Jun 10, 2011

කාඩයා...කව්ද?

බුදු අම්මේ හෙණ කාලෙකට පස්සේ තමයි මගේ ඉසව්ව පැත්තේ ආවේ. ඔයාලට අපේ වුණාට මට මේක මගේනේ. ඉතිං අද මං සිතුවිලි පලස කවියක් දාන්න ගියපු වෙලාවේ තමයි මට මතක් වුණේ හත් ඉලව්වේ මට තව බ්ලොග් එකක් තිබ්බා නේද කියලා. ඉතිං විචාරයක් ගෙනාවෙත් නෑ කාලෙකින්. ඉතිං විචාර කියලා කරේ කව්රුහරි පතුරුගහපු එකනේ නැත්නම් මොකක් හරි අල්ලගෙන බැන්නා. අද පොඩ්ඩක් ඒකෙන් ඈත්වෙලා රස සිදුවීමක් කියන්න යන්නේ. ගොඩක් දෙනෙක් මේක දන්නේ නැතුව ඇති. මටත් මේක කිව්වේ අපේ තාත්තා. ලංකාවේ දේශපාලනය ගැන අත්දැකීමෙන්ම අතිවිශාල දැනුම් සම්භාරයක් තියන අපේ තාත්තා කියපු කතාවක් තමයි මේ.

   මේ සිදුවීම වෙන්නේ 70 දශකේ විතර. කොහොම හරි සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ රජය යටතේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉතාමත් ප්‍රබල මට්ටමක ඉන්න කාලේ තමයි. ඉතිං ඔය කාලේ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටියේ දිවංගත අනුර බණ්ඩාරණායක මහත්තයනේ. ඉතිං මොකෙක්ද නරක ග්‍රහයෙක් වහලා එතුමා අම්මට විරුද්ධවෙලා ජේ. ආර් ජයවර්ධන මැතිතුමා එක්ක යූ එන් පී ගියා. ඒත් වැඩි කාලයක් හිටියේ නෑ මව් සෙනෙහේ මතක් වෙලා ආයෙත් ආණ්ඩුවට ආවා. 

    ඉතිං ආපුගමන් මැතිණි පුතාව පිළිඅරගෙන දුන්නලු හොඳ තෑග්ගක්. ඒ තමයි කොස්ගොඩ ආසන සංවිධායක කම. එතකොට තිබ්බේ කොට්ඨාශ ක්‍රමේනේ. ඉතිං තෑග්ගක් කිව්වට මේකනම් කටු ඔටුන්නක් කියලා අනුර මහත්තයට තේරුණාලු. මොකද එතකොට යූ එන් පී එක සහා නැගගෙන ආපු ජේ වී පී එක කොස්ගොඩ ටිකක් ප්‍රබලව දඟලන කාලෙලු.

  කොහොම වුනත් ඒ කිසිම දේකින් සැලුනේ නැති අනුර මහත්තයා පිළිගන්න කොස්ගොඩ හෙණ උත්සවයක් සංවිධානය කරනවලු. ඉතිං ඔන්න උත්සවේ දවසට කලින් නිල් කොඩි පතාක තොරණ් එහෙම පාර දිගට දාලා තියනවලු. මොකද අගමැතිතුමියගේ පුතානේ..‍අනුර බේබි නේ. කොහොමහරි උත්සවේ දවසේ ප්‍රදේශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමා තමන්ගේ නිල රථයෙන් පාන්දර 6.30 ට විතර ආරක්ෂාව පිළිබඳ බලාගෙන හෙමින් හෙමින් කොස්ගොඩ ටවුන් එකේ උත්සවේ තියන පැත්තට එනවලු. 
   මෙන්න මෙහෙම එනකොට පාන්දර පොලිස් රාළහාමි කෙනෙක් වතුර බාල්දියකුයි කොස්සකුයි අරගෙන තාප්පෙක ලියලා තියන මොනවද මකනවලු. ඉතිං මේක දැකපු අධිකාරීතුමා බැහැලා එතනට ගියාලු. ලොක්ක දැක්කගමන් රාළහාමිට කෙලගිලෙන්නෙත් නැතුව ගියාලු. බාල්දියයි කොස්සයි අතෑරලා ගැහුවලු අමර සැලියුට් එකක්.

" රාළහාමි මොනවද මේ නැහීගෙන මකන්නේ

කාරුණික නිලධාරියෙක් වෙච්ච අධිකාරිතූමා කරුණාවෙන් පුදුමෙන්ම වගේ රාළහාමිගෙන් ඇහුවලු

"අනේ සර් කව්ද අසමජ්ජාතියෙක් මේ උත්සවේට මඩ ගහලා කව්යක් ලියලා මේ තාප්පේ..මේ ඒක මැකුවා

රාළහාමි අඩන්න වගේ කිව්වලු.අධිකාරීතුමාට හිනහයි. ඉතින් දැන් කවිය මකලා නිසා බලන්නත් විදියක් නෑ. ඒත් බලන්නත් ආසයිලු.

රාළහාමි මොකක්ද ඒ කවියේ තිබ්බේ

අධිකාරි තුමා ඇහුවම රාළහාමි අතපත ගාලා සාක්කුවෙන් කොල කෑල්ලක් අරගෙන දුන්නලු අධිකාරීතුමාට අත්දෙකෙන්ම.
"මෙන්න සර් මං මකන්න කලින් ලියාගත්තා..හදිස්සියේ වාර්තාවකටවත් ඕන වෙයි කියලා.

ඉතිං අධිකාරීතුමා බොහොම නොඉවසිල්ලෙන් කොලේ දිගෑරලා බැලුවලු. තියෙන්නේ තනි කවියක්. කවිය කියවපු ගමන් හොඳ කවි රසිකයෙක් වෙච්ච අධිකාරීතුමාටත් පැලෙන්න හිනහයිලු. මෙන්න මේකයි කවිය


මාපියා       තමයි ජනසතු කෙරුවෙ             රට
ඌකියා      සිටී අම්මගේ බලය                    පිට
ආසියා       වටම නමගිය වල්කම                   ට
කාඩයා       කව්දා එව්වේ මේ කොස්ගොඩ     ට 

  අනුර මහත්තය‍ගේ චරිතේ ගැන ඒ දවස්වල මරු මරු කථා තිබුණ නිසා අධිකාරීතුමාට මාර හිනාලු මේක කියවලා. ඉතිං අධිකාරිතුමා තමන්ගේ ඩ්‍රයිවර්ටයි රාළහාමිටයි කිව්වලු.

" බොහොම දක්ෂ කවියෙක් ලියලා තියෙන්නේ..හොඳට මුල අග එළිසමය තියලා..හොඳට ගණ තියලා ලියලා තියනවා..තේ‍රුම මොකක් වුණත් වැරදි වුණත් හරි වුනත් කවියනම් ලස්සනයි

එහෙම කියපු අධිකාරිතුමා තමන්ගේ පද්ක්කම් තරුවලට පහල සාක්කුවේ කවිය දාගෙන රථයේ නැගලා ගියාලු.ඔන්න ඕකයි කතාව යාළුවනේ. අපේ තාත්තට ස්තූතිවන්ත වෙන්න මේ වගේ කථා දවස තිසේ දහස් ගණන් අපි තාමත් අහනවා.  

2 comments:

  1. නියම කතාව ජනරඟ.. හිනාවෙන්න පුලුවන් වෙලාවක උනා නම් පැයක් විතර හිනාවෙනවා. දැනුත් හිනාව නවත්ත ගත්තෙ ගොඩක් අමාරුවෙන්.

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි යාළුවා..කමෙන්ට්ස් නැතිවුණාට මෙහෙම එකක් ලිව්වම හිතට ගොඩක් පිට්

    ReplyDelete