Jun 26, 2013

හෘද සාක්ෂියක් ඇත්තෙකුගේ අනාගත ආමන්ත්‍රණය


එක්තරා රාජ්‍යයක දේශපාලන සිරකරුවෙක්ව සිටි සිවිල් සංවිධාන නායකයෙක් එල්ලා මරා දැමීමට නියෝගය ලැබුණි. එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පෙරාතුව ගෞරවාන්විතව විශේෂ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සිරකරුවා පැවසූ අතර එයට ඉඩ ලැබුණි. සිරගෙදර තුල දැඩි ආරක්ෂාව යටතේ නිලධාරියෙක් විසින් එම ප්‍රකාශය සටහන් කරගැනීමක් පමණක් එහිදී සිදුවූ නමුත් දේශපාලන සිරකරුවා දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව සහ හැඟීම්බරව එම ප්‍රකාශය සිදු කළේය. මෙයින් මතු දිගහැරෙන්නේ ඒ නොවටිනා එහෙත් වටිනා ප්‍රකාශයයි. 

"මා එල්ලා මරා දැමීමට තීරණය කර ඇති අතර මම ඒ තීරණය ගැන කිසි විටක පුදුම නොවන්නෙමි..... මන්ද මෙවන් රාජ්‍යයක් තුල අප වැන ක්‍රියාකාරී හෘද සාක්ෂියක් ඇත්තන්ට හෘද සාක්ෂියක් නොමැත්තන් විසින් ලබාදෙන ඉහලම සත්කාරය මෙය බව මා පෙර සිටම දැන සිටි බැවිනි.... .. මා සතුව ඇති එකම විමතියට කරුණනම් මෙය සති හෝ මාස කීපයක් පසුවීම පමණි. 

අප වැනි සමාජය පිළිබඳ විවෘතව සහ බිම් මට්ටමේ සිට පියවරෙන් පියවර අවබෝධය ලබාගත්තවුන් තවත් ඇති බව මා හොඳාකාරවම දන්නෙමි. මහ පොළවේ කටුක බව, ජලයේ නිද්‍රාශීලී සුමට බව සහ දහඩිය බිඳුවක ඇති මානව දයාව අප කුඩා කල සිටම හොඳින් හඳුනන්නෙමු. සමාජයේ ඉහළ ස්ථරවලට නොදැනෙන බොහෝ දේ අප කුඩා කල සිටම අකුරු වලටත් පෙර සිට උගත්තෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස අප සමාජයේ කටුක බව තරණය කරන්නන් සහ මිනිසුන්ට දායාව දක්වන්නන් බවට නිරායාසයෙන් පත්වීම සිදුවිය. 

මා උගෙන ඇති පරිද්දෙන්... අතීතය විසින් ඔබව රවටනු ලැබූවත් අනාගතය විසින් ඔබව නිවැරදි කරනු ඇත.. අතීතයේ අපට එරෙහිව අවි එසවූවන්ට, අපට එරෙහිව වචන හැසිරවූවන්ට අනාගතය විසින් යථාර්ථය පෙන්වා දෙනු ඇත. අනාගතය විසින් ඔවුන්ව නිවැරදි කරනු ඇත. අප සටන් කලේ මේ රාජ්‍යයේ ජනතාවගේ සැබෑ අයිතීන් වෙනුවෙනි....., ජනතාවගේ නිදහස වෙනුවෙනි......., උහලනු බැරි බඩගින්දර මෙන්ම කිටි කිටියේ ගෙල සිරවෙන ආර්ථික මර උගුලට එරෙහිවය....... නමුත් අවසානයේ අප ගෙලට තොණ්ඩුව වැටෙන්නට ආසන්නය..... මේ රාජ්‍යයේ පාලනයට එරෙහිව කැරළි ගැසීමේ චෝදනාව යටතේ අප පෝරකයට යවන්නට කටයුතු කරයි නම් එයින් අදහස් කරන්නේ අප අපරාධකරුවන් බවයි..... මේ බිමේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ජීවිතයේ වටිනාම කාලය කැපකළ අප අපරාධකරුවන් නම් අපට හිමි දඬුවම වහාම ලබා දෙනු මැනවි. මේ බිමේ ජනතාවගේ බඩගින්දර වෙනුවෙන් ඉවසා ගනු බැරි තැන අවි එසවූ අප අපරාධකරුවන්නම් අපට හිමි පෝරකය වහා පණ ගන්වනු මැනවි, නමුත් අප අපරාධකරුවන් ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගසයි නම් සැබෑ අපරාධකරුවන් වෙනුවෙන් වෙන වදනක් හෙට පටන් ඔබට සොයාගැනීමට සිදුවනු ඇත.. එවිට හෙටින් ඇරඹෙන ලෝකය තුල හෘද සාක්ෂියක් ඇති ජනතාව දේශප්‍රේමියා යන වදනට සමාන වදනක් ලෙස ඔබ විසින් සංශෝධනය කල අපරාධකරුවා යන නාමය භාවිතාකරනු ඇත....! 

මේ රාජ්‍යයේ පාලකයන් හට බලය පැවරුවේ ජනතාව මිස ඔවුන් බලය උපද්දවාගනු ලැබූවක් හෝ පිය උරුමයෙන් රැගෙන ආ යමක් නොවේ. එසේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණය මත බලයට පැමිණි පාලන තන්ත්‍රය පිලිබඳ අපද බොහොම සතුටු සිතින් බලා සිටියෙමු. දණගාමින් ඇවිද ගොස් ආධාරකයක් අල්ලාගෙන දෙමව්පියන්ගේ වැර වෑයමින් පිය නගන කුඩා දරුවෙක් දෙස බලා සිටිනවාක් මෙන් චිත්තප්‍රීතියෙන් අපි මෙම පාලන තන්ත්‍රය දෙස බලා උන්නෙමු. තරුණ වියේදී දඩබ්බර කම් කරන විට අප අවවාද කලෙමු.... ඒ උගුර ලේ රහ වනතෙක් කල උද්ඝෝෂණ සහ පා ගමන් තුලින්ය. අපි සමාජය තුලින් ඒ අවවාද අනුශාසනා මේ රාජ්‍යය පාලනය කරන දඩබ්බර තරුණයා වෙත ගෙන ආවෙමු...... එහෙත් ඔහු නෑසුනාක් මෙන් රිසි දේ කරමින් සිටින්නට විය. අවසන තරුණ පාලන තන්ත්‍රය විසින් ඔවුන් හැදූ වැඩූ ජනතාවටම පහර දෙනවිට එය තවදුරටත් ඉවසා සිටින්නට නොහැකි විය. අප වේවැල අතට ගත්තෙමු, ඒ පහර දී හදන්නට හෝ නැතිනම් සමාජය රැකගන්නටය. අද අප කල දේ ප්‍රතිඵලයක් පෙනේනට නොදී සිරකර තබා ඇතත් අනාගතය විසින් ඒ සාර්ථකත්වයේ හිරු කිරණ ජනතාවට පෙන්වනු ඇති. එවිට ජනතාව අවදි වනු ඇත. 

අවාසනාවකට මෙම රාජ්‍යයේ ජනතාව තමන්ගේ හිමිකම් ගැන නොදන්නා කොටසකි. එසේම තමන්ට කල හැකි දේ නොදන්නා පිරිසකි. එය වත්මන් පාලකයින් අවියක් කරගෙන ඇති අතර ජනතාව තවමත් දීනභාවය මහා කිරුළක් ලෙස පිළිගනිමින් කල්ගත කරමින් සිටිති. අප උත්සාහ කළේ ජනතාවට තමන් කවුද යන්න පෙන්වා දෙන්නටය. ඔවුන් කිසි දිනක සැබෑ කැඩපතක් දැක නොමැත. ඔවුන් දැක ඇත්තේ තමන් විසින් නූගත් මෝඩයන් බවට ඉබේ පත්කරගෙන ඇති සහ දවස පුරාම පාලකයන් විසින් මෝඩයන් බවට පත්කර ඇති ශරීර කූඩුව සහ ආධ්‍යාත්මය පමණි. නමුත් අප ඔවුන් ඉදිරියේ කැඩපතක් වුනෙමු. එවිට ඔවුන් අප නැමති කැඩපත තුලින් සැබෑ ලෙසම ඔවුන් කව්ද යන්න දකිමින් සිටියහ, නමුත් එවිට මේ පාලකයන්ගේ අණින් හතිලමින් දිවයන බැලමෙහෙවරකරුවන් පැමිණ පාලකයන්ගේ අණින්ම ඒ සැබෑ කැඩපත සුනු විසුනු කරන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස අපට සිරගත වන්නට විය. අවසානයේ පෝරකය පේන මානයට ද පැමිණ ඇත. ඒ පිළිබඳ කිසිඳු කණගාටුවක් අපතුල නොමැත. මා මෙය හුදෙක් පුද්ගලික ප්‍රකාශයක් ලෙස නොතබා සාමූහික ප්‍රකාශයක් ලෙස තබන්නේ මා සඳහන් කරන මතය මා සමග එකට සටන් කල දිවි දුන් මෙන්ම දිවි දෙන්නට අපේක්ෂාවෙන් සිටින සැබෑ හෘද සාක්ෂියක් ඇතිවුන්ගේ ආත්මකථනයම වන බැවිනි. 

කිසි විටක මේ පාලකයන්ට හෝ මේ පාලකයින් විසින් අසීමිත වැරයොදා නඩත්තු කරන පෝරකයට මා ඝාතනය කල නොහැක. මන්ද පාලකයින් මෙන්ම මේ පෝරකයද මා නිවැරදිකරුවෙක් බව හොඳාකාරවම දන්නා නිසාවෙනි. වැරදිකරුවන් කව්ද යන්න මේ නිහඬ පෝරකය පවා යහමින් දන්නා කරුණකි. එසේනම් නිවැරදි අප නැති කිරීමට පාලකයන් අපේක්ෂා කරන්නේ කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙනය. එකක් නම් ඔවුන්ගේ අත්තනෝමතික සහ ලැජ්ජාවක් නොමැති පාලනයේ නිරුවත වසාගැනීමේ අරමුණින්ය. මන්ද අප විසින් රටට මෙන්ම ලෝකයට ද ඔවුන්ගේ නිරුවත පෙන්වන බව ඔවුන් දන්නා බැවිනි, අනෙක් කරුණනම් ජනතාව අපතුලින් ඔවුන්ගේ සැබෑ ස්වරූපය දැකීම සිදුවුවහොත් නිසියාකාරව පාලකයන්ට ගෙදර යන්නට වන බව දන්නා නිසාවෙනි. නමුත් මේ කාරණා දෙකම අප පෝරකයට යවා නවතා ගත හැකි දේවල් නොවන අතර ඒවා සොබාදහම විසින් ස්වාභාවිකවම හෙලිදරව් කිරීමට සිටින දේවල් නිසාවෙන්ය. 

ලෝකය විසින් විවිධ කාලයන් හි විවිධ ජනකොටස් වෙත විවිධ වූ වගකීම් පවරනු ලැබේ. ඒවා ඉටුකිරීම මත ඔවුන්ගේ පැවත්ම තීරණය වන බව අප දැනසිටියෙමු. අප වෙත පැවරුණ වගකීම ඉටුකිරීමට අප පෙලගැසුනෙමු. අවිහිංසාවාදී දේශපාලන චින්තනය අප තෝරාගත් අතර එහිලා ජනතාවගේ හදවත්වලට කතා කරන්නට අපි සමත් විය. අපි අවිහිංසාවාදීව කටයුතු කරන තාක්කල් පාලකයන් අපට පෙරලා පෙරලා පහරදුන්හ. ඕනෑම දුර්වලයෙක් පහර කන්නේ යම් සීමාවක් දක්වා පමණි. අප දුර්වලයන් නොවුන බැවින් අප ඒ සීමාවට එන්නටත් පෙරම පහරදීම්වලට විරුද්ධව සෘජුව නෑගී සිටියෙමු. අද මෙලෙස පෝරකය ඉදිරියේ අප සිටින්නේ ඒ නිසාවෙනි. නමුත් මම හෝ මගේ හිතවත් සගයන් කිසිවිටක පෝරකයට කිසි ලෙසකින්වත් බිය නොවන බව මේ පාලකයන් දැනගත යුතුය. අප සටන් බිමට බැස්සේ පණ බේරාගෙන පලායාමට නොව හදවතින් හදවතට ගැටී ඉන් අනතරුව ඉක්මවා යන ආත්ම ධෛර්ය තුලින් ජනතාව වෙනුවෙන් සටන් කර අවසානයේ මිය යාමටය. නමුත් එසේ මේ සටන් බිමෙන් ඉවත් වන්නට පෙරාතුවා මා උරහිස මත පැවරුණ වගකීමේ කොටසක් ලෙස අප හෘද සාක්ෂියේ සැබෑ වගන්ති මේ පාලකයන්ට සහ අනාගතයේ ඇති වෙන්නට නියමිත මෙවන් පාලන තන්ත්‍රයන්ට සහ ජනතාවගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීම වඩාත් වැදගත් දෙයක් ලෙස මා විශ්වාස කිරීම සිදුකල යුතුය. මම ඇතුලු මගේ දයාබර සගයන් මරා දමා මේ පොලවට පස්වූ දිනක ඒ පස්වල පෝෂණය වර්ධනයෙන් බිහිවන ගස් වැල් වලින් නිදහසේ ඵල ලබන්නට පරපුරක් බිහිවිය යුතුය. ඔවුන් නිවහල් සහ ආත්ම ධෛර්යයෙන් සන්නද්ධ විය යුතුය. කිසි විටික ඔවුන්ට අප මෙන් අයිතීන් සහ බඩගින්න වෙනුවෙන් සටන් කිරීමට ඉඩ නොතැබිය යුතුය. අප සතු සැබෑ වගකීම වන්නේ එයයි. එය අප අනාගතය වෙනුවෙන් කරන උතුම්ම ආයෝජනය වන්නේය. 

දිනක අපගේ ශරීරයන් මේ පොලවට ශක්තිමත් පාදමක් නිර්මාණය කරනු ඇත. ඒ පාදම තුලින් සශ්‍රීකත්වයේ ගොඩනැගිලි සහ කම්හල් ඉදිවෙනු ඇත. ඒ කම්හල්වල දැති රෝද සැබෑ මානව හිතවාදී ධෛර්ය සම්පන්න ජාතියක් විසින් පාලනය කරනු ඇත. ඒවායින් උපයාගන්නා ණය නැති ධනයෙන් ඒ ජනතාව සිත් සතුටින් කල් ගෙවනු ඇත. එදිනට එයට පාදම සපයන්නට අප දැරූ වෙහෙස සහ අවසන අපගේ ශරීර ඔවුන්ගේ පයට පෑගෙන පොළව යට නිදන් වී ඔවුන්ගේ පාදම ශක්තිමත් කරන බව ඔවුන්ට නොදැනුනාට කම් නැත. නමුත් අපගේ අවශේෂයන් යටවී ශක්තිමත් වූ පොළව මත පයගසා ජීවත් වන්නේ ආත්ම අභිමානයක් නැති සහ පාලකයන්ගේ මකර කටට පණ බයේ ගැහෙමින් වහලුන් සේ ගෙවන ජාතියක් නම් එදිනට අපගේ අවශේෂයන්ට පවා සැනසීමක් නොදැනෙනු ඇත. මේ ගහකොල සතා සිව්පාවා පවා එදිනට ඒ ජනතාවට එරෙහි වනු ඇත. 

මා බොහෝ සෙයින් මේ අවසන් ප්‍රකාශය දික්ගැස්සූ බව මට හැඟී යයි. මේ ප්‍රකාශය අනාගතය තුල අතීතයේ සාක්ෂිකාරයා ලෙස කටයුතු කරනු ඇත. මා කාරුණිකව සහ ඉතාම අවධාරණයෙන් යුතුව මේ සිරකඳවුරේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අනාගත පරපුර වෙනුවෙන් මාගේ මේ ආත්ම කථනය ඉදිරිපත් කරන ලෙසයි. එය එසේ කිරීමට ඔවුන් පාලකයන්ගේ බලපෑම මත හෝ ස්වකීය කශේරුකාවේ ශක්තියේ මඳබව නිසා පැකිලෙයි නම් එය මාගේ අනාගත පරපුරට මෙන්ම ඔවුන්ගේ පරපුරට කරන්නා වූ විශාලතම වැරැද්දක් බව මතක තබා ගත යුතුය. මේ ප්‍රකාශයේ කෙලවර මා කව්ද යන්න හෝ ලියවුනේ කවදාද යන්න සඳහන් කිරීම තුලින් අනාගතය තුල වීරයෙක් වීමට මට අවශ්‍ය නැත. නමුත් අප හදවතේ මුල් බැසගත්තාවූ මතය නම් නිසැකයෙන්ම අනාගතයේ මහා වීරයෙක් විය යුතුය. මන්ද එවිට අනාගතය විසින් ඒ විරුවාට හිස නමමින් ස්වකීය නින්ද්‍රාශීලී චින්තනයට පයින් ගසා එලවා දමනු ඇති බැවින්ය. 

මා හට ලැබී ඇති කාලය අවසන්ය, මා පෝරකයෙ වෙත යා යුතුය. සැබවින්ම මා හට එය පෝරකයකට වඩා මේ සටනේ මුදුන් කෙලවර ලෙස හැඳින්වීම වඩාවටී. ඒ සටනේ ඉහලම තැනදී මා කිව යුතු බොහෝ දේ මෙම ප්‍රකාශයේ ගැබ්ව ඇත. අප නොදුටු හෙටක් දකින්නට වරම් ලැබෙන පරපුරක් මෙවන් වූ පාලකයන් එරෙහිව අනාගතයේදී කටයුතු කරනු ඇත. එදිනට පෝරකයට තබා ඉන් එහා යමකටවත් ඔවුන්ව නතර කිරීමට නොහැකි වනු ඇත. මන්ද අප විසින් ප්‍රාර්ථනා කරන්නාවූ අනාගතය මව් කිරෙන් පෝෂණය වී ස්වාභාවික වස්තූන්ගෙන් ශක්තිමත් වී ස්වකීය ආත්ම අභිමානයෙන් සුඛිත මුදිත වන පරපුරක් බිහිවන්නා වූ කාලයක් බැවින්ය. එවන් වූ අනාගතයක නැවත මා ඉපදේවා යන්න පමණක් මගේ මෙන්ම අපගේ පැතුමද එය බව පවසමින් මේ ප්‍රකාශය මෙසේ අවසන් කරන්නෙමි."

මෙම ප්‍රකාශනය සටහන් කරගත් නිලධාරියා විසින් එය සුරැකිව තබාගත්තේය. ඔහු එය දේව ලියවිලලක් පරිද්දෙන් සිය අනාගත පරපුර වෙත ප්‍රාදානය කළේය. එබැවින් එය අප වෙත අද ලැබී ඇත.

3 comments:

  1. අගේ ඇති ලිපිය... කියන්න ඕන දේ ලස්සනට කියල තියෙනවා....

    සුදු වෑන් පෙනි පෙනී ළගින් යාවි...

    ReplyDelete
  2. ගෝනි බිල්ලෝ ටයර් සෑයවල් හැදුනුම්පත් එකතුකරපු කාලේ දණට පහළින් දෙන රැගෙන යන්නට නියම වු කාලේ මතක් වුණා

    ReplyDelete
  3. කාලෙකට පස්සේ උබෙන් හිත ඇදිලා යන ලිපියක් ජනා..

    ReplyDelete