සෙංකොට්ටං අතට ගත්තේ එතරම් ප්රසාදයකින් නොවේ. පසුගිය වසර කීපයේ ස්වර්ණ පුස්තක ලෙස ලේබල් ගැසූ නීරස සහ සැබෑ ලෙසම එවැන්නකට සුදුසුදැයි හැඟෙන මට්ටමේ පොත් කියවීමෙන් ලද කටුක අත්දැකීම නිසා සෙංකොට්ටම් යන ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත කියවන්නට ගනිද්දීම හිතුනේ හරි නැත්නම් පැත්තකට දානවා යන්නය. ඒත් එක හුස්මට පිටු පනහක් අවසන් කිරීමේදීම හැඟුනේ සෙංකොට්ටං යනු අපි නොදන්නා රහක් ඇති රස කැවිල්ලක් බවයි. මහින්ද ප්රසාද් මස්ඉඹුල මවා ඇති සෙංකොට්ටං වපසරිය තුල අපද ජීවත්වීම වැලැක්විය නොහැකිය. වත්මන් සමාජයේ පවා අළු යට ගිනි පුපුරු සේ පවතින මීට දශක කීපයකට කලින් සුළුතරයකට ආයුධයක්ද බහුතරයකට නින්දාවක්ද වූ ග්රෝතවාදය නොහොත් කුල ක්රමය තුල ජන සමාජයේ තිබූ නින්දා සහගත තත්වය සහ එයට ඈඳුනු අඩුයයි සම්මත පවුලක් තතු මත ඇඳෙන සෙංකොට්ටං කතාව කියාපාන කතා ගණනාවක්ම ඇත.
“නචච්ඡා වසලෝ හෝති - නචච්ඡා හෝත් බ්රාහ්මණෝ...කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්රාහ්මණෝ“ යන බුද්ධ වචනයේ අර්ථය නොපිළිගත් සිංහල බෞද්ධ සැදැහැවතුන් වාසයකල රටක් මීට දශක හතකට අටකට පෙරාතුව මේ රටේ තිබුණ බව වත්මන් සමාජ තලයට කියාදෙන කතාන්තරයක් ලෙස සෙංකොට්ටං හැදින්විය හැක. වසලයෙක් හෝ බ්රාහ්මණයෙක් වන්නේ උප්පත්තියෙන් නොව තමන්ගේ කල්ක්රියාවෙන් බව උතුම් බුදු බණේ කියවෙද්දී, එයම පන්සලේ බණමඩුවේ සාධුකාර දී කමටහන් කරන රදල පැලැන්තියම පොදු සමාජයේදී අඩුකුල යයි සැලකූ පාර්ශව තලා දැම්මේ කෙසේද යන්න ඒ ජීවිත තුලටම එබීබලා විමසන්නට මහින්ද ප්රසාද් නියමාකාර අවස්ථාවක් ලබාදී ඇත.