Mar 12, 2016

අලි ඇතුන් තෑගි දෙන කාළකණ්ණි චින්තනය..!


මිනිසෙකු හෝ වෙනත් ජීවියෙකු භෞතිකව දේපලක් ලෙස හෝ වත්කමක් ලෙස ලොව කිසිම සංකල්පයක් තුල වර්තමානයේ මානුෂීය කරුණු මත පිළිනොගනී. එසේම “වහල්භාවය“ නැමති සංකල්පය ලෝකයෙන් තුරන් කිරීම (සැබෑ ලෙසම එය එසේ වී නොමැත) යම්තාක් දුරට මිනිසුන්ට වහල්භාවය හෙවත් යවත් පුද්ගලයෙකුගේ හෝ පාර්ශවයකගේ වත්කමක් ලෙස ජීවත්වීමට සිදුවීමෙන් ගැලවීමට හැකිවූවත් සත්ත්ව ලෝකයට එම අවස්ථාව ලැබී නොමැතිවීම ඉතා ඛේදනීය සත්‍යයකි. අදටත් ලොව පුරා සතුන් තෑගි ලෙස හුවමාරුවීම සහ මිනිසුන්ගේ වත්කම් ලෙස පවතින්නට සිදුවීම තුළින් අහිමිවීයන ඔවුන්ගේ සුන්දර ජීවිතය වෙනුවෙන් වන්දි ගෙවිය යුත්තේ කව්ද?


බොහෝ දිනවල කොළඹ නගරයේ මෙන්ම ලංකාවේ බොහොමයක් නගරවල ගිනිගහන අව්වේ මහමග දැල් කූඩුවල කොටුකර අලෙවියට තබා ඇති සතුන් දකින්නට තරම් අප කොතරම් අවාසනාවන්තද. විවිධ වූ මුදල් අගයන්ට එම සතුන් මිල කරන්නට අප පදනම් සකසා ගෙන ඇත්තේ කෙසේද යන්න කොතරම් අමානුෂිකද? සුනඛයන්, බළලුන්,පරවියන්, හාවුන් වැනි සතුන් ඉතා අමානුෂීයව කූඩු කර අලෙවිය සහ තෑගි ලෙස ලබාදීම තුලින් අපට සැබෑ ලෙසම සතුටුවිය හැකිද?

ලංකාව ලොව අනෙක් රාජ්‍යයන් සමග රාජ තාන්ත්‍රික සබඳතා වෙනුවෙන් තෑගි ලෙස පිළිගන්වන්නේද අලි ඇතුන් ඇතුලු ලංකාවට ආවේණික සතුන්ය.  පසුගියදා නවසීලන්ත අගමැතිවරයාට අලි පැටියෙක් තෑගි දෙද්දී නැවත වතාවක් මේ සාධකය ජන මතය අතරේ ඉස්මතු විය. ශිෂ්ට සම්පන්න ලෝකය තුල තවමත් ජීවින් තෑගි කිරීම සහ හුවමාරුව සිදුවීම තුළින් අප සිටින්නේ තවමත් ගල් යුගයේය යන්න විද්‍යමාන කරනු ලබයි.

රටක භාවිතාව යහපත් වන තරමට පරසරහ සහ සතුන් පිළිබඳ නිදහස් සිතින් සිතන්නට සහ සතුන්ටද මිනිසුන්ට මෙන්ම නිදහස අවැසි බව අවබෝධකරගත යුතුය. උක්කුස්සෙක් පණපිටින් මරාදමන සිදුවීම අන්තර්ජාල ගතවීම නිසා ඒ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආවද දැනුවත්ව සහ නොදැනුවත්ව දිනකට මේ රටේ හරක්, ඌරන්, කුකුළන්, තාරාවන් වැනි සතුන් නීතියේ ඇස් ඉදිරිපිට සහ තවත් වනාන්තරේ සිටින දුර්ලභ සතුන් ඇතුළු සතුන් විශාල ප්‍ර‍මාණයක් නීතියට හොරෙන් මරා දැමෙන්නේ “අමානුෂීයව“ නොවේද, ඒ ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න ගැටළුවකි. සතුන් මැරීමේදී “මානුෂීය“ සහ “අමානුෂීය“ යන තත්ත්වය මනින්නේ කොතනින්ද යන්න ප්‍ර‍ශ්නයකි.

ඒ නිසාවෙන් සමස්ත සතුන්ගේ නිදහස සහ ජීවත්වීමේ අයිතිය උදෙසා කටයුතු කරනු විනා තැනක් දෙකක් අල්ලාගෙන දඬුවම් දී වැඩක් නැත. පරිසරයට, සතුන්ට ආදරය කරන්නටනම් තමන්ගේම දිවිය තරම්ම, තමන්ගේ නිදහස තරමටම සතුන්ගේද නිදහස වටින බව අවබෝධකරගත් දිනට මේ සියළු ඛේදවාචකයන්ට තිත තැබෙනු ඇත.

No comments:

Post a Comment