Sep 19, 2010

අහිංසක මේ ඇස්...හැමදාම අහිංසකයි.. [ ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර ]


සුහර්ථ,

මම දන්නේ නෑ මේවගේ ලියුමක් ලියන එක හරිද වැරදිද කියලවත් නමුත් මේදේ මම නොකලොත් මගේ හිතට තවත් ලොකු වදයක් වෙනවා. එකයි අමාරුවෙන් හරි මෙහෙම ලියන්නේ. අපි දෙන්නම කැම්පස් එකට ආවේ එකම දවසේ. අපි දෙන්න විතරක් නෙවෙයි රවිදුත් එහෙමයි. රවිදු මුල ඉදලම මගේ ළඟ හෙවනැල්ලක් වගේ හිටිය. මට රවිදු ආදරේ කරනවා කියල දැනගත්තම මට ගොඩක් ලොකු සතුටක් දැනුන. මම එදා වගේම තමයි රවිදුට ආදරේ කරන්නේ. එකේ පොඩි හරි අඩුවක් තියනවා කියලා ඔයා වැරදිලාවත් හිතන්න එපා.

රවිදු කියන්නේ නිශ්ශබ්ද කෙනෙක් විතරක්ම නෙවෙයි හැමදේම හොදට හිතලා බලලා වැඩ කරන කෙනෙක්. එයට ලොකු ඉවසීමක් තියනවා, එකයි වැඩියත්ම මම එයට ආදරේ කලෙත් ඒ වගේම කරන්නෙත්. ඔයාව මම මුලින්ම දැක්කේ කැන්ටීන් එක ගාව පඩිපෙලේදී. එතකොටත් රවිඳුට මගේ ආදරේ දීල ඉවරයි. එකම බැජ් එකේ උනත් ඔයාව මම දැක්කේ එදාමයි. එකත් අහම්බෙන්. මම එදා ඔයා දිහා වුවමනාවකින් බැලුවේ නෑ අදටත් එකේ වෙනසක් නෑ. එදා පඩි පෙලේදී මම රවිඳුගේ කැප් එක දාගෙන හිටිද්දී ජීවිතේට කතාකරලා නැති ඔයා කොහෙද ඉඳගෙන ඇවිත් " ඔයා ඔය කැප් එක දාගෙන හිනාවෙනකොට හරිම සුන්දරයි" කියල කිව්වම මම ගල් ගැහිලා ගියා. ඒක විහිළුවක් කියලා තේරුනේ ඔයයි ඔයාගේ යාළුවො ටිකයි හොදට හිනා වෙනකොට තමයි. මාව ගල් ගැහිලා යන විහිළු කරලා ඔයාල හිනාවෙනකොට අතේ තිබුන බෑග් එකෙන්ම දෙන්න මට හිතුනා. රවිඳු ළඟ නැති අසරණකම හිතට දැනිලා මුණ රතුවෙනකොට ඔයා යාලුවොත් කතාකරන් එතනින් ගියේ මගේ මුණ දැකල වෙන්නැති.

ඔයා නිතර මුණ ගැහුනා, මමත් හිනාවුනා ඔයත් හිනාවුනා හරිම අමුතු විදියකට, මම රවිඳු එක්ක යද්දී පවා ඔයාගේ ඒ අමුතු බැල්ම නැතිවුනේ නෑ. මම ඒ දවස්වල නිතරම කල්පනා කළා ඒ ගැන. දවසක් රවිදුට කියන්නත් හදල මම නිකන් හිටිය. එත් ඔය හැමදාම මගේ ඇස්දෙක දිහා බලන්න ගත්තා..දෙයියනේ මම කොහොමද කලබල නොවී ඉන්නේ කොහෙවත් යන කොල්ලෙක් මගේ ඇස්දෙක දිහා එහෙම බලනකොට. රවිදු මගේ ඇස්දෙක දිහා බලනවටත් වඩා උනන්දුවෙන් ඔයා මගේ ඇස්දෙක දිහා බැලුවේ ඇයි සුහර්ථ,,මේ ඇස්දෙක රවිදුට ලියලාදීලා ඉවරයි..ඇස්දෙක විතරක් නෙවෙයි මගේ මුළු ජීවිතේම එයාට දීලා ඉවරයි.

දවසක් මම පුස්තකාලේ පොතක් තෝරද්දී පොත් මිටියක් රාක්කෙන් අතට ගත්තම දැක්කේ පුරුදු අස්දෙකක් දෙයියනේ ඔයා එහා පැත්තේ ඉදන් මගේ ඇස්දෙක දිහා බලන් ඉන්නවා..ඒ වගේම දවසක් ලෙක්චර් හෝල් එකේ ඈත ඉදන් ඔය මගේ ඇස්දෙක දිහා හිනාවෙලා බලන් ඉන්නවා..කෙල්ලෙක් කොහොමද මේදේවල් ඉවසන්නේ..ඔයටනම් ඒවා තේරෙන්නේ නැතුව ඇති..එත් සුහර්ථ මම වෙනකෙනේක්ගේ..ඔයා ඔය ඇස්දෙකෙන් කියන දේ මට හොදට දැනෙනවා..එත් මම ඒ දේට ආස නෑ..මම හැමදාටම රවිදුගේ විතරමයි

දවසක් නොහිතපු වෙලාවක මගේ මොබයිල් එකට එස්. එම්. එස්. එකක් ආව ඔයාගෙන්.." ඔය ලස්සන ඇස් ළඟ මම නැවතිලා හෙලවෙන්නවත් බෑ..මව බේරගන්න කියලා.." අනේ සුහර්ථ..ඔය විදියට කෙල්ලෙක්ගෙ හිතත් එක්ක සෙල්ලම් කරන්න එපා..ඒක මහා පව් වැඩක්..මගේ හිත මෙච්චරටම කලබල කලේ ඔයයි..මගේ හිත පන්සලක බෝමළුවක් වගේ මම නිස්කලංකව තියාගෙනයි මම රවිදුට ආදරේ කලේ.... පින්සිද්දවෙයි මගේ හිත අවුල් කරන්න එපා..

ඔය මුණ දිහා බලාගෙන.. ඔය හිනාව දිහා බලාගෙන මට ඔයාගේ කම්බුලට ගහන්න මට බෑ..ඒක දවසක් හරි මත එක්ක කතා කරපු ඔයාට එහෙම කරදරයක් කරන්න මට බෑ..එකයි මෙහෙම ලියන්නේ..මගෙන් ඈතට යන්න..පුළුවන් තරම්..ඔයා තවත් මගේ අස්මායිමට එන්න එපා..මම රවිදුට ආදරෙයි..ඒ ආදරේට බාධා කරන්න එපා..මගෙන් ඔයාට වැඩක්නෑ..ඔයාට පණදෙන්න සූදානම් කෙල්ලෝ මේ කැම්පස් එකේ ඉන්නවා කියලා මම දන්නවා..අන්න ඒ කාටහරි ඔයාගේ ඔය හිනාවයි , ඇස්බැල්මයි දෙන්න හැමදාටම..මේ අහිංසක කෙල්ලට පාඩුවේ ඉන්න දෙන්න..එයාගේ අහිංසක හිතට පාඩුවේ ඉන්න දෙන්න..එයාගේ හිත වෙනස්කරන්න හදන්න එපා ප්ලීස් ....

හිතවත් මිතුරිය,
ශානි..

Sep 18, 2010

අපේ සරසවියේ සුන්දරම පින්තූර ටිකක්...මගේ ඇසින්

ඔන්න මම හිතුව මේපාර අපේ විශ්ව විද්‍යාලයේ ලස්සන පින්තූර ටිකක් දාන්න. මේ රුහුණ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන සංකීර්ණය. නිර්මාණය කරලා තියෙන්නේ ලෝකප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන බ්‍රිතාන්‍ය ජාතික "ජෙප්රි බාවා" විසින්
මේ විශ්ව විද්‍යාලය ළඟ තියන ස්වභාවිකව නිර්මාණය වුන. මේක හදුන්වන්නේ "වැව" කියල තමයි

මේ ප්‍රධාන පුස්තකාල සංකීර්ණය. බොහොම වැදගත් පොත් විශාල ප්‍රමාණයක් වගේම ආසියාවේ සුපිරි තාක්ෂනය මෙයට යොදාගෙන තියනවා

මේ ඉන්නේ වැව ගාව ෆොටෝස් ගත්තු මම. මෙතනට වැව හරිම ලස්සනයි

මේක තමයි අපේ විශ්ව විද්‍යාලයේ "එළිමහන් රංග පීට්ය" මෙතන අපිට බොහොම හුරුපුරුදු තැනක්

මේ ලස්සන මල් එක්ක බැලුවම ඈතින් පෙන්නේ බ්‍රව්න්ස් කදුවැටිය සහ එළියකන්ද ප්‍රදේශයයි


අරලිය මල් විශ්ව විද්‍යාලය පුරාම ලස්සනට හැදිලා පරිසරේම සුවඳ කරනවා


මේ කළා පීඨයේ ශ්‍රවනාගාරය තමයි. මෙතන ගොඩක් දවස්වලට මොනවමහරි තියනවා. අඩුමගානේ ෆිල්ම් එකක් හරි


ඉහල ආපන ශාලාව ළඟ ඉදන් බැලුවම විශ්ව විද්‍යාලයේ පිවිසුම පැත්ත පෙන්නේ මෙහෙමයි. මේක ගොඩක් උදෙන් ගත්තු එකක්..එකයි මෙච්චරටම ලස්සන


මේ විශ්ව විද්‍යාලේ ලස්සනම පීඨ අතරින් එකක්වන විද්‍යා පීඨයේ..උද්භිත විද්‍යා අංශයයි..මේ පරිසරය ගොඩක්ම ලස්සනයි

මේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයට යන පාර..මේ පාරේ ඇවිදින්න අපි හරිම කැමති..අපේ පීඨයට අයත් නොවුනත් මේ ලස්සන බලන්න අපි නිතරම එනවා.

ඉතින් පින්තූර ටිකක් බැලුවනේ.. ඉඩක් ලැබුනම තව ලස්සන පින්තූර ටිකක් දාන්නම්..දැන් කියන්න බලන්න මේ ටික ලස්සනද කියලා?

ආදර හිරු 4 - දයාබර හිරු [ සදරාණි ප්‍රියලංකා සුදුසිංහ ]


මට ඉර මුණගැහෙනකොට ඉරට ස්ථීර රස්සාවක් තිබුනේ නෑ. එත් මට ඒවා හිතන්න ඕන වුනේ නෑ . හුගක් සරල චාම් ජීවිතෙකට හීන දැකපු මට ඉර ළඟ තිබුණු සරල අව්‍යාජ මනුස්සකම් වලට හිට ගියා.

හිතන් ඇති මම බොළඳ කෙල්ලෙක් කියල..නෑ.. මම එතරම් බොළඳ නෑ. මම දන්නවා හතරක් සරසවිය තුල හිටපු විවිධාකාර චරිත එක්ක බලද්දී ඉර ගොඩක් දුර්ලභ සමහරවිට මම ආයෙම ජීවිත කාලෙම හෙව්වත් හමුනොවෙන විදියේ චරිතයක්. මහා ලොකු උපාධියක්, රස්සාවක්, නැති වුනාට මනුස්සකම උතුරන ඔය හිතට පුළුවන්කම තිබුනා මට ගුරුවරයෙක් වෙලා ජීවිතය කියලා දෙන්න.

මොහොතක්වත් තරහ නොගෙන පුදුම ඉවසීමකින් මගේ දඟකාරකම් දිහා බලන්න. මගේ වැරදි මටත් නොදැනීම නිවැරදි කරන්න කියලා දෙන්න, එත් එක යාලුකමක්ද,සහෝදරකමක්ද ? එහෙමත් නැත්නම් ආදරයමද කියල මට තාමත් හිතාගන්න බෑ.

Sep 15, 2010

ආදර හිරු 3 - පහන් තරුවට [ සදරාණි ප්‍රියලංකා සුදුසිංහ]


පහන් තරුව, මම දන්නවා ඔය ලෙන්ගතුකම හිත අද්දර නැංගුරම් දාන්න බලන් ඉන්න වග. එත් මගේ ලෝකේ හිටිය ඉර ඔය පහන් තරුවට වඩා මට ලක්ෂවාරයක් වටිනවා. හිතේ සුවඳ මම ලඟට දීලා ඈතට වෙලා හිනාවෙන මගේ දයාබර හිරු, මගේ හැම හුස්මක්ම අයිතිකරගෙන.

"හෙමින් වටේ ගොස් හිත ළඟ නතර වෙන
දඟකම් ගුරුකමක් වී හිත සනසවන
පැතුමක් සේම ඉසිවර වෙස් පටලමින
හිතට නෑවිදින් ඈතටම රැඳෙනු මැන

ඉරෙන් එළියගත් සඳ මා නිල අහස මත
පහන් තරුව ලෙස නුඹ ඉනු පෙර ලෙසම
විලක් ලෙසට කඳුළැලි මා වගිරුවද
මට තනි මකන්නට නෑවිත් ඉදින් නුඹ

දුවන මුවන් ළඟ හුන් බව උගත්තෙමි
නෙලන්නට පලා මසිතට සවි නොමැති
සැමදා නියං එකදා වැහි වලාවකි
සිත පෙරනිමිති ළඟ නුඹ මට හීනයකි

දුර ඉර බලා සැනසුණු හිත රිදෙනු දැනී
ලඟට ඇවිත් මා හිත පිරිමදිනු සකී
වෙහෙසකර හිතට නුඹ වැහි පොදක් වැනී
තෙමෙන්නට බයයි රෝදුක් ලකුණු ඇති "

Aug 20, 2010

නොපැවැත්ම [ ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර ]


සීතල පිණි කැටය
සෙනෙහසින් දෝතට ගනිමි මම
අමතක කර සදහටම
තවත් එකම එක
පිණි කැටයක්ම

පමණක් බව

Aug 10, 2010

ආදර හිරු 2 [ සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ ]


ජීවිතේම එලියකරන් මං ලඟට පායපු හිරු මට සඳක් වෙන්න එලිය දෙද්දී ඔය හිතට ආදරේ කරන්න හිත කෑගහද්දී හංගගත්ත හැම පතුමක්ම මම තාමත් පරිස්සම් කරනවා. කව්රු එක්ක මම ආයෙත් ඔට්ටු අල්ලන්නද? ජීවිතේම පැරදුන මම



හිතට තනිකම පවරලා
හිතේ ලෙන්ගතුකම් මකා
සසර සැනසුම දුර තියා
මගේ ලොවේ හිරු හැංගුනා...

කප්පරක හීනය බොඳවෙලා
වැහි හතක සීතල හදවෙලා
නෙතු අතර කඳුලක රස තියා
දුර කඳු අතර ඔබ හැංගුනා..

කියා නොකියා හිතට සෙනෙහස
අසම්මතයක තනිවෙලා මම
අසමසම ඉර හෙට නැගේවිද
සඳයි මම ඔබ නමින් පායන ...


Jul 30, 2010

බස්සා


නුඹ කොහි සිටින වග නොදන්නා මුත්
නුබ කොහේ හෝ සිටිනා වග දනිමි
එසේම ඔවුන් ඔබ සොයන වගද දනිමි
අසුවුනොත් නුබට වෙන දේ ද දනිමි
නුඹ එය කළේදැයි යන්න පමණක්
හරියටම නොදනිමි..

රටට සම්පත් වන්නට සිටි නුබ වැන්නවුන්
මෙමගට යොමුකළේ කව්දැයි
සොයා ගන්නට හැකිනම්
කියාදෙනු හැකිය
නුඹට කල දෙය තවත් කරනු නොහැකි වග

සැගවී සිටියොත් නොහැකිවෙයි නුඹට
ඇත්ත ඇත්තමද බොරුවද
වග

Jul 29, 2010

ආදර හිරු 1 [සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ]


හරිම අහිංසක ප්‍රර්ථනාවන් දෙක තුනක් හිත ඇතුලේ තියාගෙන සරසවියට ගියපු මට මගේ ලෝකෙට ඉරක් වගේ ඔය හිත වැඩිය දවස මට අද වගේ මතකයි.

එක දවසක් මම පරිගණකයේ තිබුන කවියක් දැක්කා. ඒ කවියේ අග තිබුන දුරකථන අංකයට මම කතා කළා. එයාම තමයි මට ඔයාව අදුන්නලා දුන්නේ මේ ඔයාලගේ ගමේ කෙනෙක් කියල.කතා කරලා බලද්දී අපේ අල්ලපු ඉස්කෝලේ තමයි ඔයත් ඉදලා තියෙන්නේ. හුඟකාලයක් ඉඳන් දන්න කෙනෙක් වගේ හිතට ලෙන්ගතු කමක් දැනුන. ආයෙමත් කතාකරන්න ඇත්නම් කියල හිතුනා. කවදාවත් නොහිතපු දෙයක් මට හරි අහම්බෙන් ඔයාව මුණගැහුනා. ඔයාගේ නමේ තේරුම නිසා මම ඔයාට "ඉර" කියලා නම දැම්මා. එත් කවදාවත් මට හිතුනේ නෑ "ඉර" මේ තරම් දුරක් මගේ හිත දිගේ ඇවිදන් එයි කියලා. හැරෙන්න බැරි තරම් දුරක්.

ඒ දවස අද වගේම දවසක්.පාන්දරම දිගින් දිගට එවන කෙටි පණිවිඩය ලැබුනා.


"ගුඩ් මෝර්නින් සඳ "

සියලු පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ ඔයාගේ සුපුරුදු පැතුම.

සියක් ආයු ලැබ
මගෙත් ආයු ගෙන
මටත් වඩා කල්
ඉර ජීවත් වේවා

මතකද මමත් පැතුවා,
ටික වෙලාවකින් ආයෙමත් පිළිතුරු ආවා.

මෙතේ බුදුන් දැක
ලොවේ උතුම් ලඳ
විශාකාව වේවා ..!

ආදරණීය පැතුම අදත් මට මතකයි, හෙටත් මතක තියේවි ඔයාට හරි ඉක්මනට විශාකාව අමතක උනදා ඒ විවරණය මම තාමත් හිතේ තියාගෙන බලන් ඉන්නවා. ඉරට බුදු සරණයි ..!

Jul 23, 2010

ලොවක් දකින්නට සුන්දරියක්...[ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර ]

පර්දාව මදකට මෑත්කර
නිල්මිණිවන් නෙතු දෑල
විදහා
බලන්න එකවරක්
දෙතොල් පෙති තදකරන්
දැනෙන ලෙස හදවතින්...
ඇස පියවෙන්නට මොහොතකට කලින්
ස්ථීර නිමේෂයක හෝ
සීමා මායිම්
මොහොතකට අවකාශයට
මුදාහැර
බලන්න ලොව දෙස
නොපෙනුන තරමට සුන්දරය
නොදකින තරමට පින්බරය
සුන්දරියේ ඔබට
ඔබ දකින ලොව

Jul 13, 2010

දිවිය මොනතරම් සුන්දර දෝ..දුකම කොයිතරම් සතුටක් දෝ..[ ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර ]





" තවත් මේ හැම දුකක්ම හිතේ තියන් ඉන්න අමාරුයි දුලාන්"
සචිනි දුලාන්ට ලංවෙලා කිව්වේ ගොඩක් කණගාටුවෙන්. දුලාන් හිටියේ නෙත් දෙක බිමට යොමාගෙන.

"මම හිතුවේ නෑ මේක මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා..සචී..මම එහෙම දැනන් හිටියනම් කවදාවත්
ඔයාට දුකක් දෙන්න ඔයාට ලන්වෙන්නේ නෑ"
දුලාන් කිව්වේ ගොඩක් දුකෙන් වගේ.

" නෑ මගේ රත්තරන් ...ඒක මට දුකක් නෙවෙයි..මට බයයි..මේ සේරම වෙන්නේ මට ඔයා නැතිවෙන්න යන විදියටයි..ඉතින් මම කොහොමද මේවා බලන් ඉන්නේ.."
සචිනි දුලාන්ගේ අතින් අල්ලගත්තා.

"මේකේ ඉවරයක් තියෙන්න ඕන දුලාන්..මට බෑ වෙනකාගේවත් වෙන්න..එත් අපේ ගෙදර ය ඔයාව නැතිකරන්න හොයනවා..මට බෑ ඒක පැත්තකින්වත් ඔයාව නැතිකරගන්න.."

සචිනි කඳුළු වගුරවමින් කිව්වා..දුලාන්ට මහා දුකක් සචිනි ගැන ඇතිවුනා.හැමදාටම මේ රත්තරන් හිතත් එක්ක ජීවත් වෙන්න තිබුනානම් කොච්චර හොඳද කියලා හිතුනා..

"අපි දෙන්නට වෙන්වෙලා ඉන්න බෑ සචී..එහෙම ඉන්න සිද්දවුනොත් අපි දෙන්නට හැමදාටම විඳවන්න වේවි.."
දුලාන් හිතේ තදකරන් හිටපු දුක පිටකරන ගමන් කිව්වා.

දෙන්නා මොහොතක් වැළඳගෙන හිටියා. හිතේ දුක පිටවෙන්න දෙන්නම හොඳට ඇඩුවා.ඒ දුක පිටකරගන්න දෙන්නටම ඕන වෙලා තිබුනා.

"මේ අපි මුණගැහෙන අනිතිම දවසද දුලාන්..අනේ අපිට වෙන්වෙන්න වෙයිද ?"
සචිනි කඳුළු වගුරමින් ඇහුවා.
දුලාන් අයෙත් ඇයගේ අත්දෙකෙන් අල්ලගත්තා .දෙන්නම වෙරළ තීරයේ ඉදන් රේල් පාර දීගේ ආපහු එන්නට ආවා.

දෙන්නා තාමත් අත්දෙක අල්ලගෙනම කෝච්චි පාර දිගේ ඇවිදිමින් ආවා.

"අපි වෙන්වෙන්න හොඳ නෑ..'
සචිනි දුලාන් දිහා බලලා කිව්වා.

"අපි වෙන්වෙන්නේ නෑ.." දුලාන් ස්ථීරවම කිව්වා..

"මේ හැමදේම නැතිවෙන්න දෙන්න බෑ..මේ දුකම අපිට සතුටක් වෙයි..දුලාන්"
සචිනි දුලාන්ගේ ඇත තදින් අල්ලගත්තා. දෙන්නටම ඈතින් 'රුහුණු කුමාරියේ " හූ හඬ ඇහෙන්නට වුනා .
දෙන්නම අත්දෙක තවත් තදකරල අල්ලගත්තා,දුලාන් සචිනිගේ මූණ දිහා බැලුවා.කවදාවත් නොතිබුණු විදියක
ආදරණීය නිර්භීත බවක් ඒ මූනේ තිබුනා. දෙන්නම එක සැරයක් හිනාවුනා.

"රුහුණු කුමාරිය " මේ ආදරණීය හිත්දෙක නවත්තන්න තව තව හය්යෙන් හූ හඬ පිටකලා. එත් මේ හිත්දෙක වෙන්කරන්න කිසිම දෙකට නොහැකි වුනා. දුම්රිය ලංවෙද්දි දෙන්න තදින්ම බදාගත්තා. අයෙත් කවදාවත්ම වෙන්වෙන්නේ නැතිවෙන විදියට. දුලාන් සචිනි වෙන්කරන්න කාටවත් බැරිවුනා..ඒ හිත්දෙක සදහටම
එක්වුණා..හරියටම " දුකම කොයිතරම් සතුටක් දෝ කියන්න වගේ"


සංසාරේ දුර ඈත
යන්නට පෙර හමුවෙමු ආයේ
එක දිනයක..
වෙන්වෙන්නට නොවේ අපි
බැඳුණේ සදාකල්
වෙන්නොවෙමු සසරේ
යලි යලිත් බැඳෙමින් ...

ආදරණීය සචී...



[සත්‍ය සිදුවීමක් ඇසුරෙන්..නම්ගම් මන :කල්පිතයි ]
මේ සංවේදී කතාව ඔබට දැනුනානම්..ඔබේ අදහස අපිට ලියල යන්න..නැත්නම් ඊ මේල් කරන්න wijaindu@hotmail.com