Aug 17, 2017

රනිල් වික්‍රමසිංහ Naughty Forty


සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සු අවුරුදු 40 වයසට ආවම ටිකක් විතර නෝටි එහෙම නැත්නම් ශිෂ්ට සම්පන්න නොවන දේවල්වලට පෙළඹෙන්න ටිකක් වැඩි ඉඩක් තියනවා කියන එක. ඕක මේ ආසියාතික සමාජයේ එහෙම ලොකුවට පිළීගන්න වත් විශ්වාස කරනවත් සංකල්පයක් නෙවෙයි ( සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තේ ආසියාවේ එවුන් බඩගාන කාලේ ඉඳන වලපල්ලට යන දවස දක්වාම නෝටි එවුන් නිසාද විය හැකියි) ඒත් මේ බටහිර රටවල් පිළිගන්න නෝටි ෆෝටි කතාව නැත්නම් දඟකාර, නරක හතලිහේ කතාව රනිල් වික්‍රමසිංහ සිරිමතාණන්ට අදාල වෙන විදිහ ටිකක් කල්පනා කරන්න වෙනවා.

මේ දවස්වල කොළඹ පුරා බෝඩ් ගහලා, බැනර් ගහලා තියනවා රනිල්ගේ 40 ට අපේ සුබ පැතුම් කියලා. දන්න තරමින් අවුරුදු 70ටත් ලඟ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝටි ෆෝටි පැනලා දැන් හොට බිම ඇනෙන කාලේ. ඒත් ඉතින් පුරාණ චීන රජවරු එහෙම අවුරුදු අසූව අනූවේදීත් නෝටි වී ඇඳ උඩම නැත්නම් ගෑණු බඩ උඩම වලකජ්ජ ගැසූ පුවත් අපමණ අසා ඇති නිසා 70 පැන්නත් රනිල්ටත් මහින්දලා මෙන් නොටි සෙවන්ටි වෙන්නත්  බැරි නැත. එහෙත් ලංකාවේ ආර්ථිකේ හදන්නම ඔළුව වෙහෙසලා පිස්සෙක් වගේ..පිස්සෙක් වගේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට කොහෙද නෝටි වෙන්න වෙලාවක්ද.


පස්සෙයි දැනගත්තේ නෝටි ෆෝටි ලබලා තියෙන්නේ උන්නැහේට නෙවෙයි උන්නැහේගේ දේශපාලන ජීවිතේට කියලා. ඒක ඊට එහා. මනුස්සයෙක් නෝටි වෙලා පිස්සු කෙලින්න යනවනම් බැඳලා ගැටගහලා හරි හදාගන්න පුළුවන් වෙයි, ඒත් යකඩෝ මිනිහෙක්ගේ රැකියා වපසරිය නැත්නම් ක්‍රියාකාරී ක්ෂේත්‍රය නෝටි ෆෝටි වෙනවා කියන්නේ රටක් වනසන්න පුළුවන් වැඩක්. නළුවෙක් වෙනුවට මොළයක් කියන සංකල්පයට තියන ආසන්නම උදාහරණය වෙන රනිල් මහත්තයාගේ දේශපාලන ජීවිතේ නෝටි වෙන්න පටන්ගත්තේ මේ ආන්ඩුව කාලෙමද කියලා පුංචි සැකයක් තියනවා.

ඇත්තටම රනිල් උන්නැහේ ධනවාදියෙක් නෙවෙයි. ධනේෂ්වර චින්තනේ ගැන උන්නැහේට හරිහමන් අවබෝධයක් තියනවා කියලා මම හිතන්නේ නෑ. උන්නැහේ නව ලිබරල්වාදය, ප්‍රතිසංස්කරණවාදය වගේ සංකල්ප කීපයක් එකට මික්ස් කරලා හදාගත්ත උන්නැහේගෙම දර්ශනයක් එක්ක ප්‍රවාදයක් එක්ක දේශපාලනේ කරනවා කියලා ටිකක් නැවතිල්ලේ බැලුවම හිතාගන්න පුළුවන්. රනිල් මහත්තයා හැමදාම වගේ බැලුවේ ආර්ථිකේ වැටිලා තියෙන්නේ රාජ්‍ය අංශය ආර්ථික කටයුතු වලට (විශේෂයෙන්ම වෙළඳ කටයුතු වලට) මැදිහත්වෙලා ඉන්නවා වැඩියි කියන දෘශ්ටි කෝණෙන්ම තමයි. ඒ නිසා එතුමට හැමදාම රාජ්‍ය ව්‍යවසාය අරහං. සාමාන්‍යයෙන් රට ඇතුලේ ලාබදායීව නිෂ්පාදනය කලහැකි දේ නිෂ්පාදනය කරලා එසේ නොවන දේවල් ආනයනය කරලා වෙළඳ ශේෂය සමතුලිතව තියාගන්න පුළුවන් කමක් තියෙද්දිත් උන්නැහේ බලන්නේම සාපේක්ෂ වාසි න්‍යාය පැත්තකට දාලා රජය කියන එක නිකන් පරිපාලනමය ව්‍යූහයක් විතරක්ම කරලා තියන්න. හැබැයි ඉතින් පරිපාලනමය කාර්යයක් විතරක් කරලා ව්‍යාපාර සහ සුභ සාධන වලින් ටික ටික ඈත්වෙන ආන්ඩුවක් මොන මගුලකට අළුත් පනත් ගෙනැල්ලා මිනිස්සුන්ට ගහන බදු වැඩිකරනවාද කියලා උන්නැහේගේ අතිජාත ගෝල බාල ඇමතිවරුවත් එතුමට පැහැදිලි කරලා දෙන්නේ නැතිව ඇති. රජය පෙරකී දේවල්වලින් ඈත්වෙනවනම් පැහැදිලිවම මිනිස්සුන්ගෙන් අයකරන සෘජු සහ වක්‍රබදු අඩුකිරීමක් කලයුතුමයි.

කොහොමවුනත් රනිල් මහත්තයාට ඇමරිකාවත් එක්ක තියන ජානගත බැඳීම නිසාම මේ නෝටි ෆෝටි කේස් එක එතුමගේ දේශපාලන ජීවිතේ නරක පැත්තකට අරන් ගිහින් සල්ලාල දේශපාලනික ජීවියෙක් බවට පත්කරන්නත් බැරි නෑ. එහෙනම් මේ නෝටි ෆෝටි සැමරිල්ල පැත්තකින් තියලා එක්කෝ තිරුපති ගිහින් පාන්දර කණුවක් බදාගන්න වෙනවා. හරි හරි අන්න ඒ අපලේ නිසා වෙන්න ඇති බෝධි පූජා, පහන් පූජා කරපල්ලා යකුනේ කියලා ලියුමක් එහෙමත් රාජ්‍ය ආයතනවලට එවලා තියෙන්නේ. ඒවා හොඳ වැඩ, නැත්නම් හදිස්සියෙවත් ඔය නෝටි ෆෝටි කුලප්පුව නිසා අගමැති කමටවත් කෙලවුනොත්.

කොහොම වුනත් රනිල් වික්‍රමසිංහ සිරිමතානෝ කියන්නේ එහෙම අවුරුදු හතලිහක් තිස්සේ පිස්සු කෙලපු ඩයල් එකක් නෙවෙයි. මේ රටේ අධ්‍යාපනයට, තරුණයින්ගේ වෘත්තිය අධ්‍යාපනයට විශාල සේවයක් කරපු මනුස්සයෙක්.ඒක අපි අමතක කරන්න හොඳ නෑ. ඒ වගේම අසහනයෙන් පෙළුනු තරුණයන්ට, හංදියේ පලා විකුණපු අම්මලා අක්කලාට, කාර් ගන්න බලාගෙන හිටපු අපේ කොල්ලෝ කෙල්ලන්ට රනිල් මහත්තයා කරපු සේවේ අම්මා මුත්තා කාලෙකවත් කරපු දේවල්ද. ඒ නිසා ඒ වගේ උත්තමයෙක්ගේ නෝටි ෆෝටි පාර්ටියකට නොගිහින් පුළුවන්ද. ඒක නිසා මමත් යනවා බී.ඇම්.අයි.සී.ඇච් පැත්තේ. උඹලත් වැඩක් නැත්නම් වරෙල්ලා පිළිවලටකට ඇඳගෙන එහෙම.


1 comment:

  1. It is perfect time to make some plans for the longer term and it's time to
    be happy. I have learn this submit and if I may just I desire to recommend you some attention-grabbing issues or advice.

    Maybe you could write next articles regarding this article.
    I wish to learn even more issues approximately it!

    ReplyDelete