Oct 12, 2011

කොළොන්නාවේ ජන හද පියුම

..මේ රට වෙනුවෙන් අපි කලයුතු වගකීම් කොටසක් තිබෙනවා. ඒ කොටස උපරිමෙන් ඉටුකරන්න තමයි විජය කුමාරතුංග ශ්‍රීමතානන් ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවලා එයට දේශප්‍රේමී හදවත් ටිකක් එකතුකලේ.අන්න එවැනි දේශප්‍රේමී ජනතාවක් ඉදිරියේ කතා කරන්නට ලැබීමත් මට සතුටක්...

මේ කතාව සිදුවන්නේ 1994 වර්ෂයේ අගෝස්තු මාසයේ මාතර, මොටාගෙදර, හිරිදෙණිය වත්ත ෆෝමන් මහත්තයාගේ ගෙදර මිදුලේ. රැස්වෙලා ඉන්න කැකණදුර හා මාතර ප්‍රදේශවල විශාල පිරිසක් අමතමින්. පිරිසට ඉන්න තරම් ඉඩ කඩක් නොමැති මිදුලේ පොදිකන ජනතාවට මේ මහා පෞර්ශය පෙන්වන නාදයකින් ඔවුන් අමතන්නේ අන් කවරෙක්වත් නොවෙයි, ඔහු නම් කොලොන්නාවෙන් පිපී කොටිකාවත්තෙන් ජන හදවත් හැරදමා මිලින වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නොහොත් ලකී අයියා නම්වූ සොඳුරු මිනිසාය.

ඒ 1994 වර්ෂයේ දකුණු පලාත් සභා මැතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයා වූ මාගේ පියාණන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති රැස්වීමකදීය. එවකට විජය කුමාරතුංග මැතිදුන් බිහිකල මහජන පක්ෂයේ උප ලේකම් වරයා වශයෙන් මාගේ පියාණන් කටයුතු කරන විට භාරත මැතිතුමන් එහි සංවිධායක වශයෙන් කටයුතු කලහ. එවකට මහජන පක්ෂයේ නායක හිටපු අමාත්‍ය වයි.පී. ද සිල්වා මැතිඳුන්, සෝමපාල කඳවින්න මැතිඳුන්, මොහොමඩ් ඉසත් මැතිඳුන්, ටියුඩර් දයාරත්න මැතිඳුන්, රන්ජිත් නවරත්න මැතිඳුන් ඇතුලු මහජන පක්ෂයේ කොඳුනාරටිය බඳු නායකයින් රැසක් මාතරට පැමිණ මා පියාණන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිය වැය කලහ, සිය හඬ පුදකලහ. සති ගණනක් පුරා මාතර නැවතී සිටිමින් ඔවුන් මැතිවරණයට ශක්තිය වැය කලහ.

.. ආ..මේ දේවාගේ පුත්තරයද?..හොඳයි හොඳයි දේවාගේ දේශපාලනේ ඉස්සරහට ගෙනියන්න එකෙක් ඉන්න එක..

මාගේ හිස අතගාමින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැතිඳුන් එදා මොටාගෙදර අප නිවසේ ඉස්තෝප්පුවේදී කියූ වදන් පෙල මා හට තවමත් එදාමෙන් ඇසේ. එවිට මට යන්තම් වයස අවුරුදු 5ක් වූවා පමණි. 

නැවතත් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සම්මේලනය හා විජය ගුණ සමරුව පැවති අවස්ථාවේ භාරත මැතිතුමන් මාතර අපේ නිවසට පැමිණියහ. ඒ 1995 මැයි මාසයේය. මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවති මහජන පක්ෂ ජාතික සම්මේලනය සංවිධානයට මා පියතුමන් ක්‍රියාකරද්දි එයට සෙවණැල්ල ලෙස සිටියේ භාරත මැතිතුමන්ය. එවිට චන්ද්‍රිකා මැතිණියගේ රජය යටතේ මහජන පක්ෂයට මෙන්ම භාරත ඇතුලු සියලුම නායකයින්ට බලය සහිත වාතාවරණයක් පැවතිනි.(චන්ද්‍රිකා මැතිණිය සිය සැමියා මෙන්ම මහජන පක්ෂයද අමතක කර දැමීමට පෙරාතුව). ඒ අවස්ථාවේ මාතර බෝධිය පරීශ්‍රයේ පැවති විජය ගුණ සමරුවට පැමිණි භාරත මැතිතුමන් තමන් අතට දුන් නෙළුම් මල් වට්ටිය පූජා කිරීමට මටද කතා කලේ හිසින්ය. ඔහුගේ අතේ තිබූ මල් වට්ටිය පහත් කරමින් මා සමගම ඔහු පූජාකර මගේ කම්මුල අතගා පැවසූයේ..

..මේ අපේ දේවාගේ කොල්ලා ඉක්මණට ලොකුවෙලානේ..දැන්නම් පක්ෂෙ වැඩත් පවරන්න පුළුවන්..

සැමදෙනාම සිනාගස්වමින් කල ප්‍රකාශයට පුංචි මටද හිනා ගියේ නිරායාසයෙනි. එවකට භාරත මැතිතුමාගේ උස, ශරීර ස්වභාවය හා කේෂ විලාසිතාව සමාන වූයේ විජය කුමාරතුංග මැතිතුමන්ටය. මම එතුමන් තුලින් කිසිදිනක මා හැබැහින් නොදුටු විජය මවාගත්හ. දෛවයේ සරදමකටදෝ විජය උපන් ඔක්තොම්බර් 9 වැනි දිනට දිනයක් පෙරතබා භාරතද එලෙසින්ම යන්නට ගියේය. හරියටම විජයට දේශපාලන අන්තවාදීන් මුහුණට වෙඩි වරුසාවක් තබා නිජබිමේදී මරා දැම්මා සේ භාරතටද වෙඩි වරුසාවක් තබා නිජබිමේදීම මරා දැමීම දෛවයේ සරදමක්ය.

 භාරත නිතර නිතර රූපවාහිනියෙන් දුටුවත් නැවත මා ඔහු හැබැහින් දකින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවක මා පියතුමන් සමගින් ඔහුට සහය දැක්වීමට දින කීපයක් කොළඹ නතර වී මැතිවරණ කටයුතු කල අවස්ථාවේය. එදා අපි ඔහු හමුවන්නට ගියේත් අද ඔහුගේ දේහය තබා තිබූ නිවසේ සාලයටමය. එදාත් සුදු පැහැති ඇඳුමකින් සැරසී බිරිඳද සමගින් පැමිණ මාතරින් ගිය අප පිළිගත්තේ සුහද සිතිනි. පුරුදු පරිදිම මගේ හිස අතගා සුව දුක් විමසීමට නිරහංකාර ඔහු මෙන්ම බිරිඳද අමතක කලේ නැත.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාවට ඔහු සැබෑ රජෙකු බව අප දුටුවේ ඒ මැතිවරණ අවස්ථාවේ ජනතාව ඔහු වෙනුවෙන් වැඩ කල ආකාරයටය. නැවතත් එය මා දකින්නේ ඔහුගේ මරණය සිදුවීමෙන් අනතුරුවය. 

භාරත මැතිතුමන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්නේ මහජන පක්ෂයේ නායක වයි.පී.ද සිල්වා මහතාගේ අකල් වියෝවෙන් අනතුරුව පක්ෂයේ අරාජික තත්වයත් සමගය. භාරත පක්ෂය හැරදමා ගිය මොහොතේ මා පියතුමන් මදක් දැඩි ලෙස ඔහුට කතා කරත් පසුව ඔහුම භාරත මැතිතුමන් සමග සුපුරුදු මිත්‍රත්වය ගොඩනගාගත්හ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මාතර මහජන පාක්ෂිකයන් රාශිකට මා පියාණන් හරහා භාරත මැතිතුමන් සේවය ලබාදුන්නේ තවමත් තමන් හදවතින් මහජන පක්ෂ කාරයෙකු බව නිහඬවම කියාපාමිනි.

පසුකලෙක මහින්ද රාජක්ෂ ජනාධිපතිතුමන්ගේ ශක්තියක් වශයෙන් වැටී තිබුණු අවදියක කොලොන්නාවේ ජනතාව අවදි කිරීමට ඔහුගත් වෙහෙස අපමණය. ඕනෑම කටයුත්තකට ජනපති තුමන් ලකීට කතා කලේ ඒ පුරුදු ලෙංගතු කමටය. 

අවසන් කාලයේ මත්උවදුරින් කොළඹ ගලවා ගැනීමට එතුමන් මහා වෙහෙසක් දැරීය. එයම එතුමන්ගේ අවසානයට හේතුවීම අවාසනාවකි. භාරත මැතිතුමන්ගේ වියෝව මගේ සවනත වැකුනේ මැතිවරණය දිනයේ සවස 4.20 ටය. ඒ මාතර පොලීසියේ බුද්ධි අංශ නිලධාරියෙක් හරහාය.

...පුතා මම තාත්තටත් පණිවිඩේ යැව්වා..මුල්ලේරියාව ගන් ෆයර් එකෙන් භාරත මහත්තයා නැතිවෙලා..දුමින්දට අමාරුයි...

ඒ ප්‍රකාශයත් සමග මට කිසිවක් හිතාගන්නට බැරිවිය. ඇත්තටම ලකී අංකල් නොහොත් භාරත මැතිතුමා මිය ගියා යන්න සිතාගැනීමටවත් නොහැකි කරුණක් විය. නමුත් එය එසේ විය. දහස් ගණන් ජනතාව වෙනුවෙන් ජීවත්වූ කොලොන්නාවේ කිරළු නොපලන් රජු නොකියාම යන්නට ගොස් තිබුනේ උණ්ඩ 37 ක් ශරීරයට කිඳා බැසීම නිසාය.

ඔහුට කොතරම් මිනිසුන් ආදරේද යන්න පසුගිය දින කීපයේ දැකගන්නට ලැබුනි. බොහෝදෙනෙක් කියන කාරණයනම් ඔහුගේ මරණය වලක්වාගන්නට තිබූ එකක් බවය. කෙසේ හෝ එය සිදුවිය. දැන් කලයුත්තේ තවත් එවැනිදේ සිදුවීමේ ඉඩකඩ වැලැක්වීමය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නොහොත් කොලොන්නාවේ සොඳුරු මිනිසාගේ රුව සහ ස්පර්ශය සෙනෙහෙබර වදන් තවමත් මට මතකය. එයම වේදනාව තීව්‍ර කරන කාරණයක් වී ඇත.

භාරත මැතිතුමනි..ඔබට අජරාමර නිවන් සුව!

5 comments:

  1. මම අද තමයි මේ පැත්තට ආවෙ . . . ඇත්ත. . . ලකී අයියා කියන්නෙ ජීවිත කාලයක් පුරාවට මිනිස්සු උපයපු මිනිහෙක්. ලකී අයියගෙ මලගෙදරට ආපු මිනිස්සු දකිනකොටත් ලකී අයිය දිනවන්න උදවු කරපු ප්‍රසන්න සෝලංගාරච්චි දිනපු වැඩි ඡන්ද ගානත් දැක්කම ඕනෙම කෙනෙකුට හිතාගත්තෑකි ලකී අයිය මොනවද උපයාගත්තෙ කියල.
    තව කාලයක් අපි අතර සිටිය යුතු මිනිසෙක් අවාසනාවන්ත ලෙස අපිව හැරගියා . . . . වෙන මොකවත් නිසා නෙමෙයි .. . . . කොලොන්නාව, කොටිකාවත්ත වසාගෙන පැතිරෙමින් තිබුන කුඩු අධිරාජ්්‍යය මැඩපවත්වන්න උත්සාහ කිරීම නිසාම.

    ලකී අයියේ . . . .
    මිනිසුන් අතර මිනිසුන් හිඟ මිනිස් ලොවේ . . . .
    මිනිසෙකු මල නිසයි දුක මරනයම නොවේ . . . . .

    ReplyDelete
  2. එතුමා ගැන මම අහලා කියවලා තියෙන දෙයින් එතුමා මිනිස්සුත් එක්ක සිටි මිනිසෙක් කියලා මං දන්නවා.. එතුමාගේ අභාවය එතුමන්ට ආදරේ කල ගොඩක් දෙනෙක්ට දරා ගන්න බැරි වේදනාවක් වේවි... එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  3. මේ ආරම්භයද නොවේ.... අවසානයද නොවේ...
    මියගියවුන් වෙනුවෙන් හැමදාමත් අපි ක‍ලේ...
    "නිවන් සුව" ප්‍රාර්ථනා කිරීමය...
    ඔවුන්ට සාධාරණයක් ඉටුවේවා යැයි කියන්නට අපිට නොහැකි විය...
    "ලකී අයියා" ට සාධාරණයක් වනු ඇත..
    ඒ ඔහු ‍ඇත්තමට සමාජයත් එක්ක.. පොඩි මිනිහත් එක්ක හිටපු "මනුස්සයෙකු" හෙයිනි...
    ඔහුට හඬක් ඇති හෙයිනි...
    ඒත්....මේවගේ දේශපාළුවන්ගේ උණ්ඩයට... ඩණ්ඩිකමට බිලිවෙන
    හඬක් නැති උන්ට...
    කාගේ පිහිටද................?

    ReplyDelete
  4. කට්ටියම දක්වපු අදහස් වලින් තේරෙනවා කොච්චර භාරත මහත්තයා මිනිස්සුන්ට ලංවෙලාද සහ මොනවද ඔහු ඉපයුවේ කියලා..ස්තූතියි යාළුවනේ..

    ReplyDelete
  5. එතුමාට නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete