Oct 22, 2014

කළු අරලිය, ක්ලබ් වසන්ත සහ ප්‍රායෝගිකත්වයේ චින්තනය


කල්බ් වසන්ත යනු ප්‍රබන්ධ කතාවක එන මනෝරාජික චරිතයක් නොවේ. “කළු අරලිය“ නමින් මේ දිනවල රූපවාහීනී මාධ්‍යයක් තුල විකාශනය වන මේ ටෙලිය තුලින් මැවෙන්නේ ප්‍රායෝගිකත්වයේ චින්තනය බව වටහාගත යුතුයි. මනෝරාජික චරිත අතරින් ලොව ප්‍රබලතම චරිතයක් වන්නේ ආතර් කොනන් ඩොයිල් විසින් බිහිකල ෂර්ලෝක් හෝම්ස් චරිතයයි. බොහොමයක් හෝම්ස් රහස් පරීක්ෂක කෘතීන් කියවා අවසන අපට සුසුමක් හෙලා පැවසිය හැකි කාරණය වන්නේ එවැනි රහස් පරීක්ෂකයන් ප්‍රායෝගිකත්වයේ ලෝකය තුල සිටියානම් කෙතරම් අගේද යන්නය. නමුත් කළු අරලිය තුල මැවෙන බොහෝ චරිත තුලින් අපිට ඒ සීමාවෙන් ඔබ්බට ගිය ප්‍රායෝගිකත්වයක් දැනීම නිර්මාණයේ සාර්ථකත්වය මෙන්ම වර්තමාන සමාජ සංවේදනයේ ප්‍රබලත්වයද විද්‍යමාන කරන්නකි.


   පුද්ගලිකව මා රූපවාහිනය තුල අවසානයට ඉතා කැමැත්තෙන් රසවිඳි ටෙලි නාට්‍යය ලෙස මතකයේ රැඳෙන්නේ “මේ වසන්ත කාලයයි“ ටෙලි නාට්‍යයි. එයද බොහෝවිට යථාර්ථවාදී තේමාවක් තුල රැඳුනු ටෙලියකි. කළු අරලිය තුල ඇත්තේද අපේ මනසට වේගයෙන් පහර දෙන සත්‍ය අන්දරයකි. ක්ලබ් වසන්ත චරිතය අපි අද ජීවත්වන සමාජය තුල තවමත් ජීවත්වන සත්‍යම චරිතයක් බව ඔබට විශ්වාස කරන්නට සිදුවනු ඇත. කුඩු, එතනෝල්, කසිප්පු, ගංජා මුදලාලිලා දේශපාලන තනතුරුවලට කිසි හිරිකිතයක් නැතිවර තරඟ කරන සහ කිසිම විලිලැජ්ජාවක් නැතිව ඔවුන් එම තනතුරුවලට ඉහලින්ම පත්කරන සමාජයක ක්ලබ් වසන්තලා බුරුතු පිටින් බිහිවීම සාධාරණය. රජයේ ලේඛන අඩංගු තැපැල් මල්ලක් අස්ථාන ගතවීම නිසා වරක් ජපානයේ අදාල තැපැල් ස්ථානාධිපති, ජපන් තැපැල්පති සහ තැපැල් ඇමති යන තිදෙනාම නිහතමානීව වරද පිළිගෙන ඉවත් වෙද්දී කොතරම් වැරදි කර කරත් අප රටේ මැති ඇමති ජනපතිවරු හිරිකිතයක් නැතිව තනතුරු හෙබවූයේදී, හොබවන්නේද.

   එනිසා කල්බ් වසන්ත තුලින් දිනපතා කණට ගහන්නේ මේ සමාජයටම බව අප තේරුම්ගත යුතුය. කළු අරලිය තුල රඟ දැක්වෙන පත්තර වාර්තා කාරිනියන්, පුවත් පත් කතුවරුන්, කැලෑ පත්තර මාධ්‍යවේදීන්, පොලිස් පරීක්ෂකවරුන්, නළුවන් සැබෑවටම අද සමාජයේ චරිතවලට ආදේශ කර බලන්න. ඔබට කිසිඳු සැකයක්, අවිශ්වාසයක් සහ වෙහෙසකින් තොරවම එවැනි චරිත ගණනාවක් සොයාගත හැකිවනු ඇත. එහෙත් අද සමාජය තුල වක්‍රාකාරව හැරෙන්නට එවැනි චරිත ගැන කතා කිරීම පවා උණ්ඩයකින් ජීවිතය අවසන් වන්නට හේතු සාධක වන කාරණයක් විය හැකි. එනිසා සමාජය නිහඬය.

   ප්‍රායෝගිකත්වයේ චින්තනය තුල සමාජය විනිවිදව දැකිය හැකි පරපුරක් අද අප රටතුල සිටිති. නමුත් පරපෝෂිතයන් වැඩි වශයෙන් සිය කටයුතු වර්ධනය කරන රටක දේශපාලනික ගන්ධබ්බවාදීන්ගේ පඩ ෂෝ බලා කට වසාගෙන උපයන දෙයකින් කාගෙන වෙන දෙයක් බලාගෙන සිටින්නට සිදුවී ඇත. කුඩු අල්ලන්නට කුඩු මුදලාලිලාගේ ගෙදරට පොලීසියෙන් කඩා පැන්න විට කුඩු මුදලාලිගේ හිත හදන්නට රටේ නායකයා ගෙදර ඇවිත් ඔළුව අතගානා රටක ප්‍රායෝගිකත්වයේ චින්තනය කෙසේ විය යුතුද. ඔබත් කළු අරලිය නරඹා ටෙලි නාට්‍යයක් බව පමණක් සිතා හෙට කුමක් වේද යන්න පිළිබඳ කුතුහලයකින් නින්දට යන ප්‍රේක්ෂකයින් විය හැකිය. නමුත් අපිට අපේ අනාගතය ගැනද එලෙසින්ම සිතන්නට සිදුවී ඇත්තේ කළු අරලිය අපේ රට තුලම ජීවත්වන කතා පුවතක් නිසාවෙන්ය.

8 comments:

  1. මේ දවස් වල ගොඩක් නිර්මාණ මාර්කට් කරන්නේ ඉතිහාසයයි ඒ අතර වර්තමාන සමාජ ව්‍යුහය පෙන්වන ටෙලියක් විදිහට මාත් කළු අරලියා අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ෂැගියා..අතීතකාමය විකුණාගෙන කෑම හොඳ වෙළදාමක් නිසා ඒක ජයටම කරනවා. ඒ අතරේ මේ වගේ අතිශ්‍ය සුළුතරයක් කතා අගය කරන්න ඕන. ඒවගේම අලුත් නළුවෝ වුනත් රංගනය පැත්තෙන් බොහොම ඉදිරියෙන් ඉන්නවා

      Delete
  2. අනේ ඉතින් මට රැපවාහිනි නැති නිසා කියවලා ගියා..

    ReplyDelete
    Replies
    1. ඇයි බං ටෙලිවිසොං එකට මොකද වුනේ. පොලවේ ගැහුවද

      Delete
    2. මම සදු පොඩි මෙන්ඩා එකග වෙලා ඉන්නෙ ගෙදරට ටිවි රේඩියෝ සෝපා සෙටි එපා කියලා.

      Delete
    3. අප්පා හරි අල්පේච්ඡයි නෙව

      Delete
  3. Replies
    1. ඒ කිව්වේ අදාල නාලිකාවද නැත්නම් මේ ලිපියද

      Delete