Nov 8, 2011

අදිසි වෙඩික්කරු(The Invisible Shooter) - 3 වැනි කොටස

පලමු කොටස   දෙවන කොටස
******************************


ස්ටීවන් හා ගානර් එකතුව විවිධ කරුණු ගැන බොහෝ වේලාවක් කතා බහ කල අතර හෝඩුවාවක් සේයාවක්වත් ඔවුන් වෙත ලඟාවීම සිදුනොවුණි. අනතුරුව මොහොතක් තනිවම කල්පනා කල ජෙෆ් ගානර් නමැති මේ සුපිරි අපරාධ පරීක්ෂකයා වහා හිතට ආ අදහස ක්‍රියාත්මක කරන්නට විය. අසුනින් නැගී සිටි ගානර් ස්ටීවන් ඇමතීය. ස්ටීවන් ද සිය අසුනින් නැගී සිට ගානර්ගේ කතාවට සවන් දෙන්නට විය.

... ස්ටීවන් දැන් වෙලාව රෑ 12.30. හෙට උදේ 7 වෙද්දි මාව හමුවෙන්න ස්ටොක් පෝටර්ස් හි තාක්ෂණ සරසවියේ ගේට්ටුව අසලදී. මේ සිදුවීම නිසා හෙට සරසවිය අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන එකක් නෑ. ඒක නිසා අපි හෙට උදෑසන එහිදී අපේ කටයුතු ආරම්භ කරමු...


.. හොඳයි සර්..ඔබ හිතනවාද අපිට මේ පැටළුනු නූලේ කෙලවර අල්ලගන්න හෙට ගමන ප්‍රයෝජනවත් වෙයි කියලා?...

..ඔව් අනිවාර්යයෙන්ම..ඒ වගේම හෙට ගමනට තවත් මිතුරෙක් එකතු වෙනවා..ඒ ඔබ දන්න කෙනෙක්.මැක් ලෙන්ටන්..විශේෂ අපරාධ පරීක්ෂක නිලධාරී..

.. මැක් ද?..ආ ඔව් මම දන්නවා ඔහු ගැන..හරී සූර ඉවක් තියන මිනිහෙක්..බොහොම විනෝදෙට බර කෙනෙක් නේද?...

..ඔව් ඔව් ඔහු තමයි. අපි එහෙනම් හෙට උදෑසන හමුවෙමු..ඔබට සුභ රාත්‍රියක්!

...ඔබටත් සුභ රාත්‍රියක් සර්...

*************************************************

උදෑසන 7 පසුවී මිනිත්තු කීපයක් ගතවෙද්දී ෂෙපීල්ඩි නගරය දෙසින් වේගයෙන් පැමිණියේ අති නවීන පන්නයේ මෝටර් රථයක. එය නතර වූයේ ස්ටෝක් පෝට්රස් හි තාක්ෂණ සරසවියේ විශාල ප්‍රවේශ ගේට්ටුව අසලය. ඒ වනවිටත් මේ සිදුවීමට වඩාත්ම ආසන්න හා වගකීමක් දරණ නිලධාරීන් දෙදෙනා සරසවියේ ප්‍රවේශ දොරටුවෙන් ඇතුල්වී කතාබහක යෙදී සිටියහ. වේගයෙන් පැමිණ තිරංග තදකල රථය දෙසට ඔවුන්ගේ අවධානය යොමුවිය. රථයෙන් බිමට බැස්සේ තරබාරු සිරුරක් හා ජම්බු ගෙඩියක් මෙන් මූණක් තිබූ ආරක්ෂක නිලධාරියෙක්ගේ ස්වභාවයේ ශරීරයේ සෑම අංගයකින්ම නිරූපණය කල පුද්ගලයෙකි. ඔහු මැක් ලෙන්ටන්ය.

.. සුබ උදෑසනක් මැක් මහත්තයා...

ඉදිරියට පැමිණියේ ජෙෆ් ගානර්ය.

.. සුබ උදෑසනක් ගානර් මහත්තයා..ආ මේ ස්ටීවන් උන්නැහේ වෙන්න ඇති..ඔබටත් සුබ උදෑසනක්..අද ඔබතුමන් දෙන්නා නොවැ බ්‍රිතාන්‍යයේ ජනප්‍රියම පුද්ගලයෝ දෙන්නා..මහරැජින අද පත්තර ටික කියෙව්වොත් අම්මපා ඉරිසියාවේ මැරේවි ඔබතුමන්ලාගේ ජනප්‍රියතාවය දැකලා...

..මොකක්ද මැක් ඒ කතාව?.. ගානර් ව්‍යාකූල ස්වභාවයෙන් ඇසීය.

..ඇයි දැක්කේ නැද්ද.. ලන්ඩන් ටෙලිග්‍රාෆ්..මහාචාර්ය ඩෙවන්ස් ඝාතනයට ලක්වේ.ගානර් හා ස්ටීවන්ගේ ආරක්ෂක සැලසුම් වල හිලක්... ලන්ඩන් ටයිම්ස්... මහාචාර්යවරයාගේ මරණයට හේතුව තාමත් ගානර් හා ස්ටීවන් සොයයි... ඔන්න ඕවා තමයි අද පත්තර සිරස්තල...

ගානර් හා ස්ටීවන් මුහුණට මුහුණ බලාගත්හ. තමන් සතුව ඇති වගකීම ඔවුන්ට නොවැටහුණා නොවේය.

... ඔව් මැක් මේ සිදුවීම තවත් දුරදිග යන්න කලින් අපි මෙතනින් වැඩ පටන් ගත යුතුයි..

.. ඇත්ත වශයෙන්ම..මමත් ඔබලා වගේ දක්ෂ හා ජනප්‍රිය පුද්ගලයෝ දෙන්නෙක් එක්ක රඟපාන්න හරි කැමතියි..

මේ විනෝදකාමී අපරාධ පරීක්ෂකයාගේ එක්වීමත් සමග මේ කුඩා කණ්ඩායමේ පාළුව මැකී ගිය සේය. තිදෙනා ගමන් කලේ මහාචාර්යවරයාට වෙඩි වැදුනු තැනටය.

.. මැක් මම හිතන්නේ ඔබ දැනටමත් මේ සිදුවීමේ මූලික කරුණු දන්නවා ඇති..

..ඔව් සර්.. මම සියළු වාර්තා පරිශීලනය කලා...

..බොහොම හොඳයි..මෙතනදි තමයි මහාචාර්යතුමාට වෙඩි වදින්නේ..පුහුණු වර්ගයේ ස්නයිපර් ප්‍රහාරයක්..උණ්ඩ තුනක් මේ ස්ථානයට එනවා..එන්නේ කොහේ සිටද යන්න අපි අවදානය යොමුකල යුතුයි.

.. සර් තාප්පයෙන් පිට අපි කලින් කතාකල පරිදි මීටර් සීයක් තුල ප්‍රහාරයක් එල්ල කල හැකි තැනක් නෑ.. අපි උපකල්පනය කලොත් සරසවිය තුලින් උණ්ඩ ආවා කියලා..

ස්ටීවන්ගේ අදහස් දැක්වීමට ගානර් මදක් කල්පනා කල අතර මැක්ද ඔහු දෙස පරික්ෂාවෙන් බැලීය.

.. මමත් මෙහිදී කරුණු පරික්ෂාකලා.ඒ කරුණු අනුවත් ඉතිරි වෙන එකම සාධකය සරසවි ගොඩනැගිලි පැත්තෙන් වෙඩික්කරුවා ආවා වෙන්න බැරිද?..

මැක්ගේ අදහස් දැක්වීමද සිදුවිය. ගානර් වහා එයට පිලිතුරු සැපයීය.

... ඔබ දන්නවා මේ සිදුවීම වෙන්න පෙරදින සවස සිටම මෙහි ආරක්ෂාව ඉතා තර කරලා තිබුනේ. ඒ වගේම ස්ටීවන් දන්නවා මෙහි ආරක්ෂක තත්වය පැවති ආකාරය. වාර්තා වලට අනුව කිසිවෙකුට මෙයින් පිටව යන්න ලැබුනෙත් නෑ පරික්ෂාවකින් තොරව සිදුවීමෙන් පසුව ඒ වගේම ඇතුලත සිටි ආරක්ෂකයින් සතුව මේ වගේ අවි තිබුනෙත් නෑ.

..ඒත් සර් මෙතනදි අපිට වෙන විකල්පයක් ගැන හිතන්.....න...

ස්ටීවන් කතාව අවසන් කරන්නටත් පෙර  ගානර් අඩියට දෙකට දිවගෙන ගියේ සරසවියේ තාප්පයේ ඈත කෙලවරක් වෙතය. මැක් හා ස්ටීවන් මුහුණට මුහුණ බලාගත්හ. ඔවුන් දෙදෙනාද ඉක්මණින් ගානර් පසුපස දිව ගියහ. එවිට දිව ගිය ගානර් නතර වූයේ තාප්පය අසලය. 

.. ස්ටීවන් ඔබ හිතන්නේ ඇයි මෙතන ඉඳන් තාප්පය උසින් අඩුව හදලා තියෙන්නේ. මම හිතන්නේ මෙතනදි තාප්පය අඩි හතරක් වත් උස නෑ. ඒ වගේම දැල ඉතාමත් සවිමත්. 

.. මම හිතන්නේ සර්..මෙය වාස්තු විද්‍යාත්මකව නිර්මාණයේදි අලංකාරයට හදපු දෙයක්.. ස්ටීවන්ගේ අදහස එය විය.

.. නෑ සර් මමනම් හිතන්නේ මෙතනට ඈත වගුර සම්පූර්ණයෙන්ම පේනවා. වගුර දෙසින් සිසිල් වාත්‍රශාය හා ස්වභාවික දර්ශනය වෙනස්ම ස්වභාවයක් ගෙන එනවා.ඒකයි මෙතන තාප්පය මිටි.

මැක්ගේ අදහස එය විය.

...ඔව් මැක් එය විය යුතුයි..

එසේ කියූ ගානර් කෙටි තාප්පය මතට නැගගත් අතර පහත් සිටි දෙදෙනා තවදුරටත් කතාකරමින් මේ පිළිබඳ තර්ක කරන්නට විය. ගානර් තාප්පය මත දැලේ එල්ලී පරික්ෂා කරන්නට විය.

..අහා..අහා..එය එහෙමයි වුනේ...

එසේ මුවින් පිටකල ගානර් එක පිම්මේ තාප්පයෙන් බිමට පැන අඩියට දෙකට ප්‍රවේශ දොරටුව අසලට පියවර තැබුවේය. මෙයින් තවත් මවිත වූ මැක් හා ස්ටීවන් නැවතත් ඔහු පිටුපසින් යන්නට විය. 

ගානර් ගේට්ටුවෙන් පිටවී වහා තාප්පයට පිටින් දිවගියේ තාප්පය කෙටිවන තැනටය, නැත්නම් කලින් ඔහු නැග සිටි තැනටය. මෙවර ඔහු සිටියේ සරසවියේ එලිය පැත්තෙන්ය. වහා එතනට ගිය ගානර් තාප්පය මුල වැවීතිබුනු තණකොළ අවුස්සමින් යමක් සොයන්නට විය. 

එතැනට ගිය මැක් හා ස්ටීවන් පුදුමයෙන් මෙන් ඒ දෙස බලා සිටියහ. ඒ සමගම යමක් සොයාගත් ගානර් එය සුරැකිව අතට ගත්හ. මැක් හා ස්ටීවන් එය බැලීමට ඔහුට ලංවිය.

... උණ්ඩයක්.. මැක් ප්‍රතිරාව නැංවීය.

.. ඔව් මැක් මෙය තමයි හතරවෙන් උණ්ඩය..මෙහි නිවුන් උණ්ඩ තුනක් තිබෙන්නේ මහාචාර්ය ඩෙවන්ස්ගේ ශරීරය තුලයි...

ගානර් ජයග්‍රාහී ලෙස ඔවුන් දෙදෙනා දෙස බැලීය. ස්ටීවන් ගානර් අතින් උණ්ඩය තම අතට ගත්හ.

... සර් දැනගත්තේ කොහොමද මේක මෙතන තියනවා කියලා...

..මම කලින් දැනගෙන හිටියේ නෑ ස්ටීවන්. නමුත් මේ තාප්පේ උසින් අඩුතැන් දැක්ක වෙලාවේ ඉඳන් මම ඒක උපකල්පනය කලා. නමුත් මම ඒකට නැග්ගට පස්සේ තවත් ඒක ප්‍රත්‍යක්ෂ වුනා..

..ඒ කියන්නේ මේ උණ්ඩයේ සලකුණක් තාප්පය මත තිබුණා... 

මැක් අනුමාන කලහ.

..තාප්පය මත නෙවෙයි මැක් එය තිබුනේ දැල්. ඔබට වුනත් නැග්ගොත් බලාගන්නට පුළුවන් දැලේ සහ එයට සවිකල යකඩ කණුවේ ඇතිවූ පළුද්ද. අන්න එතනින් තමයි උණ්ඩය මෙතනට වැටුනේ.

ගානර් සිදුවීම පැහැදිලි කර දුන්හ.

.. ඒ කියන්නේ උණ්ඩය ආවේ සරසවියේ ඇතුලතින් නෙවෙයි.පිටත හිටපු කව්රුහරි තමයි එහෙනම් වෙඩි තිබ්බේ...

...ඔව් ස්ටීවන් ඒත් ඒ උණ්ඩ ආපු තුවක්කුව හා තුවක්කුවට පිටුපසින් තිබුණු අත මොකක්ද කියන එක ගැටළුවක්. නමුත් තියන ලොකුම ගැටළුව මේ හැමතැනම ආරක්ෂකයන් හිටිද්දි කොහොමද එළියෙන් උණ්ඩ හතරක් ආවේ..

ගානර්ගේ ගැටළුවට පිළිතුරු අනෙක් දෙදෙනා සතුව නොවීය. 

.. මැක් අපි දැන් සෙවිය යුතු කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි කව්ද මේ තාක්ෂණ සංගමයේ පටන් ගන්න කටයුත්තට විරුද්ධව හිටියේ කියලා, ඒ වගේම මහාචාර්ය ඩෙවන්ස්ට හිටපු පුද්ගලික් හතුරන් කව්ද කියලා...

.. ඔව් සර් පැහැදිලියි...

.. මම සහ ස්ටීවන් යනවා මහාචාර්ය ඩෙවන්ස්ගේ ලීඩ්ස් හි නිවසට. එම මහත්මිය හමුවෙන්න..මැක් යන්න විද්‍යා හා තාක්ෂණ සංගමයේ උප සභාපති ජොනතන් මැඩ්රි මුණ ගැහෙන්න..ගන්න පුළුවන් හැම තොරතුරක්ම ගන්න..

.. හොඳයි සර්...

ප්‍රවේශ දොරටුව වසා දමන්නට සරසවිය අසල රැඳී සිටි පොලිස් නිලධාරීයාට අණ දුන් ගානර් අනිත් දෙදෙනා සමග එතැනින් පිටවිය.



෴ මහාචාර්යවරයාට හිටි සතුරන් කව්ද? සන්නද්ධ සංවිධානයක් මේ කටයුත්ත සිදුකලේද?...... 4 වන කොටස මෙතනින්

9 comments:

  1. තවත් ගොඩක් ලස්සන කොටසක්.. කුතුහලය පිරෙන විදිහට ලියලා තියනවා.. ඉක්මනට ලියන්න. ඊළඟ කොටසත් ඉක්මනටම කියවන්න ආසයි.. නියමයි.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි හංසනී..පුළුවන් උපරිම විදියට ලියනවා. මම හිතනවා වෙනසක් නිසාත් කව්රුවත් මේ වගේ කතාවකට මුල පුරලා නැති නිසාත් අවකාශයට ගැලපෙන විදියට දියත් කරන්න..අදහස් ගොඩක් වටිනවා

    ReplyDelete
  3. සමස්තයක් විදිහට හොදින් ලියලා තියනවා හැබැයි පොඩි වරදක් තිබුනා එන්ගලන්තෙ FBI 1 ක් නෑ ඒක තියන්නෙ එක්සත් ජනපදයෙ . එන්ගලන්තෙ තියෙන්නෙ Scotland yard පොලීසිය .

    ReplyDelete
  4. එළ එළ එළ! කුතුහලය+ :)

    ReplyDelete
  5. නියමයිනේ... පහුගිය කොටස් දෙකටත් වඩා මේ කෑල්ලට නම් මගේ හිත ගියා... කථාව හොඳට ගලාගෙන යනවා... ඒක මම ඔයාගේ කලින් සීරීස් එකේදිත් කිව්වනේ !!! කුතුහලය නම් ඔබ උපරිමයෙන් අවුස්සනවා... මම ආසමත් ඒකට තමා... කථාන්දරයකයි, කථාවකයි, වාර්තාවකයි වෙනස හොඳට තේරෙන්නේ මේ වගේ කථා කියවද්දී තමයි...

    ඔහොම යං ගානර්...! සත්‍යය අත ලඟ !!!

    ReplyDelete
  6. ශර්ලොක් හෝම්ස් කතාමාලව කියවනවා වගේ හැගීමක් ආවා.. අපූරුයි යාළුවා...

    ReplyDelete
  7. @සමීර - බොහොම ස්තූතියි සමීර..මාව නිවැරදි කිරීම ගැන ගොඩක් ස්තූතියි. එය මට සිදුවුණු වැරදීමක්. මම එය නිවැරදි කරගත්තා.

    ReplyDelete
  8. @චතුරංග - බොහොම ස්තූතියි හැමදාමත් බොහොම දිරිගන්වනසුළු අදහස් දක්වන ඔබට. වෙනස්ම විදියෙ දේකින් මම බලාපොරොත්තුවුනු දේවල් කියවන අයට දැනෙනකොට මටත් ගොඩක් සතුටුයි.

    @දිනේෂ් - ඔව් දිනේෂ් ශර්ලෝක් හෝම්ස් කියන්නේ මම ආසාවෙන්ම කියවූ කතාමාලාවයි. එහි ආභාශයත් යම්තාක් දුරට මම ලබාගත්තා

    ReplyDelete
  9. අපූරුයි නොවැ...
    කුහුල ඇවිස්සෙනවා ...කොටසින් කොටස....
    අනිත් කොටසත් එනකං මග බලං ඉන්නවා...
    මම මේ බ්‍රිතාන්‍ය උරුවට ආසයි....ඒක තමා රහස් පරීක්ෂක කතා වලට සුදුසුම....
    විශේෂයෙන් වගුරු බිම්..මම හරිම ආසයි...
    ජය..!

    ReplyDelete