Aug 22, 2023

අමාරු කාලයක්..



පාන්දර සාගරිකා දුම්රියේ මගේ දකුණු පසින් ඉඳගත්ත මහත්මයා එයාගේ කමිසයේ උඩ සාක්කුවෙන් එළියට ගත්ත සීයේ නෝට්ටු කිහිපයක් ගණන් කරලා ආයෙත් සාක්කුවට දාගත්තා. ඊට පස්සේ ලොකු හුස්මක් අරගෙන මගේ දිහා බැලුවා.

‘හැමෝටම අමාරු කාලයක් මහත්තයෝ..’

ඒකට වචනයෙන් දක්වන්න ඕන මොනවගේ ප්‍රතිචාරයක් ද කියලා හිතාගන්න බැරිවුණු මම තොල්පට තදරකරගෙන හෙමින් සීරුවේ ඔලුව කිහිප වරක් සොලවමින් උත්තරයක් දුන්නා. 

පහුගිය දවසක කාර්යාලය ඉස්සරහ අඹ ගහෙන් මැදි වයසේ මාමා කෙනෙක් කොළපාට උණබට කෙක්කකින් අඹ ගෙඩි කිහිපයක් කඩනවා. ලා අඹ ගෙඩි කිහිපයක් මිසක ඊට වඩා අස්වැන්නක් දෙන්න බැරිවුණ අඹ ගහ වේදනාවෙන් වගේ බලාගෙන ඉන්නවා කියලා හිතුණා.

‘මොනවා කරන්නද මහත්තයෝ.. අඹ ටික පාර අයිනේ තියාගෙන විකුණනවා..ලොකු කෙල්ලට විතරක් ගෙදර බර දෙන්න බෑනේ..’

බලාපොරොත්තුවල බර මිනිස්සුන්ගේ ඇස්වල බොර පාටට දකින එක බොහොම අමාරු හැඟීමක්. මිනිස්සු කරුමේ කියලා බාරගෙන තියෙන්නේ තමන්ගේ අතින්ම ඉතිහාසය පුරා වරින් වර වෙච්ච වැරදි කියලා මම කොහොම කියලා දෙන්නද? අනිත් එක කියලා දුන්නත් තේරුම්ගන්න තරමට මිනිස්සුන්ගේ හිත් නිශ්චල ද?

හැමදේම මුදල මත පදනම් වෙච්ච ලෝකයක මානව දයාව, සමානාත්මතාවය වගේ දේවල් වචන වලට විතරක් සීමාවෙන්න පටන්ගන්නවා. ඒ වගේ තැනකදි සල්ලි හොයන්න මොනවාමහරි කරනවා මිසක් මිනිස්සුන්ට විකල්ප නැතිවෙලා යනවා. 

‘That’s the so-called capitalist trap’

මීට අවුරුදු කිහිපයකට කලින් ජාත්‍යන්තර සමුළුවක් අවස්ථාවෙදි නෙදර්ලන්ත ජාතික ආර්ථික විද්‍යා පර්යේෂකයෙක් කියපු කතාවක් ඔලුවට ආවා. එයා ඒ දවස්වල වගකීම්සහගත පරිභෝජනය සහ තිරසාර අනාගතය කියලා පොතක් ලියමින් හිටියා. මම ඒ පොතේ පිටපතක් කියවන්න ආසාවෙන් හිටියා.

‘බලන්න මල්ලි.. ගමේ ටිකක් අමාරුවෙන් ජීවත්වෙන පවුල් කීපයක ඉගනගන්න දරුවෝ ඉන්නවා.. මම ඒ දරුවන්ට මාසිකව කීයක්හරි දෙන්න වුවමනාවට වෙනදා ත්‍රීවීල් එකේ වැඩට යන එක නතර කරලා බස් එකේ එනවා. ඒ සල්ලි ඒ දරුවන්ට ලොකු උදව්වක් මේ වෙලාවේ.. ඒකට ගමේ මිනිස්සු කතාවක් හදලා මම ලෝබකමට දැන් යන්නේ බස් එකේ කියලා.. බලන්න මල්ලි මේ මිනිස්සුන්ගේ හැටි..’

රාජකාරී ආයතනයේ අක්කා කෙනෙක් ඒ විදිහට තමන්ගේ පැමිණිල්ල මගේ ඉස්සරහින් තිබ්බා. මම පුරුදු විදිහටම තොල්පට තදකරගෙන හිනාවුණා. සමහරවිට ඒ ත්‍රීවීල් හයර් අහිමිවුණු රියඳුරන්ටත් අමාරු ඇති..ඒත් ඉස්කෝලේ යන දරුවන්ට ඒක පුංචි හරි උදව්වක් වෙන්න ඇති. සමාජය මොනවා හිතුවත් වමතට නොදැනෙන්න දකුණු අතින් පරිත්‍යාග කරන එක කොච්චර වටින දෙයක් ද.

2023.08.22

4 comments:

  1. අමාරුම කාලයක්
    දුවන් යන වේගයක්
    ජීවිතේ මායමක්
    අවුල් නම් ජාලයක්...

    හොද අදහසක්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ජීවිතේ මායමක් මිත්‍රයා. ඒකමයි මේක අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. ස්තූතියි වචන ටිකට. ජයවේවා!

      Delete
  2. අමාරුවෙන් ජීවත් වෙද්දී අපටත් වඩා අමාරුවෙන් ජීවත් වෙන අය දැකීමත් සිත පාරවන දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම. මේ දවස්වල හිතට අමාරුම දේ ඒකයි. උදේ හවස දකින යාචක ප්‍රජාව වැඩිවෙද්දි, අමාරුවෙන් ජීවිතේ ගැටගහන්න මිනිස්සු වැඩියෙන් දකිද්දි ඒක හරිම කම්පාවක්.

      Delete