Apr 24, 2016

පුර අටවක - පළමුවැනි කොටස


නුගේගොඩ නගරයේ ජනාකීර්ණ කාර්යබහුලත්වය අඩුවක් නොවූ එදා එළිමන් රංඟපීඨය ආසන්න භූමියේ වූයේ වෙනදාටත් වඩා කලබලයකි. කසාවතින් සැරසි භික්ෂූන්, සුදුවතින් සැරසුනු ජනතාව සහ විවිධ වර්ණ සළුපිළි ඇඳගත් මිනිසුන් සවස්භාගයේ දැඩි දාහය ඉවසමින් එක රොත්තට එම ස්ථානයේ රැඳී සිටියහ. කහ පැහැති කොඩි සහ බෞද්ධ කොඩි ගුවනේ සරුවට ලෙලදෙමින් තිබුණු අතර යකඩ කටවල් තුළින් ජාතික අභිමාන ගී සහ මොහිදීන් බෙග් ගේ හඬ ගුවනට මුසුවෙමින් තිබිණි. කොහුවල දෙසින් පැමිණෙන රථවාහන මෙන්ම, නාවල දිසාවේ සිට පැමිණෙන වාහන නුගේගොඩ නගර මැද තිබූ ජන පෙළගැස්ම හේතුවෙන් එක පෙළට මාර්ගය අතරමැද තදබදයට හසුවී තිබිණි. දිගින් දිගටම ඇසෙන වාහන නළා හඬට යකඩ කටේ ශබ්දය නතරකල නොහැකි විය.

අති බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව පෙරටු කරගත් බොදු රැළිය ආරම්භ කරන්නට සියළු කටයුතු සංවිධානය කර තිබිණි. ගිහි පැවිදි කථිකයන් සහ ප්‍රභූවරුන් ඒ වනවිටත් වේදිකාවේ අසුන්මත රැඳී හුන් අතරම රැළිය ආරම්භවන තෙක් දෑස් දල්වාගෙන සවන් යොමාගෙන සිටි ජනතාව වේදිකාව මත සිටින්නන් දෙස අවධානයෙන් බලා සිටියහ. එවකට ලංකාවේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම් ගණනාවකට සම්බන්ධ සංවිධානයක් විසින් මෙහෙයවන මෙම රැළියේ ප්‍රධාන කථා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබිණි. ලේ කකියන මුහුණු සහිතව ජනතාව අපේක්ෂාවෙන් සිටියේ ඒ කතා මිස යකඩ කටින් ඇසෙනා ගීත නොවේය.

කලබලයක් ඇතිවේයැයි බියෙන් බොහොමයක් මුස්ලිම් සහ දෙමළ වෙළඳ ව්‍යාපාරිකයන් නුගේගොඩ සහ තදාසන්න තමන්ගේ වෙළඳ ව්‍යාපාරික ස්ථාන කලින්ම වසාදමා නිවෙස්වලට හෝ රැළිය ඇසෙන මානය තෙක් ඈතට ගොසින් උන්හ. සිංහල ජනතාව සමග ඉතා ලඟින් ඇසුරු කරන අන්‍ය ජාතික ව්‍යාපාරිකයන් පවා අවිනිශ්චිතතාව නිසා පොදු තීරණයට එකඟවී තිබිණි. එසේම ඔවුන්ට එසේ කරන්නට සිදුවීමේ කලින් කරන ලද දැනුම්දීමකට අනුවද යන්න සැකයක් විය. කෙසේ වෙතත් ඒ වනවිට නුගේගොඩ සම්පූර්ණයෙන්ම පැවතුනේ රැළියේ මානසිකත්වයෙන් මිස අන්කිසිවකින් නොවේය.

“ජාතිමාමකත්ව සහ මේ සිංහල බෞද්ධ රාජ්‍යය තුල අපේ ජනතාවගේ අයිතිය සුරකින්නටත්, බෞද්ධ ආගමත්, සිංහල ජාතියත් බේරාගැනීම සඳහා මෙහි රැස්ව සිටින ජාති හිතෛශී ජනතාව ඉතා ගෞරව පූර්වකව පිළිගන්නට කැමැත්තෙමු“

පූර්විකාව සමගින් ඇරඹි රැළියේ මුල් කථා දෙක තුනම ඉතා ආවේගශීලී සහ රළු කතාවන් බවට පත්විය. ජනතාවගේ ලේ කකියන තරමට අරමුණ සාක්ෂාත් කරගත හැකිබව අවබෝධකරගත් ගිහි පැවිදි කථිකයන් එය තම හැකි පමණින් ඉටුකිරීමට කටයුතු කරන ලදි. එහෙත් එහි පැමිණි අති බහුතරයක් ජනතාව අපේක්ෂාවෙන් සිටියේ එකම එක පැවිදි කතාවක් කෙරෙහි බව එහි සිටි සෙසු කථිකයන් පවා දැන උන්හ. ඒ අවස්ථාව අවසානයේ උදාවිය.

“සිංහල බෞද්ධයාට උරුම මේ දේශයේ ඒ අයිතිය නැවත තහවුරු කරන ජාතික සටනට අප්‍රතිහත ධෛර්යයෙන් සහ නොසැලෙන වාග් චාතුර්යයෙන් දායකත්වය සහ නායකත්වය ලබාදෙන යොවුන් පැවිදි හඬ පූජ්‍යපාද පරවාහැර කස්සප හිමියන්ට පාද නමස්කාරපූර්වකව ආරාධනා කරන්නේ ඔබ සැම ආමන්ත්‍රණය කිරීමටයි“

නිවේදකයාගේ ඒ ස්වරයත් සමග ජනතාවට සාදුකාරය සහ අත්පුඩිය පැටලී ඇතිවූයේ මහා ගෝෂාවකි. ඒ වනවිටත් අති විශාල ජනකායක් නුගේගොඩ නගර මධ්‍යයේ එක් හිස් ගොඩක් බවට පත්ව පෙළගැසී සිටි අතරේ එක්වරම ඔවුන්ගේ ශබ්දය අවසන්ව නිහඬතාවයක් රජයන්නට පටන් ගත්තේ කස්සප හිමියන් මයික්‍රෆෝනය අසලට පැමිණ උගුරේ රැල් බුරුල්කර සිය යොවුන් හඬ ගුවනට මුසු කරමින් “අවසරයි“ යනුවෙන් සුපුරුදු ලෙස සිය කතාව ආරම්භකල සැනින්ය. ගාම්භීර ස්වරයත්, උස් පහත්වන හඬ සහ සූක්ෂම වචන ගැලපීම්, ගැඹුරු වචන සමගින් මුසුවන ඒ දේශනය ලංකාව පුරා කස්සප හාමුදුරුවන්ට පක්ෂ සහ විපක්ෂ මත දරන්නන්ගේ සැලකිල්ලට සහ ඇගයීමට ලක්ව ඇත්තේ එවැනි අතිදක්ෂ සාධක ඒ තුල ගැබ්ව ඇති නිසාවෙන්ය.

“දේශමාමක මගේම ආදරණීය අම්මේ,තාත්තේ සහෝදර සහෝදරවරුණි, අපි රැඳී ඉන්නේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවකයි. ඒ තීරණාත්මක අවස්ථාව තුල අප ගන්නාවූ තීරණවලින් අපේ ඉරණම සහ ජාතියේ,ආගමේ,දේශයේ ඉරණම තීන්දුවන බව හොදින් අවබෝධකරගෙන ඒ තීන්දු ගතයුතුයැයි මා තරයේ අවධාරණය කොට ඔබට කියනවා. දැන් තියෙන්නේ ජාතියද,ආගමද නැතිනම් මරණයද කියන තැනට අපට පත්වන්නට සිදුව ඇති තැනක්. උපන් බිම, වැදූ මවමෙන් ආරක්ෂාකල යුතු මොහොතක්. අප බිහිකල අපේ ජාතිය හෘද ස්පන්දනය මෙන් රැකිය  යුතු මොහොතක්, අප ආධ්‍යාත්මිකව පෝෂණය කරන අපේ බෞද්ධාගම අපේ පණ නල මෙන් රැකිය යුතු මොහොතක්. එයට ඉතාමත් උනන්දුවෙන් දායක වෙන ඔබ සැමට හිස නමා ආචාර කරන්නට මම පසුබට වෙන්නේ නෑ“

ජනතාව දෙසින් ඒ වචන සහ අදහස්වලට එල්ලවෙන්නේ කණ් අඩි පුපුරන අත්පොලසන් නාදයකි. හාත්පස ජනතාව දෙස බලමින් දෑතින් අංග චලන මනාලෙස භාවිතා කරමින් සිදුකරන කස්සප හිමියන්ගේ කතාවට ඇතැම් භික්ෂූන් පවා ලොබ බඳින්නේ එහි ඇති සාර්ථකත්වය නිසා වන්නට ඇත.

“කාලයක් අපිට දෙමළුන් නිසා උණ්ඩයට, බෝම්බයට බයේ ජීවත් වෙන්නට වුණා. ඒත් එදා සුද්දගේ,පරංගියගේ බයිනේත්තුව ඉස්සර දණින් නැමුනේ නැති අපේ මිනිස්සු කොටියගේ ඒ බෝම්බ වලට දණ නොනමා මේ රට නැවත අපේ රටක් බවට පත්කලා. දැන් දෙමළාගේ බල බිදෙද්දි, හම්බයා මේ රටේ වසංගතයක් බවට පත්වෙන්න පටන් අරගෙන. නැගෙනහිර උන්ගේ වෙනම රාජ්‍යයක් බවට නිළ නොවන ලෙස දැනටමත් අත්පත් කරගෙන ඉවරයි. එහේ ඉන්න අපේ සිංහල ජනතාවට උන්ගේ ත්‍රස්තවාදයට පණ බයේ ජීවත්වෙන් වෙලා, නැත්නම් ගම්බිම් අතෑරලා එන්න වෙලා..තවදුරටත් අතපය හකුලගෙන වක ගැහිලා ජීවත්වෙලා වැඩක් නෑ මගේ ආදරණීය අම්මේ තාත්තේ“

කස්සප හිමියන්ගේ වදන්වලට හිස වනමින් ඒවා අනුමත කරමින් වයෝවෘද්ධ පුද්ගලයාගේ පටන් කුඩා දරුවා දක්වාම විවිධ වූ ප්‍රතිචාර දක්වන බව පෙනෙන්ට තිබිණි. ඒ ප්‍රතිචාර තුළින් කස්සප හාමුදුරුවන් තව තව ආවේගය මුුසු කතාවකට මුලපුරන බව පෙනෙන්නට තිබිණි. මාධ්‍ය නාලිකා ගණනාවක්,පුවත්පත් මාධ්‍යවේදීන් කැමරා සට සට ගා ශබ්ද නගමින් තිබිණි. කැමරා ගණනාවක් උන්වහන්සේ දෙසට යොමුව තිබුණේ එදින රාත්‍රියේ ප්‍රමුඛ පුවත වන්නේ නුගේගොඩ බොදු රැළිය සහ කස්සප හාමුදුරුවන්ගේ කතාව බව සනාථ කරමින්ය.

“හම්බයන්ගේ ව්‍යාප්තවාදයට ඉඩදීලා මේ අපේ සුන්දර ලංකාව තවත් අරාබියක් කරගන්නවද නැත්නම් මේ ගෞතම බුද්ධ පාද ස්පර්ශයෙන් සුසිල්වත් වුන ලංකාව තව දුරටත් අපේ ධර්මද්වීපය කරගන්නවද කියන තීරණ දෙකයි අපි ඉදිරියේ තියෙන්නේ. ඇත්තටම මේ තීරණ දෙකෙන් අපිටනම් තියෙන්නේ එකම එක තීරණයක්. ඒ මේ අපේ සිංහල බෞද්ධ රට අපේම රට විදිහට ආරක්ෂා කරගන්නවා කියන එකයි. ඒකට මේ බුද්ධ චීවරය පාවඩයක් කරන්න මමවත් අපේ මේ ගරුතර ත්‍රෛනිකායික හාමුදුරුවන් වහන්සේලාවත් දෙපාරක් හිතන්නේ නැති බව මට විශ්වාසයි. එහෙනම් අපේ ආගම, ජාතිය මේ වෙලාවේ අපෙන් ඉල්ලන එකම දේ හම්බයාගේ ව්‍යවසනයෙන් මේ රට බේරලා දෙන්න කියන එකයි දයාබර අම්මේ,තාත්තේ, සහෝදර සහෝදරයිනේ..ඒ යුතුකම දිවි දෙවනිකොට ඉටුකරන්න අපි එක්ක පෙළගැහෙන්න කියලයි අපි ඉල්ලන්නේ“

ජනතාව දෙසින් නැගෙන්නේ කෑගැසීම සමගම මුසුවුණ හෙණ හඬ බඳු අත්පොලසන්නාදයන්ය. බොහෝ වේලාවක් කතාවේ ඉතිරි  කොටස ආරම්භකරගත නොහැකිව කස්සප හාමුදුරුවන්ට සිටින්නටවූයේද ඒ ප්‍රතිචාරයන් අවසන්වන තුරුය.

ඒ අතරම සිදුවෙමින් පැවතියේ කිසිවෙකුත් විශ්වාස නොකල සහ අපේක්ෂා නොකල සිදුවීමකි. වේදිකාවේ පසෙකින් තිබූ පඩිපෙල අසලට ජනතාව අතරින් ගමන් කරමින් උන්නේ සුදු පැහැති ලෝගුවකින් සැරසී හිසට ඇත් දළ පැහැ ඉස්ලාම් ආගමික තොප්පියක් පැළදගත් මුස්ලිම් ජාතිකයෙකි. වයස අවුරුදු තිස් පහකට නොවැඩි මේ පුද්ගලයා ඉතා අසීරුවෙන් ජනතාව විවිද වූ තෙරපීම් කරද්දී වේදිකාව අසලට පැමිණ හිණි පෙලට පළමු අඩිය තබන විටම වේදිකාව වටා සුදු වතින් සැරසී අත්වැල් අල්ලමින් ආරක්ෂාවට රැඳී සිටි තරුණයන් කිහිප දෙනෙක් ඔහු වැලැක්වීය. නමුත් ඒ පුද්ගලයා තරුණයන්ගේ කණට කර යමක් පවසා කස්සප හාමුදුරුවන් පෙන්වල ලදි. වේදිකාව ඉදිරිපස කොටස පෙනෙන් සියළු ජනතාව, මාධ්‍ය මෙන්ම වේදිකාව මත සිටි කස්සප හිමියන් ඇතුළු පිරිසගේද අවධානය යොමුව තිබුණේ මේ මුස්ලිම් ජාතිකයා දෙසටය. ආරක්ෂාවට සිටි තරුණයෙක් පඩිපෙල තරණය කර මයික්‍රෆෝනය අසල විමතියෙන් බලාසිටි කස්සප හිමියන්ගේ කණට කර යමක් කියන්නට විය. එයින් කස්සප හිමියන්ගේ වික්ෂිප්තභාවය තවත් වැඩිවන්නට වූ අතර සිදුවෙමින් පවතින දේ පිළිබඳ අවබෝධයක් නැති ජනතාව සහ මාධ්‍යවේදීන් එකිනෙකා කතා කිරීම නිසා මහා හඬක් වේදිකාව ඉදිරියෙන් ඇසෙන්නට විය. 

මුස්ලිම් ජාතිකයා තරුණ ආරක්ෂකයන් සමග පඩිපෙලේ පලමු අඩියේ සිටින විට කස්සප හිමියන් පඩිපෙල බැස මුස්ලිම් ජාතිකයා අසලට ගියේ සැවොම විමතියට පත්කරමින්ය. කස්සප හාමුදුරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැකයෙන් ආරක්ෂකයාන් සීරුවෙන් සිටින බවක් පෙනෙන්නට තිබුණත් මුස්ලිම් ජාතිකයා සිටියේ හානියක් සිදුකරන සූදානමක නොවන බව පැහැදිලි විය. අවසානයේ කස්සප හාමුදුරුවන් ආගන්තුක මුස්ලිම් ජාතිකයා අසලට පැමිණියහ. එවිට මුස්ලිම් ජාතිකයා පහත්වී ඉතා ගෞරවයෙන් කස්සප හිමියන්ට වැන්ඳ අතර හැඟීමකින් තොරව විමතියටපත්ව හිමියන් “තෙරුවන් සරණයි“ යනුවෙන් ආශිර්වාද කලහ. මොහොමතකින් හාමුදුරුවන්ගේ වම්කන වෙත තම මුව ලංකල මුස්ලිම් ජාතිකයා යමක් හාමුදුවන්ට පවසන්නට විය.

“අපේ හාමුදුරුවනේ..ඔබ වහන්සේ නෑකමට මගේ සහෝදරයා..මට මේ වෙලාවේ ඔබවහන්සේ එක්ක ටිකක් කතාකරන්න අවශ්‍යයි“

ඒ කතාවෙන් දැඩිසේ විමතියට සහ අවිශ්වාසී තත්ත්වයකට පත්වූ කස්සප හාමුදුරුවන්ට කුමක් කලයුතුද, නොකලයුතුද යන්න තීරණය කල නොහැකිවිය. ඒ කතාව විශ්වාස කරනවාද, අවිශ්වාස කරනවාද යන තීරණ දෙක අතර කස්සප හාමුදුරුවන් දෝලනය වන්නට විය. කෙසේ වෙතත් පවතින තත්ත්වය අනුව තමන්ට නැවත මයික්‍රෆෝනය වෙතට ගොස් පෙරසේ කතාව ආරම්භකරන්නට තරම් මානසිකත්වයක් නොමැතිබව කස්සප හාමුදුරුවන්ට වැටහුණු අතර සිහින් හඬින් අවසානයේ “හොඳයි“ යනුවෙන් පමණක් පැවසීය.

සුදුවතින් සැරසී ආරක්ෂාව දුන් තරුණයන් කිහිපදෙනෙක් සහ ආගන්තුක මුස්ලිම් ජාතිකයා සමග කස්සප හිමියන් වේදිකාව පිටුපසින් පිටිව යන විට ජනතාව,මාධ්‍ය මෙන්ම වේදිකාව මත සිටි පිරිසගෙන්ද එල්ලවූයේ දැඩිලෙස විමතිය පලකල ප්‍රතිචාරයන්ය. කුමක් සිදුවෙන්නේද කියා කිසිවෙකුට අවබෝධයක් නැතිවිය. පිටව යන්නට පෙර තමන්ගේ දෙවනියා යැයි කස්සප හිමියන් සැලකූ කිරිමැටිමුල්ලේ ධම්මකිත්ති හිමියන්ට ලංවී කීවේ “රැස්වීම පොඩ්ඩක් බලාගන්න..මම පුළුවන් ඉක්මණට එනවා “යන්න පමණකි. එයට ධම්මකිත්ති හිමියන්ද “හොඳයි අපේ හාමුදුරුවනේ“ කීවා මිසක් උන්වහන්සේටද සිදුවන්නේ කුමක්ද කියා අවබෝධයක් නොවීය.



3 comments:

  1. කතාව මෙච්චර දුර ගෙනත් දෙකට කැඩුවේ තමුසෙගෙ පොයිය නේ ඕයි. ඉතුරු ටිකත් ලියන්න තිබුනනේ අර මුලින් ලියලා තියන බොරු පොයිය නැතුව.

    ReplyDelete
  2. හ්ම්............. ටිකක් අමුතු කතාවක්..... බොදුබල සේනාව.... මහපාරේ ආගම ඇදහීම..... උසාවි ප්‍රශ්ණය.... ආණ්ඩුවේ වෙනසත් සමග හෙළී වූ බොදුබල සේනාවේ සම්බන්ධතා එක්ක මේක කියෙව්වා ම ටිකක් අමුතු හැගීමක් ඇති කරා.... බදාදා වෙනකල් බලා සිටින්නෙමු..... ජයවේවා

    ReplyDelete