Jul 12, 2011

ආත්මීය ගීතය..

  ආදරය එක්තරා විදියක යාත්‍රාවක යන ගමනක් වගේ. විවිධ ඉවුරු දකිමින් ගොඩවෙමින් යන ගමන විවිධාකාරයි. ජීවිතයේ යථාර්ථයට ඔබ්බෙන් ආමන්ත්‍රණය කරන ආදරය නැමති සංකල්පය බොහෝවේලාවට හරිම  ආත්මීයයි. ජිවිතානුබද්ධ අත්දැකීම් එක්වුණාම ආදරය හරියට සරසපු මල් බදුනක් වගේ. පුදදෙන්න මල්අසුනක් හොයන.

  ජීවිත ගමනේ විවධ මංසංධි හමුවීම ස්වාභාවික දෙයක්. ඒත් ඒ මං සංධිවල අතරමං වීම අස්වාභාවික දෙයක්. ආදරයට හමුවෙනවා වෙන්වෙනවා නැවත හමුවෙනවා. ලෝකපූජිත විද්වතෙක් ආදරය නම්කලේ හමුවීම වෙන්වීම හා නැවත හමුවීමකට. ඒ ආදරේ හැටි. අනන්‍ය ලක්ෂණය වුණු ඒ සිද්ධි නොතිබුණානම් ආදරයත් පොදු මාතෘකාවක්.

  එක් දවසක හමුවෙලා ජීවිතේ ගැන දහසක් බලාපොරොත්තු පොදි බැදගෙන දවසක් හිතේ දුක තදකරගෙන වෙන්වෙලා යන දහසක් පෙම්වතුන් ලෝකය පුරා ඉන්නවා. ඔවුන් කතාකරන්නේ ඉංග්‍රීසිද සිංහලද ලතින්ද උර්දුද හින්දිද කියන එක හෝ ඔවුන්ගේ හම සුදු ද කළු ද කහ ද කියන එක ඒකට අදාල නෑ. සෑම හදවතකටම ඒ ආත්මීය හැගීම පොදුයි. 
 ඒත් ඒ ආදරයේ වෙන්වීම එකිනෙකා විදදරාගන්නේ විවිධ ආකාරයට. එක්වෙන්න බැරිකමට එපිටින් තියන වෙන්වෙන්න බැරිකමත් හිතේ තියාගෙන ආදරේ කරන පෙම්වතුන් අවසන් වතාවට හමුවෙනවා. දරාගන්න බැරිදුකට සමහරු කතා නොකරම වෙන්වෙලා යනවා. සමහර අය දුකට දරාගන්න බැරුව පොලවේ හැපි හැපී අඩනවා. තවත් සමහරු නොකරපු වැරදි අරගෙන හිතේ තරහා පිටකරගන්න බනිනවි. තවත් සමහර අය හරිම ආත්මීය විදියට ඒ වෙන්වීම ජීවිතේ සංවේදීම අවස්ථාව බවට පත්කර ගන්නවා.

  මේ කොයි ‍විදියට වෙන්වුනත් වෙන්වෙන්නේ ආදරයෙන් හෝ බැදීමකින්. ඒකයි බැදීම්වල ස්වභාවය. ඒ බැදීම් ආත්මීයයි..ඒ වගේම තාවකාලිකයි.
සුදු ඇදගෙන සද ඇවිදින් දුර කදු මුදුනට
රිදවුනු සිත ගෙනයයි කදුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවට
මේ ගං ඉවුරට......

බාධක බිද නුඹ ජයගන්නට බැරිවුණි මට
ඇයි දැයි දොස්පවරන සද සිත
මගේ වරදද නුඹෙ වරදද 
එය මා දන්නේ නැත

නුඹ මා ලොව කළුවර කර පැනගිය පලියට
කෙ‍ලෙසක දොස්පවරනු නුඹ හට
කිසි කෙනෙකු නුදුන් ආදරයක්
නුඹ මට දුන් කොට...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

6 comments:

  1. සින්දුව වගේම කියල තියන හැම දෙයක්මත් ගොඩක් ලස්සනයි..

    ReplyDelete
  2. ආදරය ගැන හොඳ විග්‍රහයක් ......

    ReplyDelete
  3. "ඒකයි බැදීම්වල ස්වභාවය. ඒ බැදීම් ආත්මීයයි.."
    හුම් නියම කතාව... ඒත් මම නං හිතන්නෙ නෑ හැම ආදරයක්ම තාවකාලිකයි කියලා....

    ReplyDelete
  4. ගොඩක් කට්ටිය මේ දවස්වල ආදරේ ගැන කියන්නේ මොකද දන්නේ නෑ. මොක උනත් කියලා තියෙන දේවල් ටික මාරම ලස්සනයි.

    ReplyDelete
  5. ආදරය හා බැදීම විග්‍රහ කිරිම සංකීර්ණ කාර්යයක්..ඒත් එයට ජීවී උදාහරණ අනන්තවත් පුළුවන්

    ReplyDelete