Jun 11, 2011

අපේ බුලතා සහ පැදුර...

බුලතා කියන්නේ අපේ කැම්පස් එකේ අපේ ෆැකල්ටි එකේ අපේ බැජ් එකේම රස කොල්ලෙක්. ගම් පලාත බුලත්සිංහල. ඒකයි බුලතා කියන්නේ. බොහොම ආගමට දහමට බර පුද්ගලයෙක් වෙන අපේ බුලතා බොහොම ජොලි පොරක්. ඉතින් දැන් මාස කීපයකට කලින් අපේ ෆැකල්ටි එකේ පැදුරු පාටියක් තිබ්බා. එදාට ඉතිං ශ්‍රවණාගරේ ගාව ළමයි විතරක් නෙවෙයි ලෙක්චර්ස්ලත් තොගයයි.  ඉතිං මේ පැදුරු පාටියේ නිවේදකයා විදියට හිටියේ මම. සින්දු කියන්නවත් වාදනේවත් බැරිකමට ඉතිං නිවේදනේ බාර දුන්නා. අපේ බුලතා ඇක්ට් කලේ නූගත් හද්දා පිටිසර හේන් ගොවියෙක් ගේ චරිතය. 

  පැදුර කියන්නේ ශාස්ත්‍රීය ගීත විමානයක් කිව්වට කාට කාටත් නින්ද යන නිසාම තමයි බුලතට චරිතයක් දීලා කට්ටියට ෆන් ගන්න සෙට් කලේ. දැන් ඔන්න පැදුර යනවා. අපේ සේරම කොල්ලෝ සරම් බැනියම් ඇඳලා කෙල්ලෝ ටික රෙද්ද හැට්ටේ. පිස්සු හැදෙනවා. රෑ 9 ට විතර කස්ටියටම හොඳටම නිදිමතයි මේ නින්ද යන සිංදු අහලා. දැන් මටත් වැඩේ ඇතිවේගෙන එනවා. ඉතිං ඔය වෙලාවේ බුලතා මට අතින් සිග්නල් එකක් දාලා ස්ටේජ් එකට එන්නද ඇහුවා. මම හා කියලා ටිකක් ඉස්සරහට ගිහින් බුලතට කිව්වා "මචං මොකක්හරි පිස්සුවක් නටමුද කියලා" බුලතා බුලත් කෙල පාරක් බිමට ගහලා එළ කිව්වා.

   එතකොට වාදනය වෙමින් තිබුණු සිංදුව ඉවරවෙද්දිම සෙනග අස්සේ ඉඳන් බුලතා එනවා මට නැතිවෙන්න බැන බැන.


බුලතා - මොකක්ද මහත්තයෝ මේක පැදුරක්ද? මල මගුලක්නේ..වස විලිලැජ්ජාවේ පණ යනවා..

දැන් මට තේරෙන්නෙත් නෑ මූ මොනවා කරන්න යනවද කියලා. ඒත් මම මයික් එකෙන් මුට උත්තර දෙන අතරේ බුලතා නැග්ගා ස්ටේජ් එකට ගත්තා මයික් එකක්.

මම - ඇයි බුලතා එහෙම කියන්නේ..ඇයි නරකද කොච්චර ලස්සන සිංදු කියවුනාද...නරකද එහෙම?

බුලතා - මගුලක් කතාකරනවා..මේක පැදුරක් කිව්වට කෝ පැදුර ගැන එක සිංදුවක් කියවුණාද?..නෑ..නෑ

‍ඔන්න අපේ නිදාගෙන හිටපු සෙට් එකම නැගිටලා මොකද වෙන්නේ බලනවා. කස්ටියට තාම තේරෙන්නේ නෑ මොකද්ද වෙන්න යන්නේ කියලා..

මම - ආ ඒකත් ඇත්ත තමයි...ඒක වැරදියිනේ..හරි බුලතා ඇත්තෝ කියමුකෝ බලන්න පැදුර ගැන සිංදුවක්

බුලතා - එකට දාහක් කියන්නම් මහත්තයෝ අර හිරමණේ කෝට්ටෙන් අතුල්ලලා තඩි බෙර දෙකට ගහලා මිරිස් ගල වගේ කොට්ට පෙරලනවනම්..

බුලත සංගීත භාණ්ඩ වලට දීපු හැඳින්වීම ගැන ‍අපේ කස්ටියට හීන් හිනාවක් ගියා.

මම - හරි දාහක් ඕන නෑ..කියමු බලන්න පැදුර ගැන සිංදු 5 ක්..

බුලතා - 5ක් නේද?...හරි කියන්නම්...

ඔන්න බුලතා ටිකක් කල්පනා කරලා වාදනේට කියනවා

බුලතා - වී පැදුරෙන් ඉගිලී යන කු‍රුල්ලෙකු ලෙසින්
             ඉගිල යන්න බෑ මට.......

කස්ටිය තාලෙට අත්පුඩි ගහනවා.බුලතගේ අවුට් යන ටෝන් එකටත්

මම - හරි හරි..එකක් හරි දැන් දෙක

බුලතා - දෙක නේද?...ආ..හරි
              පිලේ පැදුර....අමර දේව මහත්තයාගේ..මට පදටික නම් මතක නෑ 

මම - හරි හරි..ඒක අපි භාර ගන්නවා...දැන් තුන කියමුකෝ බලන්න

බුලතා නිකටේ අතගහගෙන කල්පනා කරලා අත්පුඩියක් ගහලා පටන් ගත්තා සිංදුවක්

බුලතා - ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
             ආදරේට කොනිත්තලා පෑලේ දොරින් පැන දුවන්න

දැන් අපේ කස්ටිය හොල්මන් වෙලා බලන් ඉන්නවා මේකේ කොහේද පැදුරක් තියෙන්නේ කියලා...බුලතා දිගටම කියාගෙන යනවා

බුලතා - රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
             පාට පාට පන් "පැදුරෙන්" මටත් ටිකක් ඉඩ තියන්න

කස්ටියටම හෙන පන්..මටත් හිතාගන්න බැරිවුණා..කොහොමහරි කස්ටියගෙම නින්දනම් ඉවරයි

මම - හරි හරි...දැන් හතර

බුලතා - හතර නේද...හරි

             පැදුරේ.....සිහිනෙන් පෙම්කරනා ලඳුනේ
             පියවි ලොවේදී මා හමුවන්නට කවදාදෝ එන්නේ

කස්ටිය බඩවල් අල්ලගෙන හිනාවෙනවා. ඇයි යකෝ ‍මේකා සිංදු හදනවනේ

මම - මොකා මොකා..පැදුරේ සිහිනෙන්..මම එහෙම එකක් අහලා නෑ

බුලතා - එහෙනම් කොහොමද මහත්තයා අහලා තියෙන්නේ?

මම - මම අහලා තියෙන්නේ ස‍යනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ කියලා

බුලතා - අනේ මහත්‍තයෝ අපි ඉන්නේ හද්ද කැලේ පැල්කොට වල අපිට කොහෙන්ද සයන? හැම මගුලටම තියෙන්නේ පැදුර තමයි

අපේ එවුන් විතරක් නෙවෙයි ලෙක්චර්ස්ලත් බඩවල් අල්ලන් හිනාවෙනවා.

මම - හරි හරි දැන් බුලතා කියමු අන්තිම එක

දැන් බුලතා පණ දාගෙන කල්පනා කරනවා..මටත් බයයි දැන් මූ ඇණ ගනීද කියලා..

බුලතා - පහහහහ...හරි මෙන්න 

             සුදු පිරුවටයයි මංගල "පැදුරයි" කඳුලින් තෙමනු එපා
             ඔබේ නිදොස් බව ලොවට කියන්නට මට දොස් නගනු එපා

හිනාව දරාගන්න බැරිතරමට මරවිලාපයක් වගේ ඇහෙනවා..නිදාගෙන හිටපු එවුන් හිනාවෙනවා මැරෙන්න...

  බුලතා කියන කතාවත් ඇත්ත හද්දා පිටිසර මිනිස්සුනට කොහෙද සයන පැදුරු මිසක්. කොහොමවුනත් මේක අපේ කැම්පස් ජීවිතේ හැමදාම මතකේ තියෙන සිදුවීමක්.

4 comments:

  1. කමෝන් බුලතා..:D. පට්ටයි.

    ReplyDelete
  2. තෑන්ක්ස් රොබින් කොල්ලා

    ReplyDelete
  3. කියවලා විතරක් මට මැරෙන්න හිනා... එතන හිටපු උන්ට ෆුල් ෆන් ඇති නේද බං සහෝ... එළ එළ... නියම කථාව...

    ReplyDelete
  4. අනිවා මචං...තාමත් මූ මෙහෙම තමයි..

    ReplyDelete