Sep 30, 2013

සංකලනී - පලමු කොටස


පාන්දර ඉර එලිය සෑහෙන්න සැරට කාමරේ ජනේලෙන් ඇතුලට එනවා. ඉරිදා කියලා ඉර නිවාඩු ගන්න එකක්ද, කිසිම ඉස්පාසුවක් නැතිව උදේ හයේ විතර ඉඳගෙන හවස හයවෙනකම් තුන්සිය හැටපස් දවසෙම වැඩ කරන ඉර ඉරිදට නිවාඩු ගත්තනම් හොඳයි කියලා හිතෙන අය අතරේ ඉන්න එක්තරා කොල්ලෙක් කාමරේ ඇඳේ පෙරලි පෙරලි නිදි. කොට්ටෙන් මූණත් වහගෙන නිදි, නැගිටින්න කිසිම වුවමනාවක් නෑ වගේ. ගැටළුවක් නෑ..මොකද ඉරිදා දවස නිසා.

“චූටි පුතා....චූටි පුතා....නැගිටින්නේ නැද්ද...දැන් අටහමාරටත් ලඟයි....හා හා නැගිටිනවා දැන්...“

අම්මගේ සද්දෙට චූටි පුතාගේ එක කණක් විතරක් ලාවට හෙලවුණා. ඒත් ඇඟේ අනිත් කොටස් සැපසේ නින්දේ. අම්මා ඊළඟට කාමරේ ඇඳ ලඟටම ඇවිත් දෙවනි සහ අවසන් නිවේදනය නිකුත් කලා.

“චූටි පුතා...නැගිටිනවා දැන්....අද මොකක්ද වැඩක් තියනවා කිව්වා නේද අටට....පොඩි හාමුදුරුවන්ට පොරොන්දු උනා නේද අද මොකක්ද කොරන්න එනවා කියලා...දැනටමත් අටහමාරයි...“


ඒ කතාවටනම් චූටි පුතා හෙවත් මිතුල ගේ කණ විතරක් නෙවෙයි මුළු ඇඟම විදුලිසැර වැදුණා වගේ අවදිවෙලා රෙදි කොට්ට පැත්තක දාලා ඇඳේ වාඩි වුණා. බොහොම කඩවසම් කොල්ලෙක්, නව යොවුන් හයිය සහ ආකර්ශණය නොඅඩුවම තියනවා මේ චූටි පුතාට.

“මල කෙලියයි...පොඩි හාමුදුරුවන්ට පොරොන්දුවුණා නේන්නම් එනවා කියලා...කඨිනෙට කලින් පන්සලේ තීන්ත ගාන්න එනවා කියලා...හත්තිලව්වයි...අම්මට බැරිවුණානේ මාව නැගිට්ටවන්න“

ඒ කතාවටනම් අම්මට තවත් තද වුණා. ඇයි දැන් කී පාරක් නැගිට්ටෙව්වද.

“මම දැන් කීයේ ඉඳන්ද ඔයාව නැගිට්ටවන්නේ...ඒත් කණකට ගත්තද කියපු  ඒවා“

පොඩි හාමුදුරුවන්ගේ වැඩ වෙලාවට සහ තිතට, දවස් තුනකට කලින් ගෙදරට වැඩපු වෙලාවේ මිතුල දණ ගහලා වැඳලා පොරොන්දු වුණා පන්සලේ තීන්ත ගාන්න එනවා කියලා. යාළුවෝ සෙට් එක බරටම වැඩ ඇති, ඒත් තමන් පරක්කු වෙච්ච එක මිතුලට සෑහෙන්න වදයක් වුණා, මොකද පොඩි හාමුදුරුවන්ගේ මූණ බලන්න බැරිවෙන එකට. ඉක්මණට සූදානම් වුණ මිතුල යන්න එලියට ආවා. අම්මත් පරිස්සමින් යන්න කියලා පස්සෙන් ආවා. ගෙදරින් යන්න හදද්දිම ගේට්ටුව ඇරන් කෙනෙක් ඇතුල් වුණා.

“ජූලි හතයි...මල් මාමා...මේ යකා මොකද මේ පාන්දරම“

ගේට්ටුව ඇරන් ඇතුලට ආවේ මිතුලගේ ලොකු මාමා. ඒ කියන්නේ අම්මගේ ලොකු අයියා. මල් සැකසුම් ව්‍යාපාරයක් කරන නිසා මිතුල මාමට නෝන්ඩියට දාපු නම තමයි මල් මාමා. මිතුලට මල් මාමාව පේන්න බැරිවෙන්න පටන් ගත්තේ පොඩි කාලේ ඉඳලමයි, මොකද මිනිහගේ උපදෙස් සෑහෙන්න වැඩියි. හරියට උපදේශක මණ්ඩයලයක් වගේ.

“අහා....පෝරිසාදයා පාන්දර කොහේ යන්නද...?“

“පන්සලට.....යන්න කියලා....“

මිතුල වැඩිය සද්දයක් නැතිව කියලා දැම්මා. මාමාගේ මූඩ් එක වැඩිය ඇල්ලුවේ නෑ මිතුලට. ඉක්මණට මෙතනින් පැනගත්තේ නැත්නම් එන විදිය හොඳ නෑ කියලා චූටි පුතාට තේරුණා.

“ඒක හොඳයි...පංසලේ ගිහින් බණක් දහමක් වත් ඉගනගෙන හැදියං...එතකොට ඔය පෝරිසාද වැඩ අඩුවේවි...තමන් විභාග පාස් කරලා රස්සාවක් කරන ඉලංදාරියෙක් කරන වැඩද යෝදයෝ කරන්නේ...මේ සේරටම වැරද්ද උඹලගේ තාත්තා රට ගියපු එක..කොහෙද උඹලගේ අම්මට උඹව හදන්න වුවමනාවක් තියද.“

මාමගේ දේශනාව ආරම්භ කරද්දි පුරුදු විදියටම මිතුල වගේම අම්මත් බිම බලාගත්තා.

“අයියේ එන්න ඇතුලට...“

අම්මා කතාව වෙන පැත්තකට ගෙනියන්න හිතාගෙන කිව්වේ පුරුදු විදියටම මිතුලව බේරගන්න.

“නංගි තමයි මේ සෙරටම වැරදි...දන්නවා ඇතිනේ පහුගිය ටිකෙත් ඔයාගේ පුත්‍ර රත්නය කරපු ඒවා...අර උඩහ කඩේ ලාල් මුදලාලිගේ කොල්ලා පාර අයිනේ හිටිද්දි බස් එකක් එනකං ඉඳලා ඒ කොල්ලගේ කලිසම ගලවලා, කව්ද..මේ පෝරිසාදයයි උගේ යාළුවෝ ටිකයි...“

මිතුල අහිංසක විදියට සහ මොකුත් නොකරපු විදියට බිම බලාගත්තා. එහෙම බලද්දි මිතුල කොච්චර අහිංසකද.

“ඒ විතරද..සීමන් උන්නැහේලගේ වත්තට පැනලා රෑන පිටින්ම කුරුම්බා කඩන් බීලා කෝම්බ ටික සීමන් උන්නැහේලගේ වහලේ එල්ලලා ඇවිත්...ඒ විතරක්නම් මදැයි තව පෙරේර මහත්තයලගේ ට්‍රැක්ටරේ රෝද හතරෙම හුලං ඇරලා...වැඩකරන කොල්ලා බලං ඉඳලා පෙරේරට කියලා. ඌ ඇවිත් මුලින්ම බැන්නේ මටයි...නංගි මූව දැම්ම හැදුවේ නැත්නම් අපිට වෙන්නේ හිරබත් කන්න...මූ මෙහෙම පෝරිසාද වැඩ කරන වයසක නෙවෙයි නේද ඉන්නේ“

තමන්ගේ වීරක්‍රියා ලයිස්තුව කියද්දි ඉවසගන්න බැරිව තමන්ට ඔරවගෙන හිටපු අම්මා ගස්සලා දාලා ගේ ඇතුලට ගියා. ඒ ඇසිල්ලෙන් මිතුලත් පාරට පැනලා හැල්මේ දිව්වා පන්සල දිහාවට.

                                       * * * * * * * * *

              නරුම යාළුවෝ ටික පන්සලේ බරටම වැඩ. වැඩි හරියකම් හාමුදුරුවන්ට කියලා එක දාගන්න. ඒ විතරක්ම නෙවෙයි කියලා මතක් වුනේ මිතුලට ටිකක් වෙලා ගියාමයි. ඉරිදා දහම් පාසලට එන ගැණු දැරිවියෝ ටිකයි, ලාබාල ගුරුවරියෝ ටිකයි ඉස්සරහා ගමේ තරුණ කැල කොච්චර ධාර්මිකව පන්සලේ කටයුතු වලට උදව් කරනවද කියලා පෙන්නන්න මිතුලගේ යාළුවෝ රංචුවට ඕන වෙලා තිබුණා

“ෂික්..මුං වැඩනේ...මං පරක්කු වුණානේ...“

මිතුලගේ යාළුවෝ කණ්ඩායම සිසුරු, ඉෂාර, ඉසුරු, ඕෂධ කට්ටියම බරටම වැඩ. මිතුල උන් ගාවට ගියාම යාළුවෝ තමන්ගේ යාළුවා සාදරයෙන් පිලිගත්තා.

“වෙන මගුල්වලටනම් කෝල් පිට කෝල් දෙන තොපිට බැරිවුණා නේද යකෝ මට මේක පාන්දරින් මතක් කරන්න...වල් පරයි...“

මිතුල යාළුවන්ගේ ඉස්සරහා ටිකක් සැරෙන් කෑගැහුවේ වැඩිහරියක්ම දහම් පාසලේ වැඩ පැත්තක තියලා එදා පන්සල සුද්ධ පවිත්‍ර කරන්න දායක වෙලා හිටපු දහම් පාසේ ඉහල පන්තිවල කෙල්ලෝ ටිකටයි තරුණ ගුරුවරියෝ ටිකටයි ඇහෙන්න.

“මිතුල පුතා...සන්සුන් වෙන්න...මේ පන්සල...ධාර්මිකව හැසිරෙන්න..“

ඉසුරු බොහොම සාමකාමීව කියන ගමන් මිතුලට පොල් ලෙල්ලක් දුන්නා.

“අනෙ තොගේ...“

මිතුල අට්ටාලේ උඩට නැග්ගේ වතුර බාල්දියකුත් පුරවගෙන. ඊට පස්සේ හරි හරියට බිත්ති වලට වතුර දාලා පොල්ලෙල්ලෙන් අතුල්ලලා බිත්තිවල දිය සෙවෙල් ඉවත්කලා. 

“මිතුල මල්ලි ඇවිත් එහෙනම්...මොකද පරක්කු වුණේ?“

පොඩි හාමුදුරුවෝ ටික වෙලාවකින් ඇවිත් එහෙම අහද්දි මිතුල අට්ටාලේ උඩ ඉඳගෙනම උත්තර දුන්නේ ඉතාම යටහත් පහත්ව.

“අනේ ඔව් පොඩි හාමුදුරුවනේ..නැගිටින්න ටිකක් පරක්කු වුණා“

මිතුල මොනවා වුනත් ඇත්තම කිව්වා. පොඩි හාමුදුරුවෝ හිනාවෙලා බෝ මලුව පැත්තට යන්න ගියා. ඒ පැත්ත බැලුවම මිතුලගේ ඇස්දෙක එකපාරටම ඇදිලා ගියේ බෝ මළුව පැත්තේ බිම ඉඳගෙන තණකොල ගලවන සුන්දර රූපයක් දිහාවට. 

   කඩාගෙන වැටෙන කෙස් රොදට මූණේ බාගයක් වැහිලා, ඒත් සුන්දර සුදු පාට හුරුබුහුටි මූණ. සුදුපාටම මල් ගවුමක් ඇඳලා. එච්චර දැකලා පුරුදු රූපයක් නෙවෙයි. ගමේ මෙච්චර කරක් ගහපු තමන්ට මේ රූපේ මිස් වුනේ කොහොමද කියලා මිතුලට හිතාගන්න බැරිවුණා. කලින් දැක්කනම් තනිකඩ තමන්ගේ හිතට මේ රූපේ මිස් වෙන්නේ නෑ කියලා මිතුලට හොඳටම විශ්වාසයි. අට්ටාලේ උඩ හිටපු මිතුලගේ හිත දඩ බඩ ගාලා ගැහෙන්න ගත්තා, දාඩිය දාන්න වගේ ඇඟ ඇතුලේ අමුතුම රස්නයක් ආවා. මෙහෙම වෙන්නේ තමන්ගේ ඇස් දෙකට පේන දේ නිසා කියලා මිතුලට දැණුනා.

   දෙයියනේ එච්චරටම ලස්සනයි එයා. ලතාවකට තණකොල ගලවන ගමන් ඉඳලා හිටලා ලඟ ඉන්න තවත් කෙල්ලෙක් එක්ක වචනයක් දෙකක් කතා කරනවා, මූණට වැටෙන කොණ්ඩ කැරැල්ලක් අරගෙන පිටිපස්සට දාගන්නවා, ඒ හිනාව මාරයි...ඇස් දෙක බෝල දෙකක් වගේ  දඟලනවා. මිතුලට අට්ටාලෙන් පැනලා ඒ සුන්දර රූපේ දිහාවට දුවගෙන යන්න හිතුනා. හරියට කබි කුෂි කබී ගම් එකේ ෂාරුක් කාජල් දිහාවට දුවගෙන යනවා වගේ..මිතුලගේ හිත විකාර කරන්න ගත්තා..කව්ද මේ තමන්ගේ ගමේ තමන්ගේ ඇස් රවට්ටපු සුන්දරී.

“ෂූ...ෂූ“

සද්දයක් දාලා මිතුල අට්ටාලේ එහා කෙලවර හිටපු ඉසුරුට කතා කලා. 

“ඒ බන්...පොඩ්ඩක් අර පැත්ත බලපං...කව්ද බං අර මල් ගවුමක් ඇඳගෙන බිම තණකොල ගලවන කන්‍යාවී“

“කන්‍යාවියක්ද කියලනම් මම හරියටම දන්නේ නෑ,.ඒත් මමත් කීපසැරියක්ම දැකලා තියනවා..කව්ද දන්නෑ..ඉඳපං ගමේ ගෑණු දැරිවියේ ගැන ඩේටා බේස් එක සිසුරුවාගෙන් අහන්න“ හොඳට ඒ පැත්ත බලපු ඉසුරු උත්තර දුන්නා.

සිසුරු හිටියේ අට්ටාලයෙන් බිම. මොකද තමන්ගේ දේහ දාරී ශරීරේ එක්ක අට්ටාලෙට නගින්න බැරි නිසා බිම ඉඳගෙන බිත්තයි සෝදනවා.

“සිසුරුවෝ...කව්ද බං අර බෝ මලුව ගාව බිම ලැගගෙන ඉන්න ගවුමක් ඇඳපු දැරිවි?“

සිසුරුවා ඒ ඉක්මණට ඒ පැත්ත බැලුවා. ඌට හිනා ගියා. ඒ හිනාවේ තේරුම සිසුරුගේ දත්ත ගබඩාවේ අදලා දැරිවිය ගැන තොරතුරු තියන බව තමයි.

“මචං ඔය අර බෝගහ හන්දියට මෙහා වනිගරත්න අංකල්ලගේ ගෙවල්වලට ඉස්සරහා පාරේ එහා කොණේම ගෙදරට අලුතෙන් ආපු කස්ටිය ඉන්නේ..අන්න එයාලගේ දූ පොඩ්ඩ..කලඑලි බැස්සේ ගමට ලඟදි..මගේ මීටරේට අහුවුනෙත් ලඟදි...නම තාරුකා...“

සිසුරු විස්තරේ කිව්වම මිතුලගේ හිතේ රිද්මය තවත් වේගයෙන් නාද කරන්න ගත්තා.

“තාරුකා...තාරුකා....ඇත්තටම තාරුකාවක් වගේ...ඔව් සිරාවට“

මිතුල තනියම කියවන්න ගත්තා. කොහොම හරි මිතුල ඒ මතකට හිතේ තියාගෙන ආයේ වැඩ පටන් ගත්තා. ටිකක් වෙලා යද්දා ඉසුරුගේ පැත්තෙන් සූ සූ සද්දයක් ආවා. මිතුල ඒ පැත්ත බැලුවා.

“අර බලපං...“ ඉසුරු ඔලවෙන් පෙන්නුව පැත්ත මිතුල බැලුවා. තාරුකා...තාලයට අඩිය තිය තිය තමන් හිටපු අට්ටාලේ අසලින් ගමන් කරන්න එනවා. අතේ තණකොග මිටියක්..හරියට සුරංගනාවියක් පොලවට  නොදැනෙන්න අඩිය තියනවා වගේ. අඩිය තියන තියන පාරට මිතුලගේ හිත ගැහුනා..ඒ අස්සේ යක්ෂයා ගෙනාපු පුංචි අදහසක් මිතුලගේ හිතට ආවා. වතුර ටිකක් අතට අරං තාරුකා මෙතනින යද්දි ගැහුවොත් එයා තමන් දිහා බලාවි...ඇස් හතර හමුවේවි...හිනාවේවි...තව මොනවා මොනවාහරි වේවි..මිතුල හිතින් සැලසුම හැදුවා

  ටිකෙන් ටික තාරුකා මිතුල හිටපු අට්ටාලය අසලින් යන්න ආවා. මිතුල පොල් ලෙල්ල පැත්තක තියලා අදහස ක්‍රියාත්මක කරන්න ගත්තා. අතින් වතුර ටිකක් ගන්න බාල්දියට අත දානකොටත් මිතුලගේ හිත කවදාවත් නැතුව ගැහෙන්න ගත්තා. කිසිම නසරානි වැඩක් කරද්දි නොදැනුණ බයක් මිතුලට දැනුණා..ගැහෙන අත මිතුලගේ අවාසනාවකට වගේ බාල්දේ ගැට්ටේ වැදිලා සමබරතාව ගිලිහුන බාල්දිය අට්ටාලේ ගුවන් ගත වුනා..ඒ වෙන කොහේටවත් නෙවෙයි එතනින් ගියපු තාරුකාගේ ඇඟට..තඩි බාල්දියේ වතුර පාරට තාරුකා සම්පූර්ණයෙන්ම නෑවුණා..අතේ තිබුණ තනකොල ගොඩ බිමට වැටුණා.

“හුටා....“ මිතුලට කියවුනේ එච්චරයි.

මුළු පංසල් බිමේ හිටපු සේරම ඇස් ගෙඩි දොඹ ගෙඩි සයිස් කරගෙන මේ සිද්ධිය දිහා බලාගෙන හිටියා. තාරුකාට හිතාගන්න බැරිවුණා එකපාරට වුනේ මොකක්ද කියලා. තත්පර දෙකක් තුනක් ගියේ නෑ මහ හයියෙන් අඬාගෙන තාරුකා ධර්ම ශාලාව දිහාවට දිව්වා. මිතුලට වුනේ මොකක්ද කියලවත් හිතාගන්න බැරිවුනා.

“වසලා හමාරයි....“ සිසුරු කිව්වේ එච්චරයි.


17 comments:

  1. ආයෙ අලුත් කතාවක් ඇවිත්... එල... :)

    ReplyDelete
  2. උඹේ අළුත් කතාව මම මග ඇරලා කොහොමද ජනා.. ඔන්න මගේ නම ලකුණු කර ගනින් මම එනවා කියවන්න..

    අඩේ සිසුරුවා මරු පොරක්නේ.. කෙල්ල දැක්ක ගමන් හදහනම කිවුවා..

    දැන් ඉතින් සිකුරාදා වෙනකන් ඉන්න එපැයි ඊළග එක බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දිනේෂයා..ඔය සිසුරුවා සත්‍ය චරිතයක් මචං..ඕකගේ සැබෑ ගතිගුණත් ඔහොම්ම තමයි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නෑ නෑ නංගි මූ මගේ කතා අනිවා කියවනවා සිහියකින් හිටියෝත

      Delete
    4. අන්න දැක්කනේ උඹ මාව හොදටම තේරුම් අරන්.. සිහිය නැති වුනොත් හේතුවත් දන්නවනේ.. ඒත් මේකට එනවම තමයි බං..

      Delete
  3. Replies
    1. අත්දැකීම්ද මන්දා...ලොල්

      Delete
  4. මං නම් අදමයි මේ පැත්තෙ ආවෙ. ඒත් දැන්නම් දිගටම එන්න වෙයි වගේ. සිකුරාදාට අනිවාර්‍යෙන්ම එනවා ඊලග කොටස කියවන්න. කතාව ඒ තරම් ලස්සනයි වගේ.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මිත්‍රයා.සමහර විට සිකුරාදට කලින්ම වැටිලා තියෙන්නත් පුළුවන්

      Delete
  5. අඩේ පන්සල් ගියත් කරුමෙ පඩිසන් දෙනව කියන්නෙ ඕකට තමයි

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මස්සිනා

      Delete
  6. අම්මපා වසලා හමාරයි... :D

    නියමයි අයියේ....ලියාගෙන යමුකෝ

    ReplyDelete
  7. ආ මස්සිනා. හැමදාම වගේ නියමයි. ජය වේවා...!

    ReplyDelete
  8. පෙඅරලුවා නේද බාල්දියක් :/

    ReplyDelete