Nov 10, 2017

සක්මන් යාගය - 4 වැනි කොටස




මුළු කොළඹම අඳුර ගිලගන්න වෙලාවේෙ බම්බලපිටියට නුදුරින් පිහිටලා තියන මිත්‍රගේ බෝඩිම් කාමරයේ එදා ගොඩක්ම රෑ වෙනකල් විදුලි එළියක් දැල්වෙමින් තිබුණා. කැළණිතිස්ස බලාගාරෙට එල්ලවුණ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා දවස් දෙකක් තිස්සේ විදුලිය නැතිවෙලා තිබුණ එකත්, ඊටත් වඩා භයානක විදිහට කොළඹ ගෙන්දගම් පොළව උඩ පයගහලා යන මිනිසුන්ගේ හිතේ හොල්මන් කරන්න පටන්ගත්ත මරණ භය කියන එක නිසා රාත්‍රියට කොළඹ වෙනදටත් වඩා නිශ්ශබ්ද තැනක් බවට පත්වෙමින් තිබුණා. 

බොහොමයක් වෙලාවට අගනගරේ පාරක් පාරක් ගානේ හතු පිපෙන්න වගේ මතුවෙමින් තිබුණ හමුදා පොලිස් බංකර් තොගය මිනිස්සුන්ගේ ඒ අවිනිශ්චිතතාවය කියන ගින්නට හරි අගේට පිදුරු දැම්මා. දකුණේ පත්තුවෙමින් තියන ගින්න කොළඹටත් ඇවිත් තිබුණ නිසා ආරක්ෂක අංශ සීරුවෙන් හිටියේ උතුරේ, දකුණේ කියලා වෙනසක් නැතිව රාජකාරිය කරන්න.

එහෙව් කාලෙක මිත්‍රගේ බෝඩිමේ රෑ ලයිට් එකක් පත්තුවෙලා තියන එක මිත්‍රට ප්‍රශ්නයක් නොවුණට ඒක ප්‍රශ්නයක් වුණ බොහෝ දෙනෙක් හිටියා. ප්‍රශංශා සහ නිත්‍යා එක්ක ගංඟාරාමේ සීමාවේ ඇවිදින අතරම කතාකරපු දේවල් නින්ද මිත්‍ර කරා නොගෙන එන බැරියර් එකක් වෙලා තිබුණා. ඒත් මිත්‍ර උත්සහ කලේ මොකක්මහරි කල්පනාවක් දාගෙන ඒ හැමදේම නිරවුල් කරගෙන නිදාගන්න.

“ටක් - ටක් - ටක් - ටක් “

එක දිගට “ටක්“ හතරක් කාමරේ දොරෙන් නැගුනා. වෙන කල්පනාවක හිටපු නිසා මිත්‍ර ටිකක් ගැස්සුණා. නිකමට වගේ වෙලාව බැලුවා. දොළහයි දහයයි..මේ වෙලාවේ..ඒත් මේ “ටක්“ හතර මිත්‍රට බොහොම හුරුයි. බුරුලට ලිහලා දාලා තිබුණ සරම ඇඳගෙන මිත්‍ර දොර ලඟට ගිහින් අගුල කරකවලා දොර අරින්න පටන්ගත්තා. අගුලට අමතරව දොරේ හරස් අතට දාලා තිබුණ ලීය අතට ගත්තේ ආරක්ෂාවටම නෙවෙයි.

“මම මේ හිත හිත හිටියේ උඹ මොකද පරක්කු කියලා අද...“

මිත්‍ර ඒ වචන පේලියත් එක්කම අමුත්තෙක් කාමරේට අරගත්තා. අරගෙන ආයෙත් දොර හරස් කරලා ලී පොල්ල දාලා අගුල කරකවලා වහලා දැම්මා..වැඩි පරිස්සමට ආයෙත් දොර තල්ලු කරලා වැහිලද කියලත් බැලුවා.

“ටිකක් රෑ වුණා මචං..නෑවිත් ඉන්නත් හදලා අනිතිමට ෂේප් එකේ ආවා..“

ඒ රමිත. මිත්‍රට අනුව ඒ ඔහුගේ කාමර සගයා. කාලයක් තිස්සේ මිත්‍ර එක්ක කාමරේ හුවමාරු කරගෙන ඉන්න රමිත එදා රෑ නම් ආවේ බොහොම තෙහෙට්ටුවෙන්.

“උඹ කෑවද රෑට ... උඹට සෑහෙන්න මහන්සි පාටයි..කොහේ ඉඳන්ද එන්නේ අද?“

මිත්‍රගේ ප්‍රශ්න ගණනාවටම උත්තර දෙන්න කලින් රමිත කාමරේ එහා කොණට ගිහින් ඇඳුම් ටික ගලවලා තුවාය ඇඳගත්තා. ඇඟට වතුර ටිකක් දාගන්නකන් කිසිම විමුක්තියක් තමන්ට නැතිබව රමිත හොඳටම දන්නවා.

“ඉඳි ආප්ප ටිකක් ගෙනාව බං..උඹ කාලා නේද? නැත්නම් බෙදාගෙන කමු මේක..“

“මම කෑවා බං..කොහේ ඉඳන්ද උඹ එන්නේ කියපං. ඇයි පරක්කු“

“උඹත් හරියට අපේ අම්මා වගේනේ බං..“

රමිත විහිළුවට වගේ මිත්‍රට කිව්වේ ඇත්තම කතාව. මේ වෙලාවට ගෙදරට පය තිබ්බනම් අම්ම අහන්නෙත් මේ ප්‍රශ්න ටිකම වෙන්න ඇති කියලා මිත්‍රට හිතුණා. වතුර ටිකක් ඇඟට දාගැනිල්ල පැත්තකින් තියලා රමිත පුටුව ඇදලා මේසේට වාඩිවුණා. එහෙම කරලා සිලි සිලි බෑග් එකෙන් පත්තර කොලේක ඔතපු ඉඳිආප්ප ටිකක් පිඟානකට දාගත්තා. ඒක උඩින් කඩිමුඩියේ හලාගත්ත මොනවදෝ හොදි වගයක් එක්ක රමිත කන්න පටන්ගත්තා.

“මම එන්නේ කෑගල්ලේ ඉඳලා..“

“ඒකත් එහෙමද..එතකොට රෑ වුනේ..“

“හවස මම එන්න කියලා කෑගල්ලේ ටවුන් එකට ආවේ එහේ පොඩි කොල්ලෙක් එක්ක බයික් එකේ. මට තේරුණා ටික දුරක් එද්දි ත්‍රීවීල් එකක් ෆලෝ කරනවා කියලා. මම පොඩි එකාට කිව්වා ස්ලෝ කරපන් කියලා..එතකොටත් ත්‍රීවිල් එකත් ස්ලෝ කලා..“

“නෑ...ඊට පස්සේ..“

“වැඩේ හරියන්නෙම නැති තැන ප්‍රධාන පාරේ ඉඳන් ඇතුලට කිලෝමීටර හතරක් විතර යද්දි තියනවා සේන කියලා අපේ සංවිධානේ සහෝදරයෙක්ගේ ගෙදර..ඒ පැත්තට  බයික් එක දාලා ඇරලා තියලා එහෙට ගියා..පස්සේ පැයක් දෙකක් සේන සහෝදරයගේ ගෙදර රස්තියාදුවෙලා තමයි රෑ වෙන්න ආවේ..ඒකයි පරක්කු වුනේ..“

“යකෝ උඹ පස්සේ දැන් සී.අයි.ඩී එකත් පන්නනවද..මළ සමයං..“

මිත්‍ර උපහාසාත්මකව රමිතගේ කතාවට දමලා ගැහුවට රමිත පරාජය බාරගන්න සූදානම් වුනේම නෑ.

“අනේ උඹ දන්න කෙහෙල්මලක්..ඔය පැත්තේ ඉන්න ජනතා පක්ෂේ එවුන්වත් මට විශ්වාස නෑ..“

“හරි හරි දැන් කාපන්කෝ..“

බඩගින්නේ ඉඳිආප්ප කටවල් ගිලින රමිත දිහා බැලුවම මිත්‍රට පුදුමාකාර දුකකුත් ඇතිවුණා. පව් අහිසංක තරුණ ජීවිත කියලා. හද්දා පිටිසර ගම්වල ඉඳන් ඉගනගන්න කොළඹ ඇවිල්ලා ජීවිතේ අරමුණු එහෙ මෙහෙ ගිහින් විඳින දුක්ගැන මිත්‍ර අවංකවම කණගාටුවුණා. පුළුවන් තරම් ගොඩදාන්නත් උත්සහ කලා, ඒත් මිත්‍ර එතනදි අසාර්ථකයි.

“ඒක නෙවෙයි උඹ අද කොහෙද ගියේ.. අර උඹේ අලුත් ලදරං කරත්ත දෙක මුණගැහෙන්න යනවා කිව්වා නේද?“

ඉඳිආප්ප ගුලියක් හොදි එකට දාලා අනන ගමන් රමිත ඇහුවේ මිත්‍රගේ ප්‍රතිචාර බලන්නත් එක්කමයි. මොකද මිත්‍රගේ කටින් මෙහෙම කෙල්ලෙක් ගැන ඇහෙන්නේ කලාතුරකින්.

“ලදරං කරත්ත දෙක..දෙනවා උඹට කණ කුඩුවෙන්න..බලපං ලදරංද කියලා..“

මිත්‍ර තමන්ගේ ජංගම දුරකතනේ තිබුණ ප්‍රශංසා සහ නිත්‍යා එක්ක ගත්ත ඡායාරූප කිහිපයක් රමිත ට පෙන්නුවා.

“අප්පට සිරි ගජ..මරු නෑම්බියෝ දෙන්නෙක්නේ..මම හිතුවේ නෑ අහක බලං ගහපු කොත්තුව වගේ ඉන්න උඹේ දිහා එකපාරට කෙල්ලො දෙන්නෙක්ම බලයි කියලා..“

“අපි එහෙම තමයි යකෝ..වැදගත් විදිහට..වැදගත් විදිහට ඉන්නේ..“

මිත්‍ර කොලර් එකත් උස්සගෙන එහෙම කියද්දි රමිතට හිනාව නවත්තගන්න බැරුව ගියා. ඉඳිආප්ප ගෙනාපු බෑග් එකේ තිබුණ පොතක් ඇද උඩින් තියලා බෑග් එකයි කොලෙයි කුනු බාල්දියට දාන්න ගියා. එතකොටත් මිත්‍ර කුණු බාල්දිය අස්කරලා මුණින් අතට හරවලා තියලත් ඉවරයි. රමිත ඒක අනිත් පැත්ත හරවලා කුණු ටික ඒකට දැම්මා.

“හරි හරි දැන් ඔතනින් කව්ද ප්‍රශංසා කව්ද නිත්‍යා..කෝ ඉතින් දෙමළ කෙල්ලෙක් කිව්වට වෙන්කරලා බලන්න බෑනේ මේකේ..“

රමිත ආයෙත් ජංගම දුරකතනේ අරගෙන උත්සහ කලේ දෙන්නා වෙන්කරලා අඳුනගන්න.

“වම් පැත්තේ ප්‍රශංසා, දකුණු පැත්තේ නිත්‍යා...“ මිත්‍ර වැඩේ පහසු කරලා දුන්නා.

“ප්‍රශංසා...ෂ මාර ෆිගර් එකක්නේ බං..කැත නැතුව තේක්ක කඳකින් දාන්න පුළුවන් කැටයමක් වගේ නේ..කකුල් දෙකේ ඉඳන්ම තියෙන්නේ කලාවක් බං..“

රමිත ප්‍රශංසා ගැන කරපු ප්‍රශංසාවට මිත්‍ර එබිලත් බැලුවා ජංගම දුරකතනේ තිරේට ඇත්තටම ඔය කියන තරමට ප්‍රශංසා ලස්සනද කියලා. මොකද මිත්‍රට වැඩිපුරම පේන්නේ නිත්‍යා මිසක් ප්‍රශංසා නොවීම එක්ක ඔය කියන වර්ණනා සම්බන්ධයෙන් මිත්‍රට හරි අවබෝධයක් තිබුණේ නෑ.

“දැන් එතකොට අනිත් එකී ලස්සන නැද්ද උඹට..“

“අන්න අන්න..උඹ මේක ජාතිවාදී ප්‍රශ්නයක් කරගන්න එපා..ඒකිත් ලස්සනයි..අරකි තරමට මහත නොවුණට ඒකිත් ලස්සනයි..ඒක වෙනම කලාවක්..මම ඉතින් මේ කිව්වේ මගේ රසාස්වාදේ ගැන..උඹේ රසාස්වාදේ කටු කරවල..මගේ රසාස්වාදේ තන්දුරි චිකන්..“

එහෙම කියලා රමිත මිත්‍රගේ පිට මැදට ගහපු පාරට මිත්‍රගේ පිට කකියන්න රිදුනා. හොඳ කුණුහර්පයක් හයියෙන් කියලා මිත්‍ර වේදනාව ඉවසගත්තා. ඒ අතරේ ඇඳ උඩ තියන රමිතගේ බෑග් එකෙන් එළියට ආපු රතුපාට කවරයක් තියන පොත මිත්‍ර අතට ගත්තා. ඒකේ රතු මුල් කවරේ මැද්දෑවෙන් හිටියේ පැත්තක් බලාගෙන ඉන්න එළු රැවුලක් තියන මනුස්සයෙක්. ඊට උඩින් ලෙනින් කියලා ලොකු අකුරෙන් ගහලා තිබුණා.

“ඒක නෙවෙයි මචං..මොකක්ද මේ ලෙනින් සහ උඹලගේ විමුක්ති ව්‍යාපාරය අතරේ තියන සම්බන්ධේ..“

රමිත ඒකට උත්තරයක් දෙන්න කලින් හොඳට කණ්දීලා බැලුවා වටේ පිටේ නොහඳුනන සද්ද එහෙම ඇහෙනවද කියලා. මොකද විමුක්ති ව්‍යාපාරේ කියන නම දැන් එහෙම ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් එකක් නෙවෙයි නිසා. ආණ්ඩුව නීති සම්මතකරගෙන විමුක්ති ව්‍යාපාරේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට හංවඩු ගහපු දවසේ ඉඳන් රමිත වගේම අනිත් සහෝදරවරුත් සෑහෙන්න පරිස්සම්.

“මෙහෙමයි බං.. දැන් උඹ කාල් මාක්ස් සහ එංගල්ස් එකතු වෙලා හදපු මාක්ස්වාදී න්‍යාය රුසියාව ඇතුලේ ප්‍රායෝගික යථාර්ථයක් කරන්න කටයුතු කලේ ලෙනින්. ඒක තමන්ගේ පෑනෙන් වගේම සෘජු නායකත්වයෙන් බොහොම හොඳට ලෙනින් කරලා පෙන්නුවා. නිර්ධන පංතියේ විප්ලවීය නැගීසිටීමක් වෙනුවෙන් අවශ්‍ය මොඩ්ල් එක ලෙනින් හදලා දුන්නා..“

රමිත බොහොම සුමට විදිහට කියද්දි සමහර දේවල් මිත්‍රට තේරුණා. සමහර දේවල් තේරුණා වගේ හිටියා. 

“හරි හරි..දැන් තේරුණා..“

“උඹ ඕක අදම අහපු එක හොඳයි..“

“ඒ මොකද..“

“නෑ අද මම හවස කරපු පංතියෙදි එවුන්ට කියලා දුන්නෙත් ඔය ටිකම තමයි..නැත්නම් මට ඕක උඹට කියලා දෙන්නත් ටිකක් හදාරන්න වෙනවා..“

“අනේ උඹෙ න්‍යාය..ඔළුවෙත් නැති දේදක්නේ..“

“එහෙම තමයි යකෝ.. කෝ උඹට කිව්වට එනවද පංතියකටවත්..යකෝ නිර්ධන පංතිය සබුද්ධිමත්ව නැගිටින්න ඕන වෙලාවෙක් මේ ධනපති පාලකයන්ට එරෙහිව..“

රමිත එහෙම කිව්වේ වම් අත මිට මොලවලා උස්සන ගමන්.

“අනේ මේ.. එතකොට අපේ ගෙදර එවුන්ට කන්න අඳින්න දෙන්නේ උඹද නැතිනම් ලෙනින්ද..“

මිත්‍ර එහෙම උත්තර දුන්නම රමිත මිත්‍රට රවලා අඩියට දෙකට නානකාමරේට රිංගලා උපරිම වේගයෙන් වතුර මලේ කරාමය විවර කලා.

                                                         
                                                                        * * * * *

මොරගහහේන පැත්තේ ඉඳලා වේගෙන් ආපු පෙජරෝ එකක් පාදුක්ක පැත්තට හරවලා ටික දුරක් ගිහින් අතුරු පාරට දැම්මා. දාලා වේගය ටිකක් විතර අඩුකලා. එහෙම ටික දුරක් ඉස්සරහට යද්දි පාරේ වම්පැත්තේ තියන රූස්ස මාර ගස් පේලියේ දෙවනි ගහ අතරින් පුද්ගලයෙක් මතුවුණා. ඔහු බලාගෙන හිටියේ පාර දිගේ එන වාහනේ දිහා.

වාහනේ ඇවිත් වේගය අඩාල කරලා අර පුද්ගලයා ලඟ නැවැත්තුවා. රියඳුරාට ප්‍රතිවිරුද්ධ පැත්තේ  කළු වීදුරුව හෙමීට පහළට ගියා. ඇතුලේ හිටියේ බොහොම වටිනා ඇඳුම්වලින් සැරසුණ “මහත්තයෙක්“ ඔහු අවුකණ්ණාඩි යුගලය අතට අරගෙන බොහොම සීරුවට දෙපැත්ත බැලුවා.

“පියල්..නගිනවා වාහනේට..“

පාරේ හිටපු පුද්ගලයත් දෙපැත්ත හොඳට බලලා ඉක්මණින් වාහනේට නැග්ගා. වාහනේ ආපු මහත්තයා හිටියේ ටිකක් තරහින් වගේ කියලා වාහනේට නැගපු පියල් ට හිතුණා. ඒක නිසාම මොකුත් නොකියාම වාඩිවුණා.

“මට කියනවා පියල් දැන් කොහේද නාරදලා ඉන්නෙ කියලා..“

දැන්නම් පියල්ට හොඳටම ස්ථීරයි මහත්තයට හොඳටම තරහා ගිහින් කියලා.ඒත් ඒ මොකක් නිසාද කියලා කල්පනා කරලා බලන්න පියල් මොහොතක් ගතකලා. 

“ගනේගොඩ මහත්තයා... මොකද මේ තරහෙන් මොකක්ද ප්‍රශ්නේ..“

“මේ පියල් මගේ යකා අවුස්සන්නේ නැතුව මාව එක්කගෙන යනවා නාරදලා ඉන්න තැනට“

එතනින් එහාට යමක් කතාකරලා වැඩක් නැතිනිසාම පියල් කටවහගෙන මං සලකුණු කියන්න විතරක් කට අරින්න තීරණේ කලා.

“ඔහොම ඉස්සරහට යං..මම කියන්නම් හරවන තැන..“

පෙජරෝ එක වේගයෙන් ඉස්සහට ඇදුනා. කිලෝමීටර් දෙකක් විතර ගිහින් කඳු පන්තියක් මැදින් වැටුණු පාරක් දිගේ ගමන් කරන්න පටන් ගත්තා. එහෙම ගියපු වාහනේ ආවෙත් විශාල රබර් වත්තක් මැදින් ගමන් කලා. රබර් වත්ත කෙළවර වාහනේ නතර කරන්න කියලා පියල් ගනේගොඩ මහත්තයට අතින් සංඥා කලා.

“අපිට මෙතන ඉඳන් ටිකක් පයින් යන්න වෙනවා.. වාහනේ යන්න බෑ..“

ඒ අණට කීකරු වුණු ගනේගොඩ මහත්තයා වාහනෙන් බැහැලා පියල්ගේ පස්සෙන් යන්න පටන්ගත්තා. රබර් කිරි එකතුකරලා බැරල්වලට දාලා රසායනික ද්‍රව්‍ය එකතුකරන්න රබර්වත්තේ කෙළවරම හදලා තිබුණ ගොඩනැගිල්ලේ දකුණු පැත්තෙන් ගිහින් තේක්ක ගස් අතරින් තියන ගුරුපාරේ දිගටම පියල් ඇවිදගෙන ගියා. ගනේගොඩ මහත්තයත් එච්චරම අවබෝධයක් නැතිවුණත් තමන් යන ගමන ගැන විතරක් විශ්වාසය තියලා පියල්ගේ පිටිපස්සෙන් ඇවිදගෙන ගියා.

විනාඩි දහයක විතර ගමනේ කෙළවර වුණේ පාළු ඉසව්වක තියන කුඩා එහෙත් අංග සම්පූර්ණ නිවෙසකින්. නිවස ඉස්සරහා තරුණයෝ දෙන්නෙක් බංකුවක වාඩිවෙලා දාං අතක් අදිමින් හිටියා. පියල් දැක්කම ඉන් එක්කෙනෙක් නැගිටලා ආවා. එතකොටම තවත් තරුණයෙක් ගෙදර ඉස්තෝප්පුවෙන් මතුවුණා.

“පියල් සහෝදරයා.. මේ ගනේගොඩ මහත්තයද?“

“ඔව් බිංදු සහෝදරයා.. නාරද සහෝදරයා මුණගැහෙන්න ආවේ..“

එහෙම කිව්වම බිංදු සහෝදරයා වගේම දාං ඇද ඇද ඇද හිටපු තරුණයෝ දෙන්නත් හොඳට ගනේගොඩ මහත්තයාගේ මූණ දිහා බැලුවා. තරහා ටිකක් අඩුවෙලා ඒ වෙනුවට තෙහෙට්ටුවක් පෙන්නුම් කරපු මැදි වයසේ ගනේගොඩ මහත්තයා ඒ වෙලාවේ හිටියේ ප්‍රශ්නාර්ථයක. 

“කිසිම ප්‍රශ්නයක් නෑ..“ පියල් එහෙම කිව්වම බිංදු සහෝදරයා ආයෙත් ගේ ඇතුලට ගියා. ඔහු ආයෙත් ආවේ විනාඩි දෙක තුනකින් පුටු තුනකුත් අරගෙන. ඇවිත් ඉස්තෝප්පුවෙන් පුටු තුන තියලා පියල්ටත් ගනේගොඩ මහත්තයටත් වාඩිවෙන්න කියලා සංඥා කලා.

විනාඩි දෙකකින් විතර ගේ ඇතුලෙන් එළියට ආවේ උඩු රැවුල තදට වැවුණු කොණ්ඩේ පැත්තට බෙදපු අවුරුදු හතලිහක විතර පුද්ගලයෙක්. ඔහු නාරද සහෝදරයා. සරලවම කිව්වොත් විමුක්ති ව්‍යාපාරයේ ප්‍රාණ නාලය වුණ නායකයා.

“අහා..ගනේගොඩ මහත්තයා..මොකෝ මේ හදිස්සියේ මාව මුණගැහෙන්න ඕන වුණේ..“

එහෙම කියලා පියල්ටත් අතවනලා ආචාර කරන ගමන් නාරද පුටුවේ වාඩිවුණා. සැහැල්ලු දිග කලිසමක් ඇඳලා කිඹුලා ලාංඡනේ තියන ලා කොළපාට ටී ෂර්ට් එකක් ඇඳලා හිටපු නාරද සහෝදරයාට බොහොම ජව සම්පන්න ශරීරයකුත් ආකර්ශණීය පෞර්ශයකුත් තිබුණා.

“නාරද..මොකක්ද අයිසේ අර බූරුවා කරලා තියෙන්නේ..“

“මොන බූරුවද ගනේගොඩ මහත්තයා..“

එකපාරටම ගනේගොඩ මහත්තයාගේ ස්වරයෙන් කැළඹීමට පත්වුණු නාරද එහෙම ඇහුවා. 

“අර විමලජීවයා.. ඇයි මම නාරදට දුන්නු විස්තර ටික ඒ බූරුවා ගෙඩි පිටින් නාරදලාගේ පත්තරේට දාලා..මගේ නම විතරයි එතන අඩු..ඒකත් දැම්මනම් වඩා හොඳයි..මොකද එහෙනම් මිනිස්ටර් මට වෙඩි තියලා ඉවරයි මේ වෙනකොට...“

ගනේගොඩ මහත්තයාගේ කැළඹීමට හේතුව නාරද වගේම පියලුත් දැනගත්තේ ඒ වෙලාවේ. ගනේගොඩ මහත්තයා ප්‍රධාන ලේකම් පදවිය දරණ පළාත් පාලන අමාත්‍යංශයේ ඇමතිතුමා කියන්නේ අගමැතිතුමාගේ දකුණු අත. ඒ දකුණු අත කරගෙන යන මහා පරිමාණ වංචා ගණනාවක් ගැන අමාත්‍යංශය ඇතුලෙන්ම ගත්ත තොරතුරු ටිකක් ගනේගොඩ මහත්තයා බොහොම රහසිගතව ගෙනැල්ලා නාරදගේ ඉස්සරහා තිබ්බේ ඒවා බොහොම සූක්ෂමව යොදාගෙන එක පැත්තකින් ආණ්ඩුවට රිදෙන්න ගහන්න. අනික් පැත්තෙන් විමුක්ති ව්‍යාපාරය ගැන ජනතාව තුල තියන භය ඉවත්කරලා ඒක ජනතාවගේ ගැලවුම්කාරයා බවට පරිවර්තනය කරගන්න පුළුවන් ව්‍යාපාරයක් කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න. 

“ගනේගොඩ මහත්තයා..අපි පොඩ්ඩක් කලබල නොවී මේ ගැන කතාකරමුකෝ.. “

“කලබල නොවී පුළුවන්ද නාරද..මේක මගේ බෙල්ල මුලින්ම කැපිලා යන වැඩක්..මම ඕගොල්ලන්ට කලේ මුදලින් මනින්න බැරි තරම් උදව්වක්..මම එහෙම කලේ වෙන මොකුත් මගුලකට නෙවෙයි, මේ විමුක්ති ව්‍යාපාරය සම්බන්ධයෙන් මටත් කැක්කුමක් තියන නිසා..මොකද මේක හදන තැන ඉඳන් අද ඉන්න තැන දක්වාම තිරය පිටිපස්සේ ඉඳගෙන මමත් ලොකු වැඩ කොටසක් කරපු නිසා..“

නාරද ගනේගොඩ මහත්තයාගේ පිටට අත තියලා ඔහු සංසුන් බවට පත්කරන්න උත්සහයක් ගත්තා. කොහොම වුනත් හිතේ තිබුණ තරහ පිටකරලා දැම්මම ඔහු ටිකක් පාලනය වෙමින් තිබුණා.ඒ අතරේ බිංදු සහෝදරයා ගෙනැත් දීපු තැබිළි වතුර කෝප්පෙට ඕන ඌෂ්ණයක් පාලනය කරන්න පුළුවන්කම තිබුණා.

“මම ඒ වරද පිළිගන්නවා ගනේගොඩ මහත්තයා.. ඔන්න පියල් සහෝදරයා දන්නවා මම විමලජීව සහෝදරයාව ගෙන්නලා හොඳටම දොස් කිව්වා මේ සම්බන්ධයෙන්. මොකද අවිය පත්තරේ කියන්නේ අපේ ප්‍රධානතම සන්නිවේදන මාර්ගය..ඕක කියවන්නේ අපේ ව්‍යාපාරයේ ඉන්න ප්‍රජාව විතරක් නෙවෙයි..මැති ඇමතිවරු සමහර වෙලාවට උදේ ජාතික පත්තර කියවන්න කලින් ඉරිදට ගන්නේ අවිය පත්තරේ..අරගෙන  බලන්නේ තමන්ගේ මොන රෙද්දද විමුක්ති ව්‍යාපාරය විසින් අද ගලවලා ඉවරකරලා තියෙන්නේ කියලා.. එහෙව් එකේ මේක බරපතල වරදක්..“

ඒ කතාවට ගනේගොඩ මහත්තයා සම්පූර්ණයෙන්ම මෙල්ලවුණා. නාරදගේ තියන මේ වචන වලින් මිනිස්සු පාලනය කිරීමේ හැකියාවම තමයි ඔහු විමුක්ති ව්‍යාපාරයේ ඉස්සරහටම එන්න බලපෑව හේතුව වුනේ. ඕනෑම කාරණයක් සරලම තැන ඉඳන් සංවේදීම තැන දක්වා පරාසයක හොඳින් ගේම් එක සෙල්ලම් කරන්න ඔහු දැනගෙන හිටියා.

“හරි නාරද..දැන් වෙච්ච දේ වුණා..මොකක්ද කරන්න පුළුවන් ඕන පොඩ්ඩක් යටගහන්න..“

“හ්ම්ම්.. අපි මෙහෙම කරමු..මම විමලජීව සහෝදරයාට කියන්නම් ලබන සතියේ ඔය සිද්ධිය සම්බන්ධයෙන් පත්තරේට ආපු නිර්ණාමික ලිපියක් විදිහට ඔය කියපු කරුණු ටිකම පටලවලා දාන්න කියලා..එහෙම කරලා මේ සිද්ධිය පොඩ්ඩක් සාමාන්‍යකරණය කරන්න කියලා..එහෙම හොඳයි නේද“

ගනේගොඩ මහත්තයා හිස වැණුවා විතරයි. ඊළඟට ඔහු ලොකු හුස්මක් ගත්තා.

“ගනේගොඩ මහත්තයා පොඩ්ඩක් වත් බය වෙන්න එපා..ඔබතුමාලා මේ කරන කැපවීම් සියල්ල අපි බොහොම හෘදයාංගමව බාරගන්නවා..ඒ වගේ උතුම් මිනිස්සුන්ට හානියක් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ..“

ඒ කතාව ඉවරවෙද්දි ගනේගොඩ මහත්තයා නාරදගේ මූණ දිහා බලලා සිහින් සිනාවක් නැගුවා. ඒකෙන් කිව්වේ වැඩේ සුද්දයි කියලා. ඔහුගේ හිතේ තිබුණ ලොකු බරක් බිමින් තිබ්බා වගේ සහනයක් දැනුනා. තැඹිලි වීදුරුවේ අනිත්ම උගුරත් බීලා කනප්පුව උඩින් වීදුරුව තියද්දිම ගනේගොඩ මහත්තයාගේ ජංගම දුරකතනය නාද වුණා.

“හෙලෝ චෙම්ලි...කියන්න..මොකා..කි..කීයටද..කොතනද..?“

එහා පැත්තෙන් ලැබුණු ප්‍රතිචාරයට තත්පර කීපයක් ඇතුලත ගනේගොඩ මහත්තයාගේ මූණ ආයෙත් හිතාගන්න බැරිවිදිහට කලුවෙලා වෙනස්වෙලා ගියා. පියල් වගේම නාරදත් ඒ වෙනස දිහා බොහොම කුතුහලයෙන් සහ කැළඹීමෙන් බලාගෙන හිටියා.

- මතු සම්බන්ධයි -

(“ගනේගොඩට ලැබුණු දුරකතන ඇමතුම කුමක්ද ගැනද?“ මීළඟ කොටස නොවැම්බර් 12 වැනිදා - අපේ ඉසව්ව facebook පිටුව මෙතැනින්)



No comments:

Post a Comment