Nov 6, 2014

ආකර්ශණීය දේශපාලන නායකයන්ට මතක හිටින පාඩමක් - Game Change


ඇතැම් නායකයන් දරුවන් වඩාගෙන සුරතල් කරති, කම්කරුවන් බදාගනිති, කාන්තාවන්ට සුරතල් කතා කියති, මයික් පුපුරන්නට බෙරිහන් දෙති. තවත් නායකයන් පිරිසක් එසේ නොකරති. දේශපාලනය තුල ආකර්ශණය උදෙසා සිදුකරන්නා වූ දේ තුලින් ලංකාවේ වපසරිය තුලනම් ඡන්ද ගොඩ වැඩිකරගැනීමට කදිම උපාය මාර්ගයක් බව අප දන්නෙමු. නමුත් සෑම රටකදීම එය සාධාරණ තර්කයක් නොවන බව පිළිගත යුතුය. එහිලා Game Change යනු ඉතා වැදගත් උදාහරණයකි.

   Game Change යනු අැමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක ජේ රෝච් ගේ නිර්මාණයක් ලෙසින් මාර්ක් හැල්පරින් සහ ජෝන් හෙයිල්මන් ගේ කෘතියක් ඇසුරුකොටගෙන 2012 වසරේ නිර්මාණය කරන ලද දේශපාලනික චිත්‍රපටයකි. සැබෑ ලෙසම මෙය තේමා කරගන්නේ බැරක් ඔබාමා සහ ජෝන් මැකේන් අතර 2008 වර්ෂයේ පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණය ආශ්‍රිත තේමාවකි. මෙහි කතා නායිකාව වන්නේ ජෝන් මැකේන් විසින් සිය උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස තෝරාගන්නා ලද ඇලස්කාවේ ආණ්ඩුකාර තනතුර හෙබවූ සාරා ෆාලින් යන තැනැත්තියයි. මෙය ආකර්ශණීය නායකයන්ට අතුල් පහරක් එල්ල කරන්නාවූ සිදුවීමක් තේමා කරගත් චිත්‍රපටයකි.

   එකල ඔබ විදේශීය තොරතුරු පිළිබඳ අවධානයෙන් සිටියානම් 2008 මැතිවරණයේ අග කොටස දක්වාම වැඩි වාසි අත්කරගෙන සිටියේ අප්‍රිකානු සම්භවයක් ඇති බැරක් ඔබාමා නොව ජෝන් මැකේන්ය. නමුත් බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට අවසානයේ නොසිතූ විරූ පරාජයක් අත්වීමට හේතු සාධක වූයෝ ඔහුගේ උප ජනාධිපති අපේක්ෂිකා සාරාගේ ක්‍රියා කලාපය සහ අගේ දේශපාලන දර්ශනයේ ඇති අඩුලුහුඩුකම්ය. ලංකාවේ දේශපාලඥයන් රූපවාහිනී නාලිකාවකට කැඳවා ලංකාවේ දේශපාලනික ඉතිහාසය, ව්‍යවස්ථාව, පාලන තන්ත්‍රය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පැවැත්වුවහොත් ඔවුන්ගේ දැනුම මානාවට ඔබට ප්‍රදර්ශනය වනු ඇත. එහෙත් අවාසනාවට එවැනි නිර්භීත යමක් කරන්නට මෙරට ජීවිතයට ආසාවක් ඇති මාධ්‍ය ප්‍රධානීන් කටයුතු නොකරති. නමුත් ඉඳහිට දෙරණ නාලිකාවේ 360 වැඩසටහනේ නිවේදිකාව වන දිල්කා ප්‍රශ්නය සමග උත්තර කොලයක සටහන් කරගෙන පැමිණ සහභාගීවන දේශපාලන චරිතයෙන් අසනා ප්‍රශ්න වලට එසේ පූර්ව සූදානමකින් හෝ දැනුමකින් තොරව පැමිණෙන චරිත බොහෝවිට ඇදගෙන නාන තත්වයකට පත්වනු දැක ඇත. 


   මෙම Game Change චිත්‍රපටය පුරා දිවෙන සාරා ෆාලින්ගේ චරිතය තුල අහම්බෙන් ලද වරමක් නිසා ඇගේ ගතිගුණ වෙනස්වීම, උප ජනාධිපති තනතුරකට අවශ්‍යතරම් පුද්ගල ගුණාංග, දේශපාලනික දැනුම හෝ පරිචය ඇය තුල නොවන බව සහ හුදෙක්ම ආකර්ශණීය කතා ශෛලිය සහ ජනතාව අතරට ගොස් ඔවුන් සමග සුහදව කටයුතු කල හැකිවීම පමණක් සහිතව සාරා කටයුතු කිරීම නිසා අවසානයේ නොසිතූ පරාජයකට ගොදුරුවීමට මැකේන්ට මෙන්ම සාරාටද සිදුවීම පෙන්වා දේ. චිත්‍රපටයේ එක් තැනකදී මැකේන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායකවරයා වන ස්ටීව් සාරාගෙන් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ සරල පැනයක් අසා සිටී. එයනම් මැකේන් ජනාධිපති වුවහොත් ඔහු මහා බ්‍රිතාන්‍ය සමග කෙසේ කටයුතු කලයුතුදැයි ඔබ සිතනවාද යන්නයි. එයට  සාරා දෙන පිළිතුර වන්නේ “මම හිතන විදියට අපි බ්‍රිතාන්‍ය මහ රැජින එක්ක ඉක්මණින් සාකච්ඡා පටන් ගත යුතුයි“ එයින් විමතියට පත්වන ස්ටීව් අසන්නේ “මහ රැජින එක්ක සාකච්ඡා මොකටද..ඇය බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධානියා නොවෙයිනේ“..එවිට සාරා අසන්නේ “එහෙනම් කව්ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධානියා..“ කියාය. එවැනි සිදුවීම් ගණනාවකින් සාරාගේ දේශපාලනික දැනුම සහ තර්ක ඥානයේ ඇති අඩු පාඩු පෙන්වා දෙයි.

   තවද ලංකාවේ මැතිවරණ සංස්කෘතියට හාත්පසින්ම එහා ගිය දියුණු සහ සදාචාරාත්මක මැතිවරණ කලාව පිළිබඳ මෙම චිත්‍රපටය පුරාම පෙන්වාදෙයි. වරක් සාරා විසින් රැස්වීම් වලදී ප්‍රතිපක්ෂ අපේක්ෂක ඔබාමා හඳුන්වන්නේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නෙක් ලෙසය..ඉන් අනතුරුව මැකේන් සහභාගීවන රැලියකදී මැකේන් ඉදිරියේ රැලියට පැමිණි පාක්ෂිකයෙක් නිර්දය ලෙස ඔබාමා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නෙක් ලෙස හංවඩු ගසද්දී වහාම එයට විරුද්ධවන මැකේන් පවසන්නේ “එහෙම කියන්න එපා මහත්මිය..ඒක වැරදියි..ඔබාමා කියන්නේ නිහතමානී සහ වැදගත් මහත්මයෙක්..ඔහු එලෙස හඳුන්වන්න අපි කාටවත් බෑ“ කියාය. එබැවින් ඇමරිකානු දේශපාලයේ ඇති ගුණාත්මක සංවර්ධනය අප රැයේ දකින සිහිනයක් ලෙස බලා සැනසීම පමණක් කලහැකි මට්ටමක රැඳේ.

   සාරාගේ ආකර්ෂණීය රටාව පරදා ඇගේ පුද්ගලික පසුබිම, දේශපාලන දැනුමේ මදබව, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සහ මැකේන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයේ මදිකම, අධිමානය වැනි කාරණා නිසා ප්‍රතිරූපයට වන හානිය දැඩිලෙස විස්තර කිරීම චිත්‍රපටය පුරාවටම සිදුවේ. අප රටේ ආකර්ශණය පසුපස කෝටි ගණන් වියදම් කරගෙන දුවන නායකයන් මෙම චිත්‍රපටය නරඹනවානම් ඉතා වටී. ඒ මන්ද එකතු කරගත යුතු බොහෝ දේ මෙම සිතුවම් පටය තුල ඉතා සුපැහැදිලිව අන්තර්ගතවී ඇත. දේශපාලන අත්දැකීම් පිළිබඳ හෝ තඹ දොයිතුවකට නොසලකා මුදලාලිලා සහ නූගත් අමනයන් තනතුරු තරඟ කිරීමත් නූගත් ඡන්ද දායකයින් ඔවුන් ඉහලින්ම පත්කිරීමත් කරන අප රටතුල අනාගතය පිළිබඳ සුසුමක් පමණක් හෙලිය හැක්කේ අප තවමත් සිටින්නේ දේශපාලනික යාන්ත්‍රණයේ ගල්යුගයේ බැවින්ය. 

   නමුත් ජනතාව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ආරම්භකල දිනට බොහොමයක් බොරුකාරයන්ට සිදුවන දෙය Game Change තුල ඉතාමත් තදබල ලෙස කාවද්දන යතාර්ථයකි. සාරා ෆාලින් නැමති ආකර්ශණීය චරිතය හුදෙක් ඇමරිකානු දේශපාලනයේ මුල් පුටුවකට පත්කිරීමට තරම් සුදුසු නොවන බවට ජනතාව ගන්නා තීරණය නිසා මැකේන් නැමති සැබෑ දක්ෂයාට සිදුවන්නේ පසුබැසීමටය. එයද උපදේශකයන්ගේ වැරදි තෝරාගැනීමක ප්‍රතිඵලයක් නිසාය. සාරාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස පත්කරගන්නා නිලධාරිනිය පවා අන්තිම මොහොතේ කියා සිටින්නේ තමන් මැකේන්ට ඡන්දය ලබා නොදුන් බවය. එසේ කිරීමට හේතුව මැකේන් ජයගතහොත් ඉබේම සාරා නැමති චරිතය උප ජනාධිපතිවරිය බවට පත්වීමත්, එතුලින් ඇමරිකාවට සිදුවන හානිය දැකීමට තමන් අකමැතිවීමත් යන කාරණා ඇය විසින් වචන කීපයකින් හා හැඟීම් කීපයකින් පෙන්වා දේ.

   මහා චරිත ලෙස පුම්බන දේශපාලනික හෝ සමාජ චරිතවල අභ්‍යන්තරයට ගොස් එබිකම් කරන Game Change තුලින් නොකියා කියන්නේ සැමවිටම හොඳ පුද්ගලයෙක් නොව වඩාත් හොඳම පුද්ගලයා තෝරාගැනීම කලයුතු බවයි. ඒ මන්ද පුම්බන චරිත පිම්බී තිබෙන්නේ හුලං රැඳෙන තෙක් පමණක් බව බොහෝ දෙනෙක් දන්නා නිසාවෙනි. මිනිත්තු 118 ක් වැයකර ඔබ නැරඹුවාට කිසිඳු පාඩුවක් නොමැති වටිනා චිත්‍රපටයකි. ඇමරිකාවේ Game එක Change වූයේ එලෙසින්ය, ලංකාවේ වුවද මෙය නොවේවියයි කාහට කිව හැකිද?

2 comments:

  1. බලන්න ඔිනෙ චිත්‍රපටියක්..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. සිරාවට බැලුවට පාඩුවක් නැති චිත්‍රපටයක් මචං

      Delete