රාජකාරී ආයතනයේ එක පැත්තක කවුළුවෙන් බැලුවම අනිත් පැත්තේ SLIDA එකේ රථ අංගනයත් මිදුලත් පේනවා. ඒ කැටගල් අල්ලපු මිදුලේ අම්මා කෙනෙක් ගිනි අව්වේ බිම වාඩිවෙලා දැන් දවස් කීපයක් තිස්සේ ඒ කැට ගල් අතරේ වැස්ස එක්ක මතුවුණු පුංචි පුංචි තණකොල සහ පැල උදුරනවා. මට එතකොට මතක්වුණේ ප්‍රවීණ සාහිත්‍යවේදී නන්දන වීරසිංහයන්ගේ ‘දුම්මල ගලට ගිය අම්මා’ පැදි පෙල. ඒ එක්කම ඇස්දෙකට කඳුළු උනන එක නවත්තන්න මට බැරිවුණා. මොකද මට එතකොට මතක්වෙන්නේ මගේ අම්මව.
පහුගිය දවසක ඒ වගේම අම්මා කෙනෙක් කියපු සංවේදී කතාවක් ඇහුණා. ‘මහත්තයෝ, මම යන්නේ වත්තක් උදලු ගාන්න. ඒකට දවසෙම මැරුනම රුපියල් 1,000ක් අතට ලැබෙනවා. මේ විදිහට බස්ගාස්තු වැඩිවුණාම අතට ලැබෙන්නේ බොහොම සොච්චමක් මහත්තයෝ’. මට එතකොට මතක්වෙනවා කුරුඳු ඉඩම් බහුල මගේ ගම් පළාතේ අහිංසක මිනිස්සු සැතපුම් ගණනක් වතු මැද්දෙන් ගිහින් වතු උදලු ගාන්න, පොහොර දාන්න දුක් විඳින හැටි. වෙනදට රුපියල් තිහට ගියපු ගමන යන්න දැන් රුපියල් 250ක්.
SLIDA එකේ බිම වල් පැල උදුරන අම්මත්, ටී.වී එකේ හැඬු කඳුලින් දුක කියපු අම්මත් දෙන්නම මහින්ද රාජපක්ෂගේ, ගෝඨාභය රාජපක්ෂගේ, රනිල් වික්‍රමසිංහගේ, චමල් රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ, දිනේෂ් ගුණවර්ධනගේ, ආර්.සම්බන්ධන්ගේ, වාසුදේව නානායක්කාරගේ, ශිරන්ති රාජපක්ෂගේ වයසේ. එතකොට ඒ කියපු අයට හරි හමන් සුදුසුකමක්වත් නැතිව මහජන මුදල්වලින් යහමින් වැජඹෙද්දි ‘මහජනයා’ කඳුළු එක්ක දවස ගතකරන්නේ ‘කරුමේ’ නිසාද?
අපේ මිනිස්සු හැමදාමත් පාලකයන්ගේ වැරදි ‘තමන්ගේ කරුමය’ විදිහට බාරගත්තු මිනිස්සු. පාලකයන් තෝරන්න තමන් ගත්ත ‘කරුමක්කාර’ තීන්දු තීරණ නිසා අසමත් පාලකයන්ගේ වැරදි සහ වංචා,දූෂණ බර තමන්ගේ කරුමය විදිහට බාරගත්ත දීන මිනිස්සු බහුතරයක් ඉන්න රටක් මේක. අඩුම තරමේ ඇස් පනාපිට හොරකම්, දූෂණ, වංචා, අනීතික ක්‍රියාවන් පෙනෙද්දි ඒවාට විරුද්ධව වචනයක් කියන්න, ලියන්න තරම්වත් කශේරුකාවක් නැති මිනිස්සු බහුතරයක් ඉන්න රටක් මේක.
හැමදේම කුමන්ත්‍රණ විදිහට බාරගෙන කොස් ගෙඩියක් තම්බලා දෙවේලක් කාලා ටී.වී එක බලලා නිදාගන්න මිනිස්සු ඉන්න රටක් මේක. ඕනම දේශපාලන තක්කඩිකමක් ටී.වී එකෙන් ටෙලි නාට්‍යක් වගේ බලලා තමන් කැමති පක්ෂයට විරුද්ධනම් ඒකට බැනලා නිදාගන්න රටක් මේක. එහෙම රටවල්වල විප්ලවයේ සුවඳමල් පිපේවි කියන බලාපොරොත්තුවත් බලාපොරොත්තුවක් විතරයි.
SLIDA එක් බිම වල් පැල උදුරණ අම්මා වගේම වත්තක් උදලු ගාලා සොච්චමක් හොයන්න යන අම්මා, සීතලේ ගැහි ගැහි පාන්දර නැගිටලා තේ පඳුරු අතරේ විෂගෝර සර්පයන්ගේ තර්ජන මැද තේ දළු කඩන අම්මලා, වැල්ලකලේ ගිනි අව්වේ පොල්ලෙලි තලන අම්මලා, උතුරේ පිටිවැල්ලේ කැකෑරෙන අව්වේ මාළු කූරියෙක් දෙපැත්ත හරවමින් වේලන අම්මලා මේ රටට ණය නෑ. ඒ මිනිස්සු මේ රටේ බදු වංචා කරලා නෑ, ගන්න හාල් ඇටයක් ගානේ ආන්ඩුවට බදු ගෙවනවා, ඒ මිනිස්සු මේ රටේ සම්පත් විකුණලා කොමිස් ගහලා නෑ, ඒ මිනිස්සු මේ රටේ සම්පත් වලින් මිළ උපයන්න තමන්ගේ ශ්‍රම සම්පත අසීමිතව කැපකරනවා, ඒ මිනිස්සු මේ නීතිය නවන්න තීරණ ගන්න බලධාරින්ට තර්ජනය කරලා තමන්ගේ ගජමිතුරෝ මරණ දඬුවමෙන් පවා නිදහස් කරන්න්, ප්‍රතිවාදීන්ගේ ඔළු පළන්න මරන්න අණ දීලා නැ, ඒ මිනිස්සු පොලීසියේ දඬ කොළය ගෙවන්න සතියක කම්කරු වැටුප කැපකරන මිනිස්සු, පොලීසිය වගවිභාගයක් නැතිව අතපය කඩද්දි ‘අනේ දෙයියනේ බේරගන්න..’ කියලා කෑගහන මිනිස්සු.
පාලකයන්ගේ දඩබල්ලන් තමන් හොයාගෙන එද්දි ලසන්ත වික්‍රමතුංගලාට, කීත් නොයාර්ලට, ප්‍රදීප් එක්නැලිගොඩලාට, වසීම් තාජුඩීන්ලාට ආරක්ෂාව පතාගෙන යන්න ත්‍රිකුණාමලයේ දූපත් තිබුණේ නෑ, සිය ගණන් පොලිස් ආරක්ෂාව තිබුණේ නෑ. ආරක්ෂාව වෙනුවෙන් සිංගප්පූරුවට යන්න පාර හදලා දෙන රනිල් වික්‍රමසිංහලා, බැසිල් රාජපක්ෂලා වගේ යාළුවෝ හිටියේ නෑ. මේ රට හැමදාම පැලකලේ ඒ වගේ විෂබීජ, ඒ පැල දැන් මේ රටට පිටකරන්නෙත් විෂ ම තමයි.
පොද වැස්සක් වැටෙනවා, තම මොහොතකින් මේ වැස්ස මහ වැස්සක් වෙයි. SLIDA එක් මිදුලේ පැල උදුරන අම්මා හෙමින් සීරුවේ නැගිටලා, ඉදලත් අතට අරගෙන අපහසුවෙන් තමන්ගේ වේදනාත්මක තුනටිය පිරිමදිනවා. ඇය හෙවණක් හොයනවා. මහ වැස්සට නොතෙමී ඉන්න ආවරණයක් තියන ගහක් හොයනවා. හරියටම අපිත් ඒ අම්මා වගේම මේ අසමත්භාවයේ සහ දූෂණයේ වැස්සෙන් නොතෙමී ඉන්න හෙවණක් නැති ජාතියක්. අපි හැමදාමත් හෙවණ හොයාගෙන ගියපු ගස්යට වැහි දෙකයි
No comments:
Post a Comment