May 2, 2013

නිවනට මැතිඳු අප රංජිත් නවරත්න





ජනමන දිනා සුන්දර ඇතුගල් පුරයේ
සිරිලක් බිමට නිති සවියක් වී නිතියේ
දම් පැහැ ධජය බැබලූ ලෙස නිති සවියේ
සිහිකල මනා නුඹ නාමය නිති දිවියේ

සිරිමත් විජය මැතිඳුන් පසෙකින් උන්න
මහජන පක්ෂයට නායක බල දුන්න
හිතඇති මිනිසෙක්ව නිරතුරු පණ දුන්න
ඔබ නැති අඩුව යලි නුඹගෙන් පුර වන්න

අදියුම් අදියුරුන් ලෙස සේවය කලද
සේවය මනුසතුන් වෙත අමතක නොවෙද
අඩුනැති සිහල ගැමි ගුණ ඔබ සතු වුවද
නුඹ කිව් ලෙසම කළු සිංහල වෙන කව්ද

සවනට මිහිරි බස හැසිරූ හඬරතන්
දනනට නිතර අතහිත දුන් සුරරත්න
රටකට ඇතුගලින් පණදුන් සවිරත්න
නිවනට මැතිඳු අප රංජිත් නවරත්න


අප අතරින් හදිසියේ වියෝවුණ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ආචාර්ය රංජිත් නවරත්න මැතිතුමන්ට නිවන් සුව අත්වේවා!

May 1, 2013

“සිතුවම“ කෙටි කතා එකතු - අපේ ඉසව්වෙන් පුංචි තිළිණයක්

“අපේ ඉසව්ව“ බ්ලොග් අඩවිය සයිබර් අවකාශයට එක්කරලා පසුගිය අප්‍රේල් 17 ට අවුරුදු තුනක් සපිරෙනවා. සිංහල බ්ලොග් අවකාශය තුල වසර තුනක් පුරාවට ලියපු දේවල් වලට බොහොම ඉහල ආත්ම තෘප්තියක් තිබෙන බව කිව යුතුමයි.අපේ ඉසව්ව බ්ලොග් අඩවියේ නිවුන් සහෝදරයා වන “සිතුවිලි පලස“ බ්ලොග් අඩවියත් කවියෙන් අවුරුදු තුන සපුරන්නෙත් එදාටමයි.ප්‍රතිපත්තියක් විදියට වසර 4 ක් සිංහල බ්ලොග් අවකාශයේ රැඳෙමින් වසර තුනක් බ්ලොග් රචනයේ යෙදෙමින් ආරක්ෂා කරපු දේ තමයි රටට,සමාජයට හෝ පුද්ගල මනසට අහිතකර නොවන සදාචාර සම්පන්න බ්ලොග්කලාවක යෙදීම සහ පුද්ගල චින්තන අභිවෘද්ධීයට,වින්දනයට,දැනුමට වඩාත් වැදගත්වන දේ රචනයේ යෙදීම කරන්නට ලැබුණ එක බොහොමත්ම සතුටක්.

    ඉතින් අවුරුදු තුනක් සපිරුන දවසේ දෙන්න හිටපු පුංචි තිළිණයක් පමා වෙලා හරි ඔබට අද දෙන්න හැකිවුණා. ඒ තමයි මම විසින්ම රචනා කරපු “සිතුවම“ කියන කෙටි කතා එකතුව. මේ කෘතිය ඊ-පුස්තකයක් විදියට පහතින් බාගත(Download) කරගන්න ඔබට පුළුවන්. 

Apr 30, 2013

“අපි ගෙවන්නේ නෑ“...හරියයිද?


විදුලිබිල වැඩිවූයේ එසේ මෙසේ ප්‍රතිශතයකින් නොවේ.එය ඉතිහාසයේ සුවිශාලතම ගාස්තු ප්‍රතිශතක වර්ධනය ලෙස වාර්තාවේ. එපමණක් නොව එයින් වැඩිපුරම බලපෑම සිදුවන්නේ මසකට විදුලි ඒකක 120ට අඩු පරිභෝජනයක් වාර්තාවන පාරිභෝගිකයන්ටය. එනම් මෙරට විදුලි පරිභෝජනයෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් විදුලි ඒකක 120ට අඩු ප්‍රමාණයක් පරිභෝජනය කරන මෙරට අඩු ආදායම් ලාභීන්ය. ඔවුන්ගේ විදුලි බිල සීයට සීයකින් වර්ධනය වීම කොතරම් ආශ්චර්යමත් කාරණයක්ද යන්න ඔබට වැටහෙනු ඇත. මේ රජයට ඡන්දය දුන් අය ලෙස අපිට මෙය විවේචනය කිරීමට අයිතියක් ඇත, එසේම ආණ්ඩුවට ඡන්දය නොදුන්නත් ඡන්දය කටුගෑවත් මෙරට ප්‍රවේණිගත අයිතියක් සහිත ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක සිවිල් වැසියෙක් ලෙස ඔබට සහ අපට මෙය විවේචනය කිරීමේ අයිතියක් ඇත.

Apr 29, 2013

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නැවතත් මරාදැමූ වග

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ආයෙත් මාර දැම්මා. ඒ අන්කව්රුවත් නොව මේ රට විසින්මය. භාරත සීයට සීයක් හොඳ මිනිහෙක් නොවිය  හැක. එහෙත් ඔහු නරක මිනිහෙක් නොවේ. විජය කුමාරණතුංග නම්වූ මානව හිතවාදී මිනිසාගේ සෙවණැල්ලක් පරිද්දෙන් දේශපාලනයට අත්පොත් තැබූ ඔහු කොලොන්නාවට ලකී අයියා වූ අතර රටට භාරත විය. මීට වසරකට වැඩි කාලයකට පෙර මහ පාරේ වෙඩි කා නිකරුණේ පලමු වතාවට මිය යන්නට පෙර ඔහු ජනාධිපතිතුමන්ගේ වෘත්තීය සමිති උපදේශකවරයා විය. ඔහු වෙඩි කෑවේ පලාත් පාලන මැතිවරණයේ කොලොන්නාවේ තම සගයන් වෙනුවෙන් පෙනී සිටීමෙන්ය. අන්තිමට එදා ඔහු පෙනී සිටි කාණ්ඩයත් ඔහුගේ නාමය හැරයන තත්වයට පත්ව තිබීමෙන් භාරත පෙනී සිටිය එවුන්ගේ වත්මන ගැන උපදින්නේ චිත්ත සංවේගයකි.

Apr 25, 2013

ෆැන්ටසි පුරය - 4 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3
 


“මේ මමද?“

මේකි සැරදාපු සද්දෙට මගේ කටේ කෙලත් නැතිවුණා ගිලින්නවත්.

“ඔව් නැත්නම් කව්ද කන්න වගේ මම යනවා බලාගෙන හිටියේ මෙතන..වෙන කව්රුවත් නෑනේ..“

ලැජ්ජාව කියන දේ දෙගොඩතලා යනවා. වෙලාවට ඇහෙනමානේ කව්රුවත් නෑ. රිද්මයගේ කාමරේ උඩ තට්ටුවේ වුනාට මේ වෙලාවේ ඌ ගෙදර නොහිටියේ පෙර පිනකට. මට කියන්න දෙයක් තිබුණෙත් නෑ මේ යෝදිට.

“මම..මම බැලුවෙ නෑ..ඔයා යන දිහා..මගේ මේ රුපියල් දහයක් වැටුණා..මම ඒක බැලුවා“

අපේ සද්දෙට රත්ගමයත් කාමරේ දොර  බාගෙට ඇරලා ඔලුව දාලා බැලුවා.උගේ ඔලුවේ කැක්කුම මෙච්චර ඉක්මණට හොඳවෙලාද උගුඩුවා.

“ඇයි මචං අකියා...මොකුත් අවුලක්ද?“

“නෑ බං මේ රුපියල් දහයක් වැටුනා..ඒක හොයනවා..“

Mar 29, 2013

ෆැන්ටසි පුරය - 3 වැනි කොටස

පසුගිය කොටස් 1 2


“මම මේ....කා....රුණිකව නිකුත් කරන...අවෂන් නිවේදනයයි...කරු....ණාකරලා දොර අරිනවද නැද්ද? “

බීලා කණමදයා වගේ බෙරිහන් දෙන පොරගේ සද්දේ එන්න එන්නම වැඩිවුණා.

“කව්ද බං ඒ මධුමාධව?“

රත්ගමයා සරමත් බඩ උඩට කරලා ඇඳගෙන ශයංගයගෙන් ඇහුවා. ශයංගයත් කණදාලා හෙමීට උත්තර දුන්නා.

“ඔය සුජාතා ආන්ටික දයාබර පුත්‍ර රත්නය...රිද්මයා...ගෙදර එවුන් කියන්නේ පොඩි මෑන් කියලා..ෆැන්ටසි පුරේම දන්නේ ඒ නමින්..නොබී ඉන්න වෙලාවට හෙණ හොඳ පොර..බිව්වට පස්සේ පිස්සු කෝච්චිය..ඔය අදත් කොහේ හරි සෙට්වෙලා වගේ...“

එතකොටම පහල දොර අරින සද්දේ ඇහුණා. ඒ එක්කම රිද්මයාගේ කෑ ගැහිල්ලත් නැවතුනා.

Mar 19, 2013

සීනි ඇමතිතුමාට කෝල් එකක්..


පාරේ දූවිලි අවුස්සමින් පරිවාර ආරක්ෂක රථ හා සන්නද්ධ සෙබළුන් සමග පැමිණි ඇමතිතුමාගේ සුඛෝපභෝගී රථය අමාත්‍යංශය ඉදිරිපිට නතර කලහ. ඇමතිතුමා සාඩම්බර ලීලාවෙන් වාහනයෙන් බැස නිකමට මෙන් උඩ බැලුවේය. ඔහුට මතක් වූයේ දින ගණනකට පෙරාතුව ලක්ෂ ගණනක් වියදම් කර අමාත්‍යංශය තමන් පිලිගැනීමට පැවැත්වූ උත්සවය දවසේ මෙතැන සවිකර තිබූ දැවැන්ත තොරන් රාජයාය. එය මතක්වී ඇමතිතුමාගේ මුවට සිහින් සිනා රැල්ලක්ද මතුවීය.

ඉක්මණ් ගමනින් පිරිවර සමග ඇමතිතුමා අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුලුවිය. සියලුම කාර්ය මණ්ඩල සේවකයන් නැගිට එතුමන්ට ආචාර කලහ.

“ගුඩ් මෝර්නින් ඇමතිතුමා...“

“ගුඩ් මෝර්නින්“

Mar 16, 2013

ෆැන්ටසි පුරය - 2 වැනි කොටස



වැඩි වෙලාවක් සහ මහන්සියක් නැතිව මටත් රත්ගමයාටත් සුජාතා ආන්ටිගේ ගෙදර හොයාගන්නට පුළුවන් වෙච්ච එක හොඳට ගියා. නැත්නම් දවල්ට කාපු දේවල් ඉවරවෙනකන් හොයන්න උනානම් රෑට කන්න වෙන්නේ දත්මිටි තමයි. ගෙදර හොඳට හදපු සුන්දර පිලිවෙල ගෙයක්. වටේ පිටේ ගෙවලුත් එක වගේම තමයි. කොහොමත් ෆැන්ටසි පුරේ ගෙවල් සේරම එකම ක්‍රමේකට වගේ තමයි හදලා තිබුණේ. සුජාතා ආන්ටි මැද වයසේ බොහොම ප්‍රියමනාප කෙනෙක්, අපි බොහොම සුහදව  පිළිඅරගෙන සාලෙට එක්කගෙන ගිහින් බොන්න බීම එකකතු හදලා දුන්නා.

“මේ දරුවෝ දෙන්නා කොහේ කියලද කිව්වේ?“

සුජාතා ආන්ටි ප්‍රශ්න වටය කෙටි ප්‍රශ්නයකින් ආරම්භ කලා.

“මම ගාල්ලේ, මෙයා රත්ගම ආන්ටි..“

මම කිව්වම බීම එක අස්සෙන් රත්ගමයා විරිත්තුවා. ආන්ටි හිනාවෙලා උත්තරේ පිලිගත්තා.

Mar 12, 2013

ඇමතිතුමෙක් සිය පුත්‍රයාගේ ගුරුවරියට ලියූ ලිපියක්


දයාබර ගුරුතුමිය වෙත,

ලොව සියලු දෙනාම රජ වන්නේ යහපත් රාජ්‍ය පාලකයන් යටතේය, නුවණින් ඒ පාලකයන් සවිමත් කිරීම අදියුම් දෙන්නන්ගේ ශක්තියෙන් බව ලොවම දන්නා කරුණකි. එබැවින් යහපත් රාජ්‍ය පාලකයෙක් වන්නට සිටින මාගේ පුත්‍රයාට මේ තතු කියාදීම ඔබ සතු යුතුකමක් මෙන්ම එය ඔබට මතක් කිරීම මා සතු වගකීමකි.

කුඩාකල පටන් රිදී හැන්ද මුවේ තබා පැමිණි රජ පැටියන්ට මහපොලවේ කර්කශ්ඨක බව උරුම නැති බව මාගේ පුත්‍රයාට කියාදෙන්න. අතට පයට දැසි දස්සන් ගෙදර සිට මිදුලට යාමටත් යාන වාහන ලැබෙන්නේ පෙර පිනෙන් සහ සිය පියාගේ මානව දයාව හා කැපවීම නිසාවෙන් බව ඔහුට කියා දෙන්න. කිසි විටක සාමාන්‍ය පන්තියේ මිතුරන් ආශ්‍රය නොකිරීමටත් හැකිතරම් ව්‍යාපාරික පන්තියේ හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නැතිනම් නමගිය අපරාධකාරයන් මට්ටමේ මිතුරන් පමණක් ආශ්‍රය කිරීමට ඔහුට මග පෙන්වන්න, එය අදටත් වඩා හෙටට ඔහුට මහා ශක්තියක් සහ පසුපසින් පැමිණෙන් බලමුළුවක් වනවා නියතය.

Mar 9, 2013

ෆැන්ටසි පුරය - පලමුවන කොටස

බස් එක එහෙට මෙහෙට පැද්දි පැද්දී වරු ගණනක් ගාටන්නට විය. එකම ෂීට් එකේ වාඩි වෙලා “වැනියන් කළු වැනීයන්..“කිය කිය ඇවිත් තිත්වෙලා හිටපු වෙලාවක කොන්දොස්තර සහෝදරයා හදවත කූල් වෙන ප්‍රකාශයක් කලා.

“ෆැන්ටසි පුරේ බහින අය ඉස්සරහින් බහින්න“

මම වැනි වැනී නොනිදා හිටිද්දී ෂීට් එකේ අනිත් පැත්තේ තඩි බෑග් එකකුත් බදාගෙන භූතයෙක් නිධානයක් රකින්න වගේ නිදාගෙන හිටියේ රත්ගමයා..නම නම් වෙන මොකක්ද එකක්. ඒත් දන්න දවසේ ඉඳලා කියන්නේ රත්ගමයා කියලා නිසා මේ කතාවටත් ඒකම පාවිච්චි කරනවා. මම අත මිට මොලවලා රත්ගමයගේ ඔලුවට ඇන්නා..රත්ගමයා උඩගිහින් ඇහැරිලා ඇස්දෙක පිහදාලා කුණුකෙල පිහදාලා මගේ දිහා බැලුවා.

“ඇයි මූසලයෝ“

“යකෝ බහින තැන ඇවිත් බැහැපන්..“

රත්ගමයා දඩිබිඩි ගා හතර වටේ අතගා අඩුපාඩු අහුලාගත්තේය. මම ඉස්සරහින් බහින්නට දොර ලඟට ගියා. එතකොටම බස් එක නැවැත්තුවා. රත්ගමයා හදිස්සියට පිටිපස්සෙන් බහින්න ගියා.

“පස්සෙන් බහින්න එපා කිව්වා නේද...මෙච්චර කියද්දිත් පස්සෙන්ම සෙනග අස්සේ රිංගනවා...මොකක්ද මහත්තයා ඉස්සරහින් බහින්න බැරිද“