Nov 22, 2014

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කෝල් එකක්


“අඟර දගර පොඩි හාමිගේ වත්ත ලස්සනයි..හේයි...අඟර දඟර පොඩි හාමිගේ වත්ත...“ ජංගම දුරකතනය අපූරුවට නාද වේ. නොදන්නා අංකයකි. සැකමුසු ගතියක් අංකයේ ඇත. ඒත් කෝල් එක ගත්තෙමි.

“ආයුබෝවන්..කව්ද මේ..“

“මේ ජනා පුතාද?..“

අප්පට සිරි ගජ..හුරු පුරුදු කටහඬකි..ඒත් කව්ද කියා නිනව්වක් නැත..බරපතලම කාරණයනම් මගේ කෙටි නමද හොඳාකාරව දන්නා පොරකි..දැන් කකුල් දෙක ජපන් මැන්ඩලින් ගසමින් රා රා රා බොම්බියේ ගීතය ගයති.

“ඔව්..ඔව්..එයා තමයි..“

“ජනා පුතා..මම මෛත්‍රී මාමා..“

“මෛත්‍රී මාමා කිව්වේ...“

“ඇයි පුතා අඳුරගන්න බැරිද..මම මෙත්‍රීපාල සිරිසේන..සෞඛ්‍ය ඇමතිතුමා...හි හි හිටපු...නිදහස් පක්ෂේ ලේකම්...ඇයි පුතා තව පොදු අපේක්ෂකයා මමයි..“

මල කෙලියයි අල ලොරියයි කිව්වලු..ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මහින්ද මාමට ගුලි බස්සපු මෛත්‍රී මාමා මේ පාන්දර අහිංසක මට මොනවට කතා කරනවද කියලා මම බයවුණා.


“ඇ...ඇයි...ඔබතුමා කතා කරන්නේ..මේ හදිස්සියේ..“

මෛත්‍රීපාල මැතිතුමා දිගු සුසුමක් හෙලයි..සුසුමේ පවා ජනාධිපති අපේක්ෂක ආඩම්බරයක් ගැබ්ව ඇත.

“නෑ පුතා..මම මේ දෙයක් කියන්න කතා කලේ..“

“මොකක්ද මැතිතුමා..“

දැන් නම් බයේ බැරිය. හදිස්සියේවත් දිස්ත්‍රික් සංවිධායක කමවත් බාරගන්න කිව්වොත්. එක පැත්තකින් මංගල උන්නැහේය, අනික් පැත්තෙන් ජස්ටින් ගලප්පත්ති උන්නැහේය, ඒ මදිවට බුද්ධික පතිරණ ද ඇත..මුන් සමග දිස්ත්‍රික්කය සංවිධානය කරන්නටනම් මට බැරිය..අනික් පැත්තෙන් ගහ මරා ගන්න වෙන්නේ ඩලස්,ලක්ෂ්මන් යාපා, මහින්ද යාපා, ජයසූරිය වගේ පතෝල පොරවල් එක්කය..ඒක නිසා මටනම් දිස්ත්‍රික් සංවිධායක කම තියා බල්ලාවත් එපාය.

“මම ඊයේ ගත්ත තීරණය ගන්න කලින් උඹේ බ්ලොග් එක බැලුවා..“

“මොකා...“

“ඔව් පුතා...මම බැලුවා“

නයි කයිද මෛත්‍රී කිව්වලු. මගේ බ්ලොග්එක ගෙදර එවුන්වත් නොබලන්නේ එහි මා ලියන දේ අපේ තාත්තාගේ දේශපාලන දර්ශනයට විරුද්ධ බැවින්ය. එබැවින් අපේ තාත්තා මගේ බ්ලොග් එක පැත්තවත් බලන්නේ නැත. ඉඳහිට ලොක්කාගේ ඡයාරූප තිබෙන ලිපි ලියනවා දැක හොම්බ දමා බැලුවත් ඒ ලිපිවලින් පවා ලොක්කාගේ පලු අරින බව දැක හෙමිහිට මාරුවේ, අපේ අම්මා සහ සහෝදරියන් ස්වාධීන මතවාද දරන්නන් නිසා ඉඳහිට බ්ලොග් එක කියවන බව අසන්නට ලැබේ. ඒත් පොදු අපේක්ෂකයා මගේ බ්ලොග් එක කියවන එක මට මාර ආඩම්බරය.

“බොහොම ස්තූතියි ඇමතිතුමා..සොරි හිටපු ඇමතිතුමා..ඉතින් ඇයි ඔබතුමාගේ තීරණයට මගේ අහිංසක බ්ලොග් එක ගාවගත්තේ..දැන් ඕක ප්‍රසිද්ධියේ එහෙම කියන්න එපා..මගේ බ්ලොග් එකත් බ්ලොක් කරයි ලොක්කා..“

මෛත්‍රීපාල මැතිතුමාට හක හක ගා හිනා ගියේයි. ඊයේ උදේ පටන් උන්නැහේ සැරටම හිනාවෙන්නේය. 

“ඇයි පුතා අර දවස් කීපයකට කලින් ලියපු මෛත්‍රීපාල සිරිසේනයන් දුටු හීන 4 ඕක අපේ දුව දැකලා මටත් කිව්වා බලන්න කියලා..ඇත්ත පුතා සහතික ඇත්ත..කොහොම වුනත් පුතා ලස්සනට ලියලා තිබුණා ඒක..මගේ තීරණය ස්ථීර කරන්න පුතාගේ ලිපියත් එක හේතුවක්..“

දැන්නම් වැඩේ බරපතලය. මටත් මගේ බ්ලොග් එකටත් අබ සරණය..මම වහාම අන්තර්ජාල සබඳතාවය අත්හිටුවා දෙහිඅත්තකණ්ඩිය පැත්තට ගිහින් කුඹුරු කොටන්නට හිතා ගත්තෙමි.

“අනේ ඇත්තද...ඔබතුමාට හොඳක් උනානම් එච්චරයි..“

“එහෙම කියන්න එපා පුතා..මම ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා පුතා මගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කරාවි කියලා..ඉස්සරහටත් පුතා මගේ ගැන ලිපි ලියන්න..මම බොහොම කැමතියි ඒකට..“

අලි මදිවට හරක් සේය. දැන් දැන් වැඩේ දෙල් වේගෙන එන පාටක් ඇත. coming colour not good කියා හොරව්පාතන පැත්තේ අංකල් කෙනෙක් කිව්වා වගේ මටත් දැන් දිරා මාරු වෙන එක හොඳය.

“හරි හරි මැතිතුමා..එහෙනම් ඔබතුමාට ජයවේවා..“

“අනිවාර්යයෙන් පුතා..මම පොරොන්දු වෙනවා මම ජනාධිපතිවෙලා දවස් 100 ක් ඇතුලත පුතාගේ බ්ලොග් එක ජාතික මට්ටමේ වැදගත්කමක් ඇති බ්ලොග් එක කියලා නම් කරනවා කියලා..ජයවේවා පුතා..මම තිබ්බා“

මගේ කකුල් දෙක පණනැතිවිය, අක්මාව අක්‍රීය විය, ඇස් දෙක නිලංකාරවී පෝන් එක බිම වැටේදැයි බය විය. මුන්නැහේ ජනාධිපති වෙලා ඒ කියපු එක කරොත් මම රටේ වාසය කර හමාරය. දැනටමත් ගමේ එවුන් මගේ බ්ලොග් එක හරහා උන්ට වදින කණේ පාරවල් වලට මට මරණ තර්ජනය කර ඇත, ඒවා ජාතික මට්ටමට ගියහොත් ෂුවර් ඇන්ඩ් ෂොට් උන් මාව නැති කරන බව විශ්වාසය. එබැවින් මෙවර ඡන්දය තීරණාත්මකය

7 comments:

  1. හෑ...ඇත්තද මේ බොරුද?

    ReplyDelete
    Replies
    1. අමූලික ඇත්ත බං..බොරුනම් පොරගෙන්ම අහපංකෝ :D

      Delete
  2. මට හිතුනා ඔහොම වෙයි කියලා. දැන් ඉතිං මෛත්‍රී භාවනාව වඩාගෙන හිටපං

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ මචං..මම කොහොමත් මෛත්‍රී භාවනාව වඩ වඩ හිටියේ..මෛත්‍රී ලොක්කා තමයි මහින්ද භාවනාවේ සිට අලුත් භාවනාවකට මාරු වුනේ

      Delete
  3. මරු මරු...
    මාත් එන්නං හොරොව්පොතානපැත්තෙ හක්කලං කරන්න හිහි

    ReplyDelete
  4. එහෙනම් ලංකාවේ පළමු ජාතික බෝල්ගියට ජයවේවා!!! :P

    ReplyDelete
  5. යකෝ හතරක් මෛත්‍රී දැකල පස්වෙනි එක උඹ දැකලනේ!!!

    විහිලුවක් හොඳේ...

    ReplyDelete