Jan 22, 2012

“පිස්සු නැත්නම් ෂෝක් පුතා“ වෙතට අනුර ශ්‍රීනාත්

      කලකට ඉහත “ලංකා“ පුවත් පත ටැබ්ලොයිඩ් පත්‍රයක් ලෙසින් වෙළඳපොලට නිකුත් වූ සමයේ එහි අවසන් පිටුවේ අපූරු කාටූනයක් පලවිය. එය “පිස්සු නැත්නම් ෂෝක් පුතා“ ලෙස නම්විය. එකල බෙහෙවින් ජනප්‍රිය කාටූනයක් වූ එය විශේෂයක් වූයේ සතිපතා පුවත්පත් කාටූන් පල්ලම් බැසි යුගයක බිහිව උඩුගම් බලා පිහිනූ කාටූනයක් වීමයි. එහි නිමැවුම්කරු වූයේ ලංකාවේ සිටින අති දක්ෂ සිත්තරෙක් වන අනුර ශ්‍රීනාත් මහතාය. “පිස්සු නැත්නම් ෂෝක් පුතා“ කාටූනයට පාදක වී තිබුණේ වත්මන් ජන සමාජයේ ඇති විපරීතකම් මෙන්ම සමාජ අසාධාරණයට උපහාසාත්මකව මෙන්ම ප්‍රායෝගිකව ඥානය මූලික් කරගෙන විසඳුම් සොයන අපූරු තරුණයෙක්ගේ භූමිකාවකි.


තාක්ෂණය හා අදහස් මතින් ගොඩනැගෙ න මේ තරුණයාගේ සංකල්ප ආගන්තුක වුනත් එයින් කියවෙන්නේ යුගයේ සමාජ අවශ්‍යතාව මිස අන් කිසිවක් නොවුණි. ලෝකයේ ඛනිජ තෙල් අර්බුදය උඩුදුවා තිබූ සමයේ අධික තෙල් නාස්තියක් සිදු කරමින් ලොක්කන් සැප වාහනවල යද්දී ෂෝක් පුතා අඩුවියදම් මෙන්ම තමා විසින්ම නිපදවාගත් භූමිතෙල් ස්කූටරය ක ගමන් කරයි. එමෙන්ම ලැබෙන රැකි යාව ඉතා ඉහල මට්ටමකින් කරන අතරම තම බාහිර කටයුතු සියල්ල ජංගම දුරකතනයෙන් සිදුකිරීමෙන් සමාජ උපහාසයක්ද එල්ල කරයි. එක් අවස්ථාවක මෙම කතාවේ ෂෝක් පුතාට නව රැකියාව ලැබෙන්නේ ප්‍රධාන පෙලේ ආයතනයක සුළු සේවක රැකියාවකි. ඉහල සුදුසුකම් තිබියදී මේ කටකාර තරුණයා අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් ආයතනයේ කළමණාකරු ෂෝක් පුතාට දෙන්නේ මුලින්ම ආයතනය අතුගෑමටයි. කිසිදු පැකිලීමකින් තොරව ටයි පටිය පවා පැළඳගෙන ආයතනය අතුගාන අතර තුර ෂෝක් පුතාට දුරකතන ඇමතුමක් ලැබේ..

“ආ ඔව් මමී..මේ දැන් වැඩ බාරගත්තා..දැන් මේ අතුගානවා“

“වෙරි ගුඩ් සන්..හොඳට අතුගාන්න..එක කුනු කෑල්ලක්වත් නැතිවෙන්න අතුගාන්න“

“ඒත් මමී අතුගාන්න බැරි කුණුත් තියනවා“

“කොහෙද සන්..කබඩ්ස් යටද?“

“නෑ මමී..සමහර ලොක්කන්ගේ හිත්වල“

එවැනි සමාජ උපහාසාත්මක වදන් වැකි යවුල් පහරවල් මෙන් සමාජයට මුදා හැරීමට අනුර මේ කාටූනය යොදාගත්හ. තවත් තැනක සුඛෝපබෝගී ජීප් රථයක් ගොවියන් විසින් පෝරුගා තිබූ කුඹුරකට වැටීම හා ගොවියන් එම රථයට පහර දෙන අවස්ථාවක් සටහන්වේ. එහිදී අසලින් ගමන් කරන ෂෝක් පුතා පොලීසියට අපූරු පණිවුඩයක් ලබාදේ..


“ඔව් අංකල්..ප්‍රභූ රථයක් කුඹුරට බැහැලා..කවදාවත් නොවෙන දෙයක්..ගොවි මාමලා නැන්දලා කුඹුරේ ප්‍රභූ රථය වටකරගෙන ප්‍රාථමික මට්ටමේ ගොවි උපකරණ වලින් පහර දෙනවා... නෑ නෑ අංකල් ආයුධ සන්නද්ධ පොලිස් බලඇණි ඕන නෑ නුවණින් සන්නද්ධ කණ්ඩායමක් ඉක්මණට එවන්න..හරියට මෙතන රුසියානු විප්ලවය වගේ...ඔක්තොම්බර් ජය සමරන්නයි හදන්නේ...“

එවැනි වෙනස්ම මාදිලියේ වදන් හා අදහස් යොදාගනිමින් සබන් බෝල ප්‍රේමකතා වලින් ඔබ්බට  ගිය රසවත් මෙන්ම හරවත් කාටූන් මාලාවක් “ පිස්සු නැත්නම් ෂෝක් පුතා“ වෙතට අනුර ශ්‍රීනාත්ගේ යොමුව සිදුවුනි.

එපමණක් නොව අනුර අතින් “කැට් මෑන්“, “කෝච්චිය එන්න එපා“,  වැනි කාටූන් මාලාවන්ද පුවත් පත් හා සඟරාවලට නිර්මාණය වුනි. ඒවාද වෙනස්ම ආකාරයේ කාටූන් විය. වර්තමානයේ “අද“ නව පුවත්පතට දිනපතා “කොන්දා“ නමින් නිර්මාණය වන්නේද අනුර ගේ අනන්‍යතාව රැගත් නවතම කාටූන් මාලාවකි. එහිද කොන්දා ගේ චරිතයෙන් ෂෝක් පුතාගේ චරිතයේම දිගුවක් විද්‍යමාන කරයි.

අනුර වෙතින් ෂෝක් පුතා වැනි නිර්මාණ මත තැබු සුවිශේෂි ගුණාංග සමාජ ස්ථරය මත නොමැකෙන සටහන් තබා ඇත. ඒ සුවිශේෂි බවට ගුණාතමක හරයක් එකතු කිරීම සමාජය විසින් සිදුකර ඇත. එය සමාජ සංශෝධනයකට පුළුල් හරයක් කරගැනීම පමණක් සිදුවී නොමැත.

6 comments:

  1. අහ්හ් හොද ලිපියක්

    ReplyDelete
  2. මාත් හුගක් ආසකරපු කාටුන් එකක්

    ReplyDelete
  3. ඔය කතාව මුල ඉඳලම කියෙව්වා. කතාව අවසන් වුනේ ඛේදවාචකයකින්...ඒ, මේ සමාජය

    ‍"ෂෝක් පුතා"ලට අත්කර දෙන ඉරනමයි.

    අනුරගේ සෑම චිත්‍රකතා වක්ම වගේ අභව්‍ය සිදුවීම් වලින් ගහණයි. ඒත් ඒ කිසිවක් මහ

    පොලොවෙ යථාර්තයක් බවට පත්කරන්න බැරි දේ නෙවෙයි. ඔහු කරන්නෙ මේ රට

    වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඔහුට කළ හැකි දේයි. ඔහුගේ දේශපාලන මැදිහත්වීම අඩු

    නැතුවම ඔහුගේ මාධ්‍ය හරහා කරගෙන යනවා.
    ඒත් එක්තරා කාලයක ඔහු ජ.වි.පෙ වෙනුවෙන් ඍජුවම කඩේ ගිය අවස්ථා තිබුණා. එවකට

    මා ජ.වි.පෙ සාමාජිකයෙකු වුවත් ඔහුගේ ඒ කටයුත්තට නම් මා සුභ පැතුවෙ නෑ. මොකද

    නිර්මාණකරුවා ඍජුව දේශපාලනයට මැදිහත් වීමෙන් ඔහු විනාශ වන නිසා. මම හිතන්නෙ
    දැන් ඔහු තමන්ට වැරදුනු තැන් නිවැරදි කරගෙන ඇති.

    අනුර ශ්‍රීනාත් නම් ඒ විශිෂ්ට චිත්‍ර ශිල්පියාට අපි සුබ පතමු !

    ReplyDelete
  4. ඇත්තම කියනවනම් මම මේ කාටුන් මාලාව දැකලා නෑ.. ඔබේ විස්තරයෙන් හිතෙනවා හොද නිර්මාණයක් බව..

    ReplyDelete
  5. මම මේ කතාමාලාව අවසන් වනතුරුම කියෙව්වා ඉතාමත් ලස්සන කතාවක් ඛේදාන්තයකින් විනාස වුනේ සමාජ යථාර්ථය ලස්සනට කියලා දෙනවා....මට මතකයි මේ කතාව ඉවර වුනාට පස්සේ "ඉස්කෝලේ යන්න පුතේ" කියලා කතාවකුත් ගියා ඒකේ තිබුනේ ඇමතියෙක් ගාව රියදුරු රැකියාව කරන තරුණයෙක්ට අත්වන ඉරණමක් ගැන....මේ චිත්‍ර කතා නැවත එකතුවක් ලෙස කියවන්න ආසාවක් ඇතිවුනා මේ ලිපිය කියෙව්වාම පුළුවන්නම් ඒකටත් පාර පෙන්නන්න...

    ReplyDelete
  6. යුග යේ අවශ්‍යතාව හදුනාගෙන ..එය මැනවින් ච්ත්‍රයට නගපු .... සිත්තරෙක් .... අනුර ශ්‍රී නාත් කියන්නේ ,,,, ජය වේවා .....

    ReplyDelete