Jan 19, 2015

යහපාලනය යනු ආතල් හුවමාරුව නොවේ


මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ගෙදර යන්නට සිදුවුණේ දූෂණ, වංචා හෝ පවුල් පාලනය නැතිනම් ඒකාධිපතිත්වය නිසා පමණක් නොවන්නේය. ඉහත කී කාරණා දැනෙන්නේ සමාජයේ ස්ථර කීපයකට පමණි. සමාජයේ කම්කරු පන්තියේ සිවිල් ජනතාවට ඊට එහා ගිය දේ දැනුණු බව අමතක කල යුතු නැත. විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සිට පලාත් පාලන ආතනයේ මන්ත්‍රී වරයාගෙන් නොනැවතී පක්ෂ ශාඛා සමිති සභාපති දක්වාම පැතිර ගියා වූ “බොරු ෂෝ දේශපාලනය“ මහින්ද රාජපක්ෂ පාලනයට නැවතීමේ තිත තියන්නට සෘජු හේතුවක් වූ බව කිසිවෙක්ට ඉවත දැමිය නොහැක. සත්‍යම කතාවනම් “තොරණ් ආර්ථිකයක“ සිට “සංදර්ශන මානසිකත්වය“ හරහා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ වන්දිභට්ටයින් සහ ගෝලයින් සිදුකලාවූ ප්‍රදර්ශනකාමී ක්‍රියාකාරකම් නිසා අවසානයේ වන්දි ගෙවන්නට වූයේ ඒවායේ ගුරු වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටමය.

   මා මිත්‍ර චතුර විජේකෝන් අන්තර්ජාලයේ තබා තිබූ සටහනක් අනුව මා හට සිහිවූ යමක් විය. ඔහු කියා තිබුණේ පසුගිය සමයේ තනි වාහනයකින් කිසිඳු ආරක්ෂකයෙක් නැතිව යස අගේට ගමන් බිමන් ගිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඇමති පදවියක් ලැබ පරිවාර රථ ගණනාවකින් සහ ආරක්ෂකයින් ගණනාවක් සහිතව සිය ප්‍රදේශයේම රැස්වීමකට සහභාගීවන මොහොතේ මාර්ගයේ ගමන් කල ජනතාව රථවාහන තදබදය නිසා අසීරුවට පත්වූ අයුරු සඳහන් කර තිබිණි. ඒ නිසා යහපාලනය උදෙසා පාලනය මාරු කලේ එහි නියෝජිතයන්ගේ ආතල් මාරු කිරීමට නොවන බව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රමුඛ රජය තේරුම්ගත යුතුය. මෙරට ජනතාවගෙන් බහුතරයක් බලාපොරොත්තු වූයේ මේ ක්‍රමය වෙනස් කිරීමකි. ඒත් කියන්නාක් මෙන් වෙනස් බෝතල් තුල එකම වයින් යන සංස්කෘතිය බිහිකර ප්‍රයෝජනයක් නැත. එයින් වැඩිම හානිය වන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ටත් වඩා එක්සත් ජාතික පක්ෂ රජයකටය. වසර 8 ක දීර්ඝ කාලීන පරාජයකින් පසු 2002 දෙකේ ජයක් අත්කරගත් එජාපයේ ජයග්‍රහණය වසර 8 ක පාලන කාලයේ පොඩි විවේකී නිවාඩුවක් පමණක්ම බවට පත්කරගැනීමට එදා පොදුජන එක්සත් පෙරමුණට හැකිවූයේ රනිල් පාලනය පෙරලා දමා 2004 නැවත බලයට පත්වීමෙන්ය. එයට හේතුවූයේදී කැහැ ගෑනි පන්නලා හොටු ගෑණි ගෙන ඒමක් ලෙස එජාප රජයද ජනතාවට පෙනුන නිසාවෙනි. නැතිනම් චන්ද්‍රිකා මොනදේ කලත් එජාප රජය පන්නාගන්නට වෙන්නේ නැත.


   එසේනම් වසර 10 ක දීර්ඝ කාලීන පරාජය ලබා නැවත බලයට පත්වූ එජාප බහුතරයක් ඇති රජයක් සහ වසර 20 ක කාලයක් ඇතුලත තෙවනි වරටත් අගමැති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ටත් ජනතාව ප්‍රතික්ෂේප කල රාජපක්ෂ පාලනයේ ක්‍රමවේදය වෙනස් නොකල හොත් නැවතත් හොම්බෙන් යන්න වෙනවා සහතිකය. එය වසරක් හෝ දෙකක් ඇතුලත නොව එළඹෙන ජුනි මාසයේ වුවද සිදුවිය හැකි බව තේරුම්ගත යුතුය. මිනිස්සු ප්‍රතික්ෂේප කල සන්දර්ශන මානසිකත්වය නව රජයද ඇඟට ආරූඪ කරගතහොත් නිසැක වශයෙන්ම ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වනවා නියතය. අප පසුගිය කල දුටුදේ එයට බොහෝ සෙයින් සාක්ෂි දරති. ජනපති රටපුරා යන්නේ හෙලිකොප්ටර් දෙකක්ම රැගෙනය. වරක් අනුර කුමාර පාර්ලිමේන්තුවේදී ඇසුවේ දෙකක් ගෙනියන්නේ එකක් කැඩුණහොත් අනිත් එකට පනින්නද කියාය. එසේම ජනපති හෙලිකොප්ටර් වලින් එද්දි වෙඩි නොවදින රථ දෙක හොඳින් ආවර්ණය කරගෙන හමුදා ආරක්ෂාව යටතේ තඩි කන්ටේනර් දෙකක ලංකාව පුරාම යන්නෝය. හෙලිකොප්ටරයෙන් මහින්ද බහින විට කාර් දෙක ඒ අසලට ඇවිත් මහින්දව නග්ගවාගෙන අදාල ප්‍රදේශයේ ගමන් යති. පසුව මෙය බැසිල්, ගෝඨාභය පමණක් නොව ශිරන්ති නෝනාටද බෝවීම නිසාවෙන් ජනතාවගේ ඔලුවට ටොකු ඇණ ඇණ මේවා බලාසිටිය යුතුද යන තත්වයට හෘද සාක්ෂිය විමසන කාරණා බවට පත්විය. එය මේ රජය සහ පාලකයන් විසින්ද සිදුකරයිනම් ප්‍රතිඵලය කුමක්ද යන්න ඔබ දන්නවා ඇත.

   හිටපු ඇමතිවරයෙක්ගේ සොයුරියකගේ නිවසේ තිබී සුඛෝපභෝගී වාහන 5 ක් පොලීසියෙන් රැගෙන ගිය බව අසන්නට ලැබුණි. එම සොයුරියගේ පුත්‍රයන් විසින් පසුගය සමයේ එයින් වාහන තුනක් භාවිතා කරනු ඇස් දෙකෙන් දැක තිබීමත්, වී.අයි.පී ලේබලය යටතේ ඒවා ධාවනය වූ නිසා වැරදිලාවත් පොලීසියෙන් කරදරයක් නොවූ බවත් දැක ඇත්තෙමි. යහපාලනය පිළිබඳ විශ්වාසය සහිතව ජනතාව විසින් පත්කල රජයක පාලනය තුල මෙවැනි දේ සිදුවීමේ ලක්ෂණ පහල වන්නට පෙර මේවා දැනුවත් කිරීම ප්‍රතිසංස්කරණවාදීන් වන අපේ යුතුකම බව විශ්වාස කරමු. නමුත් පාලිත තෙවරප්පෙරුම නැමති සංඥාව පෙන්වා දුන්නේ අමනයින් කොයි පැත්තේද අඩුවක් නැතිව ඇති බවයි. නමුත් එවැන්නන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර මෙන්ම, පක්ෂයක් ලෙස විනයානුකූල පියවරද ගත යුතු බව සහතිකය. විශේෂයෙන්ම කමිටු පිහිටුවාගෙන සමූහ කඩාපැනීම් ලෙස හිටපු ඇමතිවරුන්ගේ සහ රාජපක්ෂ පවුලේ මෙන්ම රාජ්‍ය ප්‍රධානීන්ගේ කුණු සොයා ඒවාට දඬුවම් කිරීම සහ එවැනි දේපල ජනතා සන්තක කලයුතු බව ඉතාම කාලෝචිත කටයුත්තකි. ජනතා විමුක්ති පෙරමුණ මෙය සිදුවිය යුතු දෙයක් බව කියන්නේ බොහෝ කලක සිටය. එහෙත් එම කුණු සෙවීමේ වැඩපිළිවල හිටපු ආණ්ඩුවේ සහ එහි ගෝලයන්ගෙන් නැවතුනහොත් එතැන ගැටළුවක් ඇත. එය නියත වශයෙන්ම එජාප රජය තුලදී හා පසුගිය කාලය පුරාවටම වංචා දූෂණ කල මැති ඇමතිවරු මෙන්ම, පැවති රජයෙන් කරණම් ගසා සිටින අයටද එකසේ පොදුවිය යුතුය. නැත්නම් එය යහපාලනයකට වඩා මිත්‍රපාලනයට පෙරලෙන බව නිසැකය.

   මාතර නගරයේ හිඟමනේ යෙදෙන අප්පුහාමි මාමා ලංකාදීප පුවත්පතට පවසා තිබෙන ආකාරයට ඔහු ජීවිත කාලයේම හිඟා කෑමෙන් ඉතිරිකරගත් රුපියල් හැටදහස මෛත්‍රීපාල සිරිසේන මහතා දිනනා බවට ඔට්ටු ඇල්ලුවේ කාරණා දෙකක් නිසාවෙන්ය. එකක් මුල සිටම රට හැසිරෙන විදිය අනුව පත්තර කියවන අප්පුහාමි මාමා දිනන්නේ මෛත්‍රී බව දැන සිටි නිසාය, අනික බරපතල කරුණකි. මහින්ද හෝ වෙනත් නායකයෙක් මාතරට එන හැම විටම මාතර ප්‍රධාන පාරක් අසල හිඟමනේ යෙදෙන සියලු යාචකයන් එලවා දමන්නට පොලීසියට අණ ලැබෙන්නේය. එදාට යාචකයන්ට පිච්චියක් ලැබෙන්නේ නැත. තවද රජතුමන් හෙලිකොප්ටරයේ මාතර අහසින් ගියත් ඇතැම්විට එදිනට පවා පහල ඉන්නා යාචකයන් පොලීසිය විසින් එලවා දමන බව අප්පුහාමි මාමා පවසා ඇත. ඒ පීඩනය නිසාම මහින්ද ගෙදර යැවිය යුතු බවට අප්පුහාමි මාමා සපථ කරගෙන සිට ඇත. යාචක ප්‍රජාවත් මෙරට වැසියන් පිරිසකි, ඔවුන් මත පැවති පාලනය තැබූ පීඩනය එලෙසනම් අනෙක් ජන කොට්ඨාශ ගැන කවර කතාද. ඒ නිසා මේ මෛත්‍රී පාලනය තේරුම්ගත යුත්තක් ඇත. සුනාමිය පැමිණි පසුව වෙරලේ සිටින ජනතාව විශාල පාඩමක් ඉගනගත්හ. දැන් ඔවුන් යන්තම් මුහුද පස්සට ගියත් වටින කියන දේ අරගෙන ගෙවල් අතහැර ආරක්ෂිත තැන් වලට දිවයන්නේ පාඩම එතරම් දරුණු බැවින්ය. මහින්ද පාලනයද එවැනිම සුනාමියකි. එහි පූර්ව ලක්ෂන ජනතාව දැන් ඉතා හොඳින් දැන සිටිති. එබැවින් මෛත්‍රීපාලනයක් තුල එවැනි පූර්ව ලක්ෂණ පහල වූ සැනින් ජනතාව නිසි පියවර නොගෙන සිටීවියැයි කිසිඳු නැකැත්කරුවෙකුට හෝ දේශපාලන විශ්ලේෂකයෙක්ට කිව නොහැක. ඉදිරියේදී දහම් සිරිසේන විවිධ බලකා නිර්මාණය කරයි නම් මෛත්‍රී ජනපතිතුමන් තමන්ට ඉක්මණින්ම වෙන්නේ කුමක්ද යන්න තීරණය කල යුතුය, ජනපති පට්ටම අවලංගු කලත් මෛත්‍රී මෙරට ජීවත්විය යුතුය. එනිසා සිය පුත්‍රයා හෝ සහෝදරයින් දේශපාලනයට ගේන්නට පෙර, හොරුන්ගේ ෆයිල් යටගසා ඩීල් ඔස්සේ කට වසාගෙන සිටින්නට පෙර, මහා පරිමාණ නාස්තිකාර වැඩ කරන්නට පෙර ජනතාව පසුගිය පාලනයට ලබාදුන් තීරණාත්මක ඉරණම සිහිපත්කරගත යුතුය.

   හැමදාම දිනන්නේ පනින්නාවූ ගෙම්බන්ය යන තියරිය දැන් වෙනස් කල යුතුය. ඒ මන්ද “සැලුන් දොර“ ක්‍රමවේදය තුලින් මෙරට දේශපාලනයේ තිබූ ශිෂ්ට සම්පන්න ගෞරවය නැමති කන්‍යාව අවසන් වරටද දූෂණයට ලක්විය. ඇයගේ පරපුරේ හෙට දවසද දූෂණය වන්නට පෙර පිල්මාරු ක්‍රමයට නැවත නීතිමය බාධකයක් ගෙනආ යුතුමය. ඒ මන්ද ජනතා තීන්දුව දෙන්නේ එක් මතයකට වුවත් නියෝජිතයා මතය වෙනස් කරයිනම් ජනතාවගේ තීන්දුව එතනින් නිරූපනය නොවන බැවින්ය. 

   වරක් මාතර නගරයේ ඈත ගමක රැස්වීමකට පැමිණි හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා සමග විස්සකට අධික ආයුධ සන්නද්ධ සෙබල පිරිසක්, දහයක පමණ තවත් සිවිල් ඇඳුමින් සිටි ආරක්ෂකයින් පිරිසක්, ඇමතිගේ වාහනය, ආරක්ෂක වාහන හතරක්, ඔහුගේ ලේකම් ගේ වාහනය, මාධ්‍ය ලේකම්ගේ වාහනය ඇතුලු වාහන අටක් මේ ලියුම්කරුට දක්නට ලැබුණි. ලියුම්කරු තවද දුටුවේ අදාල රැස්වීම පැවති නිවසේ පිලිකන්නේ පවා ආරක්ෂකයින් අවිදරා සිටින අයුරුයි. ලියුම්කරු එක් ආරක්ෂකයෙක් ලඟට ලංව ඇසුවේ “මේ පැත්තේ කොටි හිටියේ නෑ නේ...ඇයි මෙච්චර ආරක්ෂාවක්“ එයට පිළිතුරු ලෙස ආරක්ෂක නිලධාරීයා බෙල්ල එක පැත්තකට ඇල කර තමන් එය නොදන්නා බව පවසා අහිංසක ලෙස සිනාසුනි. එසේම වරක් ආරක්ෂක ලේකම්වරයාට පෙරමුනින් ගමන් ගන්නා ආරක්ෂක රථයට පසුකර යන්නට ඉඩදීමට තත්පර කීපයක් ප්‍රමාදවීම නිසා බඩදරු අම්මා කෙනෙක් නංවාගෙන යතුරු පැදියේ යන අහිංසක තාත්තා කෙනෙක්ගේ අම්මා මතක් කර දීමට තරම් ආරක්ෂක අංශ රුදුරු වීම තුලින් ඔවුන් එදා රැක්කේ ජාතික ආරක්ෂාවද නැත්නම් පුහු සෝබන පරපුරක්ද යන්න ඔවුන්ම තීරණය කල යුතු සත්‍යයකි. නමුත් ජනතාව තව දුරටත් මේ විකාර දකින්නට සූදානම් නැත. මේ විකාරවලට අද කතිරයෙන් උත්තර දුන්නාට මින් ඉිදරියට උත්තර දෙන්නේ අතින් පයින් විය හැක.

   එනිසා මෛත්‍රී පාලනය යනුවෙන් පක්ෂ ගණනාවක් එක්ව නිර්මාණය කල පුළුල් සහ කාලෝචිත දැක්ම හුදු ආතල් හුවමාරුවකට ලඝු නොකොට ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්ය. විපක්ෂයේ හිටිද්දි ආතල් ගන්නා ඇමතිවරුන්ට දෝෂාරෝපනය කර තමන් ඇමති වූ පසු ආතල් එක තමන් ගන්නවානම් එම යහපාලනයට ජනතාව දෙන උත්තරය දරුණු විය හැක. අපරාධකරුවන් නොරකින, රටේ ආරක්ෂාවට තර්ජනය නොවන පාලනයක් තුලින් යහපාලනය දැකිය හැකි බවට අපි විශ්වාස කරමු. ඒ විශ්වාසය මෛත්‍රී ඉදිරියටත් මෛත්‍රියෙන්ම රකීවී යන්න අවිනිශ්චිත කටයුත්තක් වුවත් ජන බලය ප්‍රබල බැවින් ඕනෑම දෙයකට ප්‍රජාතන්ත්‍රවාදී ජනබලය නැමති අවිබලය අමෝරාගෙන අපිද සිටින්නෙමු.

කාටූනය - අවන්ත ආටිගල (“අද“ පුවත්පත)

2 comments:

  1. //කිසිඳු ආරක්ෂකයෙක් නැතිව යස අගේට ගමන් බිමන් ගිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඇමති පදවියක් ලැබ පරිවාර රථ ගණනාවකින් සහ ආරක්ෂකයින් ගණනාවක් සහිතව සිය ප්‍රදේශයේම රැස්වීමකට සහභාගීවන මොහොතේ මාර්ගයේ ගමන් කල ජනතාව රථවාහන තදබදය නිසා අසීරුවට පත්වූ අයුරු සඳහන් කර තිබිණි.//

    ඒකගයි..... අැමති අාරක්ෂාව නැති කරා කියුවාට... දවස් දෙකකට උඩදී ටවුමේදී පිඹගෙනය න වාහන හතරක් දුටුවෙමි.... දෙකක් දෙපසින් ගිය අාරක්ෂක රථය (ඩිෆෙන්ඩර්ය) අනික් දෙකම ඉන්ටර්කූලර්ය.... මා සිටියේ මාගේ බයිසිකලේය... දෙපසින් ඉවත් කර නැවැත්තූ ත්‍රීවීලර් දෙක් සිටි අය කී කතා අැසුනේ නම් යහපාලනය රෙද්ද පල්ලෙනු බේරෙනු අැත... ඉස්සරනම් මේවාට විදේශීය කුමන්ත්‍රණ කීවා... දැන් කුමක් කියමුද???

    ReplyDelete
    Replies
    1. ඇත්ත..නැවැත්විය යුතු දේ පිළිබඳ ජනතාව හොඳ සංඥාවක් දුන්නා. ඒක තාම පිළිගෙන නෑ වගේ

      Delete