Nov 4, 2025

අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?

 


රජයේ පාසල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනයක් සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ වාද-විවාද ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විරෝධයක් දක්වන බවක් පෙනෙන්න තියනවා. ශිෂ්‍යයන්ගේ පැත්තෙන් වුනත් මේ අදහසට එකඟවෙයි කියලා හිතන්න තියන ඉඩකඩ අඩුයි. ලෝකයේ ඉහළ සහ විධිමත් අධ්‍යාපන ක්‍රමවේද අනුගමනය කරන එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ෆින්ලන්තය, ස්වීඩනය, ජපානය වගේම ආසන්නයේ තියන ඉන්දියාව සහ මැලේසියාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකලා බැලුව මේ අධ්‍යයන කාලය, දරුවන්ගේ සංවර්ධනය සහ ගුරුවරුන්ගේ මැදිහත්වීම ගැන ටිකක් හොයලා බලන එක වැදගත්.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට සෘජු ඉගැන්වීම් කාලය සහ අතිරේක ක්‍රියාකාරකම් වගේම ස්වයං-අධ්‍යයන, බාහිර අධ්‍යයනයන්ට වැය කරන කාලය විදිහට කොටස් දෙකකට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෘජු ඉගැන්වීම් කාලය (අනිවාර්යය) කලින් කියපු රටවල් කිහිපයේ එකිනෙකට වෙනස් අගයන් තමයි දකින්න ලැබෙන්නේ.

සෘජු අධ්‍යයන කාලය සහ අතිරේක අධ්‍යයන කාලය

ස්වීඩනයේ වසරකට මේ පැය ගණන 741, ෆින්ලන්තයේ 777ක්, ජපානයේ 868ක්, ඒ්ත් ඉන්දියාවේ සහ අමෙරිකාවේ මේ අගය පැය 1,000 ඉක්මවනවා. ඒත් අමෙරිකාවේ වසරකට පාසල් පැවැත්වෙන්නේ දවස් 178ක් විතරයි. දවසකට පැය 5-6 අතර කාල සීමාවක් පාසල් පැවැත්වෙනවා. ජපානයේ වසරකට දින 220ක් පාසල් පැවැත්වුණත්, දවසකට පැය 4ක් පමණයි පාසල් පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම කාලගුණික තත්ත්වයන් අයහපත් කාලයට මේ කාලය තවත් අඩුවෙන්න පුළුවන්.

ඒත් සාමාන්‍යයෙන් ලෝකයේ අධ්‍යාපනය සම්බන්ධව කරන පර්යේෂණවලදි පවා සලකලා බලන්නේ ශිෂ්‍යයෙන් තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුළු කාලය. ඒ කියන්නේ කලින් කියපු සෘජු අධ්‍යන කාලය සහ අතිරේක කාලය එකතු කළාට පස්සේ එන අගය. ඒ නිසා ගොඩක් රටවල් මේ සෘජු අධ්‍යන කාලය සහ අතිරේක කාලය සමබරව පවත්වාගෙන යන්න කටයුතු කරනවා.

ශිෂ්‍යන්ගේ දක්ෂතා කොතැනකද?

ලෝකයේ පිළිගත්ත නිර්ණායක අනුව පාසල් දරුවන්ගේ දක්ෂතා මැනීමේදී ඔවුන්ගේ ගණිත, විද්‍යා, තාර්කික වගේම සෞන්දර්ය සහ ක්‍රීඩා දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීම් කරනවා. මේ විදිහට බැලුවම ජපානයේ ශිෂ්‍යයන් ඉන්නේ ලෝක ශිෂ්‍ය දක්ෂතා ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයේ,  අංක එක ස්ථානයේ ඉන්නේ සිංගප්පූරුව. ෆින්ලන්තයේ ශිෂ්‍යයන් 12 වැනි තැන හිටිද්දි, බ්‍රිතාන්‍ය 14 සහ  ඒක්සත් ජනපදය 18 වැනි තැන ඉන්නවා. දකුණු ආසියාවේ කිසිම රටක් මේ ශ්‍රේණිගත කිරීම (PSIA Ranking) ඇතුලේ අවම අගය හෝ වාර්තා කරන්නේ නෑ.

විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් වල දරුවන්ගේ දක්ෂතා ශ්‍රේණිගත කිරීම්වල පවතින්නේ පහළ මට්ටමක. ඒකට හේතුව මේ රටවල් වල දක්ෂ ශිෂ්‍යයින් නෑ කියන එක නෙවෙයි,  නමුත් රටේ පවතින ආර්ථික සහ අධ්‍යාපන ගැටලු නිසා දක්ෂතා අතින් ඉහළින් ඉන්න ශිෂ්‍යයින් ප්‍රමාණය අඩු නිසා, සාමාන්‍ය ශිෂ්‍යයන්ගේ දක්ෂතා ශ්‍රේණිය තියෙන්නේ අඩු අගයකයි.

පාසල් වේලාව සහ ගුරුවරුන්ගේ වැඩ කොටස

සාමාන්‍යයෙන් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයෙන් ගුරුවරුන් සෘජු ඉගැන්වීම් වලට යොදාගන්න කාලය ඉතාම වැඩියි.කලින් කිව්වා වගේ දවසකට පැය 5 ඉක්මවපු කාලයක් ඉගැන්වීම් කරනවා. මේ නිසාම ගුරුවරුන්ට බොහෝ විට පාඩම් සැලසුම් කරන්න, විවිධ අත්හදාබැලීම් කරන්න, තමන්ගේ පුද්ගලික දැනුම වැඩි කරගන්න තියන කාලසීමාව අඩුයි. ඒත් ෆින්ලන්තය සහ ස්වීඩනය අනුගමනය කරන්නේ මේකේ අනිත් පැත්ත. මේ රටවල්වල ගුරුවරුන් ශිෂ්‍යයන්ට සෘජුව උගන්වන කාලය ඉතාම අඩුයි. සාමාන්‍යයෙන් දවසකට පැය 4කට ආසන්න හෝ අඩු කාලයක් තමයි පාසලේ ඉගැන්වීම් කරන්නේ. ඒ නිසා ගුරුවරුන්ට සැලකිය යුතු කාලයක් දවසේ ඉතිරි වෙනවා. ඒත් මේ කාලය ඔවුන් තමන්ගේ දැනුම, හැකියාව සහ සුදුසුකම් වැඩිකරගන්න පාවිච්චි කිරීම අනිවාර්යයි. විශේෂයෙන්ම ගුරුවරුන්ට උපාධි සහ පශ්චාද් උපාධි සුදුසුකම් වගේම පර්යේෂණ වාර්තා, නැත්නම් ලිපි ලිවීමත් අනිවාර්යය නිසා මේ ඉතිරි කාලය ඒ වෙනුවෙන් වැයකරන්න සිද්ධ වෙනවා.

හැබැයි ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගුණාත්මක සහ දක්ෂ ගුරුවරු වගේම වැඩි ප්‍රතිඵලදායක අධ්‍යාපනයක් දරුවන්ට දෙන්න ඉඩකඩ ලැබෙනවා.

ජපානයේදී මේ තත්ත්වය තවත් ටිකක් වෙනවා. දවසකට පැය 4 බැගින් වසරකට දවස් 220කට වැඩි කාලයක් ජපානයේ ගුරුවරුන් ඉගැන්වීම කරනවා. ඉතිරි කාලයෙන් වැඩි කොටසක් ගෙවෙන්නේ පාසල් දරුවන් සුපරීක්ෂණය කරලා අඩු පාඩු හදාගන්න උදව් කරන්න, අතිරේක ක්‍රියාකාරකම් සහ ක්‍රීඩාවලට සහය දෙන්න. කොහොමවුනත් පාසල් සහ අධ්‍යයන කාල සීමා වැඩිවීම සම්බන්ධයෙන් ජනාපයේ දැඩි කතාබහක් මතුවෙලා තියනවා. ඒ නිසාම දරුවන් සහ ගුරුවරුන් පීඩාවට පත්වීම වළක්වන්න අවශ්‍ය පහසු කාල සටහන් සහ අධ්‍යාපන කාල සීමාව අඩුකරන්න ජපානය ප්‍රතිපත්ති සම්පාදනය කරමින් ඉන්නවා.

ලංකාවේ සහ ඉන්දියාවේ දෙකේම සෘජු අධ්‍යාපන කාලය වැඩියි. මේ රටවල් දෙකේම ගුරුවරුන්ට ඉගැන්වීම වගේම අමතර පරිපාලන කාර්ය භාරයක් (පන්ති නාම ලේඛන, ශිෂ්‍ය සාධන වාර්තා, ප්‍රගති වාර්තා නඩත්තු කිරීම) තියන නිසා වැඩි කරන මිනිත්තු 30 ඒ වෙනුවෙන් වැය කරාවි කියලා යෝජනා කරනවා. මොකද නැත්නම් මේ වැඩවලට සෘජු අධ්‍යාපන කාලය වැයවෙන නිසා ඒකෙන් අධ්‍යයන කටයුතු වලට හානියක් වෙන්න පුළුවන් කියන තර්කය එක්ක. ඒ කාරණයත් ඉවත දාන්න පුළුවන් එකක් නෙවෙයි.

පාසල් කාලය සහ දරුවන්ගේ දක්ෂතා?

පාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන සෘජු අධ්‍යයන කාලය වැඩි වෙද්දි ශිෂ්‍යන්ගේ දක්ෂතා නැත්නම් දැනුම වැඩිවෙනවද කියන එක ටිකක් ගැඹුරින් සෙවිය යුතු කරුණක්. මොකද දැන් ලංකාවෙත් පාසල් කාලසීමාව වැඩි කරන්න යෝජනා කරන නිසා ලෝකයේ ලංකාවටත් වඩා හොඳ අධ්‍යාපන ක්‍රමයන් තියන රටවල් වල මේ වැඩේ සාර්ථක වෙලාද කියලා ටිකක් බලමු.

මේ දක්වා කරලා තියන පර්යේෂණ ගණනාවක්ම කියන්නේ ගණිතය, විද්‍යාව වගේ විෂයන් වල වැඩි ප්‍රතිඵල ලැබෙන්නේ වැඩිපුර කාලයක් දරුවන්ට සෘජු ඉගැන්වීම් කිරීමත් එක්ක කියලා. හැබැය අනිත් විෂයන්ට මේ තත්ත්වය වෙනස්. විශේෂයෙන් තොරතුරු තාක්ෂණය වගේ විෂයක් දරුවන් ඉගනගත්ත දේ පුහුණු කරන කාලය සහ ස්වයං-අධ්‍යයන කාලය වැඩිවීම එක්ක ඔවුන්ගේ දක්ෂතා වැඩිවීමක් දකින්න පුළුවන්.

ඒ වගේම තමයි, සෘජු අධ්‍යයනයට වැය කරන කාලය අඩු කරලා, ක්‍රියාකාරකම්, පරීක්ෂණ, ක්‍රීඩා, කලා සහ විනෝදාස්වාදයන් වෙනුවෙන් වැය කරන කාලය වැඩිවීම එක්ක දරුවන් අතරේ මානව සම්බන්ධතා, පරිසරයට සංවේදී වීම, නවෝත්පාදනය සහ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වෙනවා.  ඒ නිසාම බොහොමයක් පර්යේෂණ යෝජනා කරන්නේ අධ්‍යාපනයට වැය කරන කාලය වැඩි කිරීමට වඩා සෘජු අධ්‍යාපනයට වැය කරන කාලය අඩු කිරීම සහ වෙනත් අධ්‍යාපන ක්‍රම වෙනුවෙන් වැය කරන කාලය වැඩිකිරීම මගින් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමවේදයක් බිහි කිරීමයි. ඒ ඇතුලේ ශිෂ්‍යයන්ගේ දක්ෂතා වගේම ගුණ ධර්මත් ඉහළ තැනක තියනවා කියලා පැහැදිලියි.

ෆින්ලන්තයේ සාර්ථක අධ්‍යාපන ක්‍රමය

සාපේක්ෂව ෆින්ලන්තයේ ගුරුවරු සෘජු ඉගැන්වීමවලට වැඩ කරන කාලය අඩුවීම (දවසකට පැය 3-4), ඉතිරි කාලයෙන් (පැය 1-2) පාඩම්වලට සූදානම් වීම, ක්‍රියාකාරකම් සකස් කිරීම සහ ක්‍රියාකාරකම් කිරීම නිසා ෆින්ලන්තයේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වගේම ශිෂ්‍යයන්ගේ දැනුම සහ හැකියා ඉහළ මට්ටමක පවතිනවා කියලා විශේෂඥයන් මත දරණවා. මොකද ෆින්ලන්තයේ ගුරුවරුන්ගේ රැකියාව ඇතුලේ පරිපාලන කාර්යභාරයක නැතිම තරම්  නිසා ඉගැන්වීමට සහ ශිෂ්‍යයින් උනන්දු කරවන්න වගේම උගන්වන දේ ලස්සනට කරන්න ඔවුන්ට අවශ්‍ය තරම් කාලය තියනවා.

හැබැයි පොදුවේ දවසකට පාසල් පැවැත්වෙන කාලය ගත්තම ලංකාවේ සහ ෆින්ලන්තයේ ලොකු වෙනසක් නෑ. ඒකම දේ සෘජුව උගන්වන්න විතරක්ම මේ කාලය වැයකරන්නේ නැති නිසා ගුරුවරුන්ට වගේම ශිෂ්‍යයන්ටත් ඒ්කාකාරී බවක්, කළකිරීමක්, අනවශ්‍ය පීඩනයක් දැනෙන්නේ නෑ. මේ නිසාම තමයි ලෝකයේ බොහොමයක් රටවල් දැන් ෆින්ලන්තයේ අධ්‍යාපන මොඩලය තමන්ගේ රටවල් ඇතුලෙත් ස්ථාපිත කරන්න උත්සහ කරන්නේ.

ගැටළුව සහ විසඳුම කොතැනද?

ඒ නිසා ඇත්තටම ගැටළුව තියෙන්‌නේ පාසල් පැවැත්වෙන කාලයේ නෙවෙයි, උගන්වන ක්‍රමවේදවල සහ අනෙකුත් පහසුකම්වල කියන එක මුලින්ම අවබෝධ කරගත යුතුයි. ඒ වගේම පාසල් කාලයේ සැලකිය යුතු කොටසක් සෘජු ඉගැන්වීම්වලට පාවිචචි නොකර වෙනත් රසාස්වාදනය, පරීක්ෂණ, ස්වයං අධ්‍යයන, ක්‍රියාකාරකම් වගේම අලුත් ක්‍රමවේද පාවිච්චි කරපු අධ්‍යාපනයකට යොමුවෙනවනම් ලංකාවේ පාසල් පවත්වන වේලාව ඇති වගේම තවත් විනාඩි 30ක් වැඩි කළත් පාඩුවක් නෑ.

හැබැයි දරුවන් සහ ගුරුවරුන් පාසල් වේලාවෙන් පස්සේ ගතකරන ජීවිතය මේ කලින් කියපු රටවල් සහ ලංකාව අතරේ සෑහෙන්න වෙනස්. ප්‍රවාහන ගැටළු, ආර්ථික ගැටළු, පවුල් සම්බන්ධ ගැටළු නිසා ගුරුවරුන් වගේම ශිෂ්‍යයන්ටත් වේලාසනින් පාසලට එන එක සහ ප්‍රමාදවෙලා පාසලෙන් පිටවෙන එක ගැටළුවක්. අනිත් පැත්තෙන් පාසල් විෂය නිර්දේශ සහ ඉගෙනුම් ක්‍රමවල තියන අර්බුද නිසා අතිරේක පන්ති වලට ශිෂ්‍යයන්ට හවස් වරුවේ සෑහෙන්න වේලාවක් ගතකරන්න වෙන නිසා පාසල් කාලය වැඩි කිරීම නිසා ශිෂ්‍යයින් තවත් පීඩනයට පත්වෙන්න පුළුවන්.

ඒත් සමහර ගුරුවරුන් නම් මේ අතිරේක පාසල් කාලය සම්බන්ධයෙන් විරෝධතාවය දක්වන්නේ පුද්ගලික පන්ති සහ වෙනත් කැපකිරීම් සම්බන්ධ කාරණා එක්කයි. හැබැයි කලින් කියපු බාහිර ගැටළු වලට සාධනීය පිළිතුරු නැතිව වගේම පාසල් අධ්‍යයන කාලය නිසියාාකරයෙන්, ඵලදායීය කළමණාකරණය කරන ක්‍රමයක් අනුගමනය කරන්නේ නැතිව වේලාව විතරක් වැඩි කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබෙන්න තියන ඉඩකඩ වැඩියි.


ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
2025.11.04 'The Time' වෙබ් අඩවිය වෙනුවෙන් ලියූ ලිපියකි

No comments:

Post a Comment