Sep 15, 2016

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තවත් ජාතිවාදී මුහුණවරක් විතරයි


ජනතා විමුක්ති පෙරමුණ යනු ලංකාවේ වාමවාදී දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. එහෙව් වාමවාදීන් අද “වම“ භාවිතා කරන්නේ වැසිකිලියේදී පමණක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවීමද වැලැක්විය නොහැකිය. එවැනි වාතාවරණයකදී ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන භාවිතාව පිළිබඳව සහ මතවාදීමය වශයෙන් ඔවුන්ගේ විතැන්වීම සම්බන්ධයෙන් කතා බහකට එක්වූයේ මීට දශක තුනකට පෙර සරසවි ශිෂ්‍යයෙක් ලෙස ජ.වි.පෙ ඉදිරිපෙළ නියෝජනය කරමින් සිපිරිගෙය තුල පවා ජ.වි.පෙ දේශපාලනයේ නිරතවූ සුවිශේෂී පුද්ගලයෙක්. ජ.වි.පෙ සම්බන්ධ සිවිල් සංවිධාන ගණනාවක් ප්‍රධාන ක්‍රියාකාරී චරිතයක් වූ හෙතෙම අද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් සිටියි. එබැවින් ඔහුගේ අනන්‍යතාව හෙළිනොකර අදහස් පමණක් හෙළිදරව් කරීමට අදහස් කරන්නෙමි.


අද ජ.වි.පෙ දේශපාලනය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මොකුත් හිතෙන්නේ නෑ. මට තියන ප්‍රශ්නය තමයි ජ.වි.පෙ ඇතුලේ ඉන්න නායකයෝ කියන චරිත පවා ජ.වි.පෙ නිවැරදි දැක්ම පිළිබඳ අවබෝධයක් නැත්තේ ඇයි කියන එකයි.

ඒ තැනට පත්වෙන්නේ සෝමවංශ අමරසිංහ නායකත්වයෙන් ඉවත්වීම එක්කද?

නෑ, සෝමවංශ නායකත්වයේ හිටපු කාලේ සහ නැති කාලේ කියලා ලොකු වෙනසක් නෑ. මේක පුද්ගල ප්‍රතිරූප වලට සියයට සියයක් අදාල ප්‍රශ්නයක් නෙවෙයි. අනුර කුමාර ඇතුලු පිරිසට ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අද එක්තරා ලේබලයක් සහ පැවැත්ම සඳහා වන මාර්ගයක් විතරයි. ඒ නිසා කවදාවත් ඔවුන් ඔය කියන ජ.වි.පෙ ආණ්ඩුවක් හෝ සමාජවාදී රාජ්‍යයක් කියන අරමුණට යන්න ඉඩක් නෑ මේ තියන වාතාවරණය එක්ක.

ඔබ ජ.වි.පෙ 88/89 කාලයේ පවා ඉතා තදින් වැලඳගෙන හිටපු චරිතයක්, ඇයි අද වෙනකොට ජ.වි.පෙ ගැන ඉතා කලකිරීමෙන් කතා කරන්නේ?

ප්‍රධාන වශයෙන් ජ.වි.පෙ මතවාදය ගැන මට ප්‍රශ්නයක් ඇතිවෙන්නේ පහුගිය යුද සමයේ ඔවුන් කටයුතු කරපු ආකාරය එක්ක. ජ.වි.පෙ අද මොන බහුබූත කිව්වත් යුද සමයේ රටේ ජනතාව යුදවාදී මානසිකත්වයකට ගේන්න ජ.වි.පෙ සෑහෙන වැඩ කොටසක් කලා. හැබැයි සමාජවාදී න්‍යාය තුල යුදවාදිත්වයට තිබෙන ඉඩකඩ ගැන ඔවුන්ට අවබෝධයක් නෑ.

ඒ වගේම තමයි ඔවුන්ගේ දර්ශනය තුල තිබුණ හර සංකල්ප සේරම පැත්තකට දාලා තමයි දේශපාලන සමගි සන්ධානවලට ජ.වි.පෙ යන්නේ. 71 සමූල ඝාතනයකට කටයුතු කරපු ශ්‍රී.ල.නි.ප ය ප්‍රමුඛ සන්ධානය එක්ක එකතුවෙන්නේ දේශපාලනික වශයෙන් මතවාදී සමපාත ලක්ෂයක් ගැන කිසිම අවබෝධයක් නැතුව හුදෙක් බලය කියන පරමාර්ථය එක්කයි. ඒ වගේම 2010 දි ආයෙත් 88-89 පක්ෂයේ නායකයා ඇතුළු සගයන් අමු අමුවේ ඝාතනය කරපු එ.ජා.ප ය එක්ක සන්ධානගත වෙන්නේත් බලය කියන සාධකය තේමා කරගෙනයි. ජ.වි.පෙ පහුගිය කාලෙම අධික බලලෝභී ගමනක දුවද්දි හුදෙක්ම තමන් පක්ෂයක් කියන එක මිසක් මතවාදීමය සිවිල් ව්‍යාපාරයක් කියන එක අමතක කලා.

ජ.වි.පෙ අනාගතය කොහොම වේවි කියලද ඔබ හිතන්නේ?

කවදාවත් ඔවුන්ට ඔවුන් බලාපොරොත්තු වෙන දේශපාලනික ඉලක්කයට යන්න ලැබෙන්නේ නෑ මේ විදිහට. මම හිතන්නේ නෑ මීට පෙර ජ.වි.පෙ වෙනුවෙන් ඡන්දේ දීපු,කැපවුණු උගත් ප්‍රජාව ඉදිරියේදී ජ.වි.පෙ එක්ක ඉඳීවි කියලා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන ඔබේ ආකල්පය මොකක්ද?

ඔවුන් තවමත් අවබෝධ කරගෙන නෑ ඔවුන්ගේ කාර්යභාරය. ඔවුන් ජ.වි.පෙ න් බෙදී වෙන්වුනේ කුමක්හෝ මතවාදීමය ගැටළුවක් නිසා නේ. ඒත් ඒක ඔවුන්ගේ නව දේශපාලන ව්‍යූහයෙත් ඒ විදිහටම තිබෙනවනම් මොකක්ද ඔවුන් සහ ජ.වි.පෙ අතර වෙනස. ඔවුන්ට ඉතිරිවුණේ කුමාර් ගුණරත්නම් නිදහස් කරව් කියන සටන් පාඨය විතරයි.

1 comment: