්ත උදවියනම් පඳුරකට ගැහුවම දෙතුන් සීයක් විසිවෙන මට්ටමට හොයාගන්න පුළුවන්. සරලම උදාහරණයක් තියනවා අවුරුදු ගණනාවක් ආදරේ කරලා දැඩි විශ්වාසයකින් හිටපු කොල්ලෙක් තමන්ගේ කෙල්ලගේ නම තමන්ගේ එක අතක ටැටූ එකක් විදියට , සිංහලෙන් කියනවනම් හණ ගහගන්නවා. එහෙම කරලා සති දෙකක් යන්න වුනේ නෑ කෙල්ල මූට සින්ඩරෙල්ලගෙ සපත්තුව ප්‍රදානය කරලා යන්න යනවා. අන්තිමට අතේ තියන ටැටූ එක මකාගන්න බැරුව අතට ඇසිඩ් හලාගන්න තරම් තත්වෙකට පත්වෙන්නේ අධික විශ්වාසය කෙළවීමට මුලයි කියන කාරණේට උදාහරණ එක්කරන ගමන්මයි.

මනුස්සයා කියන සතා පිළිගන්න පුළුවන් විදියට මේ මිහිමත ඉන්න බුද්ධිමත්ම සතා කියනවනේ, ඒ වගේම තමයි මේ මිහිමත ඉන්න ගතිකම සත්වයා. ඒ කියන්නේ වේගයෙන්ම වෙනස්වෙන සතා. තත්පරෙන් තත්පරේ ස්වරූපය,හැඟිම්,ආකල්ප,මතය කියන මේ හැමදේම වෙනස් වෙනවා. උදේ නැගිටින කෙනා නෙවෙයි දවල් වෙන්න ඉන්නේ. මේ වෙනස්වෙන සුළු සත්වයා කොහොම පුරෝකථනය කරන්නද? කෙනේකගේ ජීවිතය, කෙනෙක්ට බාර දෙන්න තරම් සුදුසුද. 

9 comments:

  1. ධනාත්මක චින්තනය කියන්නෙ පට්ට බොරුවක්. කීස්ම එකෙක් විශ්වාස නොකරන එකා තමයි හැම එකකින්ම බේරෙන්නෙ.
    සැකය දීර්ඝායුෂ ගෙන දෙයි කියලයි කියන්න ඕන

    ReplyDelete
    Replies
    1. මේ මුල් පේළියෙන් දක්වා තිබෙන එක ටිකක් විස්තර කරනවද?ඇත්ත/නැත්ත.

      Delete
  2. මිනිස්සු වෙනස්වන සුළුයි එක ගඟට දෙපාරක් බහින්න බෑ නේ. එකම මනුස්ස පුද්ගලයා කායික මානසික වශයෙන් වෙනස්වීම සාපේක්ෂවශයෙන් වැඩියි ඒ හින්ද වෙන්න ඇති හඳුනගන්න බැරි.

    ReplyDelete
  3. මිනිස්සු වෙච්චි අපි එකිනෙකා අතර අන්තර්සබඳතා පවත්වා ගද්දි විශ්වාසය කියන එක වැදගත් සාධකයක්. උදාහරණයකට මම දවල්ට කන්න කෑම පැකට් එකක් ගද්දි මම ඒ කෑම පැකට් එක හදන්න දායක වුන මිනිස්සු ගැන යම් විශ්වාසයක් ඇතුවයි කෑම එක කන්නේ, බස් එකට නගින්නේ ඩ්‍රයිවර් ගැන විශ්වාසයෙන්, බේත් ගන්නේ වෛද්‍යවරයා ගැන විශ්වාසයෙන්.

    නමුත් මේ විශ්වාස කිරීම් තුළ පැහැදිලිවම සීමා තිබෙනවා. ගමනාන්තය දක්වා ආරක්ෂාකාරීව ගෙනියයි කියන විශ්වාසය ඩ්‍රයිවර් ගැන තිබ්බට, ඔහුට රුපියල් ලක්ෂයක් දෙන්නේ නෑනෙ ඉස්සරහ හන්දියේ ඉන්න මගෙ අයියට දෙන්න, මම මෙතනින් බහිනවා කියලා. අන්න ඒ සීමා තේරුම් ගන්න එක වැදගත්.

    ඩ්‍රයිවර් සහ මඟියා අතර තියෙන සම්බන්ධයට වඩා කිට්ටු මානුෂීය සබඳතා වලදී මිනිසුන් ක්‍රියා කරනා අන්දම උපකල්පනය කිරීම වැදගත්. මේකට හොඳම විදිහ කියන්නේ මෙහෙමයි,

    "the best way to predict future behavior is to look at past behavior"

    "අනාගත හැසිරීම උපකල්පනය කිරීමට ඇති හොඳම ක්‍රමය අතීත හැසිරීම නිරීක්ෂණය කිරීමයි"

    මේක හැම වෙලේම නිවැරදි නැතත් කෙනෙක්ට අනෙක් අයව තේරුම් ගන්න ගයිඩ් ලයින් එකක් විදිහට යොදාගන්න පුළුවන්.

    ලිපියේ සඳහන් කරලා තියෙන නම ටැටූ ගහන එකට වඩා බරපතල කාරණයක් තමා විවාහය කියන එක. ඒකෙන් කරන්නේ තමාගේ අනාගත ජීවිතය ගත කරන්න පුද්ගලයෙක් ගැන විශ්වාස කරලා ඔහු/ඇය ත් එක්ක නීතිමය බැඳීමක් ඇති කරගන්න එක.

    ඒත් මෙතනදි ප්‍රශ්නය මේකයි.

    ලිපියේ කියල තියෙනවා වගේම මනුස්සයා කියන සතා මොහොතින් මොහොත වෙනස් වෙනවා. තව වසර දහයකින් තමා මොනවගේ ආකල්ප, හැසිරීම් තියෙන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙයිද කියන එක ගැන තමාටම අවබෝධයක් නැති යථාර්තයක් තුළ, තමා ගේ ජීවන සහකරු/සහකාරිය විදිහට තෝරාගන්නා කෙනා යම් විදිහකට ඉඳියි කියල උපකල්පනය කරල ඒ සම්බන්ධතාවය මැදට නීතිය ගෙනල්ලා අත ඇරලා තවත් තදට බැඳලා දාන එක බුද්ධිමත් වැඩක්ද? මෝඩ වැඩක්ද?

    ඒගැන පොඩ්ඩක් හිතන්න වටිනවා.

    හොඳම ක්‍රමය තමා, තමාට වෙනස් කල නොහැකි දේවල් ගැන තිරණ ගන්න එකෙන් පුළුවන් තරම් වැළකෙන එක.

    ඒකත් හැම වෙලේම හරි නොගියට හොඳ ගයිඩ් ලයින් එකක් විදිහට යොදා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක ගින්දර..වගේම ප්‍රායෝගිකයි.විශ්වාසයක් තියෙන්න ඕනෙ ඕනම දේකට.ඒත් ඒකට සීමාවක් තියෙනවා.

      Delete
  4. මනුස්සයා තමා මාර සතා..............

    ReplyDelete
  5. බුද්ධිමත් කම වැඩි නිසාම ඒ ඒ තැන් අනුව මිනිසා තීන්දු තීරණ වෙනස් කරනවා.

    ReplyDelete
  6. “කිසිවෙක් කිසිදා විශ්වාස නෑ“ මගෙනම් තියරිය ඒකයි...... ඒක ඇගට ගුණයි කොයි අතිනුත්.........

    ReplyDelete
  7. අතිශයින්ම ඕනෑවටත් වැඩිය විශ්වාස කරල අන්තිමට හිත බිඳුනම දැනෙන වේදනාව කළකිරිම වචනයෙන් කියන්න බැරිතරම් ඒ වෙලාවට ආයේ කවමදාවත් කිසිම මනුස්සයෙක් විශ්වාස කරන්නේ නැහැ කියල හිතනව හැබැයි එහෙම බැලුවොත් ලෝකේ ඉන්න හැම මනුස්සයෙක් දිහාම සැකෙන් බලන්න වෙන්නෙ ඒකත් කළකිරීමක් මේ ලෝකෙ විශ්වාස කරන්න පුළුවන් එකම මනුස්සයෙක් වත් නැතිද කියල ඒ වෙලේට හිතෙනවා .මිනිස්සුන්ගේ හිත් කියවන්න බැහැ තමයි මිනිස්සු කොයි මොහොතේ කොයි විදිහට වෙස් පෙරලගනිද කියන්නත් බැහැ මම කියන්නේ හැම මනුස්සයෙකුටම අවස්ථාවක් දෙන්න විශ්වාසයෙන් පොඩ්ඩක් දෙන්න හැබැයි අතේ දුරින් බැඳීම තියාගන්න හැමදේම හැමකෙනාම වෙනස්වනවා කියන දේ මොලේට කාවද්දල තිබ්බොත් කවද හරි ආයෙම විශ්වාසය බිඳුනොත් හිත රිදෙන එක ටිකක් හරි අඩුවෙයි.

    ReplyDelete