May 29, 2021

යළිත් දවසක හිනැහෙන්න - 02 කොටස

 


පළමු කොටස මෙතනින්

හවස් ආකහේ කළුකරගෙන කොහේදෝ නොතිබිච්ච වැස්සක් මතුවෙමින් තිබුණා. නිල්වලා ගඟ මුහුදට වැටෙන්න ඕන්න මෙන්න තියෙද්දි අරගන්න ලොකුම වංගුව පේන තෙක්මානෙට ඔබ්බෙන් තිබුණු කිරළ ගස්වලට එහා ඈත කළුපාට වළාකුළු තරඟෙට වගේ එක තැනකට රොක්වුණා. මිදුලේ ඉඳන් බැලුවම හරි අපූරුවට බටහිර පැත්තෙන් පේන මාතර නගරය වගේම පීක්වැල්ල කන්ද පාමුලින් ගමන්කරන මාතර-තංගල්ල පාරත් එක්කම මොකක්දෝ ප්‍රේමයකින් වෙලේවත්තේ ඉඳන් ටික දුරක් ගමන් කරලා පල්ලිමුල්ල හරියෙන් වෙන්වෙලා යන නිල්වලා ගඟ වැහි කළුවර නිසා තද දම්පාටින් පීක්වැල්ල කඳු මුදුනට පෙනුනා.

"ඔන්න ඔය වංගුවෙදි තමයි ආසයි බයයි බෝට්ටුව පෙරළුනේ.." 

ඉස්සර තාත්තා එක්ක බයිසිකලෙන් සමන්මල් හෝටලේ පැත්තට යද්දි තාත්තා අතීත සුප්‍රසිද්ධ කතාවක් මතක් කලා. කතාව සුප්‍රසිද්ධ වුණාට ඇත්තටම මම ඒක දැනගෙන හිටියේ නෑ.

"ආසයි බයයි බෝට්ටුව කිව්වේ?" මම තාත්තගෙන් පෙරලා ඇහනවා.

"ඇයි අර සිංදුව..ආසයි බයයි-බෝට්ටුවේ නමයි - යළි නොම එන්නට ගිය ගමනයි..." 

තාත්තා සිංදුවේ තාලෙට කියනවා. හරියටම නිකන් ඇන්ටන් ජෝන්ස් කියනවා වගේම උගුරෙන් අමුතු හඬක් අරගෙන. මට එතකොට මතක්වුණා සිද්ධිය. අවුරුදු තිහ හතලිහකට කලින් මාතර නිල්වලා ගඟේ බෝට්ටු සේවයක් වැඩකරපු කාලේ තිබුණු ප්‍රසිද්ධ බෝට්ටුවක්ලු ඔය 'ආසයි බයයි' කියන්නේ. බෝට්ටුවේ නම විදිහට බඳේ ලියලා තිබිලා තියෙන්නේ ඔය නම තමයි. වෙසක් පෝයක් දවසක මාතරට පිටින් ආපු වන්දනාකාරයෝ නඩයක් පටවගෙන නිල්වලා ගඟේ යාත්‍රා කරමින් හිටිද්දි ගංඉවුර ලඟ තිබුණු විසාල ගහක ගඟට නැමුණු අත්තක බෝට්ටුව හැපිලා පෙරලිලා හිටපු ගොඩක් දෙනෙක් මිය ගියා කියන ඛේදවාචකය පස්සේ දවසක තාත්තා අකුරක් නෑර කියලා දුන්නා.

තාත්තා ඒ පෙන්නපු තැන හරියටම පහළ-පීක්වැල්ලේ පන්ථාරාමේ පන්සල ඉස්සරහ බොහොම සැර වංගුව. පොඩ්ඩක් සැරට වැස්සත් ගඟ ගොඩදාන තැන. පන්ථාරාමේ පන්සලට හරියටම උඩින් කන්ද මුදුනේ තවත් පන්සලක් තියනවා. උඩ පීක්වැල්ල පන්සල කියලා කතාවට කිව්වට පන්සලේ නම 'පීක්වැල්ල උග්ගල්බැවුල ගංගාතිලක විහාරය' ආච්චි ඉන්න කාලේ කිව්ව විදිහට මාතර පරණම පන්සල උඩ පීක්වැල්ල කියලා. 

අපි පොඩි එවුන් ටික ඒ දවස්වල විහිළුවට වගේ කියන්නේ උඩ පීක්වැල්ල පන්සල කවදහරි ගලවගෙන ඇවිල්ලා පහළ පීක්වැල්ල පන්සල් වත්ත මැදට වැටෙයි කියලා. එදාට උඩ පහළ බඩගාන්න දෙයක් නෑ කියලා උපාසක නෝනා මහත්තුරුන්ට. විහිළුවට වගේ කිව්වත් පස්සේ කාලෙක පීක්වැල්ල කන්ද නාය යන්න පටන්ගත්ත නිසා කන්දට සිමෙන්ති සාත්තුවක් දීලා කම්බි ඇමුණුවේ නැත්නම් ඇත්තටම වෙන්න ගියේ ඒකම තමයි.

අතීත කතා ටික එක එක මතුවෙද්දි වැහි කළුවර තවත් වැඩිවෙලා තිබුණා. මහගෙදර මිදුලට උඩ පීක්වැල්ල පන්සල පාරේ එහා පැත්තෙන් හොඳට පේනවා. මැද්දවත්තෙන් පටන්අරගෙන පීක්වැල්ලේ කන්ද මුදුන හරහා පීක්වැල්ල හංදියෙන් ආයෙත් මාතර-තංගල්ල පාරට එකතුවෙන මේ අතුරු පාරේ මහගෙදර තියෙන්නේ මූහුද පැත්තට වෙන්න. උඩ පීක්වැල්ල පන්සල තියෙන්නේ ගඟ පැත්තට වෙන්න. පාරේ එක පැත්තකින් පහළ බැලුවම ගඟ. පාර මාරුවෙලා වත්ත කෙළවරට ගිහින් බැලුවම ඈත බ්‍රවුන්ස් හීල් පැත්තෙන් මුහුද පේනවා. ඇත්තටම කිව්වොත් අපි පොඩි කාලේ ඉඳන් ජීවත්වුණේ මාතර මුදුනේ. මුළු මාතරම පේන, මුළු මාතරටම පේන තැනක. එහෙම තැනකට වැහි කළුව හරි  ඉක්මණට දැනෙනවා.

මිදුල මැද්දේ නවත්තලා තිබුණු වාහනෙන් බඩු බෑග් එක දෙක ගේ ඇතුලට සේන්දු වෙමින් තිබුණා. අලුත තණකොළ කපලා වත්ත පිටිය සුද්ද කරන්න රත්නේ මාමට කියලා තිබුණ නිසා ඒ වැඩේ අකුරටම සිද්ධ කරලා එතනින් නවතින්නේ නැතිව තීන්තත් ගාලා. අලුත් තීන්තවලින් එන සුවඳ මහගෙදර පැත්තෙන් බොහොම සීරුවට එද්දි මම නිල්වලා ගං මිටියාවත දිහා බලාගෙන මතක අනුස්මරණය කලා. අලුත් තීන්ත සුවඳ එක්ක මතක්වුණේ මහගෙදර අවුරුදු කාලේ. ගේ ඉස්සරහ සරුවට වැඩිලා තිබුණු පෙට්ටි අඹ ගහේ පහළ අත්තේ බඳින ඔන්චිල්ලිාවට ගොඩවෙලා එහෙ මෙහෙ පැද්දෙනකොට ගෙදර පැත්තෙන් ආව තීන්ත සුවඳ. 

'තාත්තී...ඇයි තාම එළියේ..එන්නකෝ වැඩක් පෙන්නන්න..'

දූ අනන්‍යා ගේ දොරකඩ ඉඳන් කතා කරනවා. මූණේ හිනා මල් ගොන්නක් පිපිලා වගේ මහ ගෙදරට අඩිය තියපු වෙලාවේ ඉඳන් මුළු ගෙදර පුරාම ඇවිදලා ඒ වෙනස අත්විඳිමින් ඇය සතුටු වුණා. තද්ධිත ගේ ඇතුලට පිවිසිලා තමන්ගේ දෝණි පුංචි පාද තියලා යන පාරෙම ඔෆීස් කාමරයට ඇතුල්වුණා.

‘මේ ඉන්නේ තාත්ති නේද?’

අනන්‍යා කාර්යාල කාමරයේ බිත්තියේ තියන ඡායාරූපයක් පෙන්නලා ඇහුවා. සහසුද්දෙන්ම ඇය ඒ පින්තූරයේ තමන්ව හොයාගත්තේ කොහොමද කියන එකටනම් තද්ධිත පුදුම වුණා. තාත්තා අම්මා එක්ක අයියා සහ නංගී  පෙනීඉන්න මේ පවුලේ සමූහ  ඡායාරූපය ගත්තේ මාතර වෙස්ට්-එන්ඩ් ස්ටූඩියෝ එකේ කියන එක තද්ධිතට තාමත් හොඳට මතකයි. කොට කලිසමක් ඇඳලා, ෂර්ට් එක යටකරලා, කොණ්ඩේ පැත්තකට පීරලා, කළුපාට සපත්තු දාලා මේස් දෙක දණහිස වෙනකල්ම උස්සපු මේ කළු-සුදු ඡායාරූපය ගනිද්දි තමන්ට අවුරුදු හයක් විතර ඇති කියලා ඔහුට මතක්වුණා. සෙන් තෝමස් එක ඉස්සරහ වෙස්ට්-එන්ඩ් ස්ටූඩියෝ එකේ උස තිරයක් ඉස්සරහා මේ ඡායාරූපය ගත්තු විදිහ තාමත් තද්ධිතට මතකයි. ඒ ඡායාරූපයේ හොඳටම මතුවෙලා පේන අම්මගේ හිනාව දැක්කම ඔහුට ලොකු පාළුවක් මහ ගෙදර දැනුනා. අම්මා තාත්තා විතරක් නෙවෙයි අද මහ ගෙදර අයියා හෝ නංගීවත් නැති අඩුව මේ වෙලාවේ තද්ධිතට තදින්ම දැනුනා.

‘කියන්නකෝ..මම හරි නේද?’ ආයෙත් අනන්‍යා තාත්තගේ අතින් ඇදලා ඇහුවා.

‘ඔව් පුතේ..ඒ තාත්ති තමයි..’

‘එතකොට මේ ලොකු තාත්තී මේ නැන්දී..’

‘හරියටම හරි...’

අනන්‍යාගේ මූණ සතුටින් පිරුණා. කෙල්ල කොච්චර බුද්ධිමත්ද කියන එකත් කෙල්ලගේ ඥාන ශක්තිය කවදහරි තමන්ව ඉක්මවලා යන බව දැනිලා තද්ධිතට සතුටක් දැනුනා.

‘නැන්දි කතා කලෙත් නෑ ගොඩ දවසකින්..’

අනන්‍යා මතක් කලේ දිනපතාම වගේ ඇයට අන්තර්ජාලය හරහා දුරකතන ඇමතුමක් දෙන නවසීලන්තයේ පදිංචිවෙලා ඉන්න තමන්ගේ නංගී ගැන. අනන්‍යා හරියටම පොඩි කාලේ තමන් වගේමයි කියලා නිතරම කියන එක තද්ධිතගේ නැගණිය සාකල්‍යාගේ පුරුද්දක්. දවස් කිහිපයකින් නංගි කතා නොකරපු බවත්, මාතර මහ ගෙදරට තමන් පරිස්සමින් ආවා කියන එකත් නංගිට කියන්න බැරිවුණා කියන එක තද්ධිතට මතක් වුණා.

‘නැන්දිට මොකක්ද ලොකු වැඩ වගයක් තියනවා කියලා ගෙදරින් පිට යනවා කිව්වනේ පුතේ..අපි හවසට කෝල් එකක් දෙමු’

තද්ධිත අනන්‍යාගේ අතින් අල්ලගෙන ගේ සාලය පැත්තට එද්දි බඩු සේරම බාපු වාහනය පිටත්වෙලා ගිහින්. බඩු බෑග් සේරම රත්නේ මාමා එක්ක මහන්සිවුණු අල්ලපු ගෙදර මල්ලි පිළිවලට කාමරවල තැන්පත් කරලා තිබුණා. නැන්දගේ අතින් හැදෙන පරිප්පු හොද්දේ සුවඳ සාලෙටත් එද්දි තද්ධිතට ලොකු බඩගින්නක් හදිසියේම දැනෙන්න පටන්ගත්තා. ඒ දවස්වලත් තද්ධිත අම්මගේ කෑමවලට පස්සේ ආසාවෙන්ම කෑවේ නැන්දගේ කෑම තමයි. ඒ කාලේ රත්නේ මාමා එක්ක දීග ගියපු තද්ධිතගේ තාත්තගේ අක්කා හෙවත් නැන්දා දික්වැල්ලේ බතීගම ගෙදරක පදිංචි වෙලා ඉන්න දවස්වල ඉඩක් ලැබුණු ගමන් තද්ධිත ඒ පැත්තේ යනවා. 

කෝට්ටේගොඩ පැත්තෙන් එන අළුත් මොර මාළු එක්ක හැදෙන රස පරිප්පු හොදද සුදු කැකුළු බත් එක්ක එකතුවෙලා ඒකට කොස්මැල්ලුම හරි පොළොස් මැල්ලුම හරි බත් පිඟානට එනවනම් ආයෙත් ඉතින් තද්ධිතට බඩ තදවෙනකල්ම කන්න පුළුවන්. ඒ කෑම වට්ටෝරුව මතක්වෙද්දි දැනුත් තද්ධිතගේ කටට කෙළ උනනවා. මාතර පැත්තේ මිනිස්සු ගෙදරම හදාගන්න තුනපහ ටිකක් වැටුණම ඊට පස්සේ උයන පිහන අත්වලින් කරන මැජික් එකට වෑංජනයකට දිව්‍ය රස එනවද මන්දා කියලා පිට පළාත්වලින් ආපු යාළු මිත්‍රයෝ අනන්තවත් ඔහුගෙන් අහලා තියනවා.

‘පුතේ කෑම ලෑස්තියි..කෙල්ලටත් බඩගිනි ඇතිනේ..කමු අපි..’

තද්ධිතගේ සිතිවිලි නැන්දා අවිඥ්ඥානිකව හරි සවිඥ්ඥානිකව හරි ග්‍රහණය කරගෙන එහෙම කතා කරද්දි තද්ධිත දූ පොඩිත්තත් එක්කම මේසේ පැත්තට ආවා. රත්නේ මාමා, නැන්දා එක්ක වාඩි වෙලා මගතොට තොරතුරු කතා කර කර බොහෝ වේලාවක් ගතකලා.

*  *  *  *  *

හැන්දෑවේ හතර විතර පහුවෙද්දි දෝණි ලස්සන ගවුමක් එහෙම ඇඳගෙන ඉස්තෝප්පුට ඇවිත් වාඩිවෙලා ඉන්නේ තමන් කලින් දවසේ වෙච්ච පොරොන්දුව මතක්වෙලා බව තද්ධිතට මතක්වුණා. පැය කිහිපයක් තිස්සේ ඔෆීස් කාමරේට වෙලා දිගු ලිපියක් එක්ක ඔට්ටුවුණු ඔහුට හදිස්සියේම පොරොන්දුව මතක්වුණු නිසා මොහොතකට වැඩේ පැත්තකින් තියලා නාලා සූදානම් වුණා.

අනන්‍යා මාතරට පය තියපු දවසේ ඉඳන්ම මාතර බීච් එකට එක්කගෙන යන්න කියලා කිව්වට ගෙනාපු බඩුමුට්ටු පිළිවෙලක් කරගන්න එක වගේම රාජකාරී වැඩ එක්ක ඒ ඉල්ලීම ඉටුකරන්න තද්ධිතට ඉඩක් ලැබුණේ නෑ. ඒත් කලින් දවසේ කෙල්ල ආයෙත් ගමන මතක් කලාම ඒ ඉල්ලීම අහක දාන්න තාත්තගේ හිතට ඉඩක් ලැබුණේ නෑ. 

සැහැල්ලු ටී ෂර්ට් එකකින් සහ ලිනන් කලිසමකින් සැරසුණු තද්ධිත ගෙදර තිබුණු පරණ මේට් ෆිප්ටියේ නැගලා පීක්වැල්ල කන්ද බැහැලා හෙමින් හෙමින් යන්න ගියා. මේට් බයික් එක තද්ධිතගේ අයියා තීර්ථක මහ ගෙදර ඉන්න කාලේ පාවිච්චි කරලා පට්ට ගහපු එකක්. ඒත් අවුරුදු ගාණකට පස්සේ වුණත් පෙට්‍රල් ටිකක් ගහලා දෙපාර කික් කරද්දි ස්ටාර්ට් වුණා. 

‘අන්න ඒකනේ ජපන් බයික්වල තියන වටිනකම’ රත්නේ මාමා ගේ දෙදරන්න බයික් එක රේස් කරන ගමන් කිව්වා.

තාත්තයි දුවයි පල්ලිමුල්ල බුදුරුව පහුකරලා සිංගර් සාප්පුව ලඟින් වම්පැත්තට හැරිලා මහාමායා මාවත දිගේ වෙරළ පැත්තට සේන්දු වුණා.

‘මෙන්න මේක තමයි පුතේ සනත් ජයසූරියගේ ගෙදර’

තද්ධිත මහමායා මාවතේ එක්පැත්තක තියන ගෙයක් පහුකරගෙන යද්දි වමත දිගු කරලා අනන්‍යාගේ කණට ලංවෙලා කිව්වා. අනන්‍යා බෙල්ල හරවලා පුදුමයෙන් වගේ බැලුවා.

‘ජයසූරිය..අර තාත්ති නිතර කියන ක්‍රිකට් ගහන මාමි නේද...එයා මෙහේද?’

කෙල්ලගේ මතකය ගැන තද්ධිතට පුදුමයි. 

‘හරියට හරි.. එයා මෙහේ කෙනෙක් තමයි පුතේ..එයා ගියපු ඉස්කෝලෙටම තමයි තාත්තිත් ගියේ..’

අනන්‍යා බයිසිකලයේ ඉදිරියේ ඉඳන් හැරිලා තාත්තාගේ මුහුණ දිහා බැලුවා. දෙන්නා කිලෝමීටරයක් විතර දිග වෙරළ තීරය එක්ක සමගාමීව ඇදෙන වෙරළ පාර දිගේ ටවුම පැත්තට ගියා. මාතර අප ස්වාමිදුවගේ පල්ලිය ඉස්සරහින් බයික් එක නතර කරලා තාත්තයි දුවයි අත් අල්ලගෙන වෙරළ පැත්තට ගියා. අනන්‍යාට වෙරළ එච්චරම හුරු නැති නිසා තද්ධිත දෝණිව පරිස්සමින් රැල්ල පාගන්න එක්කගෙන ගියා. ඒක අනන්‍යාට හරි සුන්ද සන්ධ්‍යාවක් වුණා. 

බොහෝ වෙලාවක් රැල්ල පාගලා වැල්ලේ කෝම් පිට්ටු හදපු අනන්‍යා තාත්තගේ අතේ එල්ලිලා වෙරළ තීරයේ ඇවිදිමින් හිටියා. අතේ කඩල ගොඩ්ඩක් දෙන්නා සප්පායම් වෙමින් හුළඟ මැද්දේ යද්දි තද්ධිත දැක්කේ ඇහැට හුරු රූපයක්. අවුරුදු ගණනාවකට පස්සේ මාතර ගතකරමින් ඉන්න ජීවිතේ ඇහැට හුරු රූප දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්, ඒත් මේ රූපය තද්ධිතගේ ඇස්දෙකට අලුත් එළියක් ගෙනාවා.

‘පුතේ..අන්න ඔයා දන්න කෙනෙක් ඉන්නවා’

‘කෝ තාත්තී..’

‘අර ඉන්නේ..’ 

තද්ධිත පෙන්නපු ඉසව්ව බලද්දි අනන්‍යා දැක්කේ චමීරා ටීචර් වෙරළ උද්‍යානයේ කෙළවර ෆයිනස් ගස් යාය යට බංකුවක වාඩිවෙලා අයිස් ක්‍රීම් එකක් රසවිඳින හැටි. 

‘චමී ආන්ටි’ 

අනන්‍යා සතුටින් හඬනගලා කිව්වා. තද්ධිතගේ අතින් ඇදගෙන කෙල්ල චමීරා ඉන්න පැත්තට එද්දි ඒ ගැන හාන්කවිසියක් නොදැක්ක චමීරා තාමත් හිම කිරම රස ඉවසමින් ඉන්නවා. තද්ධිතට ඒ වෙලාවේ පෙනුනෙත් මුලින් දැක්කා වගේම දිලිසෙන ඇස්දෙක. අත් කොට ටීෂර්ට් එකකට ඩෙනිම් ත්‍රීක්වාටර් එකකින් සැරසිලා පර්ස් එක විතරක් උකුලේ තියාගෙන නිමක් පේන්නේ නැති සාගරේ දිහා බලාගෙන ඇය ඉන්නවා. අයිස් ක්‍රීම් එකේ කන පෙරේතකමටද මන්දා අයිස්ක්‍රීම් නහයෙත් එක්ක. ටිකෙන් ටික අනන්‍යා තාත්තා එක්ක චමීරා ලඟට එද්දි අන්තිම මොහොතේ තමයි ඇය එක් දැක්කේ. එකපාරට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිව මොහොතක් බලාගෙන හිටියා. මූණේ අයිස්ක්‍රීම් තවරගෙන පොඩි එකෙක් වගේ ඉන්න චමීරා දැක්කම පුංචි අනන්‍යටත් හයියෙන් හිනා ගියා. ඒ එක්කම තද්ධිතත් ටිකක් වැඩිපුර හිනාවෙද්දි චමීරාට මොක්ක්දෝ අවුලක් තේරුණා.

‘හෙලෝ ආන්ටි.. ඔයත් බීච් ඇවිල්ලා..හිහි’ අනන්‍යා ඇයි මෙහෙම හිනාවෙන්නේ කියලා චමීරාට තාම තේරෙන්නේ නෑ.

‘හෙලෝ අනන්‍යා..ඔයත් බීච් ආවද..’ අන්තිමට ‘තාත්ති එක්ක’ කියන වචන දෙක චමීරා ආයාසයෙන් නතර කරගත්තා.

තද්ධිත පිටිපස්සේ ඉඳන් හිනාවෙලා දෙන්නාගේ කතාබහ බලාගෙන හිටියා. චමීරා වාඩිවෙලා ඉන්න ගමන්ම අනන්‍යාගේ අතින් අල්ලගත්තා.

‘දැන් කොහොමද ඔයාට..ඊට පස්සේ අසනීපවුනේ නෑ නේද?’

‘නෑ ආන්ටි..’

‘හා එහෙනම් හොඳයි’

‘ආන්ටි මොකද මේ නහයෙන් අයිස්ක්‍රීම් කන්නේ..එච්චර රසයිද’ 

අනන්‍යා එහෙම අහද්දි චමීරාට දෙලෝ රත්වුණා. ඉක්මණින් ජංගම දුරකතනයේ සෙල්ෆි කැමරාව ක්‍රියාත්මක කරලා මූණ බලද්දි නහයේ අයිස්ක්‍රීම් තල්ලියක්. අඩුම තරමේ සීතලටවත් දැනුනේ නෑනේ. අනන්‍යාගේ තාත්තත් ඉස්සරහා වෙච්ච ලැජ්ජාවට චමීරාට හීන් දාඩිය දැම්මා. සාක්කුවෙන් ලේන්සුව ගන්නවත් කල්පනාවක් නැතිව අතින්ම අයිස්ක්‍රීම් පිහදාලා හරි අසරණ විදිහට අනන්‍යා දිහා බලලා හිනාවුණා. ඒ අතරේ තද්ධිතත් හිනාවෙනවා දැක්කම චමීරාට පොළව පලාගෙන ගියානම් කොච්චර සනීපද කියලා හිතුනා.

‘දැන් හරි නේද?’

‘දැන් හරි ආන්ටි..’

තමන් අපහසුතාවයට පත්වුණා කියලා තද්ධිතට නොපෙන්වා ඉන්න චමීරා සෑහෙන්න උත්සහ කලා.

‘හායි මිස්.. කොහොමද ඉතින්?’

තද්ධිත හිනාවෙලා ආමන්ත්‍රණය කරද්දි චමීරාට දැන් ඉතින් උත්තර දෙන්න වෙනවනේ කියන කලබලයත් එක්ක එන අපහුතාවයක් ආයෙත් මතුවුණා.

‘හොඳින් ඉන්නවා.. ටිකක් බීච් එක පැත්තට එන්න හිතුණා..’

‘ඒක හොඳයි..මිස් මේ ලඟද ඉන්නේ?’

දරුවන්ගේ ටීචර්ස්ලාගේ ගෙවල් දොරවල් තියන තැන් හොයන්න තාත්තලාට වෙන වැඩ නැද්ද. චමීරාට දැන් තරහත් එක්ක. වැඩි හරියක්ම කලින් වෙච්ච ලැජ්ජාවත් එක්ක තමන්ට හිනාවෙලා ඉවරවෙලා දැන් සන්සුන් සඳුන් පැලයක් වගේ ඉන්නේ කොහෙද කියලා අහද්දි වැල්ලේ බිම පෙරලගෙන ගහන්න තරම් චමීරාට දැන් තරහයි.

‘ඔව් මේ ලඟ ඉන්නේ..’

චමීරා ගැලවෙන්න සුදුසුම උත්තරේ දීලා ඊළඟට ප්‍රශ්නයක් අහන්නේ නැතිව හිටියේ කතාව මෙතනින් එහාට යන එක නවත්තන්නම හිතාගෙන. තව තව මේ කතාබහ යන්න යන්න ලැජ්ජාව අමතක වෙලා කතාව දිගට කරගෙන යද්දි ආයෙත් අතරමග හදිස්සියේවත් අනන්‍යාගේ තාත්තා වෙන දේකට හිනාවුනත් තමන්ට ලැජ්ජාවක් දැනේවි කියන සිතිවිල්ල නිසාම චමීරාට පුළුවන් ඉක්මණට බංකුවෙන් නැගිටලා යන්න ඕන උනා.

‘අනන්‍යා දුව..මම දැන් ටවුන් එක පැත්තට යනවා..ඔයා පරිස්සමින් යන්න හොඳද..ටේක් කෙයාර්’

‘බායි ටීචර්..ටේක් කෙයාර්..සී යූ සූන්..’

පර්ස් එකත් අතට අරගෙන නැගිටින ගමන්ම ඒ ටිකට ඉස්සිලා කිරිපාට බඳ පෙනෙද්දි තද්ධිතට ඒ දිහා බැලුනේ නොදැනීම. තමන් මොකක්දෝ වැරැද්දක් කලාද කියලා හිතද්දිම වගේ චමීරා ටී ෂර්ට් එක පහළට ඇදලා සකස් කරගත්තා. ඇය ඒක කලේ පුරුද්දට වගේ කියන එක තද්ධිත දන්නේ නැති නිසාම තද්ධිතටත් පුංචි ලැජ්ජාවක් දැනුනා. ඒත් ඒ සුන්දර නිමේෂයක ඇහැ සුන්දර තැන්වල නවතින එක පිරිමි ගැහැණු කාටත් පොදු දෙයක් කියලා හිතලා ඔහු ඒක අමතක කරන්න උත්සහ කලා.

‘මම ගිහින් එන්නම් මිස්ටර්...’

‘මම තද්ධිත...’

‘හරි මිස්ටර් තද්ධිත..මම යන්නම්..’ මුලින් ‘ගිහින් එන්නම්’ කියලා නොදැනීම කියපු වචන දෙක චමීරා නිවැරදි කරගත්තා. සාමාන්‍යයෙන් කතා කරද්දි වචනයක් වචනයක් ගානේ සැලකිලිමත් වෙන එක චමීරාට අම්මාගෙන් ලැබුණු පුරුද්දක්. හැබැයි ඉතින් සමහර වෙලාවට කියවන්න ගියාම ඕක අමතක වෙන වාර ගණන අනන්තයි.

‘හරි මිස්.. සී යූ..’

ඒකට මොකුත් වචනයකින් උත්තර නොදුන්න චමීරා හීනියට සාමාන්‍ය හිනාවකින් උත්තර දීලා අනන්‍යාට අතින් සංඥා කරලා යන්න ගියා. චමීරා ටවුම පැත්තට අඩිය තියලා වෙරළ උද්‍යානය දිගේ යද්දි තද්ධිත අනන්‍යා එක්ක ප්‍රධාන පාර පැත්තට හැරුණේ බයික් එක තියන තැනට යන්න බලාගෙන. ඒ අතරේ අනන්‍යා මොනවදෝ කිය කියා හිටියට ඒ ගැන වගක් නැතිව තද්ධිත හිටියේ ලොකු කල්පනාවක.

03 වැනි කොටස මෙතනින්
www.facebook.com/apeisawwa


1 comment: