Jun 1, 2021

යළිත් දවසක හිනැහෙන්න - 03 කොටස

 


පහුගිය කොටස් 1 2

බ්‍රවුන්ස් හිල් කියන්නේ මාතර වෙරළේ ඉඳන් බැලුවම කෙළවරෙන්ම පෙනෙන සුන්දර කඳුවැටිය. ඒ මැද්දෙන් වංගු ගනිමින් දිවෙන මාතර-කතරගම ප්‍රධාන මාර්ගයේ ගමන් කරද්දි ගොඩක් වෙලාවට දෙපැත්තේ දකින්න ලැබෙන්නේ සුඛෝපභෝගී නිවාස සහ හෝටල්. බ්‍රවුන්ස් හිල් නමත් එක්ක යටත් විජිත කාලයේ මාතර කතා ප්‍රවෘත්ති ගොඩක් මාතර ඉතිහාසයේ තියනවා. බ්‍රවුන්ස් හිල් වලට ඔබ්බෙන් ඈතින් පේන්නේ දෙවුන්දර තුඩුව. හවස් කාලෙට මේ තුඩුවෙන් විහිදෙන ආලෝකය ලංකාවේ උසම ප්‍රදීපාගාරයෙන් ඉපදෙනවා.

චමීරා ජීවත්වෙන්නේ බ්‍රවුන්ස්හිල් ටෙරසයේ කෙළවරේ. කාලයක් රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරලා දැන් විශ්‍රාමිකව ඉන්න තාත්තා සහ රජයේ පාසලක ගුරුවරියක් විදිහට සේවය කරන අම්මාත් එක්ක චමීරා බොහොම සාමකාමීව ජීවිතේ ගෙවනවා.

එදා හවස චමීරාගේ කාමරේ විශාල කවුළුවෙන් පෙනෙන මාතර නගරයේ එක් පසෙක සුන්දර දර්ශනය දැහැනකට සමවැදිලා වගේ බලාගෙන හිටියේ නිශාදි. චමීරාගේ බොහොම දීර්ඝකාලීන මිතුරිය නිතරම චමීරා දකින්න ආවත් කවදාවත් එපා නොවෙන මේ දර්ශනය කිසිම වෙලාවක මගහරින්නේ නෑ.

‘දැන් ඉතින් උඹ මොකටද ඒ යකා දැක්කම ඔච්චර වෙවුලන්නේ?’

නිශ්ශබ්දතාවය බිඳිමින් නිශාදි චමීරාගෙන් ප්‍රශ්න කලා. ඒ වෙලාවේ චමීරා එරික් ඉලයප්රාච්චිගේ ‘පරදේසි’ පොත එක්ක අතරමං වෙමින් හිටියා. කියුබාවේ ජීවමාන පිළිරූ එක්ක කියුබාවේ අප්‍රසිද්ධ වීදි පුරා සැරිසරමින් ඉන්න වෙලාවක නිශාදිගේ ප්‍රශ්නයෙන් ආයෙත් ඇදගෙන ඇවිත් මාතරට දැම්මා.

‘වෙවුලන්නේ? මම මොන මගුලකටද වෙවුලන්නේ.. එහෙම එකක් නෑ’

‘එහෙනම් උඹ මට ඊයේ කෝල් කලාම කිව්වේ අර නද්ධිත ද චන්දික ද කව්ද අර මොන්ටිසෝරි දරුවෙක්ගේ තාත්තා මුණගැහුණු සීන් එක...’

‘හරි..ඉතින්..මම කිව්වද වෙවුලුවා කියලා..මම කිව්වේ මට කතාකරන්න ටිකක් අපහසුතාවයක් දැනුනා කියලා..’

‘එහෙම වෙන්නේ වෙවුලද්දි තමයි’

‘බම්බුව..’

චමීරා ආයෙත් පොත කියවන්න පටන්ගත්තා. නිශාදි ඇඳ උඩට ඇවිල්ලා ඇල් වෙමින් තිබුණු තේක අතට ගත්තා. හොඳට බැලුවා පොත කියවමින් හිටපු චමීරාගේ මූණ දිහා.

‘උඹේ මූණ අද හරි පිං පාටයි චමී... මොරවකට හඳ පායලා වගේ...’

‘අනේ උඹ.. මගෙන් අහගන්න එපා..මොරවකට හඳ පායලා නම් උඹ ගිහින් ගල් ගහපන්..කොහොමත් ඉතින් උඹලා ඉන්න අකුරැස්සයි මොරවකයි අතරේ ලොකු දුරක් නෑනේ..’

‘හරි හරි ඉතින් උඹට ලැජ්ජා හිතුනද?’

‘ලැජ්ජා හිතෙන්නේ මොන මගුලටද යකෝ..උඹට ආයෙත් කියන්නේ නෑ මම කිසිම දෙයක් සීරියස් දේවල් ආතල් එකට ගන්නවනම්..’

චමීරා එහෙම කියලා ආයෙත් ‘පරදේසි’ පොතට මුහුණු ඔබාගත්තා.

‘අම්මට සිරි..සීරියස් දේවල්..ඒ කියන්නේ සීරියස් දෙයක්ද ඒක..’

‘ඕන රෙද්දක් හිතාගනිං..උඹ දන්නවනේ මං ගැන’

චමීරාව බයිට් කරා ඇති කියලා හිතුනම නිශාදි තව තව දුර යන කතාව නැවැත්තුවා. මීට ටික කාලෙකට කලින් එහෙම කතාවක් ගිහින් චමීරා තමන්ගේ දුරකතන ඇමතුමකටවත් ප්‍රතිචාර නොදක්වපු විදිහ නිශාදිට මතක්වුණා. නිශාදි ඒ ගැන මතක් කරන ගමන් චමීරාගේ පොත් රාක්කෙන් පොතක් අතට අරගෙන ඇඳේ දිගාවුණා. චමීරා පොත මොහොතකට පැත්තකට තියලා ජංගම දුරකතනය අතට ගත්තා.

කිසිම අරමුණක් නැතිව ස්පර්ශ සංවේදී තිරය මත සිහින් ඇඟිලි තුඩු එහෙම මෙහෙ යවපු ඇය එහෙම්ම ෆේස්බුක් ජාලයට පිවිසුණා. එහි සෙවුම් ස්ථානයේ ‘තද්ධිත’ කියලා සටහන් කරලා සෙවුම් යතුර ස්පර්ශ කළත් මතුවුණු ලයිස්තුවේ ඇය බලාපොරොත්තුවුණු මුහුණ තිබුණේ නෑ. ආයෙත් කල්පනා කරලා ඉංග්‍රීසි ටී අකුරට පස්සේ එච් අකුර සටහන් කරලා ආයෙත් හෙව්වා. ඒ පාරනම් චමීරාගේ මුහුණට සිහින් සිනාවක් මතුවුණේ ‘තද්ධිත දන්තනාරායන’ නම එක්කම තිබුණු තමන් අවස්ථා දෙකකදි දැකපු හීන් හිනාව සහ ඇස්දෙක ඇතුලත් ඡායාරූපය දැක්කට පස්සේ.

‘අනේ මන්දා...තාත්තා තද්ධිත..දුව අනන්‍යා...නිකං සිංහල පන්තියක් වගේ...ගෙදර බල්ලෙක් එහෙම හිටියනම් ෂුවර් එක්කෝ තාලුජ කියලා හරි නැත්නම් උත්ප්‍රාස හරි මොකක්හරි නමක් දාවි..’

චමීරා ඒ අදහස සිතිවිල්ලකට විතරක් සීමාකරගත්තේ නැත්නම් ආයෙත් නිශාදිගේ කට අවුස්සගන්න අකමැති නිසා. ‘නිශාදිගේ කට අවුස්සගත්තොත් ඉතින් ආයේ මෝය කට ඇරියා වගේ තමයි’ ඒ කාලේ දේශපාලන විද්‍යා පන්තියෙදි ගර්ල් ඉස්කූල් එකේ කෙල්ලෙක් කිව්වා චමීරාට මතකයි. ඒ කාලේ චමීරා ලා නිල් සහ සුදුපාට ඉරි තියන ටයි එක දාලා. සුදුපාට රිබන් වලින් කොණ්ඩේ බැඳගෙන මාතර කොන්වන්ට් යන කාලේ.

තද්ධිතගේ ෆේස්බුක් ගිණුමේ බිත්තිය පුරාම මොකක්දෝ දෙයක් හොයපු ඇය බලාපොරොත්තු කඩවුණා වගේ එයින් පිටවෙලා ජංගම දුරකතනය පැත්තකින් තියලා ලොකු හුස්මක් ගත්තා.

‘ඇයි අප්පා මම මේ යකාගේ ප්‍රොෆයිල් එක බැලුවේ..’

එහෙම හිතන ගමන් චමීරා ඇඳෙන් බැහැලා ඇවිත් පොත් මේසේ වාඩිවුණා. පෑනක් කොලයක් අතට අරගෙන ඇය යමක් ලියන්න ගත්තා.

වළාකුළු අතර මැද
ඇති එකම හිස් තැනක්
වැස්සත් නොවැස්සත්
නොපිරෙනා එක් විලක්
රක්ත මල් යාය මැද
මල් නොපිපි එක් ගහක
අහම්බෙන් ඇස ගැටුණි
වෙලෙන එක සලඹයෙක්...

වෙනදා සෑහෙන්න මහන්සිවෙලා ප්‍රස්තුථ හොයාගෙන කවි පබඳින චමීරාට නොදැනීම පද පේලි ටිකක් කොළයේ ලියවුණා. ආයෙත් වරක් ඇය ඒක කියවලා මේසේ උඩ ඒ විදිහටම තියෙන්න ඇරියා. ඊට පැය කිහිපයකට පස්සේ නිශාදි චමීරාගේ කාමරයෙන් පිටවෙන්න යද්දි චමීරාගේ මේසේ  උඩ තිබුණු තමන්ගේ අත්බෑගය ගනිද්දි මේ පද පේලි ටික අහම්බෙන් දැක්කා. ඒක අතට අරගෙන පරිස්සමින් කියවපු නිශාදිගේ දෙතොල්වලට සිහින් සිනාවක් මතුවුණා. හැබැයි ඇය චමීරාට කිසිම දෙයක් ඒ ගැන කිව්වේ නෑ.

 

* * * * * * * *

රෑ දොළහ පහුවෙනකල් දීර්ඝ ලිපියක් ලියමින් හිටපු තද්ධිත ආයෙත් පාරක් කාමරේට ගිහින් දෝණි නිදිද කියලා බැලුවා. රෑ සීතල එක්ක කෙල්ල සුරතල් ටෙඩී කෙනෙක් බදාගෙන සුව නින්දේ. අම්මා කෙනෙක් බදාගෙන ඒ උණුහුම විඳින්න ඕන වයසක කෙල්ල ඒ නිදාගෙන ඉන්න විදිහ දැක්කම තද්ධිතගේ හිතට වාවන්නේ නැතිව ගියා. අනන්‍යා ලඟට ගිහින් ඔළුව අතගාන්න තරමට පීතෘස්නේහයක් දැනුණත් ඒක ආයාසයෙන් මැඩගෙන කාර්යාල කාමරය වෙත ගියා.

මොහොතක් වාඩිවෙලා දිග හුස්මක් ගත්ත ඔහු මොකක්දෝ කල්පනාවකට සූදානම් වුණා. අවුරුදු ගාණක් තිස්සේ ලෝකයම තමන්ගෙන් අහන ප්‍රශ්නයකට කොහොම මොන විදිහේ උත්තරයක් දෙන්නද කියන එක තද්ධිතට අවබෝධයක් තිබුණේ නෑ. ඒ අවුරුදු ගණනාවම පුරාම තද්ධිත කරපු එකම දේ තමන්ගේ හිතට හොඳයි කියලා හිතෙන හිතෙන දේ කරපු එක. ඒ අවස්ථානුකූල තීරණ සහ ප්‍රතිචාරයන්ගෙන් ඇතැම් වෙලාවට හිතට සහනයක් වගේම තවත් වෙලාවකට බරපතල පීඩාවක් නොදුන්නා නෙවෙයි.

එහෙම පීඩාවක් දැනුණු හැම වෙලාවකම වගේ තද්ධිත කලේ අනන්‍යාව පපුවට තුරුල් කරගෙන ඒ වේදනාව ඉවසපු එක. අනන්‍යා නොතේරෙන පොඩි දරුවා කාලේ එහෙම වෙලාවට කලේ උණුහුමට ගුලිවෙන එක වුනාට හය හතර තේරෙන කාලේ ඉඳලම ඇය කලේ තද්ධිතගේ මනෝභාවය තේරුම්ගත්තා වගේ ‘ඇයි තාත්තී’ කියලාවත් අහන එක. එහෙම නැත්නම් පුංචි අත්දෙකෙන් තාත්තගේ ඔළුව අතගාන එක. එහෙම වෙලාවට තද්ධිතට මොන ප්‍රශ්නයක් තිබුණත් හරි ඉක්මණට ඒක අමතක කරන්න අවශ්‍ය ආදරණීය සහනයක් ඇගෙන් ලැබුණ නිසා. ඒ නිසාම කවදාවත් තමන්ට අඩුවක් දැනුනේ නෑ කියන එක තද්ධිතට විශ්වාසයි.

ඒත් අනන්‍යා දවසින් දවස ලොකු වෙද්දි, ටිකෙන් ටික ඇය මේ ලෝකය ගැන ජීවිතය ගැන දේවල් තේරුම් ගනිද්දි අම්මා කියන සංකල්පය එක්ක එන අඩුව පුරවන්න තමන්ට හැකිවේවිද කියන කම්පනය මිශ්‍ර සැකය නිසා තද්ධිත ගොළුවෙන වාර ගණන අනන්තයි.

‘මම ඉන්නවනේ පුතේ දරුවට..’

අම්මා හිටියනම් එහෙම කියාවි කියන එක තද්ධිතට සහතිකයි. එක පැත්තකින් එහෙම කියන්න අම්මා ජීවතුන් අතර නැති එකත් අනිත් පැත්තෙන් අම්මා කෙනෙක්ගේ අඩුව ආත්තම්මාට පුරවන්න පුළුවන්ද කියලා ඇතිවෙන ප්‍රශ්නාර්ථය අතරේ තද්ධිත දෝලනය වෙමින් කාලයක් ගතවුණා. කොහොම වුනත් තියන එකම සැනසිල්ල වුණේ නොදන්නා රටක පයට නොදැනෙන මහ පොළවක් උඩ අඩිය තියලා යද්දි දැනෙන නුහුරු කාන්සියට වඩා ලංකාවට ආවම දැනෙන මොකක්දෝ නමක් හරියට කියන්න බැරි හැඟීම නිසා තද්ධිතට යම්කිසි සහනයක් මේ දවස් ටිකේ දැනෙමින් තිබුණා.

‘ඕකට මචං තනිකරම රාමුගත තක්කඩි දූපත් මානසිකත්වය.. උඹ කොච්චර පැරීසියේ පොළව උඩ හිටියත් තාම උඹ ඉන්නේ අර මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා මූඩ් එකේ..වෙනස උඹේ තල්ල සුදුත් නෑ බෙල්ලේ ගෝමර ඇත්තෙත් නෑ..’

දවසක් සේයින් ගඟ අසබඩ හෙමින්ග්වේ බාර් එකේ ඉඳන් හීනියට ඇඟ රත්වෙමින් තිබුණු වෙලාවකට තද්ධිතගේ පැරිස් සගයා දේශිත කියපු කතාවක් හදිස්සියේම ඔහුට මතක්වුණා. ඒ වෙද්දි හෙමින්ග්වේ බාර් එකේ හිටපු කීපදෙනා අතරේ ප්‍රංශ බසින් හුවමාරුවෙන වදන් අතරේ ඇහුණු සිංහල වාග් මාලාවට පිළිතුරු විදිහට හයියෙන් හිනාවෙනවා ඇරෙන්න තද්ධීතට කරන්න දෙයක් තිබුණේ නෑ. මොකද ඒ කතාවේ යම්තාක් දුරට ඇත්තක් ගැබ්වෙලා තිබුණ නිසා.

‘මට ගම රට සම්බන්ධයෙන් තියන ආසාව හරි කැමැත්ත හරි උඹ ඔය කියන රාමුවට ලඝු කරන්න අමාරුයි මචං..අන්න ඒක තමයි රියල් තක්කඩි වැඩේ..’

තද්ධිත තමන් අතේ තිබුණු වීදුරුවට අයිස් කැටයක් දාන ගමන් කිව්වා. දේශිත වීදුරුව දෙතොලට ලංකරලා බොහොම පරිස්සමෙන් රටබීම උගුරක් සප්පායම් වෙන අතරේ ඒ කතාවට උත්තරයක් හෙව්වා.

‘මෙහෙමයි මචං..ඔය අපේ රටේ බොහොමයක් එවුන් තමන්ගේ තියන තක්කඩිකම වහගන්නේ ඔය දේශප්‍රේමයයි ගං කෑල්ලයි ඉස්සරහට දාලා...කැමරාව ඉස්සරහට ඇවිත් පපුවට දෙතුන් පාරක් ගහගෙන පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම කිව්ව ගමන් අපේ උන් බඩගාගෙන පස්සෙන් යනවා..’

‘උඹ දන්නවනේ මම ඒ කියන තැන නෑ කියලා..’

‘ඒක ඇත්ත..අන්න එතනදි මම උඹ එක්ක එකඟයි.. ඒ අතින් උඹේ තියන ගං කෑල්ල හරි අවංකයි, මටසිළුටුයි...ඒක හොරකං කරලා රෙද්දෙන් වහගන්න එකක් නෙවෙයි නිසා මම උඹ එක්ක එකඟයි..’

මාතර මහගෙදර කාර්යාල කාමරේ ඉන්න ගමන් එදා හෙමින්ග්වේ බාර් එකේ කතාව මතක් වෙද්දිම පැරීසියේ අතහැරලා දාලා එන්න බැරිවුණු දේවල් අතරේ දේශිත වගේ උන් එක්ක තිබුණු යාළුකම ලයිස්තුවේ ඉදිරියෙන්ම තියනවා කියන එක විතරක් තද්ධිතට ප්‍රත්‍යක්ෂ වුණා. ආයෙත් ඇවිල්ලා නතර වුණේ පුරුදු තැනමයි. අනාගතය කියන වචන ටිකට පවා තද්ධිතගේ හිතේ ඇතිවුණේ කම්පනයක්. ඒත් ඒකට මුහුණ දෙන්න වෙන බවත් ඒ වෙනුවෙන් තමන්ට මහන්සිවෙන්න වෙනවා කියන එකත් තද්ධිතට අමුතුවෙන් හිතන්න දෙයක් තිබුණේ නෑ. හැබැයි අනන්‍යා එක්ක ගෙවන ජීවිතය මහගෙදරදි තමන් නොහිතන නොදැනෙන වෙනසකට අරගෙන යනවා කියන දේ විතරක් තද්ධිතට තදින්ම දැනෙමින් තිබුණා. එක්කෝ අනන්‍යා මීට අවුරුදු තිහකටත් වැඩි කාලයකට කලින් මහ ගෙදර ජීවත්වුණු තමන් බවට පරිවර්තනය වෙමින් ඉන්නවා කියන හැඟීම හරි නැත්නම් තමන් අනන්‍යා කියන අවුරුදු පහේ දරුවාගේ චිත්ත සීමාවේ නතරවෙන තැනට ඇවිත් කියන හැඟීම හරි දෙකෙන් එකක තමන් නැවතිලා කියන එක ඔහුට දැනුණා.

සමහර ප්‍රශ්නවලට උත්තර හොයන්න කාලය කියන එක තද්ධිත දන්නවා. ඒත් ඒ කොයිතරම් කාලයක්ද සහ මොනවගේ උත්තරයක්ද කියන එක ගැන කිසිම අදහසක් හිත් මානෙකවත් ඇත්තේ නෑ කියන එක අළුත් දෙයක් නෙවෙයි කියලාත් තද්ධිත දැනගෙන හිටියා.

කල්පනාව අතරේම තද්ධිත පරිඝණක තිරයේ ඉදිරිපිට ස්පර්ශ සංවේදී පුවරුව මත දකුණතේ දබරඟිල්ල එහෙ මෙහෙ කරමින් හිටියා. ෆේස්බුක් එකේ උඩට පහළට යන අතරේ එක තැනක තද්ධිතගේ ඇස් නැවතුණා. ඒ තැන කලින් දවසක් තමන් සැලකිය යුතු වෙහෙසක් අරගෙන හොයාගෙන මිතුරු ඉල්ලුම්පතක් යවනවා වෙනුවට ෆලෝ කිරීමකින් පමණක් සැනසුනු තැනක්.

චමීරා වත්තේගම නමට වම් පැත්තෙන් නිකටට අත තියාගත්ත ඒ පුංචි රූපේ ඇතුලේ සොඳුරු දෘශ්ටි මායාවක හැඩය. ඊට යටින් පැය කිහිපයකට කලින් පලවුණු පද පේලි කීපයක්. තද්ධිත වරක් කියෙව්වා..දෙවනි වරත් කියෙව්වා..ඒ විදිහට කිහිප වාරයක්ම ඒ පදටික කියවලා හොඳ හුස්මක් ගත්තා.

‘රක්ත මල් යාය මැද
මල් නොපිපි එක් ගහක
අහම්බෙන් ඇස ගැටුණි
වෙලෙන එක සලඹයෙක්...’

ඒ අන්තිම පද පේලි හතරේ තද්ධිතට මොකක්දෝ සමානකමක් නැත්නම් ඊටත් එහා ගියපු හුරුපුරුදු බවක් තියනවා කියන එක කියවන වාරයක් පාසාම හිතුණා. ඒ මොකක්ද ඒ සමානකම නැත්නම් හුරුපුරුදුකම කියන එක තද්ධිත දිගින් දිගටම කල්පනා කලා. ඇඳට ගිහින් අනන්‍යා තුරුල් කරන් නිදාගනිද්දිත් ඔහු කලේ ඒක කල්පනා කරපු එක.

මීළඟ කොටස මෙතනින්


අලුත්ම කොටස් පලකරපු සැනින් දැනගන්න ‘අපේ ඉසව්ව’ ෆේස්බුක් පිටුවට
Like කරන්න
www.facebook.com/apeisawwa.


3 comments:

  1. කවියෙන් කවිය ඉස්සරහට යනවා.. හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං..කවියෙන් හැදෙන බැඳීම් කියන ඒවා හරි අපූරු බැඳීම්..සමහර ඒවා කවිපද එක්කම ඉවරවෙනවා..සමහර ඒවා ජීවිතේ එක්කම ඉස්සරහට යනවා.

      Delete
  2. ලස්සනයි කතාව..දිගටම ලියන්න ..

    ReplyDelete