Nov 2, 2017

සක්මන් යාගය - 01 කොටස



දහවල විසින් ගෙන එන සියලු ස්වාභාවික ප්‍රහාරයන් මිනිසා වෙත එල්ල කරමින් සිටියි. කොළඹ අහස යට හෙවණක් මෙන්ම නිවනක් ද නැතිව, තොර තෝංචියක් නැතිව දුවන කකුල්වල සිට පැටළුණු අවුල් ජාලාවක එක කොණක් ලිහාගනිමින් තවත් දෙකොණක් පටලවාගනිමින් ජීවිතය ගතකරන ශීර්ෂවලට ද ඒ ස්වාභාවික ප්‍රහාරයන් බලපෑම් කරයි. ඒ සියල්ල මැද ඔහු ප්‍රධාන මාර්ගය ඔස්සේ පා ගමනින් පසුකර යමින් සිටියේ කොටුව දුම්රිය ස්ථානයයි. 

නුවර ගොස් දළදා වැඳ මාලිගයේ පත්තිරිප්පුවේ ලස්සන ගැන හිත මත් කරගෙන, අනුරාධපුරයේ නැතිනම් පොළොන්නරුවේ ගල්කණු අතර ඇවිදිමින්, ඒවා අතපත ගාමින් මුතුන් මිත්තන්ගේ වැඩකිඩ ගැන පම්පෝරි ගසා අවසානයේ සුද්දා තනා දුන් දුම්රිය මාර්ගයේ, කසිකබල් මට්ටමටත් එහාගිය දුම්රිය පෙට්ටි කිහිපයක නැගී කොළඹට ඇවිත් වැස්සට අව්වට හෙවණට ඉන්නේ සුද්දා විසින්ම තනාදුන් දුම්රිය ස්ථානයේ වහල යටය. 

"ඔහු" ට “කොළඹ කොටුව දුම්රිය ස්ථානය“ යන නම දකින දකින වාරයක් පාසාම සිහිවූයේ මෙයයි. අද වෙනසකට තිබුණේ ඒ ඉදිරිපිට ගසා තිබූ අට්ටාලය වෙනස් වී තිබීමයි. මීට දින කිහිපයකට පෙර තිබූ “අධ්‍යාපන අයිතීන් කප්පාදුව නවතා දමව්!“ යන අට්ටාලය වෙනුවට අද, “රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපට අත නොතබනු!“ අට්ටාලය ඉදිවී ඇත. ඒ බැනරය යට කිහිප දෙනෙක් එරමිණිය ගොතාගෙන බවුන් වඩමින් සිටියහ.


“මේක පුදුම ආණ්ඩුවක් - සතයක් නැති ආණ්ඩුවක්
  පැන්ෂන් එකටත් විදිනා - හිඟන වරිගෙ ආණ්ඩුවක්“

පෙළපාලියක් ඔහු පසුකරමින් කොටුව දෙසට ගමන් කරමින් සිටියි. ඔවුන්ගේ ගමනාන්තය කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ පැවැත්වෙමින් තිබූ දැවැන්ත විරෝධතා රැළියකි. වාහන දහස් ගණනක් ප්‍රධාන මාර්ගයේ තදබදයේ හෝන් හඬින් කෑගසන මොහොතක ඒ ශබ්දයද පරයමින් විරෝධතා රැළියේ කථිකයා පිරිස අමතමින් සිටියි.

“අපි මේ තක්කඩි ආණ්ඩුවට මේ ගැන කියන පළමුවෙනි වතාව නෙවෙයි මිත්‍රවරුණි...මුන්ගේ සක්කිලිකම්වල කෙළවරක් නැතිවෙන තැනටම පත්වෙමින් තියනවා. එක් පැත්තකින් උතුරේ ප්‍රශ්නේ එන්න එන්නම කුණුවෙලා පණුවෝ ගහන තුවාලයක් බවට පත්වෙලා..අනිත් පැත්තෙන් දකුණේ තරුණයන්ට තියන ප්‍රශ්න එන්න එන්නම වැඩිවෙලා ඔවුන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා දක්වනවා..ආර්ථිකේ කඩාගෙන වැටෙනවා..ඒ වුනාට මුන්ට තියෙන්නේ මගුල් විසේ..සිංගප්පූරුවට ගිහිල්ලා කහපාට හම තියන තායිලන්ත ගෑණු එක්ක මගුල් නටන්න විතරයි මේ ධනපති ආන්ඩුවේ බඩ තඩි අමනයන්ට ඕන කරලා තියෙන්නේ...ඒකට සල්ලි නෑ කියලා දැන් මුන් අත තියන්න යන්නේ තමුන්නාන්සේලාගේ ශ්‍රමයේ අයිතිවාසිකමක මූල සාධකයකට..විශ්‍රාම වැටුපට අත තිබ්බොත්, අගමැතිතුමෝ බබීත් සුං..බබීගේ අම්මිත් සුං..“

දැවැන්ත අත්පොලසන් නාදයක් සහ ජයඝෝෂා නැගේ. එක් පසෙක පොලිස් හමුදා කැරළි මර්දන කණ්ඩායම් සීරුවෙන් සිටියි. කළු පැහැති මර්ධන වාහන සහ බැරැක්ක ආරක්ෂාව තරකර ඇත. එදා විජිත පුරයට පහර දෙන්නට ගැමුණු යැවූ සේනාවේ කඩොලැතා පරිද්දෙන් තඩි වාහනයක මර්දන සිංහයෝ කඩා පනින්නට අණ ලැබෙන තුරු බලා සිටී, කඩු,දුනු,තෝමර වෙනුවට කඳුළු ගෑස් තුවක්කු, ෆයිබර් ආරක්ෂිත ආවරණ, දෙකහමාරේ බැටන් පොළු වලින් ඔවුන් සන්නද්ධය. දැන් විජිතපුරයට පනින්නට ඔන්න මෙන්නය. සියල්ලන්ගේ ජයඝෝෂාව වර්ධනය වේ.

ඔහු මදක් නැවතී රැළිය දෙස බලා සිටියි. රැළිය අමතමින් සිටින්නේ එවකට විමුක්ති ව්‍යාපාරයේ ප්‍රබල නායක චරිතයකි. ඔහු ඔහුගේ ප්‍රියතම කථිකයෙක් බැවින් වශීකෘතව ඒ වාග් මාලාවට කණ් යොමන්නට මදක් නැවතුනි. විරෝධතාවට ප්‍රතිවිරුද්ධ පැත්තේ සිටි නිසා ඔහු ජන තදබදයට හසුවී නැත. 

ඒ අතර සේනාව දෙසට විජිත පුරයෙන් ගල් දෙක තුනක් එල්ලවුණි, හූ හඬ මැද්දේ එල්ලවුණු ගල්පහරවලින් සේනාව කුපිත විය. අණ ලැබිණි..වාහන වලින් පැන රිසිසේ විරෝධතා කරුවන්ට පන්නා පන්නා පහර දෙන්නට පටන් ගත්හ. ඒ අතර කඳුළු ගෑස් උණ්ඩ උඩින් ඇවිත් පිරිස අතට පාත්විය.

“ධනපති අාණ්ඩුව භංගවේවා..පොලිස් සුනඛ සේනාව භංගවේවා“

රජයේ සේවක සහෝදරයෙක් රජයට එරෙහිව එලෙස කෑගසද්දි තවත් කඳුළු ගෑස් වලාකුළුක් ප්‍රදේශය වසා පැතිර ගියහ.

විරෝධතා කරුවන් සී සී කඩ දිව යද්දි ඇතැමෙක් කඳුළු ගෑස් උණ්ඩ සූක්ෂමව රැගෙන නැවත පොලිස්  හමුදාව  දෙසට දමා ගැසීය. පාරෙන් මෙපිට සිට තමන්ගේ ගමනද නවතා කතාවට කන්දී සිටි ඔහුටද මේ අලකලංචියට මුහුණ දෙන්නට සිදුවිය. කඳුළු ගෑස්වලට හුරුනැති තමන්ගේ දෙනතෙන් කඳුළු කැට සට සට ගා බිමට වැටෙද්දී බිම ඇණ තියාගෙන වැලමිටෙන් ඇස් තදකරගනු මිස කල හැකි යමක් නොවීය..එලෙස මොහොතක් ගතවෙන්නට ඇත.

“අයියා..මේකෙන් ඇස් දෙක තෙමාගන්න..“

කොළවරක් නැතිව කඳුළු ගලන ඇස්වලටත්, කකියන හිසටත් ඒ හඬ පැමිණියේ කාගේ මුවින්ද යන්න සිතාගත නොහැකිවිය. එහෙත් තමන් ඉදිරිපිට තමන් දෙසට නැවී සිටින නාරි රුවක් නම් ඔහුට පෙනුනි. ඒ පිරිමි හැටිය, හඳ ඇති රෑටත් වට අඩි ගණන් වල වගා ලිංවල තරම නොපෙනී ඒවාට ඇද වැටුණද තිත්ත පට්ට කළුවරක වුව නාරි රුවක මායිම් හරි අගේට දැකගන්නට පිරිමි ඇස්වලට හැකියි. 

ඇය කුඩා බෝතලයකින් වතුර  ලේන්සුවක් තෙමා ඔහුට දිගුකලාය. ඒ දිය බිංදු වලින් ඔහුගේ ඇසට ලැබුණේ වචනයෙන් කිව නොහැකි සහනයකි. එවිට ඔහුට වටපිටාවේ සිදුවෙමින් තිබෙන දේ පෙනෙන්ට තිබුණි. තවමත් පොලිස් හමුදාව පන්න පන්නා පහර දෙති. ඇය දැන් ඔහු අසල සිටින තවත් තරුණියගේ ඇස් තෙමයි, තරුණියට එපිටින් සිටින්නේ තවත් තරුණයෙකි..ඔහුගේත් ඇස් තෙමයිද?

“පලයව් පට්ට බැල්ලියෝ ගෙදර..මැරුම් නොකා“ 

පොලිස් හමුදාවේ සුන්දර වාග් කෝෂයේ දිගහැරුම් මැද ඇයගේ හිසට බැටන්ප්‍ පොළු පහරක් එල්ලවිය. ඇය ඇදවැටිණි. සුරතින් බෝතලයත්, ලේන්සුවත් බිම වැටුනේ හව්හරණක් නැති විලසින්ය.

ප්‍රහාරය දැන් විජිත පුර බලකොටුවත් ඉක්මවා පැමිණ ඇත. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගයේ විරුද්ධ පැත්තටද පැන පොලීස් හමුදාව අතොරක් නැතිව පිරිසට පන්න පන්නා පහර දෙති. තෝරා බේරාගෙන දඬුවම් කර වැරදි හදන්නට තරම් ඉස්පාසුවක් නැති නිසාදෝ සැමට එක සේ  සලකති.

“නංගි මොකද වුණේ..“

තමන්ගේ කඳුළුවලට සහනයක් වූ ඇය මහමග වැටී ඇත. හිස් ලූ අත දිවයන පිරිස මැදින් තවමත් හරිහැටි නොපෙනෙන ඇස් ඇර ඔහු ඇයව වත්තන් කරගන්නට සමත්විය. ඇයගේ හිසෙන් ලේ ගලායමින් ඇත. සියුමැලි මුවෙහි ප්‍රකාශිත වේදනාවෙන් ඔහු සසල විය. දැන් ඔහුට කඳුළු ගෑස් අමතකය, ලේ පැහැය විසින් ඔහු කම්පනයට පත්කර ඇත.

“වීල් එකක් නවත්තන්න ඉක්මණට..“

අධිවේග ජල ප්‍රහාරයන්ගෙන් ද තෙමුණු ඇදුම් ඇතිව විශ්‍රාම වැටුප් අරගලයට කිසිසේත්ම සම්බන්ධයක් නැති ඔහු ඇයව ත්‍රී රෝද රථයක නංවාගෙන ජාතික රෝහලට යන්නට විය.


                                            * * * * *

“ප්‍රශ්නයක් නෑ...නළල ඇතුලට පැලිලා නෑ...තුවාලේ විතරයි..“

නර්ස් නෝනා සුන්දර හිනාවකින් ඔහුට සංග්‍රහ කර කුමක්දෝ එන්නතක් රෝගී ඇයගේ අතට විදින්නට විය. ඔහුට මතක් වුනේ පාසල් කාලයේ පොඩි ඉස්කෝලයේදී කෙල්ලන්ට බෙහෙත් විදිනවිට උන්ගේ මුහුණුවල හැඟීම් බලා හිටි ආකාරයයි.

“සමහර කෙල්ලන්ට ජංගියෙ චූත් ගියා බං..“

සාලිය ගොස් පන්තියේ කොල්ලන්ට කියා ඇත. ඒ කතාවට කොල්ලන් සිනාසුනේ බඩවල් අල්ලාගෙනය. එහෙව් කොල්ලන්ට බෙහෙත් විදින දවසට හතක් අටක් කලන්තේ දා වැටෙද්දි පවන් ගහන්නට, වතුර පොවන්නට හිටියේත් කෙල්ලන්මය.

“ඔයාගේ වයිෆ් ද?“

සැනෙකින් දර්ශන පථය අම්පාර ඉඟිනියාගල කණිශ්ඨ විද්‍යාලයේ සිට කොළඹ ජාතික රෝහලට මාරුවිය. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ඔහුට තත්පර කීපයක් ගතවිය.

“නෑ..නෑ මිස්..කොටුවේ ප්‍රොටෙස්ට් එකට පොලීසියෙන් ගහද්දි තුවාල වෙලා..මම එක්කගෙන ආවා විතරයි“

එවිට නර්ස් නෝනාගේ මූණට ආවේ බැරෑරුම් ස්වභාවයකි.

“එහෙනම් ඉතින් රෝහල් පොලීසියට පැමිණිල්ලක් දාන්න වෙනවා..මොකද පහරදීමක් නේ..නැත්නම් වෙන ප්‍රශ්නයක්..පොලීසියෙන් ඇවිත් කට උත්තර ගනීවි, එතකල් ඉන්න..“

නර්ස් නෝනා එලෙස කියා සුන්දර සිනාවක් පාමින් ලැසි ගමනින් එතැනින් පිටවිය. ඔහුට සිහිවුනේ මර්වින් පෙරේරාගේ සින්දුවයි..

“සුදට සුදේ..අහ් හා..ගවුම ඇඳන්.. හිස් වැස්මත්..සුදට සුදයි...
නෙතඟ බැලුම් සිත පොපියයි - ඉරහඳ මිහිමත නලියයි
ඈ දැකුමෙන්...හද සැනසෙයි“

සිංඳුවෙන් පස්සේ නර්ස් නෝනාගේ කතාව ඔහුට සිහිවිය. ගහන්නෙත් පොලීසියයි, පැමිණිලි කරන්නේත් පොලීසියයි, තීන්දුව දෙනවා ඇත්තේත් පොලීසියයි. ඒක මරු වැඩක් බව ඔහුට තේරුම් ගන්නට වැඩි වේලාවක් අවශ්‍ය නොවීය.

“නංගී..නංගී..ඔයාට කොහොමද දැන්“

ඇය ඔහුගේ ආමන්ත්‍රණයෙන් තොල් පෙති සහ ඇස් සෙලවූවා පමණකි. පිළිතුරක් නම් නොලැබුණි. 

තමන්ට ඇය ගැන දිගින් දිගටම වගකීම් ගන්නට බැරිය. ඔහුට දැන් ඔහු පිළිබඳ සිහිවෙන්නට පටන්ගෙන ඇත. කඳුළු ගෑස්වලින් පසු ඔහුටද දැන් රෝහලේදී ප්‍රකෘති සිහිය ලැබෙමින් සිටියි.


                                              * * * * * 

රෝහලේ ඇය සුව වෙමින් සිටින ඇඳ අසල පරණවුණු මේසයේ මත ඇයගේ අත් බෑගය විය. එය දකින කල්හි ඔහුගේ සිතට දැනුනේ එක්තරා විදිහක ශෝකයකි. 

“පව් කෙල්ල..“

ඒත් ඇය පිළිබඳ වගකිව යුත්තෙක්ට දැනුම් දිය යුතුය. ඇයගේ ඩෙනිම් කලිසමත්, සුදු අත්දිග හැට්ටයත් දැන් හොඳහැටි වේලී ඇත. ඔහු නොකළයුත්තක් වුවද කරන්නට වීම ගැන සිතමින් ඇයගේ බෑගයෙන් සොයාගත් ඇයගේ ජංගම දුරකතනයේ අවසන් ඇමතුම් කිහිපය පරික්ෂා කරන්නට විය.

ඇමතුම් ලයිස්තුවේ වැඩිම වාරයක් මගහැරුණ ඇමතුම් අතර තිබුණේ “නිත්‍යා“ යන නමයි. ඒ නමින් මගහැරුණු ඇමතුම්ද දෙකක් විය. ඔහු එම අංකයට ඇමතුමක් දෙන්නට විය. 

“අනේ බං මම උඹට කී පාරක් ගත්තද?...ප්‍රොටෙස්ට් එකට ගැහුවා කියලා මම නිව්ස්වල ඇහුවා ඒකයි කෝල් කලේ..උඹට අවුලක් නෑ නේද?“

එහා පැත්තෙන් ඇහුනේ හොඳ සිංහල එහෙත් නුහුරට සිංහල කියවන කෙල්ලෙකුගේ බ්රේක් නැති කතාවකි. වඩාත් පැහැදිලිවම ඒ දෙමළ කෙල්ලෙක්ගේ බැනුම් විරිතකි. 

“සොරි මිස්..මම එයා නෙවෙයි..ඒ නංගි දැන් හොස්පිට්ල් එකේ ඉන්නේ..මම ඒක කියන්නයි කෝල් කලේ මේකෙන්..“

එක්වරම “නිත්‍යා“ කලබල විය.

“අනේ මොකක්ද ප්‍රශීට වුනේ..එයාට අමාරුයිද...මට කියන්න වෝඩ් එක..මම දැන්ම එන්නම්..“

නිත්‍යා කලබල කිරීමට ඔහුට කිසිම වුවමනාවක් නොවීය. එහෙත් කෙල්ලන් කලබලවූ විට මොකක්ද අමුතු මිහිරියාවක් ඇත, ඒ මිහිරියාව ඔහු තත්පර කීපයක් වුවමනාවෙන්ම විඳින්නට විය. කෙල්ලන්ගේ කලබලය කොහොමත් වුවමනාවට වැඩිය.

“නෑ එහෙම ලොකු අමාරුවක් නෑ..පේන්ට් වෙලා මම හිතන්නේ..“

ඔහු නිත්‍යාගේ කලබල රසය විඳීමට තිත තැබීය.

“හරි..ඉන්න මම එනවා..“

දුරකතනය විසන්ධිවිය. ඔහු සීලිමේ විදුලි පංකාව දෙස බැලීය. එයින් සිහිල් සුළඟක් තමා දෙසට හමා එමින් තිබුණි. තවමත් ඇස්දෙකේ අමාරුව විසින් ඔහු පෙලමින් සිටිද්දී මදක් සුළඟේ පහසට පෙම් කරන්නට පටන් ගත්හ.

-මතු සම්බන්ධයි -



1 comment:

  1. එක කොටසක් බලලා හොඳ නරක කියන එක හොඳ මදි නේ.....? සුභ පැතුම්

    ReplyDelete