පසුගිය කොටස් සියල්ල මෙතැනින් කියවන්න
සීනි ෆැක්ටරිය එක්ක කාර්මික ජනපදයක් වෙලා අම්පාර දියුණු වෙන්න එච්චර කාලයක් ගති නොවුණි. කර්මාන්තය ආශ්‍රිතව ජීවීකාව කරගත් ලක්ෂ ගණනක් ජීවත්වෙන ප්‍රදේශයක් ලෙස අම්පාර දියුණු වෙද්දී බොහෝ දෙනෙක් එදා සිතුවේ අම්පාර කවදහරි කොළඹත් පරදා කරනවා යනුවෙනි.
ඒ හැඟීම් ඇස්වහ කටවහ බවට පත්වුණා දේ සැක හිතෙන තරම් වේගයෙන් සීනි ෆැක්ටරිය කඩාගෙන වැටෙන්නට පටන් ගත්හ. මිත්‍රගේ ගම ෆැක්ටරියට වැඩි දුරක් නැති විසිදෙකේ කොළණිය. මිත්‍රගේ තාත්තා ජීවත් වුනේ ෆැක්ටරියේ උක් පටවන ට්‍රැක්ටර් ඩ්‍රයිවර් රස්සාවෙන්.
ඒත් ෆැක්ටරිය එන්න එන්ම කඩාගෙන වැටෙද්දි පස්සෙ පත්වුණ ආන්ඩුව කලේ තමන්ව ආන්ඩු බලයට පත්කරන්න ලක්ෂ ගණන් වියදම් කරමු මුදලාලි කෙනෙක්ට ෆැක්ටරිය කුණු කොල්ලෙට විකුණලා දාපු එක.
“තිලකෝ..මටත් හෙට අනිද්දා ගෙදර නවතින්න වෙන පාටක් තියෙන්නේ..“
“ඒ මොකැයි ඒ..“
“අලුත් අයිතිකාරයෝ ෆැක්ටේරිය රස්සාවලින් බුරුතු පිටින් එළියට ඇදලා දාන්න යනවලු..නඩත්තු කරන්න බෑ කියලා..“
“එහෙමෙයි කියලා මිනිස්සුන්ව හිතුමනාපේ එළියට ඇදලා දාන්න පුළුවන්යැ..“
“පුළුවන් තිලකෝ..අද ඩ්‍රයිවර්ලා කල්ලිය අතරේ මේ කතාව තදේට තිබුණා..උන් මොකක්දෝ වෘත්තිය සමිතියකටත් එකතුවෙලා..කව්දෝ කොණ්ඩෙ වවාගත්ත කොල්ලෙක් ඇවිත් තමයි විස්තරේ කිව්වේ..“
“කොණ්ඩෙ වවාගත්ත කොල්ලෙක් කිව්වේ..ඌ ෆැක්ටේරියෙ එකෙක් නෙවෙයිද?“
“නෑ තිලකො..මට හරියට නිච්චියක් නෑ ඌව..හැබැයි ඌ මේ පැත්තේ එකෙක් නෙවෙයි වගේ..අත පය දික්කර කර කතා කරා..මයේ අප්පේ කියපු ඒ වලින් බාගෙට බාගයක් මට තේරුනෙත් නෑ..ශ්‍රමය කුණු කොල්ලෙට විකිණෙනවා කිව්වා..සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කිව්වා..ෆැක්ටේරියේ ධනපති පාලකයන්ගේ රස්සා කප්පාදුවට එරෙහිව පෙළගැහෙන්න ඕන කිව්වා..“
තිලකා..ඒ කියන්නේ මිත්‍රගේ අම්මා මේ කතාව කියන තමන්ගේ සැමියා වන පියසිරි දිහා කන්න වගේ බලාගෙන හිටියේ මීට ටික දවසකට කලින් ඉස්කෝලේ ගිහින් ආපු පොඩි කොළුවත් ඔය වගේම කතා ටිකක් කියනවා ඇහුණ නිසයි.
“මයෙ අප්පේ..මොනවද ඒ කෙහෙල්මලවල්..ඔන්න ඔහේ රස්සාව බේරගන්න බලන්න.. අඩුම තරමේ ෆැක්ටේරියේ ලොකු මහත්තුරු හම්බවෙලා කතාකරලාවත් රස්සාව බේරගන්න බලන එක මිසක් ඔය පෙලගැහිල්ලනම් එච්චර හොඳ නෑ රජෝ..“
ඒ දෙබස මිත්‍රගේ නිවස ඉදිරිපිට සිදුවී මාසයක් යන්නටත් මත්තෙන් පියසිරි ඇතුළු සිය ගණනක් වන්දියක්ද නැතිව රස්සාවෙන් දොට්ට දැමුවේ සීනි තරමට ෆැක්ටේරියේ මහතැන්ලාගේ හිත් රසවත් නැතිබව පෙන්වමිනි. ඒ කාලයේ ජර්මන් ටෙක් එකේ ඉගනගනිමින් සිටි මිත්‍රත් ගෙදර නිවාඩුවට ඇවිත් සිටි නිසා අම්පාරේ සිදුවණ මේ වින්නැහිය සහතිකේටම විඳින්නට හැකිවිය.
රැකියාවෙන් එළියට දැමූ පිරිස වෘත්තීය සමිතියක් සමග එකතුවී ෆැක්ටරිය ඉදිරිපිට විරෝධතාවයක් සහ උපවාසයක් ආරම්භකරනු ලැබීය. ඒ සඳහා රතු කමිස හැඳගත් තරුණයන්ද එක්වී තිබීම කැපී පෙනුනි.
“අම්පාර සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් විශාල පිරිසක් අත්තනෝමතිකව සේවයෙන් පහ කිරීම ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ දැඩි පිළිකුලින් යුතුව හෙලා දැක තිබේ. එම පක්ෂයේ ලේකම් ආර්. රත්නසේකර මහතා සඳහන් කලේ එය සේවකයින්ගේ අයිතිවාසිකම් අමු අමුවේ නින්දිත ලෙස කඩකිරීමක් ලෙසයි. එසේම ලංකා ප්‍රගතිශීලී පක්ෂයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අසාධාරණයට ලක්වූ සේවකයන්ගේ සෙවණැල්ල ලෙස තමන් සිටින බවත්..ඔවුන්ගේ වෘත්තිය සටන ජයග්‍රහණයෙන් මිස කෙළවර නොවනු ඇති බවයි.. මීළඟට ලෝක ප්‍රවෘත්ති“
ගුවන් විදුලියේ හයේ ප්‍රවෘත්ති වලට එහෙම කියනකොට අම්මා ලොකු හුස්මක් ගන්නවා මිත්‍රට ඇහුණා. ඒ වෙනකොටත් තාත්තා තවත් පිරිසක් එක්ක අට්ටාලේ උපවාස කරමින් හිටියා. හවස ඉස්කෝලේ ඇරිලා ආපු මිත්‍රගේ මල්ලි තාත්තා බලන්න උපවාසේ තියන තැනට ගිහින් ආපහු ඇවිත් මිත්‍ර සහ අම්මා ඉන්න තැන කතා කලා.
“මේක මේ එසේ මෙසේ අසාධාරණයක් නෙවෙයි..තනිකරම දේශපාලන වුවමනාකම් වෙනුවෙන් සේවකයින් පන්නා දැමීමක්..අපේ තාත්තලා මෙච්චරකල් කඹුරලත් අයිතිවාසිකම් ගැන දැනුවත්වෙන්න බැරිවුණානේ අනේ අම්මපා..අඩුම තරමේ ලියුමක්වත් නෑ රස්සාව කරනවා කියලා ලැබුණු“
මල්ලි ඇවිත් එහෙම කියනකොට අම්මගේ ඇස් ආයෙත් ලොකු වුණා. මිත්‍රටත් දැනුනේ මල්ලිට දකුණේ ඉස්කෝලවල කොල්ලන්ට කෙල්ලන්ට බෝවෙමින් තිබුණ උණ බෝවෙලා ඇති බව විතරයි.
“උඹ ඒ කෙහෙල්මලවල් හොයන්න ඕන නෑ..පොතක් පතක් බලාගෙන ගෙදර හිටපං..“
“කොහොද ඉතින් අම්මලා හැමදාම පසුගාමී..“
මල්ලි එසේ කියා ගෙට යන්නට යද්දී මිත්‍රගේ මුවට නැගුනේත් සිනහවකි.
“පසුගාමිද ගගනගාමිද කියලා මගෙන් අහගන්න එපා උඹ..මට ආරංචියි උඹ එක එක කල්ලි හදාගෙන එක එක තැන්වල කදේ දානවා කියලා..කඩනවා මම උඹේ අඬු දෙක“
* * * * *
“ඉතින් ඊට පස්සේ මොකද වුනේ මිත්‍ර තාත්තලගේ රස්සාවලට..? “
ගංගාරාමේ ගාව බන්ටි මුදලාලිගේ ටී ෂොප් එකෙන් ප්ලේන්ටි බොන ගමන් කතාවට එකතුවෙලා හිටපු මිත්‍රගෙන් ප්‍රශංසා ඇහුවේ බොහොම කුතුහලයෙන්. නිත්‍යාගේ ඇස් තිබුණෙත් මිත්‍රගේ මුව දිහාවටමයි. පීරිසියෙන් එසවුණු කෝප්පය නිත්‍යාගේ මුව ලඟට ගියේ බොහොම හෙමින්, ප්‍රශංසාගේ එහෙමවත් නෑ.
“ඔය මල්ලිගෙයි අම්මගෙයි කතාව වෙච්ච දවසෙම රෑ දොළහ පහුවෙන්න කිට්ටුව බල්ලෝ දිගින් දිගටම බුරන්න ගත්තා. ගෙදර ඉස්සහින් කව්දෝ කතාකරනවා ඇහුණා...ඒ අල්ලපු ගෙදර සිරිතුංග මාම...මම දොර ඇරලා බැලුවා..එතකොට තමයි සිරිතුංග මාමා විස්තරේ කිව්වේ..තාත්තලාගේ උපවාසේ කරන තැනට පැනපු කව්දෝ කල්ලියක් සේරටම ගහලා අට්ටාලෙටයි, බෝඩ්වලටයි ගිනි තියලා ගිහින්..“
ප්‍රශංසාගේ වගේම නිත්‍යාගෙත් ඇස් උඩ ගියා. නිත්‍යා හිතාගෙන හිටියේ එහෙම සිද්ධි වෙන්නේ උතුරේ ගම්වල විතරයි කියලා. බලාගෙන ගියාම දකුණේ විතරක් නෙවෙයි නැගෙනහිරත් එහෙමයි කියලා නිත්‍යා තේරුම්ගත්තම දිග හුස්මක් පිටවුනේ ඉබේමයි.
“ඊට පස්සේ..“
“පස්සේ මමයි මල්ලියි අම්මයි රෑම එතනට දිව්වා..ඒ වෙනකොටත් ගමම වගේ එතන..තාත්තා හිටියේ නෑ..තාත්තව අම්පාර ඉස්පිරිතාලෙට එක්කගෙන ගිහින්..විසි දෙනෙක්ට විතර තුවාලයි..ගමේ මිනිස්සු සේරම හිටියේ පුදුමාකාර බයකින්.. උපවාසේ කරන තැන ඉඳලා බේරුණ අය කිව්වේ වාහන දෙකකින් ආපු කට්ටියක් මූණ බැඳගෙන ඇවිත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව තඩි කුරුඳු පොලු වලින් ගහගෙන ගහගෙන ගියා කියලා..“
මිත්‍රට ඒ ගැන මතක් කරද්දීත් දැනුනේ තවමත් තමන් සිටින්නේ සීනි ෆැක්ටරියේ ගේට්ටුව ඉදිරිපිට බවයි. මිත්‍රට එය සිදුවී මහා කාලයක් ගතවී ඇතිබව දැනෙන්නට වුණා.
“තාත්තට ගොඩක් තුවාල වෙලා තිබුණද?“
ඒ ප්‍රශ්නය මිත්‍රගෙන් ඇහුවේ නිත්‍යා. එක පාරක් ෂෙල් වෙඩි උණ්ඩ කෑල්ලකට තාත්තගේ කකුල තුවාල වෙලා විඳවපු හැටි නිත්‍යට මතක් වුණා. තාත්තලා කොහෙත් එකයි, හැමදාම කොහෙන්හරි එන ප්‍රශ්නයකට මැදිවෙලා දුක් විඳිනවා.
“තාත්තගේ එක අතක ජොයින්ට් එකෙන් කැඩිලා තිබුණා..තව කකුලකුත් කැඩිලා තිබුණා..ඇග පුරාම තැලුම් පාරවල්..තාත්තාගේ ඔළුවට පොල්ලකින් ගහන්න හදද්දි එකෙක් ඇවිත් තාත්තව තල්ලු කරලා තිබුණේ ෆැක්ටරියේ රස්සාව නැතිවුණ ෆෝමන් කෙනෙක් වෙච්ච කරීම් මාමා. කරීම් මාමාගේ ඔළුවටයි ඒ පොළු පාර වැදිලා තිබුණේ.. දවස් දෙකක් සිහිය නැතිවම ඉඳලා කරීම් මාමා මැරුණා..උපවාසෙට සහයෝගෙ දීපු වෘත්තිය සමිතියේ රතු කමිස ඇඳගත්ත කොල්ලො දෙන්නෙක් අතුරුදහන්වෙලා තිබුණා..ගුටිකාපු අය කිව්වේ ඒ කොල්ලෝ දෙන්නව බලෙන් වාහනවල දාගෙන ගියා කියලා..පස්සේ කතාව ගියේ ෆැක්ටරියේ අයිතිකාරයන්ගේ වුවමනාවට ආන්ඩුවේ මැරයෝ දාලා ගැහුවා කියලයි..“
ප්‍රශංසාට සහ නිත්‍යාට මේ සිදුවීම් මාලාව මැවිලා පෙන්න පටන් ගත්තා. කුරුඳුපොලු පහර වැදිලා ලේ පෙරාගෙන වැටෙන කරීම් මාමගේ ලේ වල තිබුණ රතු පාට දෙන්නට පේන්න පටන්ගත්තා. කරීම් මාමා ගේ දෙණ උස්සගෙන අඩියට දෙකට මුස්ලිම් පල්ලිය පිටිපස්සේ සොහොනට පැය විසිහතරකට කලින් කට්ටිය ගියපු හැටි මිත්‍රට මතක් වුණා.
“ඒ කාටවත් ජොබ් ආයෙත් ලැබුණේ නෑ..අදටත් තාත්තා ලෙඩින්..තමන්ගේ වැඩටිකවත් කරගන්න අමාරුයි..හිතේ අමාරුවෙන්ම කැහැටු වෙලා ඉන්නවා..“
මිත්‍ර එහෙම කියද්දි ඔහුගේ මුහුණේ තිබ්බේ දුකකට, අසරණකමකටත් වඩා තදබල වෛරයක්. සමහර විට ඔහු මේ සමාජෙට වෛර කරනවා ඇති කියලා ප්‍රශංසා හිතුවා.
“පව් මිත්‍ර තාත්තා“
* * * * *
“තව වඩේ එකක් කන්න“
මිත්‍ර වඩේ පිඟාන දික්කරේ නිත්‍යා දිහාවට. නිත්‍යා අතින් ඇති කියලා සංඥා කලා. ප්‍රශංසා තව එක වඩේ එකක් අරන් කිරිසුදු දත් ඇඳි දෙකේ කෙළවරට තියලා හපලා කෑල්ලක් කඩා ගත්තා. ප්‍රශංසා වඩේ වලට හරි පෙරේතයි. කොටහේනේ බෝඩිමේ ඉඳන් සමහර දවසට ජම්පටා පැත්තටත් යනවා වඩේ තියන දෙමළ කඩ හොයාගෙන.
“යාපනේ වඩේ වගේ හොඳ නැතුව ඇති නේ මේවා..“
මිත්‍ර එහෙම කිව්වම නිත්‍යා හිනාවුණා. යාපනේ කෑම ගැන කිව්වම එකපාරටම හිත දුවගෙන චාවකච්චේරියට යන එක නවත්තගන්න තාමත් නිත්‍යට බැරිවෙලා.
“යාපනේ වඩේ මරු..ඒත් මට හරියට හදන්න බෑ අප්පා..“
නිත්‍යා එහෙම කිව්වම තුන්දෙනාටම හොඳ හිනාවක් ගියා. කටුක කතා, දුක හිතෙන සිද්ධි මැද්දේ හිනාවක් කියන්නේ හරියට පුංචි වැස්සක් වගේ තමයි දාඩිය දාන දවසක.
“ඒක නෙවෙයි..ඔයා කතාව මග නැවැත්තුවා නිත්‍යා.. ඔයා චාවකච්චේරියේ ඉස්කෝලේ යන දවස්වල නිතර එල්.ටී.ටී.ඊ එක ගමට එනවා කියන තැනින් නැවතුනා..“
මිත්‍රගේ නැවත ඇරයුමෙන් නිත්‍යා තමන්ගේ අතීත කතාවට අමාරුවෙන් වුනත් පියමනින්න හිත හදාගත්තා.
“පස්සේ ගමේ ඉන්නම බැරිවුණා..කොල්ලෝ එක එක අරගෙන යනවා..ඊට පස්සේ කිසි ආරංචියක් නැතුව යනවා.. මමයි නංගිලා දෙන්නයි විතරක් නිසා අපේ පවුලේ එච්චර ප්‍රශ්නයක් වුනේ නෑ..ඒ කාලේ හමුදාවෙනුත් ගමට එනවා..ඇවිත් වැඩිහිටියෝ එක්ක කතා කරලා යනවා..බය වෙන්න එපා කියලා යනවා..ඒත් අපි ඒ ඇඳුමට හරි බයයි ඒ දවස්වල..“
මොහොතක විරාමයක් අරන් නිත්‍යා නැවත කල්පනා කලා. මිත්‍ර සහ ප්‍රශංසා ඒ වෙලාවේ උත්සහ කරමින් හිටියේ මනසින් හරි නිත්‍යාගේ හැඟීම්වලට තමන්ට පය තියන්න පුළුවන්ද බලන්න. ඒත් මිත්‍ර කවමදාකවත් වවුනියාවෙන් එහා ගිහින් තිබුණේ නෑ, ඒකට ප්‍රශංසා අනුරාධපුරේ සීමාව පැනලා තිබුණේ නෑ. එහෙව් එකේ නිත්‍යාගේ පරිසරය තේරුම්ගන්න බොහොම අපහසු වුණා.
“දවසක් ගමට පැනලා කෙල්ලොත් අරගෙන යන්න හදද්දි අප්පා මාවයි නංගිලා දෙන්නවයි එක්කගෙන මැදව්චියට අමාරුවෙන් ආවා...ඒ මගදි අහුවුනානම් ඉවරයි..ඇවිත් මැදවච්චියේ හිටියා අපේ අප්පාගේ මල්ලි.. එයාලට හොඳට සිංහල එහෙමත් පුළුවන්..අන්තිමට මාවයි නංගිලා දෙන්නයි මැදවච්චියේ ඉස්කෝලෙක දාලා සිංහලෙන් ඉගැන්නුවා..ඒකයි අපිට හොඳට සිංහල පුළුවන්..“
ඒ වෙලාවේ තමයි මිත්‍ර දැනගත්තේ තිලක නොතියන, සිංහල අපූරුවට කතාකරන, ඩෙනිම් අඳින දෙමළ කෙල්ලගේ විපර්යාසවලට හේතුව. මිත්‍රගේ මූණට පුංචි හිනාවකුත් ආවා.
“වෙලාවට ඔයාලට එහෙම ඇවිත් ජීවිත බේරගන්න පුළුවන් වුනේ..“
“ඒක ඇත්ත මිත්‍ර..ඒත් අප්පලා අම්මලා සෑහෙන්න දුක් වින්ඳ..අම්මට අදටත් කණ් ඇහෙනවා අඩුයි එල්.ටී.ටී.ඊ එකයි හමුදාවයි ෆයිට් එකකදි ගෙදර ගාව පත්තුවුණ ෂෙල් එකක් නිසා..අපි දන්නේ නෑ ඒ ෂෙල් එක ගැහුවේ කව්ද කියලා..ඒත් අම්මට එදා ඉඳන් ඇහෙනවා ගොඩක් අඩුයි..“
“හ්ම්ම්..“ මිත්‍රට කියවුනේ එපමණයි.
“අපිට මැදවච්චියට ඇවිත් බේරෙන්න පුළුවන් වුණාට මාත් එක්ක චාවකච්චේරි ඉස්කෝලේ හිටපු ගොඩක් කෙල්ලන්ට ගන් එක අතට අරගෙන යුද්දෙට යන්න වුණා..මට තාම මතකයි අරසඩි පැත්තේ කෙල්ලෙක් හිටියා ෂාරිනී කියලා..ලස්සන ඇස් දෙක..කියවිල්ල ඉවරයක් නෑ..හරියටම මම ලොකු ළමයෙක් වුණ දවසේ අම්මයි අප්පයි මට කිව්වා ෂාරිනී වෙඩිකාලා මැරිලා කියලා මුලතිව් වලදි..උන්ට යුද්දයක් ඕන වුනේ නෑ මිත්‍ර..උන්ට ඕන වුනේ ඉගනගන්න..“
නිත්‍යා මොහොතක් ඇස්දෙක බිමට හරවාගෙන හිටිද්දි ඇස්වලින් බේරුණු කඳුළු බින්දුවක් බේරේ වැවට වැටිලා ගංඟාරාමේ පැත්තට ගහගෙන ගියා. ඒ එක්කම ගංගාරාමේ පැත්තෙන් ඝණ්ටාර සද්දයක් ඇහුණා. ප්‍රශංසා නිත්‍යාගේ පිටට තට්ටු කරලා ඇයව කෙලින් කරලා උරහිසේ තියාගත්තා.
සුභ පැතුම් Janaranga malli.....සුභ පැතුම් !!!!!
ReplyDelete