Oct 17, 2013

සංකලනී - 4 වැනි කොටස


පසුගිය කොටස් 1 2 3 


ඉඟුරු කෑලි කැපිලා යන ඉක්මණට හිතේ සතුට පිරිලා යන නිසාද කොහෙද සංකලනිගේ මූණේ ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා. ඒත් එදා තමන්ගේ අතින් බාල්දිය පෙරලෙද්දි මේ හිනාව තිබුණේ නෑ නේද කියලා මිතුලට මතක් වුණා. ඒ සිද්ධිය මතක් වෙද්දිත් මිතුලගේ ඇඟට හීන් දාඩිය දානවා. කොහොමවුනත් මේ වෙලාවේ ඒක මතක් කරලා හිත නරක් කරගන්න මිතුලට කැමැත්තක් තිබුණේ නෑ. මිතුල දන්ගෙට ඇතුල් වෙලා බුලත් පුවක් තියලා තිබුණ මේසේ ලඟට ගියා ඕෂධ එක්ක

   සංකලනිගේ ලඟ හිටපු ගමේ ගෑණු ලමයෙක් මිතුලගේ දිහා බලලා හිනාවුනා. ඒත් සංකලනී දැක්කේ නෑ, බැලුවෙත් නෑ. 

“මචං වාතාවරණය එච්චරම නරක නෑ..උඹ ස්ථානගත වෙලා පොඩ්ඩක් බලාගනින් ඒ පැත්ත“

Oct 12, 2013

සංකලනී - 3 වැනි කොටස


සංකලනී පසුගිය කොටස්   1  2 

- මිතුල ඇඟිලි ගැණ ගැන හිටියේ කඨිනේ දවසට අදාල පැය ගාණ එනකම්. හරියට වැඩක් කරගන්නෙත් නැතුව පිස්සු නටපු නිසා එදා නිවාඩු දාලා කඨිනේ වැඩවලට උදව් කරන්න පන්සලට ගියා. කොහොමත් මිතුල යාළුවෝ එක්ක එකතුවෙලා වැඩ කරද්දි මරුමුස් වැඩ කරනකොට වගේම බොහොම කැපවීමෙන් වැඩකරනවා කියලා ගමම දන්නවා. ඒ හොඳනම නැතිවෙන්නේ කරන අවලම් වැඩනිසාම තමයි. 

   ගමේ පන්සලේ කඨිනේ කියන්නේ ගමේ උදවියට බොහොම වැඩ රාජකාරි පැවරෙන දවසක්. වස් කාලේ ඉවරකරන්න පිරිත් එහෙම කියලා පහුවෙනිදා උදේ දානෙන් ඉවරවෙන කඨිනේ වැඩවලට ගමේ මිනිස්සු බොහොම කැමැත්තෙන් දායක වෙනවා. ධම්මවංශ ලොකුහාමුදුරුවොත් එක්ක හොඳ නොහොඳකම් තියන හැමෝම වැඩවලට උදව්කරනවා, මොකද ගමේ පන්සලේ වැඩේ නිසා. වෙනදට එලි පහලියට බහින්නේ නැතුව ගමේ කොල්ලන්ගේ ඇස්වලින් වහන් වෙලා හිටපු සංකලනිත් ඇස්වලට අහුවුණේ කඨිනේ වැඩවලට ආපු නිසා.

Oct 4, 2013

සංකලනී - 2 වැනි කොටස


පලමුවෙනි කොටස

මිතුලට ඊට පස්සේ මොනවද උනේ කියලා මතකයක් තිබුණේ නෑ. පංසල් වත්තේ හිටපු ගමේ උදවිය බොහෝ දෙනෙක් තමන්ට බැන්නා කියලා මතකයි. ඒ වගේම තාරුකා එක්ක හිටපු යාළුවෝ කීපදෙනෙක් සංකී..සංකී කියාගෙන දුවලා තාරුකාගේ හිත හදලා අඬන එක නවත්තගෙන ගෙදර එක්කගෙන යනවා දැක්කා. තමන්ගේ යාළුවෝ ටිකත් තුෂ්නිම්භූත වෙලා ඉන්නවා මිතුල දැක්කා. කොහොමහරි ඒ වෙලාවේ තමන් අපවාද වලින් බේරගන්න ඉදිරිපත්වුනේ පොඩි හාමුදුරුවෝ කියලත් මිතුලට මතකයි. ඊට පස්සේ වැඩක් කරන්න තරම් මානසිකත්වයක් නොතිබුණ නිසා මිතුල ගෙදර ඇවිත් නිදාගත්තා. තමන් වැරැද්දක් කරන්න හිතාගෙන නොකරපු දෙයක් නිසා මිතුලට සෑහෙන්න හිතට අමාරුයි. වැඩියත්ම ඒ කෙල්ල දැකපු වෙලාවේ ඉඳන් හිතට දැනුන දේවල් දැන් අකමැත්තෙන් වුනත් අතුගාලා දාන්න වෙන නිසා.

    හවස් වරුවේ මිතුල ගෙදර ගේට්ටුවෙන් පාර දිහා බලාගෙන කල්පනාවක ඉන්න ගමන් ගමේ මිතුලගේ වයසෙම ගෑණු ළමයෙක් පාරේ යනවා. මිතුල දැකලා පාර මාරුවෙලා මිතුලගේ පැත්තට ආවා. පොඩි කාලේ ඉඳලම ගමේ ඉස්කෝලෙත් මිතුල එක්ක ඉගනගත්ත ඒ වගේම ගමේ ළමා සමිතිවල මිතුල එක්ක එකට වැඩ කරපු කෙල්ලෙක් නිසා ඒ කෙල්ල මිතුල ගැන හොඳට දන්නවා.

“මිතුල මොකද මේ දැන් පොඩි කෙල්ලන්ට බාල්දි පෙරලන්නේ?“

Sep 30, 2013

සංකලනී - පලමු කොටස


පාන්දර ඉර එලිය සෑහෙන්න සැරට කාමරේ ජනේලෙන් ඇතුලට එනවා. ඉරිදා කියලා ඉර නිවාඩු ගන්න එකක්ද, කිසිම ඉස්පාසුවක් නැතිව උදේ හයේ විතර ඉඳගෙන හවස හයවෙනකම් තුන්සිය හැටපස් දවසෙම වැඩ කරන ඉර ඉරිදට නිවාඩු ගත්තනම් හොඳයි කියලා හිතෙන අය අතරේ ඉන්න එක්තරා කොල්ලෙක් කාමරේ ඇඳේ පෙරලි පෙරලි නිදි. කොට්ටෙන් මූණත් වහගෙන නිදි, නැගිටින්න කිසිම වුවමනාවක් නෑ වගේ. ගැටළුවක් නෑ..මොකද ඉරිදා දවස නිසා.

“චූටි පුතා....චූටි පුතා....නැගිටින්නේ නැද්ද...දැන් අටහමාරටත් ලඟයි....හා හා නැගිටිනවා දැන්...“

අම්මගේ සද්දෙට චූටි පුතාගේ එක කණක් විතරක් ලාවට හෙලවුණා. ඒත් ඇඟේ අනිත් කොටස් සැපසේ නින්දේ. අම්මා ඊළඟට කාමරේ ඇඳ ලඟටම ඇවිත් දෙවනි සහ අවසන් නිවේදනය නිකුත් කලා.

“චූටි පුතා...නැගිටිනවා දැන්....අද මොකක්ද වැඩක් තියනවා කිව්වා නේද අටට....පොඩි හාමුදුරුවන්ට පොරොන්දු උනා නේද අද මොකක්ද කොරන්න එනවා කියලා...දැනටමත් අටහමාරයි...“

Sep 9, 2013

පන්සලේ භූත ගුහාවේ යකාට වුණු අකරතැබ්බ


ලියන්න යන්නේ අද අපේ අහල පහල වුණ සිද්ධියක්. අහල පහල දේවල් ලියන්න ගියාට මොකද දැන් සෑහෙන්න අවදානමක් තියනවා ඒකෙත්. මොකද පොඩ්ඩක් හරි ගැස්සුණෙත් ගමට බැහැලා ඉවරයි. ඒක තේරුණේ පහුගිය දවසක ගමට බැස්සම ගමේ ගොඩක් අය මගේ බ්ලොග් රාජයා පුරුද්දක් වශයෙන් කියවන බව. 

   වැඩිය ඕන නෑ ගිය සතියේ හංදියේ කඩේට ගියපු වෙලාවේ කඩේ අංකල් කාරයා කියනවා.."අහා පුතා...ඔයා අර ඉන්ටර්නෙට් එකට ලියන ඒවා හරි ෂෝක්නේ..මම කියෙව්වා අර මැජික් කරන සිද්ධිය ( ප්‍රශ්න තුනක් අසා හිතේ රහස් එලියට ගන්නා අපූරු ක්‍රමය)  ක මරුනේ..කව්ද අප්පා ඒ යාළුවා..ඒ විතරක්නම් මදැයි තව ගමේ ඉන්න ආන්ටි කෙනෙක් කියනවා හංඳියෙදි මුණගැහිලා...පුතා අර ඉන්ටර්නෙට් එකේ ලියන ආටිකල් අපේ දුව කියවනවා..මටත් පෙන්නුවා පහුගිය දවසක..හොඳට ලියනවනේ පුතා..අර දයාසිරිගේ ලිපිය (දයාබර දයාසිරි එන්න මල් පිපීදැයි බලන්න) බොහොම හොඳයි..
 
ඔන්න ඕක නිසා ගමේ ඒවා ලියන්න වෙන්නේ පරිස්සමින් තමයි.. කොහොම වුනත් මේ සිද්ධිය වෙන්නේ අපේ අහල පහල පන්සලක. ගමේ නව යොවුන් තරුණයේ ටික පොසොන් වලට පන්සලේ භූත ගුහාවක් හදන්න සූදානම් කලාලු. දන්නවනේ භූත ගුහාවක් කියන්නේ ගුහාවක් හදලා ඇතුලේ හොල්මන් කරන්න කට්ටිය සෙට් කරන එක. ඉතින් වැඩේ නැගලා යනවා. මීටර් තුන්සීයකටත් වැඩි දිග තියන ගුහාවේ ඇතුලේ එක එක හොල්මන් වැඩ තියනවා. ඇතුල් වෙද්දිම නයෙක් ඇස් දෙක  රතුපාට පත්තු වෙන. ඊළඟට සොහොන් පිට්ටෙනියක්..මල මිනී නැගිටලා එනවා මස් හැලි හැලි..ඔය වගේ ගොඩක් ඒවා අස්සේ ඇතුලේ ශබ්ද ප්‍රයෝග එහෙමත් දාලා බොහොම බය ඇතිවෙන විදියට හදලා තිබුණා.

Aug 30, 2013

ප්‍රශ්න තුනක් අසා හිතේ රහස් එළියට ගන්නා අපූරුම ක්‍රමය


මේක මගේ මිත්‍රයෙක් කරපු වැඩක්. ඒක නිසා එතුමාට උපහාර වශයෙන් මේක ඉදිරිපත් කරන්න කැමතියි. සිද්ධිය වුණේ මීට අවුරුද්දකට විතර කලින්. අගනගරේ සුප්‍රසිද්ධ හෝටලයක තිබුණ සාදයක් ඉවරවෙලා සාදෙට ආපු ඇත්තෝ ආගිය තොරතුරු කතා කරමින් ඉන්නවා. එතන තිබුණේ බොහොම උද්යෝගයෙන් අඩු පාළු ස්වභාවයක්. මගේ මිත්‍රයට මේ පාළුව කියන දේ පාඩුවේ තියෙන්න ඉන්න බැරි පුද්ගලයෙක්. මිනිහත් මේ සාදේ ආරාධිතයෙක් විදියට ඇවිත් හිටියා. 

   ඔහොම ඉඳලා ඉඳලා මේ අප්‍රිය පාළුව තව දුරටත් විඳගන්න බැරිවෙච්ච මගේ මිත්‍රයා නැගිටලා කට්ටියගෙම අවධානය ගන්න මෙහෙම දෙයක් කලා.

"සුභ සන්ධ්‍යාවක් නෝනාවරුනි මහත්වරුනි...දැන් බොහෝ වෙලාවක් තිස්සේ නිසංකලංකව තිබුණ මේ සාදයේ මම වෙනසක් කරන්න අදහස් කලා..."

පාටියේ හිටපු එකෙක් මෙහෙම නැගිටලා බෙරිහන් දෙද්දි සේරම හොල්මන් වෙලා බලන් හිටියා. සමහරු කන බොන දේවල් පවා නවත්තලා හිටියා. ඊට පස්සේ මගේ මිත්‍රයා කියපු දේට කට්ටිය තවත් හොල්මන් වුණා.

Aug 28, 2013

බොස්ගේ තාවකාලික පැවිද්ද


බොස් ඔෆීස් එකට ආවේ ටිකක් මහන්සියෙන් වගේ. ආපු ගමන් රාජකාරී අසුනේ වාඩි වෙලා පත්තරේ කියවන්න ගත්තා. කාර්යාලයේ සහය කාර්යමණ්ඩලය බරටම වැඩ. බොස් සීරුවට පත්තරේ කියවමින් ඉන්නවා.

"අප්පට සිරි...මේ අයිසේ තමුසෙලා දැක්කද මේක"

වැඩ කර කර හිටපු ගෝලයෝ ටික සේරම බොස් දිහා උඩ ගිහින් වගේ බැලුවා. බොස් හිටියේ පුදුම වෙලා.

"මොකක්ද සර්..?"

"ඇයි අයිසේ තමුසෙලා මේ පත්තර කියවන්නේ  නැද්ද.. දැක්කේ නැද්ද අයිසේ සනත් ගුණතිලක මහණවෙලා කියලා..? තමුසෙලා මරු පොරවල්නේ අයිසේ.."

ගෝලයේ ටික සුසුම් හෙලලා හිනාවක් දාලා නිකං හිටියා.

"අයියෝ සර්...ඕක ඊයේ රෑ ටී.වී එකේ පට්ට ගහපු නිවුස් එකක් නේ..සර් දැන්ද දැක්කේ..ඒ වුණාට සර් සදාකාලිකවම මහණ වෙලා නෙවෙයිනේ...තාවකාලිකවලුනේ..."

ගෝලයෝ එච්චර ගාණකට නැතිව කිව්වා.

Aug 27, 2013

සොඳුරු සුකුමල අලුත් ටීචර්


සහන කාලපරිච්ඡේද (Relief Periods) සඳහා බොහෝවිට යොදවන්නේ අලුත් ගුරුවරුන්. විශේෂයෙන්ම මීට අවුරුදු කීපයකට කලින්නම් අලුත් ගුරුතුමියන්. උපාධි පත්වීම් ලබපු හෝ විද්‍යාපීඨ සුදුසුකම් ලබපු අය ඉස්කෝලෙට ආපු ගමන් දෙන කට්ට තමයි සහන කාලපරිච්ඡේද. මේ අයට බොහෝවිට ලැබෙන්නේ ප්‍රාථමික පන්ති, නමුත් ඉහල පන්ති ලැබෙන අවස්ථාත් නැත්තෙම නෑ. මේ එහෙම අවස්ථාවක වුණ දෙයක්.

  මෙහෙම අලුතෙන් පිරිමි පාසලකට ආපු බොහොම හැඩරුව ඇති, ඉඟසුඟ ගත හැකි මිටින් වන් වූ සොඳුරු ගමනකට හිමිකම් කියන සුන්දර ටීචර් කෙනෙක් 11 ශ්‍රේණියට උගන්වන්න ආවා. මුල් දවස්වල බොහොම සාමකාමීවිදියට සහන කාලපරිච්ඡේදවල කොලු ගැටව් එක්ක කටයුතු කලා. ඒත් පන්තියේ ළමයි ටික ටික ටීචර්ගේ හැඩ බලලා වැඩ නොකරද්දි තරුණ ටීචර්ටත් ටිකක් මල පැන්නා. ටීචර් කරේ ළමයින්ට සහන පීරියඩ් වලත් වැඩ දෙන එක සහ සැර වැර දාලා පාලනය දරදඬු කරපු එක. 

Aug 25, 2013

ලෝකේ ලොකුම වැරදි දෙක


මිතුරන් දෙදෙනෙක් අවන්හලක පොඩි කතිකාවක නිරත වෙමින් හිටියා. දෙන්නගේ මාතෘකාව වුණේ වර්තමාන ලෝකය පිළිබඳවයි. දෙදෙනාම කතාකලේ ලෝකෙට වෙලා තියන වින්නැහිය ගැනයි. කොහොමහරි කතාව බොහොම දුරදිග ගියා. විවිධ මාතෘකා යටතේ විවිධ අන්තවලට කතාව ඇදිලා ගියා.

"උඹ දන්නවද මචං ලෝකේ තියන ලොකුම වැරදි දෙක මොකක්ද කියලා?"

අනිත් මිත්‍රයා ටිකක් කල්පනා කරලා ඔළුව වනලා දන්නේ නෑ කිව්වා.

"නෑ මචං.."

හීන් හිනාවක් දාපු පලවෙනි මිත්‍රයා ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

"පලවෙනි වැරැද්ද තමයි මචං ලෝකේ මෝඩ මිනිස්සුන්ට ආයුධ දීපු එක"

Aug 20, 2013

අපේම කෙනෙක්ගේ වැඩක් LAYDEEZ හෙවත් ලංකාවේ කාන්තා ව්‍යවසායකයින්ගේ අනාගත දැක්ම


කළමණාකරණයේදී ව්‍යවසායකත්වය (Entrepreneurship) කියන්නේ මගේ විෂය ක්ෂේත්‍රය. එහිදී ව්‍යාපාර නිර්මාණකරණය (Venture Creation) කියන්නේ බොහොම සිත්ගන්නා සුළු විෂයක් වගේම සුවිශේෂ අංශයක්. මේ දෙකම බොහොම ප්‍රායෝගිකව දකින්න පුළුවන් වැඩක් වගේම එයට එක්කල නිර්මාණශීලීත්වය (Creativity) සමගින් වන පුංචිම පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න අපේම කෙනෙක් තීරණය කලා. ඒ අපේ හිතවත් අයේෂා දිල්හානි නංගි. හාපුරා කියලා පතිකුලයට ඇතුලත්වුණාට පස්සේ පටන්ගත් මේ ව්‍යාපාරය Laydeez කියන සන්නම් නාමය සහිතව.

  අපේම කෙනෙක් පටන් ගත්තු මේ දේ ගැන මුලින්ම මමත් දැනගත්තේ අපේ මහී නංගිගේ පුංචි උත්සහයෙන්. විශේෂයෙන්ම වර්තමානයේ සුවිශේෂ විලාසිතා බවට පත්වෙන වලලු,මාල,මුදු,කරාබු වගේම බොහොම දේවල්, වෙනස් විදියේ දේවල්, කැමති විදියේ දේවල් තමයි මේ හුරුබුහුටි ව්‍යාපාරයේ නිෂ්පාදිතය විදියට ඉදිරිපත් කරන්නේ. සුවිශේෂත්වය තමයි මේ සියලුම දේ අන්තර්ජාලය හරහා සිදුවීමයි. ඒකයි මම මේ ලිපියට ලංකාවේ කාන්තා ව්‍යවසායකයින්ගේ අනාගත දැක්ම කියලා යෙදුවේ. මොකද e-commerce හෙවත් විද්‍යුත් වාණිජ්‍යයේ e-trading සංකල්පය තාම ලංකාවේ එතරම් ප්‍රචලිත නෑ. විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකයින් අතර.