ඊයේ දවස මේ රටේ ඉතිහාසයේ ‘අඳුරු දිනයක්’. ප්‍රචණ්ඩත්වය, උසිගැන්වීම්, සාමකාමී විරෝධතාවන්ට පහරදීම්, හිංසනය සහ විනාශය එක්ක නපුර රජකරපු දවසක්. අද දවස වෙද්දිත් එහි ශේෂ පත්‍රය පැහැදිලි නැති නිසා වසර 33කට පසුව ක්‍රියාත්මක මහජන ආරක්ෂණ ඇඳිරි නීතිය යටතේ රටේ ජනතාව ඊළඟට වෙන්නේ කුමක්ද කියන අවිනිශ්චිතතාවයෙන් පසුවේ.
පුද්ගලිකව මම ජීවිත හෝ දේපල විනාශ කිරීම අනුමත කරන කෙනෙක් නෙවෙයි. ඒකට මූලිකම හේතුව කුඩා කාලයේ ඉඳන්ම මම ඉගනගත් සහ ඇසුරුකල ලොව අවිහිංසාවාදීම දර්ශනය නිසාමෙන්ම මම ජීවත්වුණු පරිසරයේ තිබුණු සාමකාමී සහ නිවහල් වටපිටාව නිසා විය හැකියි.
මේ රට සම්බන්ධයෙන් ගැලපෙනම නම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ට අනුව ‘කඳුළු සලන පාරාදීසයයි’ ඒ කියන්නේ සියවස් ගණනාවක් තිස්සේ අනේකවිධ ලේ වැගිරීම් සහ දේපල විනාශයන් නිසා මේ රටට අහිමිවුණු මානව සම්පත සහ අනෙකුත් භෞතික සම්පත් වගේම මේ රටේ කීර්තිනාමය කිසිම දවසක නැවත උපයාගන්නට හැකියාවක් අපිට නැත.
ආගමික කෝලාහල, වාර්ගික ගැටුම්, සිවිල් යුද්ධ, ත්‍රස්තවාදී ක්‍රියා, පුද්ගලික වුවමනාවන් මත ක්‍රියාත්මකවුණු විනාශයන් නිසා ලක්ෂ ගණනක මිනිසුන් සහ බිලියන ගණනක දේපල හානිවීම් නිසා මේ රට තව තවත් ණයවුණා මිසක දශමයක් ගොඩ ආවේ නැත. ඒ නිසාවෙන් ජීවිත හා දේපල විනාශයන්ට මා තරයේ විරුද්ධ වෙමි.
සාමකාමී විරෝධතාවයකට එල්ලක සාහසික සහ ප්‍රචණ්ඩ ප්‍රහාරය ඉතාම නින්දිතය. එයට පිටුබලය සැපයූ සියළුම දෙනා නීතියේ ඉදිරියට ගෙන ආ යුතුය. නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවේනම් අප නිර්මාණය කළයුත්තේ නීතිය හරියාකාරව ක්‍රියාත්මකවන රටකි. එවැනි රටවල් සඳහා උදාහරණ ඕනෑතරම් සොයාගත හැකිවාක් මෙන්ම එවැනි නීති පද්ධියක් සකස්කළේ කෙලෙසින් ද යන්නද උගත හැකිය.
සාමාන්‍ය ජනතාව අතට නීතියේ බලය ලැබීම රටක පැවැත්මට ඉතා අහිතකර තත්වයකි. ඒ මන්දයත් ජනතාව තීන්දු තීරණ ගන්නේ හැඟීම් නිසාවෙන් ඇතිවෙන කම්පනයන්ට සහ පුද්ගලික රුචි අරුචිකම් අනුව වීම නිසා නීතිමය රාමුවක් තුල රටක පුරවැසියාට ඇති ආරක්ෂාව සහ ගෞරවය ඒ තුලින් නොලැබීයාමය. මෙරට ආරක්ෂක අංශවල හෝ නීති රාමුවේ කොතෙක් අඩුපාඩු පැවතිය ද එහි බලය කඩාකප්පල්කාරී ලෙස කල්ලි කණ්ඩායම් අතට යාමට ඉඩදීම ඉතා භයානක තත්වයකි.
ඊයේ සිට රටතුල නිර්මාණය වෙමින් තිබෙන්නේ ඉතා සැලසුම්සහගතව සිදුකලා යැයි සැක සිතෙන අර්බුදයක ආසන්නතම ප්‍රතිඵලයන් ය. කණ්ඩායම් කණ්ඩායම් එකිනෙකාට පහරදෙති. පොලීසිය සහ හමුදාව ඉදිරිපිට පුරවැසියන් දේපල විනාශ කරති. හදිසි තත්වයක් සහ ඇඳිරි නීති තත්වයක් තිබියදී පවා ඒ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට හෝ ඒවා වැලැක්වීමට ආරක්ෂක අංශ ඉදිරිපත් නොවෙති. දාමරික කණ්ඩායම් රිසි සේ මගතොට සැරිසරමින් පොළු මුගුරු දරාගෙන විරුද්ධවාදීන් සොයායති. අසුවූ තැන පහරදී දේපල විනාශ කරති.
මගතොට වාහන ධාවනයට බාධා කරමින් පාලක පක්ෂයේ ආධාකරුවන් සහ දේශපාලනඥයන් සොය සොයා පහර දෙති. ඉතා සැලසුම්සහගත ආකාරයට ඉලක්කගත පිරිසකගේ දේපල විනාශ කරති. මේ සැම ප්‍රයත්නයක් ඔස්සේම රට ගෙනයන්නේ අරාජිකත්වයට මිස සංහිඳියාව හෝ මෙකී ජන අරගලයේ මුඛ්‍ය පරමාර්ථය වූ ‘වඩා යහපත් රටක්’ වෙත නොවන බව පැහැදිලිය.
කාගේ හෝ ජීවිතයකට නැත්නම් දේපලකට හානි කරන්නට පෙර සිතන්නට බොහෝ කාරණා තිබේ. එකක් කුමක් හෝ දේශපාලන මතවාදයක් දැරීම හරි හෝ වැරදි කියා බෙදා වෙන් කරන්නට කිසිඳු නිර්ණායකයක් නැත. අවස්ථානුකූලව හරි දේ තවත් තැනකදී වැරදි විය හැකිය. ඇතැම්විට තක්කඩි නරුමකම් ඉදිරියේ දේශපාලනිකව එදිරිවාදීන් ලෙස සැලකුවද කුමන හෝ දේශපාලනික, පාක්ෂික හෝ පුද්ගලානුබද්ධ මතවාදයක් දැරීම ජීවිතය අහිමිවීමට හෝ කුමක්හෝ ආකාරයෙන් ජීවිත කාලය පුරා ගොඩනගාගත් දේපල විනාශ කිරීමට හේතුවක්ද? යන ප්‍රශ්නය පුරවැසියා පුරවැසියාගේ හෘද සාක්ෂියෙන් විමසිය යුතුය.්
නිවසක් ගොඩනගාගන්නට වසර ගණනාවක් තිස්සේ මා සහ මගේ පවුලේ සාමාජිකයන් විඳි දුක සිහිපත් කරනවිට කිසිවෙකුගේ හෝ නිවසක් වැනසීමට තබා එවැන්නක් දැකීමට පවා ඉතා අපහසුය. එයට හේතුව ජීවිතානුබද්ධ අත්දැකීම්ය. ජීවිතයත් මරණයත් අතර සටන්කල මගේ පියා ඇතුළු තවත් හිතවතුන් ගණනාවක් වෙනුවෙන් උවටැන්කල, ඒ ජීවිත බේරාගන්නට නිරර්ථක උත්සහයන්හි නිරතවුණු මට තවත් කෙනෙක්ගේ ජීවිතයක් වැනසීමට තබා ඒ ගැන සිතීමටවත් අපහසුය. ඒ මා උගත් බෞද්ධ දර්ශනය, කතෝලික දර්ශනය, හින්ඳු දර්ශනය, ඉස්ලාම් සහ ජෛන දර්ශනයන් මාගේ මනසට එකතුකළ දේ නිසාවෙන් විය හැකිය.
මේ ගිනිගන්නා දේපල අද පාලක පක්ෂයේ හිතවාදීන්ගේ විය හැකිය. ඒ නිසා බහුතරයක් ඔවුන්ට විරුද්ධ පාර්ශවයන්ට හුරේ දැමිය හැකිය. හෙට ගිනිබත්වන්නේ කාගේ නිවසද, හෙට නැතිවෙන්නේ කාගේ ජීවිතයද කියා මෙවැනි දාමරික නීති ආධීපත්‍යයයක් තුල විනිශ්චය කළ නොහැකි බැවින් පුරවැසියන්ගේ ජීවිත සහ දේපල අවදානමක හෙලන දාමරික සංස්කෘතිය සහ ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතුය.
දේශපාලනිකව නිර්මාණය වුණු ගැටළුවකට විසඳුම් සෙවිය යුත්තේ දේශපාලනිකව ය. අප ‘ගෞතම බුදුන්ගේ දේශය’ කියා වාහන වල ස්ටිකර් අලවාගත් ආකාරයෙන්ම එකී දර්ශනයේ යෝජනා කරන ඉතා අසීරු තත්වයන්හීදී පවා ආත්මාරක්ෂාවට හෝ තවකෙක්ට හානි නොකිරීමේ අවිහිංසාවාදී ප්‍රතිපදාව තෝරාගත යුතුය. එය ඊයේ වනතෙක් පොදුජන අරගලයේ මූලිකම හැඩය වීය. එදා ගාන්ධි බ්‍රිතාන්‍ය යටත් විජිතයට එරෙහිව අවිහිංසාවාදයේ අරගලය ජයග්‍රහණය වෙත රැගෙන ගියේ කෙසේද අන්න ඒ ආකාරයෙන්ම මෙරට පොදුජන අරගලය සාමකාමී, නිර්මාණශීලී සහ තිරසාර එකක් බවට පත්කිරීමට මෙරට දේශපාලනිව උසස් මනස් ඇති පුරවැසියන් කටයුතු කරනු ලැබීය.
එකී අරගලයේ මුඛ්‍ය පරමාර්ථය තව දුරය. ඒ සඳහා කැපකිරීම් කළ යුතුව ඇත, ඒ සඳහා බොහෝ දේ උගත යුතුය, බොහෝ දේ සාකච්ඡා කළ යුතුය, බොහෝ බුද්ධිගෝචර තීන්දු තීරණවලට එළඹිය යුතුව ඇත. ඒ නිසා එවැනි විධීමත් අභියෝගයක් අප ඉදිරියේ තිබියදී නැවතත් කළු ජූලියක් හෝ සංහාරයකට පරා කියන සාහසික දාමරික ප්‍රචණ්ඩත්වයට එරෙහිව පුරවැසියන් වහාම නැගී සිටිය යුතුය. නොඑසේනම් නැතිවන සෑම ජීවිතයක් පාසාම, ගිනිබත් වන සෑම දේපලක් පාසාම වැපිරෙන වෛරයේ ගිනි පුළිඟු නිවන්නට සප්ත මහා සාගරය තරම් මිත්‍රත්වය හෝ මානව දයාව පවා මදි විය හැකිය.
මේ මොහෝතේ කඩු, පොළු, ගිනි වෙනුවට, එක් එක් පුද්ගලයාගේ හෝ පාර්ශවයගේ නිවාස සහ දේපල සිහිපත් කරමින් උසිගැන්වීම වෙනුවට, සාහසිකත්වය වපුරන්නන් වීරයන් කරමින් එය සාධාරණීකරණය කරනවා වෙනුවට, එකී විනාසයන් අනුමත කරමින් කිරිබත් කනවා වෙනුවට පුරවැසියාට වගකීම් රාශියක් තිබේ. ඒ මන්දයත් පුරවැසියන් විසින් යෝජනා කරන්නේ වඩාත් යහපත් සහ දියුණු සමාජයක් නම් එයට නොගැලපෙන මිලේච්ඡත්වය සහ ප්‍රචණ්ඩත්වය සැමරීම් නොවේය.
මේ මොහොතේ රටේ දේශපාලනිකව සහ ආර්ථිකව දැඩි අස්ථාවරභාවයක් පවතිද්දි තව දුරටත් මෙරටට හානි නොකර හැකි ඉක්මණින් දේශපාලනික ස්ථාවරත්වයක් ගොඩනැගීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එක්විය යුතුය. බිහිවන රජය කුමක් හෝ වේවා එයට ගොඩනැගීමට සාධාරණ කාලයක් සහ උපරිම ජන සහයක් ලබාදිය යුතුය. එසේම යෝජනා කරන වඩාත් යහපත් සමාජයක් සහ දියුණු රටක් වෙනුවෙන් ඊයේ වනතෙක් පැවති කතාබහ සහ සැලසුම් මෙන්ම පුරවැසියා දැනුමෙන් සන්නද්ධ කිරීම් වඩාත් ඵලදායීව සහ කාර්යක්ෂමව ඉදිරියට යා යුතුය.
එසේ නොමැතිව තව දුරටත් දාමරිකත්වයට හෝ මිලේච්ඡත්වයට ඉඩදීමෙන් සහ එය උත්කර්ෂයට නැංවීමෙන් තව තව මේ රට අගාධයට මිස යහපත් දිසාවකට ගමන් කිරීම හීනයක් පමණක් වනු ඇත.
අපේ අමු ගෝත්‍රික බව ලෝකෙට පෙන්නුවා, දේශපාලුවන්ගේ වැඩ වලට ගෙවල්, ගැනු, ළමා ලපටි පළිද? දෙමළුන්ට 83 ගහලා අවරුදු 33 පරිප්පු කැවා. දැන් ගෙවල් අය්ති කාරයෝ නිකම් ඉඳීද? කි දෙනෙක් මැරෙවිද? ආගමික නායකයෝන්ට මොලේ කලදක් තිබේද? මහින්ද ගෝට ගෙදර ගියාම සුරපුර මැවේද?
ReplyDeleteදේශපාලනිකව විසඳුම් සෙවිය යුතු සෑම තැනකදීම මේ රටේ ජනතාව ගත්තේ බොහෝවිට වැරදි තීන්දු තීරණ.. මේ ඉන් තව එකක්.
Delete