Jan 10, 2013

හද එක්ටැම් ගෙය - ශරීර කූඩුවෙන් ඔබ්බට ගිහින් ජීවිතය දෙස


හදවතක් අතේ තියෙනකොට හැමදේම හරිද? දැනේනේ හැමදේම හරි කියලා. ඒත්..ඇත්තටම එහෙමද.හදවත් හරි ලිස්සන සුළුයි. කොයි මොහොතේ අතින් ගිලිහිලා වැටෙයිද දන්නේ නෑ. කොතරම් තදින් මිට මොලවගෙන හිටියත්, එහෙමත් නැත්නම් හැඟීම් දැනීම් වලට සංවේදීවන විදියට ආදරයෙන් පිරිමදිමින් තුරුලු කරන් හිටියත් කොයි මොහොතේ අතින් ගිලිහෙයිද කියලා එය දරන ඔබවත් දන්නේ නෑ. ඇයි ඒක එහෙම වෙන්නේ..ඒක එහෙම වෙන්නේ හදවතට උරුම අනන්‍ය ලක්ෂණ නිසා.

   හදවත ඔබ ඉදිරියේ බොහොම ලස්සනට හිනාවෙලා කෙලිලොල් ස්වරූපයෙන් ඉන්න පුළුවන්. ඒත් නොහිතන මොහොතක හැමදේම වෙනස් වෙන්න පුළුවන්. මොකද මනුස්ස හදවත් කියන්නේ රැහැන් පටවලින් බැඳලා දාලා ආරක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම බලෙන් රකින දේවල්වලට පැවැත්මක් නෑ. ස්වයාක්ත පැවැත්මකට ඉඩදෙනවා හැරෙන්න අපිට කියලා කියන්න කිසිම දෙයක් නෑ.


   දිවෙන් දිව ගාගෙන ඉන්න හදවත් කැඩිලා බිඳිලා ගිහින් ගහ මරාගන්න කොට, උසාවි ගානේ රස්තියාදුවෙලා නීතීඥයන්ගේ ආර්ථික ශක්‍යතාව තර කරද්දි සමහරවිට ඔබ කම්මුලේ අත තියාගෙන “අනේ...අපොයි“ කියාවි. ඒත් මීට ඉහත ඡේද දෙක හෘද සාක්ෂියට එකඟව ඔබ කියෙව්වනම් ඔබට තේරේවි ඒක සාධාරණයි කියලා. මොකද මේ ලෝකේ වෙනස් නොවන දෙයක් නෑ. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස්  පන්සීයකටත් පෙර දේශනා කලේ “ලොව වෙනස් නොවන කිසිම දෙයක් නැහැ කියලා“. ඒත් තුන්සිය හැටපස් දවසෙම බණ අහන පින් කරන ඔබ මේ වෙනස්වීම කියන දේ හදවත් වලට අදාල වෙනකොට විස්සෝප වෙනවා.ඇයි ඒ..ඔබ හොඳාකාරවම දන්න දෙයක් තමයි හදවත්වලටත් ඒ වෙනස්වීම අදාලයි කියලා. එහෙනම් ඇයි දුක්වෙන්නේ...ඒ ඔබේ තණ්හාව නිසා..නැතිවෙන නැතිවුණ දෙයක් ගැන එච්චර තැවෙන්නේ ඒ නිසා.

   ජීවිතය දිහා ඔය දෘශ්ටි කෝණෙන් බලන ඔබට සමහරු ප්‍රායෝගික නෑ කියාවි. එහෙත් ඒ කියන අයම සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන “සදාකාලික නොවූ ලෝකයේ“ ගීතයේ “සදාකාලික නොවූ ලෝකයේ සදා කෙලෙසද පෙම් කරන්නේ ...“ කියන පදකොටස ගායානා කරනවත් ඇහේවි. ඒ අනන්‍ය බව නිසාම තමයි හිත් කියන දේ නිසා ඇතැම්විට ලෝකය මෙන්ම ජීවිතද සසල වෙන්නේ.

   හදවත අත්ලට තදකරලා තියාගන්න බෑ..ඒක ඇත්තම කතාවක්...අපිට පුළුවන් ඉන්න කාලේ අඳුනගන්න එක විතරමයි..

7 comments:

  1. හ්ම්ම්... ආදරය කරනවා නම් එන ඕනම දේකට කොහොමහරි මුහුන දෙන්න ශක්තියක් තියෙන්න ඕනා.. තමන්ගෙ ජීවිතේ අවුල් කරගන්නෙ නැතුව :)

    ReplyDelete
  2. හොඳ අදහසක් . අද උදේ මම කියවපු පොතේ තිබුනේ හිත තියෙන්නේ හදවත ඇතුලේ තියෙන ලේ ධාතුව තුල කියල. හදවත ඇතුලේ තියෙන ලේ ධාතුව ස්ථිර දෙයක් නෙමෙයි.අශ්වාශ ප්‍රස්වාශ කරනකොට හදවතට ශරීරය තුල තිබෙන කිලිටි ලේ එනවා. අශ්වාශයේදී හදවතට එන ඔක්සිජන් වලින් එම ලේ පිරිසිදුවී අලුත් ලේ බවට පත් වෙනවා එම ලේ නැවත හදවිතින් ශරීරයට පොම්ප කරනවා. එම ලේ ධාතුව හදවතේ තිබෙන සුළු කාලය තුල තමයි හිත උපදින්නේ. මේ පොත ලියල තියෙන්නේ අභිධර්මය ගැන පොත් ලියපු අමරරත්න මහතා.

    සමරසේකර

    ReplyDelete
  3. පෘතග්ජන මිනිස්සුනේ මේ අපි හැමොමත්

    ReplyDelete
  4. හ්ම්ම් හ්ම්ම්....

    ReplyDelete
  5. හිතවත් රචකය,ඔබ දන්නවාද?.... මේ මොහොත වන විට ඔබ පසුපසින් පැමිනෙන්නන් ගේ ගණන 200ක් වූ බව :D
    සුභ පැතුම් :)

    ReplyDelete