Nov 13, 2011

අදිසි වෙඩික්කරු(The Invisible Shooter) - 4 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3

**************************************************************
සවස් භාගය වන විටත් රට තුල මහාචාර්ය ඩෙවන්සගේ රහසිගත මරණය පිළිබඳ කතාබහ සිදුවීම් කෙලෙසක වත් අඩුවීමක් සිදුනොවුණි. මහාචාර්යවරයාගේ මරණය පිළිබඳ විදෙස් පුවත්පත් ද විවිධ පුවත් පලකරමින් මෙම සිදුවීම විවේචනයට ලක්කලහ. විශේෂයෙන්ම අමරිකානු පුවත්පත් හා වෙබ් අඩවි දැඩිලෙස විවේචනය කලේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව පිළිබඳවයි. එක් අඩවියක් පවසා තිබුණේ බ්‍රිතාන්‍යයේ මහාචාර්යවරුන්ට අමරිකාවට පැමිණෙන ලෙසත් ඒ මන්ද ඔවුන්ට ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍යය අසමත්වීමය. මෙම පුවත් සියල්ල ගැන ජෙෆ් ගානර් නම් වූ අසාමාන්‍ය ගනයේ අපරාධ පරික්ෂකයා දැනුවත් වූවත් ඔහුගේ ස්වභාවයේ හෝ පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන ආකාරය දශමයක්වත් වෙනස් කලේ ඔහු නොවේ. විටක ගානර්ගේ මේ හැසිරීම සහයක බොබ් ස්ටීවන්ට විශ්මයජනක කාරණයක් විය.නමුත් ඔහු අතීත සිදුවීම් රාශියකින් ගානර් ගැන වැඩිමනක් හදාරා තිබිණි.


සවස් භාගයේ ගානර් හා ස්ටීවන් දෙදෙනා මහාචාර්ය ඩෙවන්ස්ගේ බිරිඳ මරීනා ඩෙවන්ස් හමුවිය. ඇය සිය නිවසට වී සිටියේ ඉතාමත් ශෝකී ස්වභාවයෙන්ය. තවමත් මහාචාර්යවරයාගේ අවසන් කටයුතු කිරීමට ඉඩ නොලැබීම ඇයගේ කනස්සල්ලට හේතුවී තිබිණි. ඇය මහාචාර්යවරයා සහ ඇයගේ අතීත සැමරුම් පිරික්සමින් දුක තුනී කරගැනීමට උත්සහ කරමින් සිටියහ.

“සමාවෙන්න ඩෙවන්ස් මහත්මිය අපි අපරාධ පරීක්ෂණ අංශයෙන්..
මහාචාර්යතුමාගේ මරණය ගැන ගොඩක් කණගාටුයි..ඒ වගේම අපි එහි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා“

ගානර් නිවසට ඇතුල් වී ඩෙවන්ස් මහත්මිය අමතමින් පැවසීය. ඇය සිටි තැනින් නැගිට ඔවුනට අසුන් ගන්නා ලෙස ආරාධනා කෙරිණි.

“දැන් කුමන පරීක්ෂණය කරත් ඔහු ආයෙත් මේ ගෙදරට ඇතුල් වන්නේ නෑ නොවෙද? ඒත් කුමක්ද මගෙන් විය යුත්තේ?“

ඇය සිය සිත දැඩි කරගනිමින් සූදානම් විය. ස්ටීවන් සිය සටහන් පොත අතට ගෙන විශේෂ සටහන් තබාගැනීම ආරම්භ කල අතර ගානර් නම් සිය මතකයේ සටහන් කර ගැනීම ඇරඹීය.

“ඔබතුමිය දැනුවත්ව මහාචාර්යතුමාට සතුරන් සිටියාද? පුද්ගලික හා රාජකාරීමය?“

ගානර් විසින් අසනු ලැබූ ප්‍රශ්නයට ඇය මොහොතක් කල්පනා කර පිළිතුරු ලබාදුන්හ.

“ඔබ දන්නවා ඇති මහත්මයා මහාචාර්යතුමා බොහොම අහිංසක වගේම,පාඩුවේ විනෝදෙන් ඉන්න කෙනෙක්.ඉතින් ඔහුට පුද්ගලිකව සතුරන් හිටියේ නෑ.මොකද අසල් වාසී ගෙවල් වල සතුන් පවා ඔහුගේ මිතුරන්. නමුත් රාජකාරීමය වශයෙන්නම්..... මම ඒ ගැන දන්නේ නෑ“

ඇය රාජකාරීමය සතුරන් ගැන නොදන්නා බව සඳහන් කල විටම ගානර් සිය අසුනින් මදක් ඉදිරියට සිරුර ගෙන තවත් මේ පිළිබඳව විමසීය.

“ඇයි ඔබ රාජකාරීමය සතුරන් ගැන නොදන්නවා කියන්නේ..?“

“ඔහු රාජකාරී කටයුතු ගැන මාත් එක්ක කතාකරන්නේ නෑ මහත්මයා. ඔහු හැමවිටම කතාකලේ මට සැටී කියලා..ඔහු කිව්වේ සැටී මගේ රාජකාරිය ඔයාගේ ඔලුවේ තවත් කොටසක් කරන්න මට බෑ..ඒ නිසා ඔයා මේවා සිතන්න එපා කියලයි“

ඇය කඳුළු නොසැලී දිරිමත්ව කතාකල ආකාරය ප්‍රශංසනීයය.ඇය බුද්ධිමත් කාන්තාවක් බව තවත් දිරියක් විය.

“මහත්මිය මෙම සිදුවීම සිදුවන්න විනාඩි ගණනකට පෙර මහාචාර්යතුමා මා සමගින් දුරකතනයෙන් කතාකලා..ඔහු මට යමක් කියන්න හැදුවා..ඒ කියපු කාරනේ කියන්න සිටියේ මේ රැස්වීමෙන් අනතුරුවයි..නමුත් ඔහුගේ මරණය නිසා මට එය දැනගන්නට බැරිවුණා. මම හිතන්නේ එය තමයි මෙතන තියන වැදගත්ම සාක්ෂිය.ඔහුගේ මරණයටත් එය සෘජුව සම්බන්ධයි.සාමාන්‍යයෙන් ඔහු වැදගත් රාජකාරීමය දේවල් ඔබ සමග කතාකරන්නේ නැත්නම් ඒවා කතාකරන්නේ කා සමගද?“

එවිට මදක් කල්පනා කල ඩෙවන්ස් මහත්මිය නැවතත් පිළිතුරු දීම ඇරඹිය.

“ සැකයක් නෑ..ඔහුට ඉන්න ලඟම මිතුරා මැන්ඩල් බ්‍රිජ් සමාගමේ හිමිකරු රුඩී මැන්ඩල්..ඔහු සමගින් තමයි හැමදෙයක්ම කතාකරන්නේ. ඔහු සිටින්නේ මීට සැතපුම් දෙකක් එහා ඇන්තමා පටුමගේ..“

“එතකොට මැතිණිය මහාචාර්යතුමා අවසන් වරට මැන්ඩල් මහත්මයා හමුවුණේ කවදා වගේද?“

මෙතෙක් වෙලා නිහඬව සිටි ස්ටීවන් ඇසුවේ වැදගත් පැනයකි.එය අවබෝධවූ ගානර් පවා එහි පිළිතුරට ක්ෂණිකව අවධානය යොමුකලහ.

“අවසන් වරට මැන්ඩල් මහත්තයා මුණ ගැහෙන්න ගියේ පෙරෙයිදා..ඒ කින්නේ එතුමා මියයන්නට කලින් දවසේ“

“එදා ඔහු මැන්ඩල් මහත්තයා මුණ ගැහෙන්න යද්දි හෝ ආපහු ඇවිත් ඔබට මොනවාහරි කිව්වද“

ගානර් ඇසූ පැනයට එක්වර පිළිතුරු නොදුන් ඇය මදක් කල්පනාකල අතර අවසානයේ ඇයට යමක් සිහිවිය.

“යද්දි නම් කිසිම දෙයක් කිව්වේ නෑ..නමුත් ආයෙත් ගෙදර ආවේ ඔහු මදක් තරහින්..ඇවිත් කිව්වා මට දැන් කිසිම පුද්ගලයෙක් විශ්වාස කරන්න බෑ කියලා. අඩුම ගානේ මම ගැනවත් කියලා..එතකොට මම ඇහුවා ඒ ඇයි කියලා..එවිට ඔහු කිව්වා..නෑ සැටී මට පැවරිලා තියන කාර්යයන් අතරේ ලොකු අනතුරු තියනවා අඩුම ගනනේ මට මගේ මිතුරන්වත් විශ්වාස කරන්න බෑ කියලා..හරියට ඔහු ඒ දේ කිව්වේ තමන්ගේ මරණය ගැන කලින් ඉව වැටුණා වගේ..“

මෙතෙක් කඳුළු නොසලා සිට ඇයගේ නෙතින් කඳුලක්ද වැටෙන්නට විය. නමුත් මෙම කතාවෙන් අනතුරුව ගානර්ගේ දෑස්නම් දීප්තිමත් වන අයුරු ස්ටීවන් දුටීය. 

“සමාවෙන්න මහත්මිය.අපට කණගාටුයි ඔබව නැවතත් මේ සිදුවීම් සිහිකරන තත්වයට ගෙන ඒමට සිදුවිම ගැන..ඔබට බොහොම ස්තූතියි“

එම සංවාදයෙන් අනතුරුව දෙදෙනාම පැමිණ ගානර්ගේ රථයට ගොඩවිය. සුක්කානමට දෑත් තබාගෙන යමක් මදක් සිහිපත්කල ගානර්ට ස්ටීවන් බාධා නොකරම තම සටහන් පොතේ කරුණු ගැලපීය.

“ස්ටීවන් මම හිතන්නේ මෙම ගමනින් අපි යම් පියවර ගණනාවක් ඉදිරියට ගියා. අපි දැන් දන්නවා මහාචාර්යවරයාට තමන්ගේ ජීවිත අවදානම ගැන දැනී තිබුණා. ඒ අර මැන්ඩල් හමුවෙන්න ගියාට පසුවයි. සමහර විට මැන්ඩල් මේ ගැන වැඩිදෙයක් දන්නවා ඇති. මම හිතන්නේ අපි ඔහු සෘජුවම හමුවිය යුතුයි. “

“ඔව් සර් ඒ වගේම මට දැනෙනවා මහාචාර්යවරයා කියන්න හිටපු කාරණය ගැන මොනවාහරි තොරතුරක් මැන්ඩල් දන්නවා ඇති.“

“එය එසේ විය යුතුයි.අපි ඉක්මනින් මැන්ඩල් හමුවෙමු..ඔහු ඉන්නාව කිව්වේ ඇන්තමා පටුමගේ නේද?..ඕ..ඊට පෙරාතුව මොකද මේ දේහදාරී අපරාධ පරීක්ෂක මැක් මහත්තයා හොයාගෙන තියන දේ?“

හඬදෙන තම දුරකතනයේ පරීක්ෂක මැක් ලෙන්ටන්ගේ අංකය දැක ගානර්ට කියවිණි.

“ ඔව් මැක් කියන්න“

“සර් ඔබලා තවමත් ලීඩ්ස් වලද ඉන්නේ..මම ඉන්නේ මූලස්ථානයේ..මම සංගමයේ උප සභාපතිතුමා මැඩ්රි මහත්තයා හමුවුණා..“

“බොහොම හොඳයි මැක්..ඉතින්“

“මම හිතන්නේ මේ සංකීර්ණ ගැටළුවේ කොණක් මගේ අතේ තියනවා“

මැක්ගේ කතාවට එක්වරම ගානර්ට සිනහා මතුවිය.

“මම හිතන්නේ මැක් අපි දෙන්නා අතේත් කෙලවරක් තියනවා..බලමු අපි මේ කොන් දෙක ඇමිණෙන්නේ එකම ගාංචුවකටද කියලා“

“මම මූලස්ථානයේ ඉන්නවා..ඔබ දැන්ම එනවද?“

“ඔව් මැක්..අපි යන්න තියන ගමනක් පසුවට කල්දාලා ඔබගේ වැදගත් සාක්ෂිය දකින්න එනවා..අපිට මිනිත්තු හතලිස් පහක් දෙන්න“

“හොඳයි සර්..ඔය ස්ටීවන් කොලුවට කියන්න අතර මග නැවතුමකින් මට හොඳ වැනිලා සුරුට්ටුවක් මිලදී ගන්න කියලා“

මැක්ගේ කතාවට දෙදෙනාටම සිනහා ගිය අතර එයින් වාහනයද පණගැන්විනි.

*************************************************

මූලස්ථානයේ ගානර්ගේ කාමරයේ මේසය මත ලිපිගොනු තබාගෙන සිටින මැක් දකින විට ගානර්ට හැඟුනේ ඔහු මේ පරීක්ෂණයට කොතරම් උනන්දුද යන්නයි. ස්ටීවන් හා ගානර් අසුන් ගත් විට මැක් සිය සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් විය.

“මම ගියා විද්‍යා හා තාක්ෂණ සංගමයේ උප සභාපති මැඩ්රි මහත්තයා මුණ ගැහෙන්න..මිනිහා ගෙදරට වෙලා දැන් ප්‍රාණ භයෙන් වගේ ජීවත් වෙන්නේ..කොයි වෙලාවේ ඊළඟ උණ්ඩ පැකට්ටුව තමන් හොයන් එයිද කියන්න වගේ..නමුත් මම ඔහුට ඇති ආරක්ෂාව ගැන කියලා හිත හැදුවා“

“මම හිතන්නේ ඔහුට අවදානමක් නෑ මැක්“

“ඔව් සර්..ඊලඟට මම ඇහුවා ඔබ මට පවරපු කාරණය..විද්‍යා හා තාක්ෂණ සංගමයට සම්බන්ධ නැති ප්‍රබල චරිත හා මෑතකදී නිශ්ශබ්දව ඉන්න තාක්ෂණික මහාචාර්යවරුන් ගැන“

“ඉතින්“

“ඉතින් ඔහු දුන්නා නොවැ අපූරු ලේඛනයක්“

එවිට මැක් ගානර් අතට පත්කල ලේඛනය බැලීමට ස්ටීවන්ද ලංවිය.


මහාචාර්ය බෙල් රින්ඩස් - ඉතා දක්ෂ නව නිර්මාණ කරුවෙක්

මහාචාර්ය වෝඩර් බින්ස් - තාක්ෂණ සංගමයේ හිටපු ප්‍රධාන නිලධාරියෙක්

මහාචාර්ය ඩේවිස් කොන්ටෝ - තාක්ෂණ සංගමයේ හිටපු නිලධාරියෙක්


“මොවුන් වර්තමානයේ ක්‍රියාකාරීව සංගමයට දායක වෙන්නේ නෑ. විවිධ හේතු මත වෙන්වෙලා ගිහින්.“

“මෙතනින් මහාචාර්ය වෝඩර් බින්ස් ගැන මම අහලා තියනවා..ඒ දිනවල පුවත්පත්වල පවා පලවුනා ඔහු න්‍යෂ්ටික ගිවිසුමට විරුද්ධ වී සංගමයෙන් ඉවත්වුනා කියලා“

ස්ටීවන් තමන්ගේ මතකය අවදි කලහ.

“ඒ විතරක් නෙවෙයි ස්ටීවන් අනික් දෙන්නා මහාචාර්ය බෙල් ඉවත්වුනේ මහාපරිමාණ වංචාවකට සැකපිට සිටියදී. නමුත් එයට ඔහු වැරදිකරු වුනේ නෑ.එය මමත් පිළිගන්නවා.ඒ වගේම මහාචාර්ය ඩේවිස් නම් ඉවත්වුනේ තමන්ගේ අපස්මාර රෝගී තත්වයක් හේතුවෙන්“

ගානර්ගේ දත්ත සටහන් එලෙසින් එලිදරව් විය. 

“මොවුන්ගෙන් අයෙක් තාක්ෂණ සංගමයට විරුද්ධව යන්නනම් තාක්ෂණ සංගමය එලිදරව් කරන්නට ගිය තාක්ෂණික අපරාධ සිදුකරන ගණුදෙනු කටයුතු කරන විද්‍යාඥයින්ගේ ලේඛනයේ මොවුන් සිටිය යුතුයි. නමුත් ඒ ලේඛනය ගොඩනග්නනට වුනේ නෑ මහාචාර්ය ඩෙවන්සගේ මරණය නිසා“

මැක්ගේ ප්‍රකාශය සමගින් ගානර් එකඟ විය.

“මැක් මෙතනින් කෙනෙක් සෘජුවම හෝ වක්‍රම මේ ඝාතනයට සම්බන්ධ වුනානම් ඒක හොයන එක එතරම් ලේසි පහසු නෑ“

තිදෙනාම වත්මන් තත්වය සමගින් යම්කිසි වික්ෂිප්ත භාවයකට පත්ව සිටයහ. පරීක්ෂණයේ මීළඟ අදියර කොතනින් ආරම්භකල යුතුය යන්න ගැටළුවක් විය.



෴ පරීක්ෂණය මෙතනින් කොයිබටද? මහාචාර්වරුන් ලේඛනයේ ඝාතකයා සිටියිද?  5 වැනි කොටස මෙතනින්




12 comments:

  1. නිකං එක්ස් ෆයිල්ස් වගේ එකක් බලනව වගේ හැඟීමක් දැනෙනව! :)

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි යාළුවා. එක්ස්-ෆයිල්ස් එක්ක බලද්දි මේක ගලිවර් ලඟ ලිලිපුට් වගේ

    ReplyDelete
  3. නියමයි... දැන් කථාව තවත් සංකීර්ණයි... ඊලඟ කොටස එන තෙක් කෙටි විරාමයක් !!!

    ReplyDelete
  4. අනිවා චතුරංග..දැන්නම් මටත් තේරෙන්නේ නෑ මොනවද වෙන්නේ කියලා

    ReplyDelete
  5. මොනවද අප්පා කියන්නෙ... ඉක්මනට ඉතුරු ටික දැම්මොත් හොදයි තවත් ඉවසන් ඉන්න බැරියො... :D :D

    ReplyDelete
  6. බොහොම ඉක්මණට දානවා යාළුවා.

    ReplyDelete
  7. එහෙම හිතන්න එපා හලෝ! කවද හරි එක්ස් ෆයිල්ස් පටංගන්න අැත්තෙත් ඔය මට්ටමෙං නෙ! :D

    ReplyDelete
  8. ඒකත් ඇත්ත නෙව..කොහොමහිරි කමක් නෑ කොළුවෝ මේක දිගටම ලියන් යනවා නිකං එළකිරි වගේ වෙන්න..

    ReplyDelete
  9. කතාව එන්න එන්නම සංකීර්ණ වෙනවා.. ඒක හොදයි.. එතකොට අපිටත් හිතන්න දෙයක් ඉතුරු වෙනවා..

    ReplyDelete
  10. ඒක ඇත්ත සහෝදරයා..ගොඩක් ස්තූතියි

    ReplyDelete
  11. අනේ ඉක්මනටම ඊලඟ කොටසත් දාන්න. පොඩි කාලෙ ෂර්ලොක් හෝම්ස් කතා කියවගෙන යත්දි පොත තියලා නිදාගන්නවත් හිතෙන්නෙ නෑ. මේකත් ඒ වගේම තමයි. ඊලඟට වෙන්නෙ මොකක්ද කියලා දැනගන්නකම් ඉවසිල්ලක් නෑ..

    ReplyDelete
  12. මේ දවස්වල වැඩත් එක්ක පුළුවන් විදියට කතාව ලියාගෙන යනවා සහෝදරී.පුළුවන් ඉක්මණට දානවා.ෂර්ලෝක් හෝම්ස් කතාව තරම් සුවිශේෂී නැතත් ස්වත්‍රන්ත නිර්මාණයක් විදියට අහිංසක සතුටකින් ඔයගොල්ලෝ හැමදෙනාගෙම සුභ පැතුම් මධ්‍යයේ ලියනවා

    ReplyDelete