Apr 3, 2017

අපිට ජංගම දුරකතන හදන්න බැරි ඇයි?


අද වෙනකොට ජංගම දුරකතන නිෂ්පාදනය ලෝකයේ ගෘහ කර්මාන්තයක් බවට පත්කරගෙන සාපේක්ෂ සහ නිරපේක්ෂ වාසි ලබාගන්න රටවල් බිහිවෙලා. විශේෂයෙන්ම නැගී එන ආර්ථිකයන් සහිත වියට්නාමය,කාම්බෝජය,තායිලන්තය වගේ ආසියාතික රටවල් වගේම සංවර්ධිත ආර්ථිකයන් සහිත ජපානය,කොරියාව,එක්සත් ජනපදය වගේ රටවල් පවා ජංගම දුරකතන නිෂ්පාදනය ගෘහ මට්ටමට සහ සුළු කර්මාන්ත මට්ටමට ව්‍යාප්ත කරලා අවසන්. අද ලංකාවේ ජංගම දුරකතන පරිශීලනය කරන බොහොමයක් දෙනෙක්ගේ ජංගම දුරකතනය අතට අරගෙන නිෂ්පාදිත රට මොකක්ද කියලා පරික්ෂා කරලා බැලුවොත් ඉන් වැඩිම ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන, එහෙමත් නැත්නම් කොරියාවේ,තායිලන්තයේ නැත්නම් තායිවානයේ නිෂ්පාදිත ඒවායි. සමහර විට ඊටත් වඩා ඉන්දියාවේ නිෂ්පාදනය කරපු ජංගම දුරකතන තිබෙන්නත් පුළුවන්. ඒ අතරේ අතීතයේ ජංගම දුරකතන ලෝකයේ පෙරලිකාර නිෂ්පාදක රාජ්‍යයන් වුණ එක්සත් ජනපදය,හන්ගේරියාව, ජපානය වගේ රටවල දුරකතනත් හොයාගන්න පුළුවන්. ඒත් සුළුතරයක් විතරයි. එතකොට මේ චීනය, ඉන්දියාව වගේ රටවල් අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජංගම දුරකතන වෙළඳපොල ඇල්ලුවේ කාරණා කීපයක් නිසායි.


අඩු නිෂ්පාදන පිරිවැය වගේම ඇස් ඇදෙන මාර්කටින්

ප්‍රධාන වශයෙන්ම ඒකට හේතු වුණේ ඒ රටවල් පරිමාණානුකූල ඵල එහෙමත් නැත්නම් ආර්ථික විද්‍යාවේ සංකල්පය ඉදිරිපත් කරන වැඩිපුර ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේදී ඒකකයක පිරිවැය අඩුවීමෙන් ඒකක ලාභය වැඩිවීම හරහා සමස්ථ ලාභය වැඩිකරගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා. ඔබ නොදන්නවා වුනාට ඔබේ අතට අද රුපියල් 2500 කට එන ජංගම දුරකතනය නිෂ්පාදනය කරන්න ඉන්දියාවට හෝ චීනයට වැයවෙන්නේ රුපියල් 500කට ආසන්න මුදලක්. නිෂ්පාදකයා,අතරමැදි ඒජන්සිකරුවන්, අපනයනකරුවා, ආනයනකරුවා සහ බෙදාහරින්නන් වගේම සිල්ලර වෙළෙන්දන් අතරේ රුපියල් 2000කට ආසන්න ලාභයක් බෙදිලා යනවා. ඒ වගේම තමයි අධික මිලක් වැයකරලා සිදුකරන ආකර්ශණීය අලෙවිකරණ ක්‍රමවේද. විශේෂයෙන්ම ඉන්දියාව තමන්ගේ ජංගම දුරකතන වෙළඳපල විස්තීර්ණ වෙළඳපොලක් බවට පත්කරගන්න නොකියා සමාගමේ සන්නම් නාමය පවා වරලත් ව්‍යාපාරයක් ලෙස අරගෙන, එහෙමත් නැත්නම් තවත් ලොව ප්‍රකට වෙළඳ නාම ආශ්‍රය කරගෙන සිදුකරන සන්නම් නාම ප්‍රචාරණය විතරක්ම නෙවෙයි තමන්ගෙම රටේ සන්නම් නාම ප්‍රචාරණය තුලින් ලෝකයේ ජංගම දුරකතන වෙළඳපොලේ ආධිපත්‍ය පතුරවන්න ඒ රටවල් සමත්වුණා. එක් නිෂ්පාදන අයිතමයකින් වැඩි ලාභයක් ලබන්න සුඛෝපභෝගී ජංගම දුරකතන නිෂ්පාදනය කරනවාට වඩා ඒකක ලාභය අඩු නිෂ්පාදන ඒකක වැඩි ප්‍රමාණයක් නිපදවලා අඩු මිලකට පාරිබෝගියන් අතට යැවීමේ ක්‍රමය අද වෙනකොට සාර්ථක වෙලා.

එතකොට ඇයි අපිට බැරි?

එහෙම තත්ත්වයක් යටතේ අපි කල්පනා කරලා බලන්න ඕන ඇයි අපේ ලංකාවේ ජංගම දුරකතන නිෂ්පාදනය කරන්න බැරි කියලා. කොටස් ආනයනය කරලා එකලස් කර්මාන්තයක් විදිහට දුරකතන නිෂ්පාදනය කරනවා වෙනුවට අපේම අමුද්‍රව්‍ය වලින් අපේම නිෂ්පාදනයක් (අගය එකතු කරන ලද) බිහිකරලා ලංකාවේ වෙළඳපොලට ඉදිරිපත් කරන්න අපිට බැරිද, එතනින් ජාත්‍යන්තර වෙළඳපොල ජයගන්න බැරිද? බැරි කමක් නෑ, නමුත් අපේ රටේ ක්‍රමවේදය තුල අද වෙනකොට මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න අපහසු වෙලා තියනවා. අඩුමිලට ශ්‍රමය සහ යටිතල පහසුකම් සම්පාදනය කරගන්න පුළුවන් වුනත් අඩු පිරිවැයක් යටතේ ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරන්න බැරි හේතු ගොඩක් ලංකාවට තියනවා.

විශේෂයෙන්ම මේ ජංගම දුරකතන නිෂ්පාදනය කරන්නනම් එහි අභ්‍යන්තර පරිපථ පද්ධතියේ උපාංගවල සිට කවරය දක්වාම නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ ලංකාවට ගෙන්වන්න වෙනවා. මේ යන්ත්‍ර ලංකාවට ගෙනෙද්දි අධික බදු මුදලක් ගෙවන්න වෙනවා වගේම මේ යන්ත්‍ර නඩත්තු කිරීමට විශාල පිරිවැයක් සහ මනා පුහුණුවක් අවශ්‍ය වෙනවා. එතකොට ඒවාට යන පිරිවැය නිසා ඒකකයක නිෂ්පාදන පිරිවැය වැඩිවෙනවා. එතකොට ජංගම දුරකතනයක ඒකක මිල වැඩිකරන්න වෙනවා. එතකොට වෙළඳපොල තුල තරඟකරන්නට අපේ රටේ ජංගම දුරකතනවලට අපහසු වෙනවා. මොකද සිය රට දේ සිරි සැප දේ කියලා වැඩි මුදලට ජංගම දුරකතන මිලට ගන්න කව්රුත් කැමති වෙන එකක් නැති නිසා. 

මොකක්ද විසඳුම

මේක විසඳන එක අපි හිතන තරම් ලේසි නෑ. බොහොමයක් රටවල් මේ වගේ තාක්ෂණික වෙළඳපොල ජයගත්තේ වසර ගණනක් ඉදිරියට සැලසුම්, රාජ්‍ය පුද්ගලික අංශ ඒකාබද්ධවෙලා සිදුකරපු ක්‍රියාන්විත සහ රටේ බුද්ධිමය සම්පත්වල ඉතා ඉහළ මැදිහත්වීම්වලින් පමණයි. නැතුව එක් ව්‍යාපාරිකයෙක්ට තනියම හිතලා ලංකාවේ ජංගම දුරකතන නිෂ්පාදනය කරලා වෙළඳපොල ජයගන්නවා කියන එක නිකම්ම ෆැන්ටසියක් විතරයි. තව බහුජාතික සමාගම බොහොමයක් කැමතියි අපේ රටවල් ඒ වගේ තමන්ගෙම නිෂ්පාදන නොකරන තාක්කල්. කොහොමහරි අපි එහෙම නිෂ්පාදනය කරන්න පටන් ගත්තොත් අර බහුජාතික සමාගම් සේරම එකතුවෙලා අපේ නිෂ්පාදනය දුර්මුඛ කරන්න පුළුවන් හැමදේම කරනවා, ඒකට අවශ්‍ය සල්ලි අඩුනැතිව පොම්ප කරනවා, ඒ සල්ලිවලට රටක ආන්ඩු වුනත් යටවෙනවා. ලංකාවේ ඖෂධ වෙළඳපොල තුල තිබෙන්නේත් අන්න ඒ වගේ මාෆියාවක්.

ඇත්තටම රාජ්‍ය අංශයේ නිසි මැදිහත්වීමක් සිදුකරලා රටේ ඔළු ටික පාවිච්චි කරලා දීර්ඝකාලීන් සැලසුමක් නිර්මාණය කරලා ප්‍රබල කොන්දේසි යටතේ රාජ්‍ය-පුද්ගලික ඒකාබද්ධ වැඩපිළිවෙලක් යටතේ බදු සහන ඇතුළු සහන එක්ක ජංගම දුරකතන නිෂ්පාදනය ආරම්භකරනවානම් යම්කිසි කාලයක් ඇතුලත අපේ රටට අඩු පිරිවැයක් යටතේ ගුණාත්මක නිෂ්පාදනයක් බිහිකරන්නට බැරිකමක් නෑ. ලංකාවේ ස්වදේශීය නිෂ්පාදිත බොහොමයක් බිහිවුණේ මෙහෙමයි. එහෙම නැත්නම් අපිට හැමදාමත් බහු ජාතික සමාගම්වල මිල ඉහළ පහල දැමීම්මවලට රූකඩ වගේ නටන ගමන් අපේම සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් දුක් මහන්සිවෙලා හම්බකරලා රට පටවන්නත් වෙනවා.



9 comments:

  1. ඔය අන්තිමට කියලා තියෙන්නේ සාමාන්‍ය ජන ව්‍යවහාරයේ එන මේකට රජය පියවරක් ගන්න ඕන, රජයේ බලධාරීන්ගේ වගකීමක් කියන එකමනේ. ලංකාවට යන්ත්‍ර බදු නැතිව ගෙනාවත් ඔය අවදානම ගන්න ව්‍යවසායකයෙක් ඉඳීද?අනික ලංකාවේ ශ්‍රමය තව දුරටත් ලාභ නෑ, වගේම හොයා ගන්නත් නෑ. අද ලංකාවේ ඇඟලුම් කම්හල් වල ශ්‍රම ගැටළුව බලන්න.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජන ව්‍යවහාරය පැත්තකට දාමු. රාජ්‍ය කේන්ද්‍රික පාලනයක් තියන රටක රජය මැදිහත්වීමකින් තොරව මේ වගේ ප්‍රමුඛ ක්ෂේත්‍රයක් සහ අවදානමක් තියන ව්‍යාපාර ක්ෂේත්‍රයකට අතගහන්න බෑ. එක් ව්‍යවසාකයෙක්ට මේ අවදානම ගන්න බෑ ඒත් ව්‍යවසායකයින් කණ්ඩායමකට මේ අවදානම ගන්න පුළුවන්, ඒකාබද්ධ කර්මාන්ත ගිවිසුම් හෝ සංවිධිත වෙළඳ ගිවිසුම් තියෙන්නේ අන්න ඒකටයි. ලංකාවේ ශ්‍රමය තවමත් ඉන්දියාව,චීනය වගේ රටවල්වලට සාපේක්ෂව අඩුයි. එහෙනම් නිසි ශ්‍රම විභජනයක් සහිතව උපයෝජනය කරන්න පුළුවන් ශ්‍රම ඵලදායිතා ලාභය ලබන්න පුළුවන්කමක් තියනවා. ලංකාවේ ඇඟළුම් කර්මාන්ත දුවන්නේ ඔය ශ්‍රම පිරිවැය අඩු නිසා විතරයි. නැත්නම් කියන්න බලන්න එක වාසි සහගත සාධකයක් ලංකාවේ ඇඟළුම් කර්මාන්ත පවත්වාගෙන යන්න පුළුවන්.

      Delete
    2. ඔයා වැරදි තැනින් අල්ලගෙන. ලංකාවේ ශ්‍රම පිරිවැය කලාපය තුළ අඩුයි නම්, ලංකාවේ මිනිස්සු සෙපා හෝ එක්ටා වලට එරෙහි වෙන්න ඕන නෑ. ලංකාවේ ඇඟළුම් කම්හල්වලට අද ශ්‍රමය හොයා ගන්න එක ලොකු ප්‍රශ්නයක්, මොකද ශ්‍රම පිරිවැ‍ටුම හරිම වැඩියි. හොයලා බලන්න අද සමහර ඇඟළුම් සමාගම් සේවකයො හොයා ගන්න කිලිනොච්චි, ඇතිමලේ වගේ ප්‍රදේශවලට බස් අරන් ගිහින් ප්‍රවර්ධන කටයුතු කරනවා. අනික ලංකාව රාජ්‍ය කේන්ද්‍රීය (?) කියලා හැම දෙයක්ම රජය කරන්න ඕන කියලා බලන් හිටියට වැඩක් වෙන්නේ නෑ. කොහොම ලංකාව ඇතුලෙ හැදුවත් රටින් ගෙනැල්ලා විකුණන එක ලාභයි කියලා දන්න තාක් කල් ව්‍යවසායකයා යන්නේ එතනට.

      Delete
    3. සෙපා හෝ එක්ටා තුළ තියෙන්නේ ශ්‍රම පිරිවැයේ සාපේක්ෂ වාසිය සම්බන්ධ ගැටළුවකට වඩා නිර්බාධ පිවිසුම සම්බන්ධ ගැටළුවක් සහ සංඛ්‍යාත්මක තත්ත්වය සම්බන්ධ ගැටළුවක්. ඉන්දියාවේ සහ ලංකාවේ ජනගහනය සහ ශ්‍රම බලකාය කියන එක සංසන්දනය කරලා පෙන්වන්න දෙයක් නෑනේ අමුතුවෙන්.ඇඟළුම් සමාගම්,හෝටල් සහ අවහන්හල් ක්ෂේත්‍ර,ලුහුකම් ක්ෂේත්‍ර සේවකයෝ හොයන්න ගම්වලට යන්නේ පුහුණු ශ්‍රමිකයන් කර්මාන්ත ක්ෂේත්‍ර අතර මාරුවීමේ සීඝ්‍රතාව හෝ හැරයාමේ සීඝ්‍රතාව වැඩි නිසා. ඒකට හේතුවෙන්නේ ශ්‍රම වැටුප කියන කාරණය විතරක්ම නෙවෙයි. කොහොමවුනත් ශ්‍රමබලකාය,දළ ජාතික නිෂ්පාදිතය,අදායම් බෙදීයාම එක්ක සංසන්දනය කලාම කලාපයේ විතරක් නෙවෙයි ආසියාවේම අඩු ශ්‍රම පිරිවැය සහිත රටවල් අතර තවමත් ලංකාව ඉන්නවා. විශේෂ ප්‍රාගුන්‍යය ලබන ශ්‍රමිකයාගේ පිරිවැය ඵලදායිතාව කොහොමත් වැඩිවෙනවා. ඒ කොහොම වුනත් අපේ රටේ තාක්ෂණික නිෂ්පාදන බිහිකිරීමට නොපෙළඹෙන්නේ ශ්‍රම පිරිවැය ගැටළුවක් නිසාමද කියන එක දෙපාරක් හිතන්න. මෙතනදි රාජ්‍ය කේන්ද්‍රීය වීම තුල හැමදෙයක්ම රජය කළයුතුයි කියලා නියමයක් නෑ, මම මෙතනදි සඳහන් කරලා තියෙන්නේ රජයේ මැදිහත්වීමක් අවශ්‍යයි කියලා මිසක් රජය ගාමක කාර්යභාරය කලයුතුයි කියලා නෙවෙයි. රටක අලුත් කර්මාන්ත ක්ෂේත්‍රයක් ආරම්භකරද්දි,ව්‍යවසායකයන් ඒ වෙනුවෙන් පෙළබෙද්දි රටේ ජනතාවගේ බදුමුදලින් නඩත්තු වෙන නියෝජිතයන්ගෙන් සහ ලිඛිත ප්‍රතිපත්තීන් සහිත රජයකට නිකන් පාඩුවේ ඉන්න ඉඩහැරිය යුතුද, රටක කර්මාන්ත සංවර්ධනයට දායකත්වයක් දක්වන්න බැරි රජයකින් රටකට ඇති ප්‍රතිඵලය කුමක්ද. අනික රටේ ආර්ථික නියාමනය සිදුකරන පාර්ශවය විදිහට රජයේ මැදිහත්වීම කොහොමත් නව කර්මාන්තයකට අවශ්‍ය වෙනවා. ලංකාව ඇතුලේ හදන නිෂ්පාදනවල පිරිවැය වැඩි වෙන්නේ අදාල කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය වෙන අවධියකදී පමණයි බොහෝ විට, ඉන්දියානු වෙළදපොල තුල ජපන්,කොරියානු තාක්ෂණික නිෂ්පාදන ඉක්මවලා ඉන්දියානු තාක්ෂණික නිෂ්පාදන වෙළඳපොල ඉහළ ගියේ කොහොමද අන්න ලංකාවත් ඉන්නේ අද ඒ වගේ තැනක. අවශ්‍ය කරන්නේ පිරිවැයෙන් සහ ගුණත්වයෙන් වගේම රටතුළ ඇති උපනතීන් හඳුනාගෙන නවෝත්පාදනය කරන කර්මාන්ත ක්ෂේත්‍රයක් පමණයි.

      Delete
    4. සංසන්දනාත්මක ශ්‍රම පිරිවැය ආර්ථික විශ්ලේෂකයෙකුට විග්‍රහයක් කරන්න වැදගත්.ඒත් ආයෝජකයෙක් බලන්නේ ඒක නෙවෙයිනේ. අනික ශ්‍රම පිරිවැ‍ටුම වැඩි හැරයාම නිසා නම් ඒකට හේතුව මොකක්ද? ඇයි කොහෙන් ගෙනාවත් ලොකු පඩියක් දුන්නත් ලංකාවේ කර්මාන්තවලට ශ්‍රමිකයෝ හිඟ? ඇයි ලංකාවේ ඉංජිනේරු උපාධිධාරීන් පවා බැංකු වල නැත්නම් ඉංජිනේරු නොවන ක්ෂේත්‍රවලට යන්නේ? සරල උදාහරණයකට ගියොත් බලන්න මේසන් බාස් කෙනෙක්ගේ දවසි කුලිය පහු ගිය කාලේ කොච්චර ඉහළ ගියාද කියලා. රජය ප්‍රතිපත්තිමය විදිහට මැදිහත් වීමේ ගැටළුවක් නෑ.ඒත් අතපෙවීම් වැඩි වුනොත් ඒ ව්‍යාපාරයේ ස්වාධීනත්වය නැති වෙන්න පුළුවන්.

      Delete
  2. "අපෝ ඕක ලංකාවේ ද හදලා තියෙන්නේ.. ඒනම් වැඩක් නැ.."

    අපේ උන්ගේ මානසිකත්වය වැඩක් නැ. තාමත් මයික්‍රෝ කාර්වලට ඒ තරම් ඉල්ලුමක් නැත්තේ ඒකනේ...

    ඒකෙන් ඇති වැඩක් නැ... ඔය යෝජනාව පුස්සක් අපිට අපේ නිශ්පාදන ආර්ථීකයක් බිහිකරනවා කියලා හිතන එක හීනයක් බම් අපේ ගොන් හැත්ත ඉන්න තාක් කල් අපි යැපුම් ආර්ථිකයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මයික්‍රෝ කාර්වලට ඉල්ලුම නැත්තේ බොහොමයක් අනිත් වාහන ආනයනය කරන සහ අලෙවිකරණ බහුජාතික සමාගම් විසින් බොහොම දක්ෂ විදිහට පතුරවනවා ඒ එකලස් කරන වාහනවලට දෙවැනි පෙල අලෙවියක් නෑ, නැත්නම් අමතර කොටස් නෑ, එන්ජිම බාලයි, මේ මේ දෝෂ තියනවා වගේ ඒවා. ඒවට අපේ මිනිස්සුත් කන් දෙනවා. ඒත් අද ලංකාවේ මයික්‍රෝ කාර් වෙළඳාම පාඩුද? කිසිසේත්ම නෑ ආචාර්ය ලොරන්ස් ඒකට සාක්ෂි දරාවි.

      අපිට නිෂ්පාදන ආර්ථිකයක් බිහිකරන්න බෑ කියන ආකල්පය තියනකල්ම කවදාවත් ගොඩගන්න බෑ. යැපුම් ආර්ථිකයකට අපේ රටේ මිනිස්සු හුරුවුණේ ඔය ආකල්පය නිසාම තමයි.සංවෘත ආර්ථිකයක් විවෘත ආර්ථිකයක් කරපු ඉක්මණට බැරිවුණත් නිෂ්පාදන ආර්ථිකයකට අපේ රටට යන්න බැරිකමක් නෑ. උඹම පිළිගන්නවනේ මෙතන තියෙන්නේ ආකල්පමය ප්‍රශ්නයක් මිසක් සම්පත් සම්බන්ධ ගැටළුවක් නෙවෙයි කියලා. ආකල්ප වෙනස් කරන්න පුළුවන්. 2009 දෙයියෝ ගාණට සලකපු මහින්දට රටේ බහුතරයක් 2015දි පලයන් කියන තරමට ආකල්පය වෙනස්වුණානම් නිෂ්පාදන ආකල්පයක් සම්බන්ධව මිනිස්සුන්ගේ ආකල්පය වෙනස් කරන්න බැරිකමක් නෑ

      Delete
  3. ජංගම දුරකථන පමණක් නෙවේ. කුමක් හෝ රට ගොඩ දැමිය හැකි නිෂ්පාද ආර්ථීකයක් අවශ්‍යයි...!!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. නිෂ්පාදන ආර්ථිකයක් සඳහා අපිට සම්පත් තියන සහ අපේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න ශක්‍යතාවයක් තියන එක් වෙළඳපොල ක්ෂේත්‍රයක් විතරයි මේ. තවත් මෙවැනි දේ බොහොමයක් තියනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශ්‍රම වෙළඳපොල හරහා සේවා සම්පාදනය කරන ආර්ථිකයක් බිහිකරන්න අපිට පුළුවන්.වහල් ශ්‍රමයට පිරටර යවනවා වෙනුවට අපේ රටේ බුද්ධිමය සම්පත් වලින් සේවා ආර්ථිකයක් ගොඩනගන්න බැරිකමක් නෑ. දැනටමත් නිදහස් වෘත්තිකයන් විදිහට කී දාහක් විදේශයන් වෙනුවෙන් සේවා සම්පාදනය කරනවද අපේ රට ඇතුලේ ඉඳගෙන. මේ වෙළඳපොල විධිමත් කරලා ඔවුන්ට සමාජමය සහ ආර්ථිකමය වටිනාකමක් එකතු කළොත්?

      Delete