Mar 12, 2013

ඇමතිතුමෙක් සිය පුත්‍රයාගේ ගුරුවරියට ලියූ ලිපියක්


දයාබර ගුරුතුමිය වෙත,

ලොව සියලු දෙනාම රජ වන්නේ යහපත් රාජ්‍ය පාලකයන් යටතේය, නුවණින් ඒ පාලකයන් සවිමත් කිරීම අදියුම් දෙන්නන්ගේ ශක්තියෙන් බව ලොවම දන්නා කරුණකි. එබැවින් යහපත් රාජ්‍ය පාලකයෙක් වන්නට සිටින මාගේ පුත්‍රයාට මේ තතු කියාදීම ඔබ සතු යුතුකමක් මෙන්ම එය ඔබට මතක් කිරීම මා සතු වගකීමකි.

කුඩාකල පටන් රිදී හැන්ද මුවේ තබා පැමිණි රජ පැටියන්ට මහපොලවේ කර්කශ්ඨක බව උරුම නැති බව මාගේ පුත්‍රයාට කියාදෙන්න. අතට පයට දැසි දස්සන් ගෙදර සිට මිදුලට යාමටත් යාන වාහන ලැබෙන්නේ පෙර පිනෙන් සහ සිය පියාගේ මානව දයාව හා කැපවීම නිසාවෙන් බව ඔහුට කියා දෙන්න. කිසි විටක සාමාන්‍ය පන්තියේ මිතුරන් ආශ්‍රය නොකිරීමටත් හැකිතරම් ව්‍යාපාරික පන්තියේ හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නැතිනම් නමගිය අපරාධකාරයන් මට්ටමේ මිතුරන් පමණක් ආශ්‍රය කිරීමට ඔහුට මග පෙන්වන්න, එය අදටත් වඩා හෙටට ඔහුට මහා ශක්තියක් සහ පසුපසින් පැමිණෙන් බලමුළුවක් වනවා නියතය.

මේ ආසනය ඔහුගේ දේපල බවත් මේ දිස්ත්‍රික්කය ඔහුගේ ඉලක්කය බවත් ඔහුට පෙන්වා දෙන්න, දේපල මතින් ඉල්ලක්ක වෙතට පිය මනින්නට ඉදිරියට එන කිසිඳු බාධකයකට එම ගමන වැලැක්වීමට ඉඩ නොදෙන ලෙසට ඔහුට කියා දෙන්න, ඒ සෑම ගැටළුවකදීම දැවැන්ත මාධ්‍ය සංදර්ශන මගින් ඔහුව නිසි මාර්ගයට ගැනීමට මහා විසල් රුකක් මෙන් සිය පියා සිටිනා බවට ඔහුට මැනවින් කියා දෙන්න.

දුප්පත් මිනිහාට පුට් බයිසිකලයත්, මැදපන්තියේ මිනිහාට මරුටියත් ලෙසින් ඔහුගේ පන්තියට සහ පියාගේ මට්ටමට උරුම ලැම්බෝගිනියක් බව ඔහුට කියා දෙන්න. ඒ සඳහා මොනතරම් වියදමක් දරන්නට වුවත් මෙරට ජනයා එයට නොමසුරුව ආධාර කරන්නට වැල නොකැඩී සැදී පැහැදී සිටින බව ඔහුට කියා දෙන්න. ඒ ලැම්බෝගිනියට කවුරුන් හෝ යටවී මියගියත් එය සමුරායිවරයෙක් අවසන් සටනකදී මියගියා වැනි අභිමානයකින් මෙරට වැසියන් පිලිගන්නා බව ඔහුට අවධාරණයෙන් කියා දෙන්න.

ඔහුගේ ගමනට විරුද්ධවෙන ඕනෑම අයෙක් නිසැකවම රාජ්‍ය ද්‍රෝහියෙක්, දේශද්‍රෝහියෙක් මෙන්ම ත්‍රස්තවාදියෙක්ද වන බව ඔහුට කියා දෙන්න. එවැනි පාපතරයෙක්ට තුවක්කුව දිගුකිරීමට, අතපය කැඩෙන තුර පහරදීමට, ගස් බැඳීමට, පිරිස් පිටින් ගොස් තර්ජනයට, අතුරුදහන් කිරීමට උත්තම අයිතියක් ඇති බව ඔහුට කියා දෙන්න. ඒ උත්තම අයිතිය නිසාවෙන් නිසැකවම එවැනි පාපතරයින් ඔහු ඉදිරියේ දණින් වැටී සමාව ගෙන වැරැද්ද තමන්ගේ බව පිළිගන්නා බවත් ඔහුට කියා දෙන්න.

ඔනෑම ආකාරයේ සංවිධාන සංගම් කැමති තැනක ගැහැණු පිරිමි භේදයකින් තොරව පිහිටුවාගන්නා ලෙසත් රටේ සමස්ත රාජ්‍ය රැකියා ඇබෑර්තු සියල්ලක්ම පාහේ එම සංවිධාන වෙත තිළිණ කිරීමට රාජ්‍ය ආයතන මෙන්ම මහජනතාවද ඉතා කැමැත්තෙන් බලා සිටින බව ඔහුට වටහා දෙන්න. එසේම ඕනෑම විභාගයක්, පට්ටමක් ගැනීමට ඕනෑම අධ්‍යාපන ආයතනයකට යන ලෙසත් එවිට එම ආයතනවල ප්‍රධානීන් මල්මාලාද තියාගෙන මග රැක සිට ඔහුව පිලිගන්නේ ඔවුන්ගේ කැමැත්තෙන්ම බවද කියා දෙන්න. එසේම එවැනි  තනතුරු ලද පසු රට පුරාම බැනර් සහ පුවරු පලකරමින් රටේ මහජනතාව සුබ පතන්නේ කඳුළු වගුරවමින් බව ඔහුට සංවේදීව කියා දෙන්න. මෙරට ජනතාව එතරම් සංවේදී ජනතාවක් බව ඔහුට පෙන්වා දෙන්න.

ඔහුගේ ක්‍රියාවන් නිසාවෙන් මාගේ ඇතැම් බලාපොරොත්තු සහගත තනතුරුවලටද බලපෑම් සිදුවිය හැකි මෙන්ම මරණ තර්ජනද එල්ලවිය හැකිබව ඔහුට කියා දෙන්න. නමුත් එවිට රටේ ජනතාව ඒ සියල්ල අමතක කර දමා සුපුරුදු සෙනෙහෙස අප වෙත පලකරනු ඇති බවද කියා දෙන්න. තවද මගෙන් පසු මේ තනතුරට එකම සුදුස්සා ඔහු බවත් ඔහු මාගේ තැනට එනතෙක් මා රෝද පුටුවෙන් හෝ ගිලන් ඇඳේ සිට වුවත් තනතුර රකින බවත් එසේත් නොමැතිනම් නීති රීති හෝ වෙනස් කර ඔහු වෙනුවෙන් පමණක් තනතුර රකින්නේ ඔහු කෙරෙහි මෙන්ම මේ  රට කෙරෙහිද ඇති අසීමිත පෙම නිසාවෙන් බව ඔහුට කියා දෙන්න. අවසානයේ මේ සියල්ලක්ම ඔහුගේ අනාගත උරුමයන් බවත් අප සිදුකරන්නේ ඔහු සුවසේ ඒ වෙත රැගෙන යාම බවත් අතර මැද ගැටළු වලදී අප සුමටව ක්‍රියා කරන්නේ රටේ සුගතිය වෙනුවෙන්ම බව කියා දෙන්න. ඔහු අනගාතයේ මාගේ තනතුරත් ඉක්මවා ගිය පසු මට මෙන්ම ඔබටද ඒ ආඩම්බරය දැනෙනු ඇත.


                                                             මීට
                                                             ඇමතිතුමා

22 comments:

  1. මම මේක කොහෙන් හරි කියවලා තියනවා වගේ මතකයක් තියනවා,, ආයේ කියවන්න ආසාවකුත් තිබ්බා... ස්තූතියි..!!

    ReplyDelete
    Replies
    1. මේක ඒබ්‍රහම් ලින්කන් ජනපතිතුමා සිය පුත්‍රයාගේ ගුරුවරියට ලියපු ලිපියේ එක්තරා සංස්කරණයක්..ගැලපෙන ඔලුවලට මේ තොප්පිය අදාලයි ශම්මි...කලාමැදිරියා නිවැරදියි

      Delete
  2. යකො උඹ ලිව්වා හරියට ම හරි මොක ද දන්නවද ? මේ ලියුම ලියන්නේ වම් අතින්, වමට බර උන් එහෙම තමයි. උඹ හරි පුතා. උඹට ජයවේවා.........ඇමතිටත් ජයම වේවා!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇනෝ මම ඒ ඡායාරූපය එහෙම හිතලා මතලා තෝරගත්තු එකක් නෙවෙයි..ඔබ කිව්වට පස්සේ තමයි මටත් කාරණේ ඇත්ත කියලා තේරුනේ..හොඳ විමර්ශණශීලී ඇසක්...ඔබටත් ජයවේවා ඇනෝ..

      Delete
  3. ප.ලි. - මෙය හොඳින් කියා දීමට බැරි වුවහොත් ඔබවද දේශ ද්‍රෝහියෙක් ලෙස සලකන ලෙස මගේ පුතාට මම උගන්වා ඇත! ඒ නිසා පරිස්සම් වන්න!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මිත්‍රයා..ඒ අමතර පාඩමක්

      Delete
  4. ඒබ්‍රහම් මොකෙක්ද? මෙන්න ඇමතිලා!!ශුහ්!! :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ..ඒබ්‍රහම් දන්නේ වැම්පයර්ලා එක්ක ෆයිට් කරන්න විතරනේ බං..අපේ ඇමතිලා කීයක් එක්ක නම් ෆයිට් කරනවද..

      Delete
  5. ඔහොමම නොලිව්වට ඔය අදහසනම් විවිධාකාරයෙන් ගුරුතුමන්ලා අතට යනවා ඇති. හැමදාම වගේ නිර්මානාත්මකයි මචන්. උපහාසාත්මකව ලිව්වට තිත්ත වුනත් ඇත්ත කතාව. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍රයා..ඒවා යන්නේ ලිපි විධියට නෙවෙයි..වෙනත් ආකාරවලට තමයි ගුරුවරුන් අතට යන්නේ..ස්තූතියි ප්‍රදීප් මචං

      Delete
  6. Replies
    1. ස්තූතියි මිත්‍රයා..කාලෙකින්

      Delete
  7. උතුරා යන පිය සෙනෙහස තියෙන තාත්තෙක් මොනව උනත්.

    මේකේ ඔපසිට් වර්ෂන් එකත් ලියහන් මල්ලී . .

    සාමන්‍ය මහජනයෙක් වෙච්චි මැද පන්තියේ පියෙක් තමන්ගේ පුතාට ලියන ලියුමක්.

    ඇමති පුතෙක් බීච් එකකදී, නයිට් ක්ලබ් එකකදී දැක්කොත් අත්දෙක දැපරැන්දේ ගහගෙන ඌට වැඳලා එතනින් චුත හැටි එහෙම විස්තර වෙන එකක් . .

    හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔපසිට් වර්ෂන් එකක්...හොඳ අයිඩියා එකක් දුකා අයියා..

      Delete
  8. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න අපේ වෙබ් අඩවියට http://www.sinhapedia.com/

    ReplyDelete
  9. අම්මටසිරි...ට්‍රාන්ස්ලේෂන් එකක් උනත් එලටම තියෙනවා මචන්...ජය වේවා...!!

    ReplyDelete
    Replies
    1. ට්‍රාන්ස්ලේෂන්? පිස්සුද බං..මේක ඔර්ජිනල් මගේ සිංහල වැඩක්

      Delete