Sep 4, 2023

මිනිසා සහ සතාගේ වෙනස

 


පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ මැලේසියාවේ, ක්වාලාලාම්පූර් නගරයේ පැවැත්වුණු වැඩමුළුවකට සහභාගිවෙන්න ලැබුණා. රටවල් දොළහක් නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගිවුණු මේ වැඩමුළුවේ මුල්ම දවසෙදි මට ආචාර්ය රාජීස් හඳුනගන්න ලැබුණා. අවුරුදු හැත්තෑවකට ආසන්න වුනත් ඉතාම හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකරන ඇයගේ ශ්‍රී ලාංකික සම්භවය නිසා බොහොම ඉක්මණින් මම එක්ක හිතවත් වුණා.

ඒ වෙද්දිත් ආචාර්ය රාජීස් මැලේසියාවේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සංවිධාන එකමුතුවේ විධායක අධ්‍යක්ෂිකාව විදිහට කටයුතු කරමින් හිටියා. ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති පුළුල් දැනුමත්, බොහොම ව්‍යක්ත කථනය වගේම නිතරම මුහුණේ රැඳුණු හිනාව නිසා ඇය බොහොම ඉක්මණින් කෙනෙක්ගේ හිතට අල්ලනවා.

ඇයගේ සීයා යාපනේ ප්‍රදේශයේ ඉපදුණු කෙනෙක් නිසා ආචාර්ය රාජීස්ගේ සහ මගේ කතාබහ බොහෝවිට ලංකාවේ සමාජ දේශපාලන වටපිටාව ගැන ඈඳුණු මාතෘකාවලින් පොහොසත්වුණා. ඒ වගේම ජීවිතය ගැන, විවිධ දෘශ්ටිවාදයන් ගැන අපි බොහෝ වෙලාවට කතාබහ කලා.

මේ විදිහට වැඩමුළුව අතරේ එක්තරා හැන්ඳෑවක අපි නවාතැන් ගත්ත හෝටලය පරිශ්‍රයේ පැවැත්වුණු සැඳෑ සාදයක් අවසානයේ අපේ කණ්ඩායම වාඩිවෙලාල කතාබහක යෙදිලා හිටියා. ඒ වෙලාවේ ආචාර්ය රාජීස් මගෙන් අපූරු ප්‍රශ්නයක් ඇහුවා.

‘ඔයා දන්නවද මනුස්සයාගෙයි සත්තුන්ගෙයි තියන වෙනස මොකක්ද කියලා?’

අනපේක්ෂිතව අහපු ප්‍රශ්නයට උත්තරයක් කල්පනා කරමින් මම තත්පර කිහිපයක් ගතකළා. මේකට උත්තරය සරල එකක් වෙන්න බෑ කියලා මම දන්න නිසා තව ටිකක් කල්පනා කලා. එකපාරටම මගේ මතකයට ආවේ සන්නිවේදනය, ප්‍රතිචාර දැක්වීම, ඇඳුම් පැළඳුම් වගේ ඒවා විතරයි. 

‘විලාසිතා..?’ මම පිළිතුරක් විදිහට ඇය ඉදිරියෙන් තිබ්බා. ඇය හිනාවෙලා උත්තර දුන්නා.

‘නෑ.. මනුස්සයගෙයි සත්තුන්ගෙයි අතර තියන ප්‍රධානම වෙනස තමයි වචනයට වටිනාකමක් තියන එක..’

ඒ කතාව ටිකක් ගැඹුරුයි වගේම ආකර්ශණීයයි කියලා දැනුන නිසා වැඩිදුර ඒ කතාව ඇතුලේ කිමිදෙනවා වෙනුවට මම ඇයටම ඒක නිර්වචනය කරන්න අවස්ථාව හදලා දුන්නා.

‘ඒ කිව්වේ?’ ඇය හරිබරි ගැහිලා කතාවට සූදානම් වුණා.

‘මෙහෙමයි.. මේක මමත් කොතනක හරි කියවපු එකක්.. මේ ලෝකයේ මනුස්සයට විතරයි පුළුවන් තවත් කෙනෙක්ට මොකක්හරි පොරොන්දුවක් වෙලා ඒ වචනය ඉටුකරන්න.. ඒ කියන්නේ තමන් අර වචනයෙන් වෙච්ච පොරොන්දුව හරියටම ඉටුකරන්න පුළුවන් මනුස්සයාට විතරයි..’

හෙමින් සීරුවේ කල්පනා කරලා බැලුවම ඒ කතාව කොච්චර සාධාරණ ද කියන එක වගේම ඒ කතාවේ ගැඹුර හිතනවටත් වඩා එහාට ගියපු එකක් නේද කියලා හිතුණා. 

‘ඒක තමයි මනුස්සයා සහ සත්තු වෙනස්වෙන ප්‍රධානම තැන..’ ඇය කතාව හමාර කළා.

‘ඒ කියන්නේ මනුස්සයෙක්ට තමන් වචනයෙන් පොරොන්දුවෙන දෙයක් ඉටුකරන්න බැරිනම් මනුස්සයා සහ සත්තු අතර කිසිවෙනසක් නෑ කියන එකද?’

ආචාර්ය රාජීස් හිස පැත්තකට ඇලකරලා දෙපාරක් හෙමින් හිස සොලවලා ඒ කතාව ස්ථීර කලා. 

මනුස්සයේකට මනුස්සයෙක් විදිහට පොරොන්දුවක් දුන්නම ඒක කොතරම් තීරණාත්මක එකක්ද කියන එක වගේම සමස්ත මනුස්ස සංහතියේම ගෞරවය රැඳිලා තියෙන්නේ අන්න අර පොරොන්දුව වෙන වචනයට වටිනාකමක් තියලා ඒක ඉටුකරන එක නේද කියලා මතක්වුණාම ඒකත් එක්ක බැඳුණු සිදුවීම් ගණනාවක් මතකයට ආවා.

අදටත් ලෝකයේ කොහේ කොතැන ජීවත්වුණත් ආචාර්ය රාජීස් ඒ කියපු කතාව සහ ඒ ගැඹුරු අර්ථකථනය තාමත් මනසේ රැඳිලා තියනවා. ඒ නිසාම කොතනකදි හරි කවුරුන් හෝ කෙනෙක් ඒ වචනයට වටිනාකමක් නොදෙන ඕනම තැනකදි දැනෙන්නේ දැඩි කම්පනයක් වගේම කළකිරීමක්. 

මැලේසියාවෙ ඉඳන් ලංකාව බලා පිටත්වෙන්න කලින් දවසේ ආචාර්ය රාජීස් සමුගෙන යද්දි අතට අතදීලා කිව්වේ එහෙනම් අපි මේ කතාබහ දිගටම අරගෙන යමු කියලා. මම හිනාවෙලා ඇයට අතදීලා සමුගත්තා.

ලංකාවට ඇවිත් සතියකින් මට ඇගෙන් ඊමේල් පණිවිඩයක් ලැබුණා. ‘ඉතින් කොහොමද?’ කියලා. 

හද හීරූ තීරු
2023.08.31

8 comments:

  1. Replies
    1. හිතන්න යමක් ඉතිරි කල කතාබහක්!
      ලංකාවෙ පලවෙනි සළරැවත්... කඩවුනු පොරොන්දුව කියනව නෙ. ඒක නිසාමද මන්ද ජන්ද අපේක්ෂකයොත් තරඟගෙට බොරැ පොරොන්දු දෙන්නෙ

      Delete
    2. ඒක ඇත්ත. ඒ නිසාම ද මන්දා අපි බොහොමයක් පොරොන්දු සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇතිකරගන්න එක පුරුද්දක් වෙලා. අඩුම තරමේ පුද්ගලික සම්බන්ධතාවල පොරොන්දු පවා විශ්වාස නොකරන තැනට ඇවිත්. ඒ නිසා අපි තවදුරටත් පොරොන්දු රකින ජනතාවක් නෙවෙයි ඇත්තටම.

      Delete
  2. මම හිතන්නේ මිනිසුන් සහ සතුන් අතර වෙනස (මිනිසාත් සතෙක් හැටියට තමයි මම හිතන්නේ ) තමා සිතීමට ඇති හැකියාව. පොරොන්දුවක් ඉටු නොකළ පමණින් මිනිසෙක් සතෙක් වෙන්නේ නැහැ. නමුත් මෙහි ඇත්තේ කිසියම් එතිකල් කතාවක්. morality එක සම්බන්ධව. මෙපමණ කල් ලියූ බ්ලොගයක් කියා දැන හිටියේ නැහැ. නමියගේ ඔත්තුවකින් ආවේ. මගේ බ්ලොග් රෝලේ එල්ලා ගන්නම්.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා මුලින්ම ස්තූතියි අදහසට. මිනිසාගේ සහ සත්ව ගණයට අයත්වෙන අනිත් සත්තු අතරේ වෙනස සිතීමේ හැකියාව කියන එක ඇත්ත. මම ඒකට පුංචි එකතු කිරීමක් කරන්න කැමතියි, මම හිතන්නේ ඒක ‘සිතීමේ හැකියාවට‘ වඩා ‘සිතීමේ ධාරිතාව‘ කියලා කියන්න පුළුවන්. මොකද සිතීමට ඇති හැකියාව හෙවත් Ability of thinking කියන එකෙන් එහාට ගිහින් සිතීම සහ සිතීමට අනුකූලිව ක්‍රියාත්මක කිරීම සත්තු සහ මිනිස්සු අතරේ අදියරමය වෙනසක් තියනවා කියලා අපිට හිතන්න පුළුවන්. Morality එක ඇතුලේ සිතීම සහ සිතීමටම අනුව ක්‍රියාකරද්දි හරි දේ සහ වැරදි දේ කියන නිශ්චය කිරීම කරන්න පුළුවන් මනුස්සයාට විතරයි කියලා කියන්නත් බැහැ. හැබැයි බොහෝ දුරට යමක් පොරොන්දුවීම සහ ඒ අනුව ක්‍රියාකාරීම කරන්න පුළුවන් මානවයට විතරයි කියන එක මමත් විශ්වාස කරනවා.

      Delete