Dec 2, 2012

පව්කාර ස්ත්‍රියට ගල් ගසන පව් නොකල උන්...


මෙරට වෙසෙන ඇතමුන් පවසන්නේ මෙරට නිදහස් නිවහල් රාජ්‍යයක් ලෙසය, තවත් සමහරුන් මෙය ප්‍රජාතන්ත්‍රවාදය අතුරුදහන්වූ වල්බිහිරි බිමක් ලෙස අර්ථ දක්වති. කෙසේ නමුත් මෙහි සම්මිශ්‍රණය වන නිදහස් නිවහල් රාජ්‍යක් තුල ප්‍රජාතන්ත්‍රවාදය අතුරුදහන්වීම යනු රටක ජනතාවට මුලිනුත් දෙවනුව පාලන තන්ත්‍රයටත් දැඩි හානි සිදුවන සිදුවීමක් බව මතක තබාගත යුතුය. එසේ සිදුකරන්නේ ජනතාව හෝ පාලන තන්ත්‍රයනම් එය පාරාවලල්ලක් වී තමන් දෙසටම කැරකෙන බවද  සිතේ තබාගත යුතුය. නාමික ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට කොටුවී සිටින බුද්ධිමතුන් නිහඬවීමත්, සාවද්‍ය මතිමතාන්තර මත මාධ්‍ය පැවතීමත් අතීතයේ මහා රාජ්‍ය කඩාවැටීමේ පෙරනිමිති වූ බව අපගේ මතකයේ තවමත් රැඳී පවතී.

   වර්තමානයේ ලංකාවේ අධිකරණය සහ ව්‍යවස්ථාදායක අතර උත්තරීතරභාවය පිළිබඳ ගැටළුවක් ඇතිබව බොහෝ පුවත් වාර්තා වල සඳහන් වෙයි. මම ලොක්කා...නැතිනම් මමයි ලොක්කා කියා දෙපාර්ශවයම ක්‍රියාකාරකම් වලින් සහ වාචික හරඹයන්ගෙන් කුලල් කා ගන්නා තත්වයකට පත්ව තිබේ. එවැනි තත්වයක් තුල තමන්ගේ කාර්යභාරය කුමක්ද යන්න මේ පාර්ශව දෙකම අමතක කර ඇත. රටක් වශයෙන් ඉදිරියට යාමට මෙය බාධාවක් පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලෝකයට ඔවා දීමට පෙර තම කිල්ලොටය පිලිබඳ සැලකිල්ලක් දක්වන ලෙස දෙන රතු ආලෝකයක් වැනිය.


   රටේ උත්තරීතර පැවැත්ම තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතය. මම ලිඛිත ලේඛනයේ පැවරුණු ආකාරයට හැරෙන්නට අධිකරණය,ව්‍යවස්ථාදායකය සහ විධායකයට කල හැකි යමක් නැති. එයින් පරිබාහිරව යමක් කරයිනම් එය අත්තනෝමතිකව අදාල පාර්ශවයේ සීමාව උල්ලංඝනය කිරීමක් විය යුතුය. දේශපාලනික සිව්කොන් පිරික්සීමේදී වර්තමානය වන විට රටේ ව්‍යවස්ථාදායකය තුලට ඇතුල්වී සිටින බහුතරයක් නිසි සිහිබුද්ධියෙන් යුතුව රාජ්‍ය තන්ත්‍රයක  කටයුතු මෙහෙයවීමට හැකි ඇත්තන්ද යන්න කල්පනා කල යුතුය. ගැලබැඳි ගොනුන් පිස්සු නටන විට ඉබේටම  ගැල් ගමනද උන්මත්තක ගමනක් ලෙස ඉබාගාතේ යන බව සැබෑවය. එයට උදාහරණ ලෙස දෛනිකව රටේ පුවත්වලට අවධානයෙන් සිටින ලෙස ඔබට උපදෙස් ලබාදීමට කැමතිය.

   අගවිනිසුරුවරිය දෝශාභියෝගයක් තුලින් එලවාදැමීමට උත්සහ කිරීම තුල රජය පෙන්වා දෙන්නේ මේ රටතුල කුමන ඉහල තනතුරක් දැරුවත් වංචා කරන, තනතුරේ ගෞරවය කෙලසන ඇත්තන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙසටයි. අගවිනිසුරුවරිය දෙස නෙත්යොමා දඬුකඳ ගෙන එන්නට පෙර පසුගිය වසර කීපය තුල රාජ්‍ය නිලධාරීන්, ආණ්ඩුවේ ගැත්තන් සහ ආණ්ඩුව තුල සිටින්නන් සිදුකරන ලද විෂමාචාර දෙස බලන විට ඔවුන්ට දිය යුතු දඬුවම් දුන්නානන්ම අද මෙරට සිරගෙවල් පිරී ඉතිරීයන තත්වයකට පත්විය යුතු වන්නට තිබුණි, දවස පුරාම එල්ලුම්ගහ ක්‍රියාත්මක කලයුතු තත්තවයකට පත්වන්නට  තිබුණි. නමුත් එය එසේ නොවීය. අගවිනිසුරුවරිය නිවැරදියයි කියන්නට උත්සහ නොගන්නා අතර වැරදිකාරිය නම් නිසි දඬුවම් දීම කල යුතුය, නමුත් ඒ මේ රටේ ඕනෑම පුරවැසියෙකුට හිමිවිය යුතු ස්වාධීන අධිකරණයක් හමුවේ පෙනී සිටීමේ අයිතියද සමගින් එය සිදුවිය යුතුය. ඇතැම් වැරදිකරුවන්ට සමාවත්, ඇතැම් අයට පෝරකයත් හිමිවන්නේ පක්ෂපාතීත්වය හෝ අණ නොතකා හැරීම මතනම් එය රටකට මෙන්ම ආණ්ඩුවටත් කළු පැල්ලම් හිටින කාරණයක් බව මතක තබාගත යුතුය.

   නමුත් මෙම දෝශාභියෝග සිදුවීමේදී එහි පරීක්ෂණයට පත්කල කමිටුව සහ එහි ක්‍රියාපටිපාටි මෙන්ම අධිකරණ නියෝගවලට රජය අවනත නොවීමත් තුල මෙරට ජනතාවට ස්වාධීන අධිකරණයක් අහිමිවේදෝ යන සැකය මතුනොවෙනවානම් පුදුමය. නමුත් මේ අවසන් අවස්ථාව විය හැකිය. රටේ ස්වාධීන පැවැත්මකට අත්‍යාවශ්‍ය ස්වාධීන අධිකරණය රැකගත නොහැකිනම් මෙරට ජනතාව සියතින් ගෙල සිඳගත්තා වැන්නක් බවට පත්වීම වැලැක්විය නොහැකිය. පව්කාර ස්ත්‍රියට ගල් ගැසීමට සියල්ල සූදානම් කර ඇත. පව් නොකල උන් රොත්තක් එයට සූදානමින් සිටී..දැන් කියන්නට ඇත්තේ හෘද සාක්ෂියට අවනතව නුඹලා පව් කර නැතිනම් මුල්ම ගල ගසාපන් යනුවෙනි...

7 comments:

  1. අනේ බං ඔයාම කියනවා රටේ උත්තරීතර පැවැත්ම තීරණය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මතය කියා ඉතින් එහෙමනම් වෙන මොනවද මේ කියන කතා.අතිගරු ජේ ආර් ජයවර්ධන උතුමානන් ගේ සමයේ සම්මත කළ ව්‍යවස්ථාව තමා අදටත් වලංගු.
    // අගවිනිසුරුවරිය නිවැරදියයි කියන්නට උත්සහ නොගන්නා අතර වැරදිකාරිය නම් නිසි දඬුවම් දීම කල යුතුය, නමුත් ඒ මේ රටේ ඕනෑම පුරවැසියෙකුට හිමිවිය යුතු ස්වාධීන අධිකරණයක් හමුවේ පෙනී සිටීමේ අයිතියද සමගින් එය සිදුවිය යුතුය.//
    ඉතින් කොල්ලෝ ඒ ව්‍යවස්ථාවෙම නේද තියෙන්නේ අගවිනිසුරුට එරෙහිව ගන්න හැකි පියවර ගැනත්.

    ජේ ආර් හැදුවට මේව මහින්දගේ කුමන්ත්‍රණ නේද මලයා..
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. නලින් සහෝදරයා..ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල්ම ප්‍රතිමූර්තිය කීපවතාවක් වෙනස්වෙලා අද තියන තත්වයට පත්කරගත් පසුවවත් මෙයින් සිරවී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයම බව නොතේරීම තරම් කණගාටුවක් තවත් වෙයිද. නමුත් සියලු පරිබාහිර ක්‍රියාකාරකම්වලින් සිදුවන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පාලන තන්ත්‍රය මෙන්ම අධිකරණ ක්‍රියාවලිය ගැන ජනතා විශ්වාසය ගිලිහී යාමයි.ලිපියේ සමස්ථය පාදක කරගන්නා කරුණ අන්තර්ගත කරුණු තුලින් තර්කනය සහ විතර්කනය මත පදනම් කරපු ආකාරයට සකසපු ලිපියක් මිස විවේචනය හෝ පැසසීම අරමුනු කර නොගත්තක් බව කියවා අවබෝධකරගන්නා ලෙස ඉල්ලා සිටිමි. එසේම ව්‍යවස්ථාවේ අගවිනිසුරුට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග වලට අදාලව ක්‍රියාකරන්නේ මේ පවතින ආකාරයටද යන්නත් සිතා බැලිය යුතුය. නමුත් අවාසනාවකට ව්‍යවස්ථාවටත් එරෙහි ව්‍යවස්ථාවලට ජනතා බලය හිමිවී තිබේ

      Delete
    2. අවාසනාවකට ව්‍යවස්ථාවටත් එරෙහි ව්‍යවස්ථාවලට ජනතා බලය හිමිවී තිබේ ??????????????

      Delete
    3. Naleen Dilruksha
      හරි! මේකට උත්තර දෙන්නකෝ. පාර්ලිමේන්තුවට ඕන නිලධාරියෙක් එලවන්න. කමිටුව පත්කරන්නෙත් පාර්ලිමේන්තුව. ඒක සාධාරණද?
      (දැං කියන්න එපා මේක ජේආර්ගෙ ව්‍යවස්ථාව කියල. ආපු ගමන් වෙනස් කිරිල්ලකුත් කරගත්තනේ. අඩුපාඩුවක් තියනව නම් හදාගන්න 2/3ත් තියනවනේ)

      Delete