Oct 26, 2026

ලංකාවේ වන අලි මරණ සහ දශක දෙකක පිළියම්!

 


ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකට අනුව 2020-2024 කාලසීමාව ඇතුළේ ලංකාවේ වන අලි මරණ 2,017 ක් සහ අලින්ගේ ප්‍රහාර නිසා පුද්ගලයන් 741 දෙනෙක් මරණයට පත්වෙලා තියනවා. ඒ වගේම 2005 අවුරුද්දෙ ඉඳන් 2025 වෙනකල් කරපු විධිමත් අධ්‍යයනයන් වගේම වාර්තා බැලුවම 2025 අවුරුද්දේ වන අලි මරණ 455ක් සිදුවෙලා තියනවා. 2005 අවුරුද්දේ දි 123ක් විදිහට වාර්තා වුණු අලි මරණ ගණන, 2017 වෙද්දි 256ක් වීම සහ 2022 අවුරුද්දේ 439ක් දක්වා ඉහළ යාම බැලුවම ආසන්න කාල සීමාව ඇතුලේ සෑහෙන්න වර්ධනයක් තියනවා කියන එක පැහැදිලියි.

හැබැයි මේ සංඛ්‍යාවල ඝාතනය කරන ලද වන අලින්ගේ වගේම වෙන ස්වාභාවික හේතු නිසා මියගිය අලින්ගේ තොරතුරුත් ඇතුලත් වෙනවා. ඒ නිසා මිනිසුන්ගේ මැදිහත්වීම් නිසා සිද්ධවුණු අලි මරණ සංඛ්‍යාව වෙනමම සූක්ෂම බැලිය යුතු එකක්. මෑතකදි සිදුවුණු කාවන්තිස්ස ඇතාගේ ඝාතනය එක්ක නැවත වතාවක් වන අලි ඝාතනයන් ගැන කතිකාවත ඉස්මතුවුණා. හැබැයි මේ කතිකාවත හුදෙක්ම ඒ මොහොතේ මාධ්‍ය විසින් ඉස්මතු කරලා, ඒ වෙනුවෙන් හඬ නගන පිරිසගේ හඬට වැඩි ඉඩක් දීලා, පස්සේ අවධානය අඩුවෙද්දි වෙන මාතෘකාවකට මාරු වීමත් එක්ක, කිසිම අවස්ථාවකද මේ සම්බන්ධයෙන් සිදුකරන ඇත්තම සමාජ බලපෑමට හරිහමන් ඉඩක් ලැබෙන්නේ නෑ.

ඒ නිසාම පහුගිය අවුරුදු 20 ඇතුලේ ලංකාවේ වන අලි ඝාතනයන් සම්බන්ධයෙන්, ඒවාට බලපාපු හේතු, ඒවාට උත්තර විදිහට කරපු මැදිහත්වීම්වල සාර්ථක අසාර්ථකභාවය වගේම ඉදිරියට ස්ථිරසාර වැඩ පිළිවලක් ගැන කරලා තියන යෝජනා මොනවද කියලා පොඩි අධ්‍යයනයක් කරලා බැලුවා. මේකෙදි මම සලකලා බැලුවේ 2005-2025 කාලසීමාව ඇතුලේ සිදුකරපු අධ්‍යයනයන් සහ වෙනත් ප්‍රකාශන.

මේවා අනුව තොරතුරු අධ්‍යයනය කරද්දි අදාල කාල සීමාව ඇතුලේ ලංකාවේ වන අලි ඝාතනයන් සිද්ධවෙලා තියෙන්නේ මිනිසුන් කල වෙඩි තැබීම් නැත්නම් තුවක්කු බැඳීම් නිසා, විදුලිසැර වැදීමෙන්, හක්ක පටස් නිසා, දුම්රියේ හැපීමෙන් සහ තවත් අමතර හේතු කිහිපයකින්. මේ අතරින් ගත්තම ලංකාවේ වන අලි ඝාතන වැඩිම ප්‍රමාණයක් සිද්ධවෙලා තියෙන්නේ වෙඩි තැබීමෙන් සහ තුවක්කු බැඳීමෙන්. 2024 අවුරුද්දේ වන ජීවී දෙපාර්තමේන්තුවේ දත්ත අනුව වෙඩි තැබීම්වලින් අලි මරණ 84ක් වාර්තා වෙනවා. ගොඩක් දුරට වගා සහ දේපල විනාශ කිරීම් වගේ සිදුවීම් එක්ක ඇතිවුණු ආවේගය පදනම් කරගෙන සිදුකරන වෙඩි තැබීම් නිසා වන අලි එක්කෝ ඒ මොහොතෙම මිය යනවා, නැත්නම් තුවාල නිසා පස්සේ මිය යනවා. මේ විදිහට වැඩිපුරම වෙඩි ප්‍රහාරයට ලක්වෙන්නේ වැඩිහිටි පිරිමි වන අලින්. ඒකට හේතුව තමයි ඔවුන් සාපේක්ෂව ඇවිදින ප්‍රමාණය වගේම වගා සහ දේපල හානිවලට පෙළඹෙන ප්‍රමාණය වැඩි වීම.

දෙවනි හේතුව විදිහට අඳුනගන්න පුළුවන් විදුලිසැර වැදීම් නිසා 2024 අවුරුද්දේ අලි මරණ 56ක් වාර්තා වෙනවා. මේ බොහොමයක් ඒවා සිද්ධවෙලා තියෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව මිනිස්සු විසින් තමන්ගේ ගොවිබිම් සහ නිවාස වටේ දාලා තියන විදුලි රැහැන් නිසා. නැත්නම් ඌරන් හෝ වෙනත් සතුන් දඩයම් කරන්න දාලා තියන විදුලි රැහැන්වල ගැටිලා. ඒත් රජය විසින් විධිමත්ව සකස් කරන අලිවැට නිසා අලින්ට ජීවිත හානි සිද්ධවෙන්නේ නෑ. 2025 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් වැලිකන්ද, පොල්පිතිගම සහ තණමල්විල ප්‍රදේශවල ස්ථාන 165ක් පදනම් කරගෙන කරපු අධ්‍යයනයකින් විදුලි වැට සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක්, උපදෙස් නැති නිසා මිනිස්සු තමන් කැමති විදිහට දාගන්න විදුලි කම්බි නිසා අලි මරණ වගේම තවත් ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියන බව.

2024 දි හක්ක පටස් හෝ එවැනි පුපුරණ ද්‍රව්‍ය නිසා අලි මරණ 54ක් වාර්තා වෙනවා. ගොඩක් දුරට ගොවිබිම් ආශ්‍රිතව ගැවසෙන වල් ඌරන් දඩයම් කරන්න පාවිච්චි කරන හක්ක පටස් අලින් ආහාරයට ගන්න ගිහින් පුපුරා යාමෙන් ඇතිවන තුවාල නිසා අලින් මරණයට පත්වෙනවා. ඒ වගේම ආසන්න අවුරුදු 5 ඇතුළත දුම්රියේ ගැටීමෙන් වන අලින් 53 දෙනෙක් මරණයට පත්වෙනවා. 2018 අවුරුද්දේ එවකට රජය විසින් කරපු සමීක්ෂණයකින් අලින් වැඩිපුරම දුම්රියේ ගැටෙන ස්ථාන ගණනාවක් හඳුනාගන්නවා. ඒත් තවමත් ඒ ස්ථාන කිහිපයකට ඇරෙන්න බහුතරයක් තැන්වලට විසඳුමක් නෑ. 2025 දි ගල්ගමුව සහ හිඟුරක්ගොඩ පදනම් කරගෙන කරපු අධ්‍යයනයන් දෙකකට අනුව දුර සිටම දුම්රිය මාර්ග හරහා යන අලින් හඳුනාගෙන ඒවා වලක්වන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරන්න අවශ්‍ය නිර්දේශ ලබාදීලා තියනවා.

වන අලි ඝාතනය වන අනිත් හේතු වෙන්නේ අලින්ට වස දීම හෝ කෘෂිකාර්මික විස රසායන ආහාරයට ගැනීම, වගා ලිං වලට වැටීම, ජලයේ ගිලීම, වාහන අනතුරු නිසා සහ ඉදිකිරීම් ආශ්‍රිත අනතුරු. මේ හේතු පරිස්සමෙින් බැලුවම අවබෝධ කරගන්න තියන දේ තමයි ලංකාවේ වන අලි ඝාතනය වෙන්නේ හිතාමතාම මිනිස්සු අලි මරන්න සිදුකරන දේවල්වලටත් වඩා අනාරක්ෂිත මිනිස් ක්‍රියාකාරකම් නිසා කියන එකයි.

හිතාමතාම අලි ඝාතනයන් සිදුකරන්න ගොඩක් දුරට හේතුවෙන්නේ කාලයක් තිස්සේ පවතින අලි – මිනිස් ගැටුම කියලා අඳුනගන්න පුළුවන්. බොහෝවිට වන අලින් ගැවසෙන වනාන්තවල, නැත්නම් ආශ්‍රිත ප්‍රදේශවල වගාබිම්, ජනාවාස, කර්මාන්ත ඇතිකිරීම එක්ක අලින්ගේ ජීවන රටාව වෙනස්වීමත් මේ ගැටුම්වලට එක හේතුවක්. ඒ නිසා නිසියාකාර පරිසර සැලසුම්, සංවර්ධන සැලසුම් නැතිකමත් වක්‍රාකාරව වන අලි ඝාතනවලට හේතුවක්. වන අලින් ආහාර සොයාගෙන ගොඩක් දුර ගමන් කරන සත්ව කොට්ඨාශයක්. සමහරවිට වනාන්තර ගණනාවක් පහුකරලා, ගම්බිම් පහුකරලා, දවසට කිලෝමීටර් ගණනාවක් ඇවිදින සතුන් පිරිසක්. ඒ නිසා අලියාගේ මේ හැසිරීම් අධ්‍යයනය කරලා වගාබිම් සහ ගම්බිම් මගහැරලා අලින්ට වනාන්නත අතර ගමන් කරන්න කොරිඩෝ ක්‍රමයක්, ඒකාබද්ධ වනාන්තර සංකල්පය යෝජනා වුණා. බොහොමයක් රටවල්වල්වල මේ ක්‍රමය සාර්ථක වුණා.

2023 දී විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කරපු නිර්දේශවලදි හඳුනාගත්තේ වනජීවී, වන සංරක්ෂණ, වාරිමාර්ග, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, ප්‍රාදේශිය සංවර්ධන වගේ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය ආයතන විසින් හරිහමන් සම්බන්ධීකරණයක් නැතිව, හිතුමනාපේ කරන ව්‍යාපෘති නිසා අලින්ගේ නිජභූමි අහිමිවීම සහ ගමන් මාර්ග අවහිරවීම සිද්ධවෙනවා කියලා. ඒ නිසා මේ ආයතන ඒකාබද්ධව සැලසුම් කිරීමකින් මිසක් ව්‍යාපෘති කරන්න එපා කියන නිර්දේශය. හැබැයි ඒක ඒ විදිහට ක්‍රියාත්මකවුණාද කියන එක ගැටළුවක්.

මේ විදිහට කාලයක් තිස්සේ සිද්ධවෙන අලි මිනිස් ගැටුම් වගේම වන අලි ඝාතනයන්, දේපල සහ මිනිස් ජීවිත හානි වළක්වන්න පහුගිය අවුරුදු 20 ඇතුළේ රජය සහ වෙනත් ආයතන හෝ පොදු මහජනතාව විසින් කරපු දේවල් මොනවද කියන එකත්, ඒවායේ සාර්ථක අසාර්ථකභාවය ටිකක් හොයලා බලන එකත් මගේ මේ අධ්‍යයනයෙදි මම සිදුකලා.

ප්‍රධාන වශයෙන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන වන අලින් අල්ලාගෙන වෙනත් ආරක්ෂිත ප්‍රදේශ වලට (බොහෝවිට රක්ෂිතවලට) අතහැරීම පරික්ෂාකරලා තියනවා. 2012දි මේ ගැන කරපු අධ්‍යයනයකදි ප්‍රචණ්ඩකාරීව හැසිරුණු අලින් 12 දෙනෙක් අල්ලාගෙන, ස්ථානය හඳුනාගන්න පුළුවන් කරපටි (GPS Collars) පළදලා මොවුන් රක්ෂිත භූමිවලට නිදහස් කරලා තිබුණා. මෙයින් අලි දෙන්නෙක් මුදාහැරීමෙන් පස්සේ වෙනත් අලි එක්ක සිදුවුණු ගැටුම්වලින් මිය ගිහින් තිබුණා. ඉතිරි අලි 10 දෙනාම අදාල රක්ෂිතවලින් පස්සේ පිටවෙලා ගිහින්. එහෙම පිටවෙලා ගියපු අලින්ගෙන් 5 දෙනෙක් නැවත තමන්ගේ පුරුදු භූමිය හොයාගෙන යන අතරේ, ගම්බිම් මැදින් යද්දි විවිධ හේතු නිසා මාස අටක් වගේ කාලයක් ඇතුළත ඝාතනයට ලක්වෙනවා. මේ සියලුම අලි ස්ථාන මාරුවුනත් තමන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමේ වෙනසක් නම් වෙලා නෑ. ඒ නිසා මේ අලින්ගේ වාසස්ථාන වෙනස් කිරීමේ වැඩ පිළිවෙල එච්චර සාර්ථක එකක් නෙවෙයි කියන එක පැහැදිලියි.

තවත් වැඩ පිළිවෙලක් තමයි වන අලින් රඳවාගැනීමේ මධ්‍යස්ථාන හදලා ඒවායේ වන අලින් ආරක්ෂිතව රඳවලා තියන එක. අනුරාධපුර, හොරව්පතානේ හෙක්ටයාර 997ක භූමියක හදපු මේ රඳවාගැනීම් මධ්‍යස්ථානයේ වන අලින් 52 දෙදෙනෙක් සම්බන්ධයෙන් කරපු අධ්‍යයනයකින් හෙළිදරව් වන්නේ 2019 ඒ අධ්‍යයනය කරද්දිත් ඉතිරිවෙලා හිටියේ එයින් 9 දෙනෙක් විතරයි කියලා. එහි රැඳවීමෙන් කෙටි කාලයක් ඇතුලත අලින් 12 දෙනෙක් මිය ගිහිල්ලා, බොහෝවිට ආහාර හිඟවීම හෝ රෝගී තත්ත්වයන් නිසා. ඉතිරි 31 දෙනා මිය ගිහින්ද, නැත්නම් එතනින් පැනලා ගිහින්ද කියලා තොරතුරු හමුවෙන්නේ නෑ. ඒ නිසා මේ ක්‍රමය ඒ තරම් සාර්ථකයි කියලා පේන්නේ නෑ. සත්ත්වවේදීන් මේක හඳුන්වන්නේ අලින්ගේ එළිමහන් සිරකඳවුරක් කියලා.

මහා පරිමාණයෙන් අලි රංචු පලවාහැරීම ඇතැම් අවස්ථාවලදී විසඳුමක් විදිහට කළත් 2020 ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුව මේක වහාම නතර කරන්න කියලා නිර්දේශ කරලා තියනවා. මේ විදිහට අලින් වෙනත් ප්‍රදේශවලට පලවාහැරීම නිසා ඔවුන් තවත් ප්‍රචණ්ඩව හැසිරීමෙන් අලි මරණ වගේම මිනිස් ජීවිත සහ දේපලවලට වෙන හානිත් වැඩියි.

වන අලින්ගේ හැසිරීම් සහ ප්‍රචණ්ඩත්වයන් පාලනයට පොඩිම හරි සාර්ථක විසඳුමක් විදිහට ක්‍රියාත්මකවෙලා තියෙන්නේ අලිවැට යෙදීම විදිහට මේ අධ්‍යයනයන් කීපයක් අඳුනගෙන තියනවා. ඒත් 2025දී උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ රහසිගත කැමරා ආධාරයෙන් කරපු අධ්‍යයනයකදි අවස්ථා 3,097කදි වන අලින් විදුලි වැටෙන් පැනලා යන හෝ විදුලි වැට කඩා දමා ගමන් කරන අවස්ථා සොයාගෙන තියනවා. ඒ බොහොමයකට හේතු විදිහට හඳුනගන්නේ විදුලි වැට නිසි ප්‍රමිතියෙන් නැති එක වගේම අනවශ්‍ය ස්ථානවල විදුලි වැට සවිකිරීම නිසා අලින්ගේ ගමනාගමනයට බාධා වීමයි. ඒ නිසා විදුලි වැට යෙදීමේදී අලින්ගේ හැසිරීම, අදාල ස්ථානවල භෞතික සාධක වගේ දේවල් ගැන නොහිතා වැට ඉදිකිරීමෙන් ප්‍රතිඵලයක් නෑ කියලා සඳහන් වෙනවා.

වන අලින් සම්බන්ධ මරණ සහ ගැටුම් පාලනය කරන්න ගත්ත පියවර අතරින් සාර්ථක පියවර කිහිපයක් මේ අධ්‍යයනයන් අඳුනගෙන තියනවා. ඉන් ඒකක් තමයි ප්‍රජා මූලික අලි වැට ක්‍රමය. මෙතනදි අලින් ප්‍රදේශවලට කොටුකරලා අලිවැට යොදනවා වෙනුවට වගා බිම් සහ නිවාස ආරක්ෂා කරන විදිහට විදුලි වැට යොදාගැනීම සිදුකරනවා. 2015දී අම්පාර ප්‍රදේශයේ කරපු අධ්‍යයනයකින් හෙළිදරව් කරගෙන තියන විදිහට ප්‍රජා මූලික අලි වැට ක්‍රමය ක්‍රියාත්මක කරාට පස්සේ අලි නිසා සිදුවන වගා සහ දේපල හානි 80-90% අතර ප්‍රමාණයකින් අඩුවෙලා තියනවා. මේ නිසාම පෙරලා අලින්ට හානිකරන්න ජනතාව පෙළඹීමත් අඩුවෙලා තියනවා.

තවත් මේ වගේම ක්‍රමයක් යෝජනා වෙන්නේ වගා කාල සීමාවලට පමණක් සීමාවුණු ප්‍රජා මූලික වැට ක්‍රමය. ඒ කියන්නේ වගා බිම්වලට යොදන විදුලි වැට කෘෂිකාර්මික කටයුතු කරන කාලයට විතරක් දාලා, එහෙම නැති කාලයට ඉවත් කරලා තියන එක. මේ නිසා අලින්ට අනිත් කාලවලදි බාධාවකින් තොරව සැරිසරන්න සහ වගාබිම්වලට වැඩෙන ගස් සහ තණකොළ ආහාරයට ගන්න ලැබෙන නිසා ඔවුන්ගේ ආහාර හිඟය අඩුවීම, නිදහසේ හැසිරෙන්න ලැබීම නිසා ප්‍රචණ්ඩවීම තවත් අඩුවෙනවා කියලා. 2025දි කරපු අධ්‍යයනයකින් මේ ගැන යෝජනා කරලා තියනවා.

මේ හැරෙන්න සිදුකරපු දේවල් විදිහට ප්‍රජාව දැනුවත් කිරීම, ප්‍රජාවට වන අලින්ගෙන් ආරක්ෂාවෙලා අලින්ටත් හානියක් නොවෙන්න ජීවත්වෙන්න අවශ්‍ය සාම්ප්‍රදායික පාරිසරික ක්‍රම, උපක්‍රම හඳුන්වාදෙන්න කටුයුතු කරලා තියනවා. ඒවායින් යම්කිසි සාර්ථකත්වයක් ලැබිලා තියනවා. අනිත් එක වන අලින් සහ මිනිසුන් අතරේ වෛරීය ගැටුම් නිර්මාණය වෙන එක වලක්වන්න අදාල ප්‍රදේශවල ජනතාවට සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවලට හුරුවීම් එක්ක අලියා යනු තමන්ට ජීවිකාව සපයා දෙන සම්පතක් වගේ ආකාල්පයක් ඇතිවීම වඩා හොඳ ක්‍රමවේදයක්. මේකත් බොහෝ රටවල් සාර්ථකව කරගෙන යන එකක්. ලංකාවෙත් මේක ඇතැම් ප්‍රදේශවල ඉතාම සාර්ථකව සිදුවෙන එකක්. මේ නිසා අලි-මිනිස් ගැටුම් වගේම අලි සහ පුද්ගල ඝාතන ප්‍රමාණය සැලකිය යුතු විදිහට අඩුවෙන ක්‍රමයක්.

ඉතින් මේ ලිපිය ටිකක් දීර්ඝ වුනත් මම උත්සහ කළේ මේ සම්බන්ධයෙන් කියනවන ඔබට පුළුල් අවබෝධයක් ලබාදෙන්න. නැත්නම් හැඟීම් හෝ ආවේගයන්වලට අවනත වෙලා විසඳුම් හොයනවාට වඩා විධිමත්, තොරතුරු මත පදනම් වෙලා කරන මැදිහත්වීම් වඩා සාර්ථක නිසා. කොහොමවුනත් පහුගිය අවුරුදු 20 තුළ මේ සම්බන්ධයෙන් සිදුකරපු අධ්‍යයනයන් විශාල සංඛ්‍යාවකට අනුව මූලිකවම මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ප්‍රතිපත්තිමය තීරණ ගණනාවක් යෝජනා කරනවා. අඩුම තරමේ 2020 ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන නිර්දේශ හෝ ක්‍රියාත්මක කරන්න කියලා යෝජනා කරනවා.

ඒ වගේම World Bank’s 2023 Ecosystem Conservation and Management Project හි අවසන් වාර්තාවේ උගත් පාඩම් මත ලබාදුන්න නිර්දේශත් බොහොමයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා. මේ ව්‍යාපෘතිය මූලිකවම කලේ ප්‍රජා මූලික අලි වැට ක්‍රමය ස්ථාපනය කිරීම වුනත්, මේ ව්‍යාපෘතියෙ අත්දැකීම් ජාතික වශයෙන් බොහොමයක් විසඳුම්වලට යොදාගන්න පුළුවන්.

අවසාන වශයෙන් මේ අධ්‍යයනයන් සියල්ලම පොදුවේ යෝජනා කිහිපයක් සිද්ධකරනවා. එකක් තමයි ලංකාව තුළ අලින්ට සිදුවන හානි සහ මරණ සම්බන්ධයෙන් විධිමත් තොරතුරු පද්ධතියක් සහ ඒවා නියාමනය කරන්න පද්ධතියක් රජය විසින් මැදිහත් වෙලා නිර්මාණය කරන්න කියන එක. දෙවැන්න තමයි, නිසි පූර්ව අධ්‍යයනයකින් සහ ආයතන සම්බන්ධීකරණයකින් තොරව අලින් ගැවසෙන ප්‍රදේශවල සිදුකරන ව්‍යාපෘති කරන්න එපා කියලා. තුන්වැන්න, භූමිය සම්බන්ධ සැලසුම් කරද්දි අලින්ගේ වාසස්ථාන, ගමන් කරන මාර්ග සහ ජීවන රටාව සැලකිල්ලට ගන්න කියලා. හතරවැන්න තමයි, ප්‍රජා මූලික ආරක්ෂණ වැඩ පිළිවෙල තවත් ශක්තිමත් කරන්න කියන එක. ඒ කියන්නේ ග්‍රාමීය සමිති, සංවිධාන එක්ක එකතුවෙලා ප්‍රජා මූලික වැට සහ වගා කාලවලට පමණක් යොදන විදුලි වැට වගේම දැනුවත්කිරීම් ශක්තිමත් කරන්න කියලා. අන්තිම යෝජනාව තමයි, වැලැක්විය හැකි අලි මරණ (අනාරක්ෂිත විදුලි වැට, අනාරක්ෂිත වගා ලිං, වස දීම) වළක්වන්න අවශ්‍ය නීතිමය සහ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් කරන්න කියන එක.

ඉතින් බැලූ බැල්මටම මේක රජයක මූලික මැදිහත්වීමෙන්, ඉතාම උනන්දුවෙන් කරන්න ඔින දෙයක් කියන එක පැහැදිලියි. හැබැයි මේකට ඉතාම හොඳ තාක්ෂණික දැනුමක් සහ තොරතුරු සහිත නිලධාරීන්ගේ, උපදේශකයන්ගේ වගේම ක්‍රියාත්මක කරන්නන්ගේ සහය අවශ්‍යයි. ප්‍රධාන වශයෙන්ම අලින් සම්බන්ධයෙන් සංවේදී වගේම එහෙම නැති ජනතාවගේත් සහය මේ වැඩ පිළිවෙලට අනිවාර්යයෙන්ම අවශ්‍ය වේවි.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර
2026.10.25

No comments:

Post a Comment