May 18, 2017

අවුරුදු 8 ක් ආපස්සට යාම සහ මැයි 18 යටගැසීම


අද මැයි 18. ලංකාව මිනිස්සුන්ට අමතක ඇති සමහරවිට ලංකාවේ එල්.ටී.ටී.ඊ එහෙමත් නැත්නම් කොටි කියලා ත්‍රස්තවාදී සංවිධානයක් තිබුණා. නෑ..නෑ..පුල්ලි තියන කකුල් හතරේ කොටින්ගෙන් නෙවෙයි කකුල් දෙකේ අපේම රටේ මිනිස්සු පිරිසක් කොටි කියන ලේබලේ ගහගෙන ත්‍රස්තවාදීකම් කලා. පරණ පත්තර එහෙම පෙරලලා බැලුවොත් වැඩි විස්තර ටිකක් හොයාගන්න බැරිකමක් නෑ.

ඒ කොටි කරපු දේවල් දැන් අමතක වුණාට ඒ දවස්වල ජාතියක්,ආගමක්,භේදයක් නැතිව ලංකාවේ මිනිස්සුන්ට මතක තිබුණා. උදේ බත් එක බැඳගෙන ගෙදරින් එලියට බහින අම්මා,තාත්තා,දරුවා සමහර වෙලාවට නගරේ මැද බස් එකක, කෝච්චියක, හංදියක කෑලි කෑලිවලට පුපුරලා ගිහිල්ලා බත් එක උඩම වැටිලා මැරිලා ඉන්නවා. ගෙදරට පය තියනකල් විශ්වාස නෑ. තව උතුරේ මිනිස්සුන්ගේ ගම්බිම්වලට කඩා වැදිලා පවුල් පිටින් පෙති ගහන කාලයක් තිබුණා, උඩින් ගිහිල්ලා දාන බෝම්බවලින් බුරුතු පිටින් සාමාන්‍ය මිනිස්සු මැරුණ කාලයක් තිබුණා. අත දරුවෝ පෙතිගහලා මරලා දාන කාලයක් තිබුණා. අන්න ඒ කාලය, ඒ ත්‍රස්තවාදි සංහාරය ඉවරවුණේ 2009 අවුරුද්දේ මැයි 18 වගේ දවසක. ඒ අවුරුද්දවත් දවසවත් මතක නෑ කියලා හොඳටම විශ්වාසයකි. කමක් නෑ ඒක එහෙම වෙනවා. ඒක සාමාන්‍යයි.


දැන් මිනිස්සු ඒ දවස මතක් කරන්නවත් අකමැති ජාතික සංහිඳියා කාර්යභාරයේ සීඝ්‍ර ගමනට ඒක බාධාවක් වේවි කියලලු. වේයන්ගොඩ පොළේ වෙසක් තොරණ අවුරුදු දෙකක් තිස්සේ නොගහන්න හේතුව එහේ ඉන්න දෙමළ මිනිස්සුන්ගේ හිත රිදේවි කියලා කවුදෝ කියනවත් ඇහුණා. සංහිඳියා ඇමතිතුමාට සිංහල මිනිස්සු ටිකක් විතර ඇලජික් ඇයි කියලත් තවත් කෙනෙක් අහනවා ඇහුණා. කමක් නෑ අවුරුදු 8ක් යනකොට අපි අද ඉන්නේ කොතනද කියලා ටිකක් කල්පනා කරන්න ඕන.

කව්රු මොනවා කිව්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපති වුනේ නැත්නම් අදටත් පිරබාහරන් ජීවත් වෙනවා, කොටි ත්‍රස්තවාදියෝ ලංකාවේ ආයුද පිටින්ම ඉන්නවා. කාටවත් ඒක එහෙම නෙවෙයි කියලා තර්ක කරන්න පුළුවන් කමක් නෑ. එහෙව් මහින්ද රාජපක්ෂට අවුරුදු 8ක් ගතවෙද්දි අද තාප්ප ගානේ නගින්න වුණේ රජ මානසිකත්වෙන් කරපු දේවල් නිසා, ඒත් අදටත් මිනිස්සු මහින්දට සලකන්නේ ඔය ත්‍රස්තවාදී පිලිලය ලංකාවෙන් තුරන් කරපු නිසා. ඒකට එදා ගෝඨාභය වගේම සරත් ෆොන්සේකා ඇතුලු ත්‍රිවිද හමුදාව පොලීසිය. සිවිල් ආරක්ෂක බලකාය වගේම හරියට නොකා නොබී පණ බයේ මිනිස්සු කරපු කැපකිරීම් අමතක කරන්න බෑ. ලෝකෙන් ප්‍රශ්න එද්දි එදා මහින්දගේ දේශපාලන නායකත්වය කෙලින් නොහිටියා නම්, පුටුවට බරක් නොවී සක්‍රීයව මැදිහත්වුණ ගෝඨටා වගේ චරිත නොහිටියනම්, බෝම්බෙ වැදිලා එක්තැන් වෙලා ඉස්පිරිතාලේ හිටිද්දි බඩඋඩ ලැප්ටොප් එක තියාගෙන පවා යුද්දේ සක්‍රීයව මෙහෙයවපු ෆොන්සේකාලා වගේ චරිත නොහිටියනම් අදටත් කොටුවේ බෝම්බ පත්තු වෙනවා, කිලිනොච්චියට බෝම්බ වැටෙනවා. ඒ ටික අවුරුදු 8 කින් අමතක කරන්න මව් කිරි බීපු එකෙක්ට බෑ.


එදා හමුදාපති ගැලවීමේ හමුදාවකටවත් හොඳ නෑ කියපු, ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියපු, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියපු, තොප්පිගල කියන්නේ වැඩක් නැති කැලෑවක් කියපු චරිත අද ලංකාව මෙහෙයවනවා. එයාලා සංහිඳියාව ගැන කතා කරනවා. යුද්දේ ඉවරවුණාම පොළොන්නරුවේ කිරිබත් දන්සල් දීපු පුද්ගලයා අද ජනාධිපතිවෙලා සංහිඳියාව කියන නමට බයවෙලා විරුවන් සැමරීමත් වැඩිය ස්දද බද්ද නැතිව කරන්න වැඩ කරනවා. විරුවන් සැමරීම සංහිඳියාවට බාධාවක් කියන්නත් ත්‍රස්තවාදීන් සැමරීම අවුලක් නෑ කියන්නත් අවුරුදු 8ක් වගේ කාලයක් තුල පරිණාමණය වීම එක පැත්තකින් පුදුමාකාරයි. 

මේ සටහන ඉවරකරන්න කලින් කියන්න ඕන දෙයක් තියනවා. අද ඊනියා සංහිඳියාලෝලීන්ගේ ප්‍රියතම වචනය තමයි ජනසංහාරය කියන එක, ඔවුන්ගේ අප්‍රියතම වචනය තමයි යුදමය ජයග්‍රහණය කියන එක. ඒ සංහිඳයාලෝලීන් අද කියනවා එදා මැයි 18 ලංකාවේ මිනිස්සු පාරවල් ගානේ සිංහ කොඩි අරගෙන, කිරිබත් කාලා කලේ අන්ත තුච්ඡ වැඩක් කියලා. තව අවුරුදු කීපයකින් ඔය ලෝලීන් ටිකම කියනවා පිරභාහරන් කියන්නේ ලංකාවේ බිහිවුණු සුවිශිෂ්ඨතම විප්ලවවාදියා කියලා. සමහරවිට පිරභාහරන්ට චේ ගුවේරගේ බේරට් තොප්පියත් දාවි. අප්‍රේල් විරු සමරුව වගේ මැයි විරු සමරුව කියලා මහා සැමරුම් උළෙල පවත්වාවි, එදාට සිවාජිලිංගම්ලා, විග්නේෂ්වරන්ලා, මනෝ ගනේෂන්ලා එක්ක දකුණේ නායකයොත් එක වේදිකාවට නැගලා මැයි විරු සමරු දේශන පවත්වාවි. 

එදාට අපි ජීවත්වෙලා නොඉන්න තරමට හොඳයි කියලා විතරක් අන්තිමට ලියලා තියන එකත් හොඳයි...

2 comments:

  1. අමතකවෙල අමතකවෙලා කියලා බය්යෝ කෑගහුවට මටනම් ෂුවර් ලන්කාවෙ කාටවත් ඕක අමතක නෑ

    ReplyDelete