Jul 8, 2024

කඳුළු සලන ‘පැරඩයිස්‘

 

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ මහත්මයා අධ්‍යක්ෂණය කරපු ‘පැරඩයිස්‘ චිත්‍රපටය ඊයේ රාත්‍රියේ නරඹන්න පටන් ගනිද්දිම නිරායාසයෙන් මතක් වුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් ඡායාරූප සහ ප්‍රකාශන සහිතව මීට දශක කිහිපයකට කලින් ජනගත කරපු ‘කඳුළු සලන පාරාදීසය‘ කෘතිය. ඒ දෙක අතර සම්බන්ධය මොකක්ද කියන එක සම්පූර් ණයෙන්ම වගේ දේශපාලනිකයි කිව්වට වරදක් නෑ.

පුද්ගලිකව මම වැඩි කැමැත්තක් දක්වන්නේ චිත්‍රපටිය නරඹලා ඉවරවෙලා සිනමා ශාලාව ආලෝක ගැන්වුනත්, පුටුවෙන් නැගිටින්න නොහිතෙන මට්ටමට මාවම කරකවලා අතාරින් මාදිලියේ චිත්‍රපටිවලට. ඒක ක්‍රියාදාම චිත්‍රපටයක් ද, නැත්නම් කතාව හොඳටම පටවලවපු රහස් පරීක්ෂක කතාවක් ද කියන විභේදනය වෙනුවට කතා සාරය ඇතුලේ හිතන්න සෑහෙන්න දේ ඉතිරි කරලා අවසන් කරන චිත්‍රපටයක් නම් ඒ පුද්ගලිකව සෑහෙන්න රසවිඳින නිර් මාණයක්.

‘පැරඩයිස්‘ එහෙම එකක්ද? මම මගෙන් ප්‍රශ්න කලා. ‘ඔව්‘ පැරඩයිස් එහෙම තැනක තියන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක් විදිහට මම මගේ සටහන ඇතුලේ වගේම මගේ චිත්‍රපට මතක ගබඩාව ඇතුලේ වර් ගීකරණය කරලා තියාගන්නවා. ඒ ඇයි කියන එක මම මෙහෙම විස්තර කරන්නම්.

ප්‍රසන්න විතානගේ හදපු ‘පුරහඳ කළුවර‘, ‘ඉර මැදියම‘, ‘ආකාස කුසුම්‘ හෝ ‘ඔබ නැතිව ඔබ එක්ක‘ වගේ චිත්‍රපටි එක්ක එක පෙළට තියලා ‘පැරඩයිස්‘ සංසන්ඳනය කිරීම හෝ විස්තර කිරීම අරුත්සුන් ක්‍රියාවක්. ‘පැරඩයිස්‘ කියන්නේ එක පැත්තකින් කෙමෙන් කෙමෙන් මියයමින් තිබුණු ප්‍රසන්න විතානගේ නැවත පණ ලැබීමක්. සමහර විට ඒකට ඔක්සිජන් ලැබෙන්න ඇත්තේ කේරලෙන් වෙන්න පුළුවන්, නැත්නම් ඉන්දියානු සිනමා කර් මාන්තය කියන විශාල ජාලයේ මොනමහරි තැනක තියන ශක්තිමත් අත්තකින් වෙන්න පුළුවන්.

‘පැරඩයිස්‘ චිත්‍රපටයේ කතාව ඉතා විශාල පරාසයක් ඇතුලේ, වසර ගණනක් පුරා දිවයන එකක් හෝ ඉතිහාස කතාවක් නොවීම ම සෑහෙන්න වටින දෙයක්. ඉතා චූල සිදුවීමක් මහා සමාජය තුල සිදුවන සිදුවීම් මාලාවක් එක්ක සම්බන්ධ කරන්න ප්‍රසන්න දරණ උත්සහය ඉතා විශිෂ්ට එකක් කිව්වට වරදක් නෑ. හැබැයි ඒ ලංකාවේ සිනමාවට සාපේක්ෂව යි කියන එකත් කිව යුතුමයි.

ලංකාවේ ජන සමාජය තුල ආර් ථික අහේනිය සහ භාණ්ඩ හා සේවා හිඟවීමත් එක්කම 2021-22 කාල වකවානුවේ  රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කැකෑරෙන වෛරයක් ඇතිවීම, ජනතාව බහුතරයක් පාලකයා පන්නා දමන තැනට පත්වීම දක්වා කාලසීමාව ඇතුලේ සිදුවුණු සිදුවීම් ගණනාවක් අතරේ, ඉන්දියාවේ සිට ලංකාවට තමන්ගේ විවාහ සංවත්සරය සමරන්න නිවාඩුවක් ගතකරන්න එන ඉන්දියානු යුවල මුහුණදෙන අනපේක්ෂිත සිදුවීම් සමුදාය වටා චිත්‍රපටය බොහොම පරිස්සමෙන් ගැටගැහෙනවා.

රොෂාන් මැතිව්, දර් ශනා රාජේන්ද්‍රන්, ශ්‍යාම් ප්‍රනාන්දු වගේම මහේන්ද්‍ර පෙරේරා එකිනෙකට නොදෙවෙනි රංග කාර් යයක් ඇතුලේ මේ කතාවට යථාර් ථවාදී රසයක් එකතු කරනවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ බිහිවෙන බොහොමයක් සිනමාපට ඇතුලේ දකින්න ලැබෙන ‘අධි රංගනය‘ සහ ‘අතාත්වික රංගනය‘ මේක ඇතුලේ දකින්න ලැබෙන්නේ නෑ. ඒකට ඉන්දියානු නළුනිළි යුවල සැලකිය යුතු දායකත්වයක් දෙනවා, ශ්‍යාම් සහ මහේන්ද්‍ර ඒක හරි අපූරුවට පවත්වාගෙන යනවා. සෙසු චරිත පවා මේ හරය පවත්වාගෙන යන්න කටයුතු කරනවා.

කතාව ඇතුලේ සමගාමීව ගලාගෙන යන ‘රාමායන‘ කතාවේ ‘රාම-රාවණ‘ යුද කතාව සහ ‘සීතා සහ රාවණ‘ සම්බන්ධයෙන් තියන විවිධ පරස්පර විරෝධී ඉතිහාස ප්‍රකාශන ප්‍රශ්න කිරීම, ඒවා වත්මන් සමාජ සන්දර් භය ඇතුලේ හාස්‍යයට ලක්කිරීම මතු පිටින් පෙනුනත් සැබෑ ලෙසම ‘පැරඩයිස්‘ ඇතුලේ ගමන් කරන ඇත්තම කතාව රාම-රාවණ-සීතා-හනුමා කතාව කියලා ටිකක් හෙමින් කල්පනා කරලා බැලුවොත් ගලපගන්න පුළුවන්කමක් ලැබේවි.

චිත්‍රපටය වෙනුවෙන් යොදාගත්ත දර් ශන තලයන්, පසුබිම එක පැත්තකින් ලංකාවේ පාරිසරික සුන්දර බව උපරිමයෙන් පෙන්වන තැන්. ඇත්තටම ලංකාවට ‘පැරඩයිස්‘ කියලා සංචාරකයන් කියන්නත් හේතුව මේ කාරණයම වෙද්දි ඒ පාරාදීසය ඇතුලේ සිදුවෙන සුන්දර නොවෙන සිදුවීම් කොතෙක් තිබුණත්, ඒ පරිසරය ඒ විදිහටම තමන්ගේ ආවේණිකත්වය පවත්වාගෙන යනවා කියන එක පැහැදිලියි. කොහොමවුනත් මේ චිත්‍රපටය ලංකාවේ සංචාරක ව්‍යාපාරය පොඩි හරි තල්ලුවක් දෙනවා නම් ඒ පරිසර සාධකය ඉදිරියෙන්ම ඉන්නවා.

මේ චිත්‍රපටය ඇතුලේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, මලයාලි සහ හින්දි කියන භාෂා පහක් භාවිතා වෙනවා. ඒත් කිසිම තැනකදි මේ භාෂා භාවිතය නිසා කතා සාරයට බාධාවක් වෙන්නේ නෑ. රංගන ශිල්පීන්ගේ භාව ප්‍රකාශනයන් එක්ක සන්නිවේදනය කරන දේ කතාවේ අවසානය දක්වාම ‘ඇයි‘ කියන ප්‍රශනාර් ථය ප්‍රේක්ෂකයා මත රඳවාගන්න සමත්වෙනවා.

ලංකාවේ මහා සමාජය චූල සමාජ ස්ථරයන් දිහා බලන විදිහ, අර් බුදකාරී තත්ත්වයන් ඇතුලේ මිනිස් ජීවිතවල වටිනාකම තීරණය වෙන විදිහ ‘පැරඩයිස්‘ බොහොම සූක්ෂම ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙනැත් තබනවා. ඒකට මෙන්න මේ දෙබස හොඳ නිදසුනක්.

‘මනුස්ස ජීවිතයකට මෙහේ වටිනාකමක් නැද්ද‘ අම්රිතා වාහනයේ පිටිපස්සේ ආසනයේ තමන්ට එහා පැත්තේ ඉන්න සාජන් බණ්ඩාරගෙන් අහනවා.

‘තියනවා.. ඡන්දේ කාලෙට එක ඡන්දයක්!‘ සාජන් බණ්ඩාර එහෙම කියලා සෙසු නිලධාරින් එක්ක හිනාවෙනවා.

ඇත්තටම ‘පැරඩයිස්‘ කියන්නේ කඳුලු සලන පාරාදීසයක තවත් එක කතාවක්. කවිවලින්, නවකතාවලින්, ටෙලි නාට්‍යවලින්, ගීතවලින් වගේම සිනමා පටවලින් කියන ඛේදවාචකමය කතාවල තවත් එක කතාවක්. හැබැයි ඒ කතාව දිනපතා අපිට පෙනෙන, ඇහෙන එහෙත් අපි කම්මලේ බලලන් හෙණ හඬ අමතක කරනවා වගේ ක්ෂණිකව අමතක කරලා දාන කතාවක්.

තංගල්ලේදී මැරුම්කන රුසියානු තරුණිය, අඟුලාන පොලිස් මුරපොල ඇතුලේ මියයන තරුණයන්, රතුපස්වලදී වතුර ඉල්ලලා වෙඩිකන මිනිස්සු වගේම ඒ හා සමානව දිනපතා අහන කතා අතරේ ‘පැරඩයිස්‘ කියන්නේ චිත්‍රපටයක් විතරක්ම නෙවෙයි කියන එක ප්‍රසන්න ප්‍රේක්ෂකයාට සිහිපත් කරලා දෙනවා.

ඒ නිසා ‘පැරඩයිස්‘ කියන්නේ සිහිකල්පනාවෙන් බලන්න ඕන චිත්‍රපටයක්.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
2024.07.07

1 comment:

  1. රෝෂන්-දර්ශනා ‍මලයාලම් සිනමාවේ ඉතා ප්‍රිය චරිත ‍‍වීම සහ පූර්ව ප්‍රචාරක පටය සිත් ඇද ගත් නිසත් ඉක්මණින් බලන්නයි හිටියෙ. බැලිය යුතු බව තහවුරු වුණා මෙයින්

    ReplyDelete