බ්ලොග් එක ආයේ ලියන්න පටන්ගත්තා කියන මුහුණු පොතේ සටහනකින් පලකරපුවම පරණ බ්ලොග් හිතවතුන් ටික වටවෙලා පරණ රහ හාරවුස්සන්න පටන්ගත්ත එකෙන්ම දැනුනා අපිට මොකක්හරි අතෑරුණා නේද කියන. එක එකම රහක් තිබුණ එවුන් ටිකක් එකම තැනකට වෙලා එක එක විදිහේ ලියවිලි වලින් අපි ගතකරපු තැනක් තිබුණා. කමක් නෑ..ඒ අතීතය අතීතයේම තැනක තිබුණාවේ..
ඒත් ඔය 'අතීතය' කියන වචනය කියන එක ඇහුණ ගමන් පුදුමාකාර කරුමයක්. මොකද ඔය කී වර්ඩ් එක සර්ච් බාර් එකේ වැදුණු ගමන්ම නොදැනීම් සර්ච් බට්න් එක ප්‍රෙස් වෙනවා. ඊට පස්සේ තත්තර දශම ගාණකට එන සර්ච් රිසාල්ට් එකේ දිග කිලෝමීටර් ගණනාවක් දිගයි. එහෙම තැනක තියන තවත් එක සිද්ධියක් මතක් වුණේ පහුගිය දවසක ලංකාවේ සුප්‍රසිද්ධ හෝටලයක ඉඳගෙන අහන්න අකමැති මාතෘකාවක් ගැන දීර්ඝ දේශනයකට සවන්දෙන අතරේ හෝටලයේ සේවක මහත්මයෙක් මේසේ උඩින් ගෙනැත් තිබ්බේ තඩි කේක් දීසියක්. වෙලාව හවස තුනට විතර ඇති, නිදිමත රතු කට්ට දෙකඩ කඩලා. දවල් කාපු ඒවයේ රස්නේ යන්න වුනෙත් නෑ. දැන් කොහෙට කියලා කේක් කන්නද. ඒ නිසා කේක් දීසිය දිහා නොබලාම හිටියා. ඒ අතරේ හිත දුවලා ගියෝ මීට අවුරුදු දහඅටකට විස්සකට විතර කලින් අතීතෙට. ඒ කියන්නේ අලුත් සහශ්‍රයේ මුල්ම දවස් ටිකට.