Feb 10, 2012

ජනාධිපති මොහොමඩ් නෂීඩ් | හිතමිතුරාගේ ඇදවැටීම


මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ඉල්ලා අස්වී ඇත. උප ජනාධිපති තනතුර හෙබවූ තැනැත්තා ජනපති වී ඇත. ඇත්ත වශයෙන්ම කිවහොත් නෂීඩ්ට ඉල්ලා අස්වන තැනට පත්කර ඇත. නෂීඩ් යනු අතිශ්‍යයින්ම සාර්ථක හා දූරදර්ශී නායකයෙක් ලෙස මා හඳුන්වන්නේ නැත. නමුත් නෂීඩ් යනු ලංකාවට අවැසිම පුද්ගලයෙකි. මාලදිවයින් ජනාධිපතිවරයා වශයෙන් මෙන්ම පැහැදිලි චින්තකයෙක් ලෙස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මොහොමඩ් නෂීඩ් යනු ලංකාවේ වත්මන් නිදහස් හා නිවහල් වාතාවරණයට මෙන්ම තිර පැවැත්මට තිරය පිටුපස සිට ඉමහත් සේවවාවක් කල පුද්ගලයෙකි.

“සතුරාගේ සතුරා අපේ මිතුරා“ යන මතයේ අන්තයේ සිට මම සැමදාමත්  කරුණු ඉදිරිපත් කරන්නෙක්මි. ගඩාෆිට බටහිර එලව එලවා පහරදෙන විට අප විස්සෝප වූයේ ගඩාෆි සතුරාගේ සතුරා පමණක්ම නොව ඊට වඩා එහා ගිය වරප්‍රසාද ලංකාව වෙත පුදකල අයෙක් වූ බැවින්ය. ගඩාෆි යුගය අවසන් විය. දැන් ලිබියාවේ ඇත්තේ බටහිර කොළණියකි. එහි සාරය තවත් උරාබොන්නට ඉතිරිවී නැති අතර දකුණු ආසියාවට තවත් ලිබියාවෙන් ලැබෙන්නට දෙයක් නැත.


මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් යනු ලංකාවේ අධ්‍යයන කටයුතු පවා කල පුද්ගලයෙකි. මාගේ මතකයට හා දැනුමට අනුව නිදහස් මාලදිවයින් ජනරජයේ ජාතික ගීය නිමවුමට පණ්ඩිත් අමරදේව ශූරීන් පවා සම්බන්ධවී ඇත. එකල්හි පටන් ලංකාව හා මාලදිවයින් අතර රාජතාන්ත්‍රික සබඳතා වලට එහා ගිය දේශපාලනික සබඳතාවක් විය. මාලදිවයිනෙහි භූලක්ෂණ අනුව එහි දූපත් නිර්මාණය වී ඇත්තේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ලංකාව මෙන්ම ඉන්දියානු උප මහද්වීප කොටසෙන් කැඩී ගිය බිම්කඩ වලින් යයි විශ්වාස කරන අතර මාලදිවයින ලංකාව සිය මව්රටක් ලෙසින් සැලකීමට පසුබට නොවීය. අදටත් එහි බහුතරයක් ශිෂ්‍යයින් උසස් අධ්‍යාපනය පැමිණෙන්නේ ලංකාවටය. එසේම වෙළඳ හා ජීවන රටාවේ අවශ්‍යතා වෙනුවෙන් ලංකාවට පැමිණෙති. 

අබ්දුල් ගයුම්ගෙන් පසු ජනාධිපති වූයේ එකල මාලදිවයින් දේශපාලනයේ පෙරළිකාර චරිතයක් වූ මොහොමඩ් නෂීඩ්ය. කීපවරක්ම දේශපාලන කැරළි කෝලාහල මත මෙන්ම දේශපාලනික පලගැනීම් වල ප්‍රතිඵලයක් ලෙස නෂීඩ් සිරගත කර තැබිණි. නෂීඩ් යනු පෙරලිකාර මෙන්ම ආවේගශීලී චරිතයක් වූවත් ඔහු මාලදිවයිනේ සාමාන්‍ය පවුලකින් බිහිවුනු සාමාන්‍ය දේශපාලනඥයෙක් විය. එහිලා ඔහු මාලදිවයින් සාමාන්‍ය ජනයාගේ උන්නතිය හා බලය වර්ධනය කරවන සෘජු තීරණ රාශයක් ගත්හ. එසේම රාජ්‍ය තන්ත්‍රය අභියෝගයට හෙලන භයානක මෙන්ම වැරදි තීරණ ලබාගත් අවස්ථාද එමටය. ඒ නෂීඩ්ගේ හැටිය. ඔහු කෙලින් මිනිසෙකි, එහෙත් දූරදර්ෂී බවේ අඩුවක් ඔහු සතුවිය. ඔහුට සහය පලකරන පිරිස්ද ඔහු සේම විය.

පසුගිය දින නෂීඩ් අත්අඩංගුවට ගනිද්දී පොලීසීය ඔහුව කුදලාගෙන ආවේ අන්ත අපරාධකරුවෙක් ලෙසය. එසේ ඔහුට ගැරහූ පොලීසියට ඔහුගේ පාලන අවධියේ කල දේ බොහෝය. මාගේ දැනුමේ පරිචයට අනුව පොලීසියට ස්ථාවර වැටුපක්, අභිමානවත් නිල ඇඳුමක් පවා ලබාදුන්නේ නෂීඩ්ය.ඒත් සුපුරුදු මිනිස් ගුණය කාලකණ්ණි ලෙස නෂීඩ්ට එරෙහිවද පැමිණ ඇත. නමුත් හමුදාව තවමත් නෂීඩ්ගේ සේවය අගය කරන අතර නෂීඩ්ගේ සහයකයින් මේ වනවිටත් මාලදිවයිනේ පොලිස් ස්ථාන ප්‍රමාණයෙන් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් වනසා ඇත. එය අනුමත කල හැකි දෙයක් නොවුණත් පොලීසියේ මානසිකත්වය හා නෂීඩ්ගේ ආධාරකරුවන්ගේ මානසික එයින් ප්‍රදර්ශනය වේ.

නෂීඩ්ට එරෙහිව රටේ විවිධ පාර්ශව නැගී සිටි ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මින් පෙර වරක් විපක්ෂය දැඩි ලෙස නෂීඩ්ගේ තීන්දු තීරණ වලට එරෙහිව අරගල කරන විට ජනාධිපති මහන්ද රාජපක්ෂ මහාතා සැනින් ගුවනින් මාලදිවයිනට ගොඩ බැස ප්‍රශ්නය සමථයකට පත්කල අතර එයින් යම්කිසි සහනයක් නෂීඩ්ට ලැබිණි. මෙවර නෂීඩ් කලේ තවත් දරුණු දෙයකි. ඒ මහාධිකරණ විනිසුරුවරයෙක්ගේ ක්‍රියාකලාපය දේශද්‍රෝහී ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියම කලේ විධායක බලතල භාවිතයෙනි.එම තීරණයට සාධාරණ හේතු පෙනෙන්නට තිබුණත් එහි දරදඬුභාවය හේතුවෙන් නැවතත් විපක්ෂය නෂීඩ්ට එරෙහිව කඩු මැදීම ආරම්භකලහ. මාලදිවයින් විපක්ෂය යනු හුදෙක් ලිබරල් මත දරණ බටහිර ගැති මත දරන්නනගේ රජදහනකි. නමුත් නෂීඩ්ගේ ක්‍රියාකලාප විපක්ෂයට එරෙහිව ක්‍රියාත්මක වනවා යනු මාලදිවයිනේ බටහිර මතය වැපිරීමටද බාධාවක් විය. එසේම දකුණු හා අග්නිදිග ආසියාවේ බලය මැඩලීමට මාලදිවයින බටහිරට වැදගත් සංග්‍රාමික මර්මස්ථානයකි. එහිලා නෂීඩ් වැනි නාහෙට නාහන පුංචි අහමද් නිජාද් කෙනෙක් පාලනය කිරීම බටහිරට දැඩි බාධකයකි.

නෂීඩ්ගේ ක්‍රියාවට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවේන ජනතාව දැනුවත් කර ඔවුන් නෂීඩ්ට එරෙහිව කැරලි ගසන මට්ටමට පත්කල අතර පොලිස් ප්‍රධානියාද එම මතයට හරවමින් පොලීසියද නෂීඩ්ට එරෙහිව යෙදවිය. අවසානයේ ජනතා විරෝධතා මධ්‍යයේ නෂීඩ් ඉල්ලා අස්විය. තම බිරිඳ හා දරුවන් තම මව්රටක් ලෙස සැලකූ ලංකාවේ ආරක්ෂාවට එවූ අතර නෂීඩ්ට පිටවීමට ඉඩක් නොලැබුණි. තම ජීවිතය අවදානම් තත්වයේ පවතින බව දැන වහා මාධ්‍යට ප්‍රකාශක් කර නෂීඩ් ආරක්ෂා සහිතව සැඟවුනි. එහෙත් එවිට බලයට පත්වූ උප ජනාධිපති තුමන් අධිකරණ බලයට ඉඩ ලබාදී විධායක මතය නිහඬ කලහ. එවිට අධිකරණය නෂීඩ්ට එරෙහිව වරෙන්තු නිකුත් කලහ. නෂීඩ් අත්අඩංගුවට ගත්තේ අන්ත අපරාධකරුවෙකු අත් අඩංගුවට ගන්නා ආකාරයටමය. මෙය රූපවාහිනියෙන් විකාශය වීමත් සමග කුපිත වූ බහුතරයක් නෂීඩ්වාදීන් වහා ක්‍රියාත්මකවී මාලදිවයිනේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකරන්නට විය. මේ හේතුවෙන් අධිකරණයට තම තීරණය තාවකාලිකව හකුලා ගන්නට සිදුවිය. එවිට බටහිර රටවල් එම තීරණය හකුලා ගැනීමට හේතු දැඩිලෙස විමසීමෙන් බලලා මල්ලෙන් එලියට පැනීම සිදුවිය.

වත්මන් තත්වය යටතේ හමුදාව සීරුවෙන් ඇත. දැන් අවදානම ඇත්තේ හමුදාව පොලීසයට එරෙහිව සටන් කර මාලදිවයිනේ පාලනය ඔවුන් අතට ගනීද යන ගැටළුවයි. හමුදාව නෂීඩ්ට හිතවාදී බැවින් එයින් නෂීඩ්ගේ ආරක්ෂාව සහතික වනු ඇත. ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතාද නව මාලදිවයින් ජනපතිගෙන් ඉල්ලා සිට ඇත්තේ හිතමිතුරු නෂීඩ්ගේ ආරක්ෂාව අනිවාර්යයෙන් සැලකිය යුතු බවයි.

මා ඒ සඳහන් කලේ වත්මන් තත්වය හා ආවේගශීලී නෂීඩ්ගේ දරදඬු ක්‍රියා හා ඔහු කල යම් වැදගත් දේ මෙන්ම නෂීඩ් එලවීමට අවශ්‍ය කාහටද යන්නය. නමුත් මේ කිසිවකින් වත් නෂීඩ් අප රට වෙනුවෙන් කලදේ අමතක කල නොහැක. යුධ අපරාධ හා මානව හිමිකම් චෝදනා මත ලංකාවට එරෙහි සම්බාධක පැනවීමට බටහිර රටවල් ජාත්‍යන්තරය උසිගන්වන මොහොතේ නෂීඩ් ලංකාව වෙනුවෙන් හඬ නැගුවේ.

“මේ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයි.මා ශ්‍රී ලංකාවට නිතර යනවා. එහි තත්වය මා තරම් දන්නා රාජ්‍ය නායකයෙන් ලංකාවෙන් පිට නොමැත. ඔවුන් ත‍්‍රස්තවාදය නැසීමට ගත් පියවර සමස්ථ ලෝකය වශයෙන් අපි අගය කල යුතුය. ලංකාවට එරෙහි අභූත චෝදනා නගන පාර්ශවයන් ට ඇත්තේ කුහක පටු පරමාර්ථ පමණි“

මෙලෙසින් ලංකාව වෙනුවෙන් හඬ නැගූ වෙනත් නායකයෙක් නැති තරම්ය. එසේම මානව හිමිකම් පිලිබඳ ප්‍රකාශ ගැනීමට ජගත් සමුළුව විවිධ රටවලින් නියෝජිතයන් කැඳවන විට තම රටේ නියෝජිතයෙක් යවනවා වෙනුවට මේ හීන්දෑරී හිතමිතුරාණෝ තමන්ම ඒ කමිටුව හමුවට ගොස් සිංහ නාද නගමින් ලංකාව ගැන ඇත්තම කතාව පවසා ජාත්‍යන්තරය නිහඬ කෙරීය. එම කමිටුවේ රට රට වල තානාපතිවරුන් හා නියෝජිතයන් අතර තනිව සටන් කල එකම ජනාධිපතිවරයා තවමත් මගේ සිහියට නැගෙන්නේ හිතේ දැඩි කණගාටුවක්ද ඇති කරමින්ය. එපමණක් නොව මානුෂික මෙහෙයුම් සමයේ ආයුධ නැව් හා කොටි ක්‍රියාකාරකම් පිලිබඳ ලංකා රජය දැනුවත් කිරීමට විශේෂ මෙහෙයුම්ද සිදුකලේ ලංකාව කෙරෙහි සැබෑ මිතු පෙමින්මය.

නෂීඩ් සතුරගේ සතුරා බැවින් ඔහු අපට මිතුරා විය.එබැවින් ඔහු අප වෙනුවෙන් යමක් කලහ. ඔහු මා කලින් සඳහන් කල පරිදි හොඳ නායකයෙක් ලෙසින් සර්ව සම්පූර්ණ නොවූවත් ඔහු යමක් කල අයෙකි. නමුත් ඉරණම ඔහුට එරෙහි විය. ඔහු ජීවිත හානියකින් තොරව රැකෙන්නේනම් එය ලාංකියයන් වශයෙන් අප සතුටු විය යුතු කරුණකි. එසේම ඔහු කල දේවල් ඔහුට එරෙහි විය. එය ලොව ඕනෑම රටකට හෝ පාලකයෙක්ට පොදු කරුණකි. නෂීඩ් හොඳ මිනිසෙකි එබැවින් එයම ඔහුට මෙම ඉරණම කැඳවීමට හේතුවක් විය.

7 comments:

  1. // සිංහ නාද නගමින් ලංකාව ගැන ඇත්තම කතාව පවසා ජාත්‍යන්තරය නිහඬ කෙරීය//

    ජාත්‍යන්තරය නිහඬද දැන්? , මාලදිවයින් ජනාධිපතිට එච්චර වැඩක් පුලුවන්ද ? . වෙන කවුරුත් ඉදිරිපත් නොවෙන නිසා (එහෙම තැනට වැඩ කටයුතු සලස්වගෙන තියන නිසා ) මාලදිවයිනේ ජනාධිපතිව මෙහෙ මාධ්‍ය වලින් උඩ දැම්මා මිසක් පොරගෙන් වෙච්ච විශේෂයක් නැ , අනික මාලදිවයිනේ ජනාධිපති කවුරු වුනත් ඔහු අනිවාර්යයෙන්ම ශ්‍රි ලංකාවට හිතවත්

    ReplyDelete
  2. මේ පෝස්ට් එකට මා සම්පූර්ණයෙන් එකඟයි.
    මේකට විරුද්ධවන්නන්ගෙ දේශපාලන පැටිකිරිය හොයල බැලුවම විරෝධයට හේතු පැහැදිලි කරගන්න පුළුවන්.

    ReplyDelete
  3. මේ පොස්ට් එක ගැන නම් මට කියන්න තියෙන්නෙත් "බුවාගේ සිතුවිලි" කියපු ටිකම තමයි මල්ලී. හැමදාම උදේට ITN එකේ දකින විදෙස් පුවත් විචාරෙයි මේකයි අතරේ ලොකු වෙනසක් නෑ.... අනික මල්ලී දේශපාලන වාසි බලාගෙන සමාජේ පුරා වපුරන බටහිර භීතිකාව නිසා කවද හරි අපි හැමෝටම ලොකු වන්දියක් ගෙවන්න වෙනව.... ඒ ගැන එච්චරයි. කොහොම උනත් මල්ලිට දේශපාලනේ දිගු ගමනක් යන්න පුළුවන් ලකුණු නම් දැන්ම ඉදන් දකින්න ලැබෙනවා... ඒ ගැන මගේ උණුසුම් සුභපැතුම්....:D ජයවේවා!!!!!

    ReplyDelete
  4. මම ලොකු විස්තරයක් කියන්නෙ නෑ . . ඒත් නෂීඩ් වගේ පාලකයෙක් මාලදිවයිනට උවමනාම කරන වෙලාවක මාලදිවයින නෂීඩ්ව නැතිකරගත්ත කියන දේ නං පැහැදිලිව කියන්න ඕනෙ. මාලදිවයින මේ වෙද්දි බරපතල අර්බුද කීපයකට මූනදෙමින් පවතිනව.
    විරැකියාව
    නිවාස
    මත් ද්‍රව්‍ය
    මේ ප්‍රදාන තැනක් ගන්න අර්බුද 3ම පසුගිය අවුරුදු 30ක පාලනයේ ප්‍රතිථල. නෂීඩ් ඒ ප්‍රශ්න විසදන බවට මීට අවුරුදු එක හමාරකට විතර කලින් ජනතාවට පොරොන්දු උනා. නමුත් නෂීඩ් ඉල්ලා අස්වෙද්දිත් ඔහුට යම් තරමකට හෝ ගොඩ දමාගන්න හැකි වෙලා තිබුනෙ නිවාස ප්‍රශ්නය විතරයි. අනිත් ප්‍රශ්න දෙක විසදීමට ඉතාම කම්මැලි ජාතියක් වන මාලදිවයින් වැසියන්ගේ විශාල ආකල්පමය වෙනසක් කිරිය යුතු උනා. නෂීඩ් වරද්දගත්තෙ එතන. මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් නොකර ඔවුන්ගේ ගමන වෙනස් කිරීමට උත්සාහ කිරීම තමයි නෂීඩ්ට වැරදුන තැන.
    එක දිගට කිසිම රැකියාවක නොයෙදෙන නමුත් අධික වියදම් කිරීමකට හුරු උන ජාතියක් මත පැටවූ GST බද්ද නෂීඩ්ට එරෙහි ජනමතයක් ගොඩ නගන්න පටන්ගත්ත. ඒ ජනමතයෙන් ප්‍රයෝජනය ගන්න, එහෙමත් නැත්තන් බොරදියේ මාලු බාන්න තවත් පිරිසක් එකතු උනා. ඒ තමයි මාලදිවයිනට ශාරියා නීතිය ගෙනායුතුයි කියන මූලධර්මවාදීන්. නෂීඩ් ශාරියා නීතියට විරුද්ද නිසා ඒ අය ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත. නෂීඩ් වරද්දගත්ත තවත් තැනක් තමයි 3.5% උන GST බද්ද මාස 6ක් වගේ කාලයක් ඇතුලත 6% දක්වා වැඩි කිරීම. ඒ වැඩිකිරීම සිදුකල 2012/01/01 තමයි විපක්ෂය අර මූලධර්මවාදීන් එක්ක එකතු වෙන්නෙ. මහජන (මහ කිවුවට මහම නෑ, හේතුව දූපත් වැසියන් එකතු නොවීම) විරෝධය බරපතල විදියට මතුවෙනව නෂීඩ්ගේ නියෝගය මත රටේ ප්‍රධාන විනිසුරු වරයා අත්අඩංගුවට ගැනීමෙන්. මෙතන ලස්සන දෙයක් වෙනව, විනිසුරු වරයා නිදහස් කරන්න කියල නෂීඩ්ට බලකරනව පිරිසක්. ඒ බටහිර රටවල් සහ සංවිධාන වගේම බටහිරට ගැති කියල මාලදිවයිනේම ප්‍රසිද්ද දේශපාලකයන්.
    අවසානයෙ සිද්ද උනේ අපි හැමෝම දන්න දේ.
    බුවා කියනව වගේ මාලදිවයිනේ ජනාධිපති කවුරු වුනත් ඔහු අනිවාර්යයෙන්ම ශ්‍රි ලංකාවට හිතවත් තමයි . . ඒත් නෂීඩ් හිටපු අනිත් අයට වඩා හිතවත්. ගොඩක්ම බැලුවොත් ඉන්දියාවට වඩා හිතවත්. ලංකාවට නෂීඩ්ගෙන් වෙච්චි ඉටිගෙඩියක් නෑ තමයි . . ඒත් මාලෙ රස්සා කරන ලාංකිකයන්ටනං ඒ හිතවත්කම ගොඩක් ප්‍රයෝජනවත්.

    ප.ලි.
    වෙලාවකට මට බුදු මල ඔය යකත් එක්ක. අපිට වර්ක් පර්මිට් එකට ගන්න පුලුවං වෙලා තාබුන අරක්කු ටික නවත්තල දැම්ම මදිවට ඩොලර් 250ට තිබුන කලු කඩ විස්කි ලීටරේ ඩොලර් 100ක් වෙනකං ඉහල නැග්ගෙත් ඔය යකාගෙ වැඩ නිසා තමයි.

    ප.ප.ලි.
    යකෝ පෝස්ට් එකක් කෙටුව ගානට අමාරුයි

    ReplyDelete
  5. @ඕනයා - නෂිඩ් ඉස්ලාමීය මූලධර්මවාදයට විරුද්ධ කෙනෙක් නම් ඔහු මාලදිවයිනට අහිමි වීම අපරාදයක් .හිතවත් කම පැත්තෙන් ගත්තොත් මාලදිවයින වගේ රටවල බොක්කෙ හිතවත් කමට වඩා සමහර රටවල කුහක හිතවත් කම රටක් වශයෙන් වැදගත් වෙනවා . උදාහරණයක් විදිහට මාලදිවයිනෙන් යුද්ධය කාලයේදී ලැබුනු ඕනිම සහයකට වඩා වඩා ඉන්දියාව "මොකුත් නොකර සිටීමෙන්" ලැබුනු සහය යුද්ධය ඉවර කරන්න වැදගත් . අහමදි නෙජාඩ් ලොක්කව බදාගෙන ඉඹල දක්වන යාලු කමට වඩා (ඉරානයට දීගෙන සිටීමේ විපාක ලඟ ලඟ පැමිනේ ...) , බ්‍රිතාන්‍යය ලංකාව ගැන නිශ්ක්‍රිය ප්‍රපත්තියක් අනුගමනය කරන තැනට තියන සබඳතාවයක් වටිනවා . මාලදිවයින අපේ යාලුවා තමයි ඒත් අහිංසක අපිට ලොකු හෙල්ප් එකක් දෙන්න ශක්තියක් නැති , ඒ වගේ යාලුවො විතරක් වට කරගෙන ඉඳල හරියන්නෙ නැති වෙයි .

    ReplyDelete
  6. @බුවා,
    ඒ සීන් එක මට නොතේරෙනව නෙමෙයි. ඒත් මම අදහස් කලේ රටවල් විදියට තියන මිතුරුකමෙන් ඒ රටවලට තියන මියුචුවල් වාසි කොහොම වෙතත් . . . මේ රටේ රස්සාව කරන ලාංකික අපිට තිබ්බ වාසිය ගැන.

    ඔවු නෂීඩ් මූලධර්මවාදයට විරුද්දයි. ලෝකෙ වැඩිම දික්කසාද අනුපාතයක් පවත්වගෙන යන්න පුලුවං තරමට නිදහසක් තියන මුස්ලිම් රටක් විදියට මාලෙට මුස්ලාම් මූලධර්මවාදය ඇතුලුවීම ඉතා විශාල ප්‍රශ්න ගොඩකට රට තල්ලු කිරීමක්. ඊයෙ හවස වෙද්දි මාලෙ නගරයේ 90%කටත් වඩා කෙල්ලො හිජාබ් අඳින්න පටං අරං.

    // මාලදිවයින වගේ රටවල බොක්කෙ හිතවත් කමට වඩා සමහර රටවල කුහක හිතවත් කම රටක් වශයෙන් වැදගත් වෙනවා//
    ඔවු පැහැදිලිවම. නමුත් මට දැනෙන විදියට ඉන්දියාවෙ නිශ්ක්‍රීය බලා ඉඳීමටත් එය හිතවත්කම එක හේතුවක්.

    ReplyDelete
  7. ලිබියාව, ඊජිප්තුව, ටියුනීසියාව,සිරියාව වගේ රටවල්වල් අව්රුදු විසි තිස් ගණන් පාලනය කරපු ඒකාධි පතින්ට විරුද්දව මහජනතාව පාරට බහින කොට ඒක, බටහිර ක්රුමන්ත්‍රණ කියන අය, ප්‍රජාතන්ත්‍ර වාදයෙන් පත් වන රජයක් අව්රුදු පහක් යනකොට ජනතාවට එපාවෙන එක ගැන මොනවත් කියනවද? ලිබියාවේ ගඩාපිලා ගැන හොඳ කියන අය මෙයාගේ පාලන කාලයේ වෙච්ච මිනි මැරුම් හා අනික් අපරාධ වසන් කරනවා. සදාම් ගදාපිල එක වල්ලේ පොල්. මේ අය මේ රටවල් වල ගෙනිච්ච පාලනේ රඟ තමා අද ඒ රටවල් වල මිනිසුන් කරන දේවල් වලින් පෙන්නුම් කරන්නේ!

    ReplyDelete