2020 මැයි මාසේ 13 වෙනිදා Facebook සමාජ ජාලය අයිතිවෙන මෙටා සමාගම සියලුම ශ්රී ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලන්න කටයුතු කළා. ඒ 2018දී ලංකාවේ මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදුකරපු බරපතල ජාතිවාදී ගැටුම්වලින් රටට, ජන සමාජයට සිදුවුණු හානිය වෙනුවෙන්. මෙතනදි ෆේස්බුක් පිළිගත්තා ‘මේ කියන ගැටුම් ඉතාම නරක තැනකට වර්ධනය වෙන්න ෆේස්බුක් එකේ හුවමාරුවුණු වෛරය වපුරන ප්රකාශ සහ කටකතා ප්රධාන හේතුවක් වුණා’ කියලා.
2018 සිරිසේන-රනිල් යහපාලන ආන්ඩුව කාලේ ලංකාවේ මුස්ලිම් ජනතාව සෘජුවම ඉලක්ක කරගෙන බරපතල ප්රචණ්ඩකාරී ගැටුම් ඇතිවුණා. මේ ප්රචණ්ඩත්වය පාලනය කරන්න බැරිම තැන ආන්ඩුවට හදිසි තත්ත්වයක් ප්රකාශ කරලා, සමාජ ජාලවලට පිවිසීම පවා සීමාකරන්න සිද්ධවුණා.
මධ්යම පළාත වගේම පළාත් කීපයකම මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන ක්රියාත්මකවුණු ප්රචණ්ඩ ක්රියා නිසා තුන් දෙනෙක් ඝාතනයට ලක්වෙලා, විස්සකට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් කරපු විමර්ශණ අවුරුදු දෙකක් පුරා ක්රියාත්මකවුණා. අන්න ඒ විමර්ශණ අතරෙදි තමයි ෆේස්බුක් හිමිකාර සමාගම පිළිගන්නේ තමන්ගේ සමාජ ජාලයේ හුවමාරුවුණු වෛරීය ප්රකාශන සහ කටකතා නිසා තමයි මේ ප්රචණ්ඩත්වය තවත් වර්ධනය වුණේ කියලා.
මේ ප්රචණ්ඩ ක්රියා නිසා මුස්ලිම් පල්ලි, කඩසාප්පු සෑහෙන්න විනාශවුණා. ඒ වගේ රට ඇතුලේ තිබුණු සංහිඳියාව ඉතාම බරපතල කඩාවැටීමකට ලක්වුණා. මේ සිද්ධි දාමය පිටිපස්සේ සහ ඉස්සරහින් හිටපු දේශපාලඥයන් වගේම සිවිල් චරිත අදත් දේශපාලනයේ ඉන්නවා. හැබැයි මේ සිද්ධි නිසා වෙච්ච හානිය අදටත් තක්සේරුවක් නෑ.
මේ සිද්ධිය ගැන සමාව ඉල්ලපු ෆේස්බුක් සමාගම කිව්වේ ‘සමාජ ජාලයක් වැරදි විදිහට භාවිතා කිරීම’ ගැන අපිට මීට වැඩිය හිතන්න තිබුණා කියලා. මේක කියන්නේ Bloomberg පුවත් සේවයට. ඇත්තටම මේ සිද්ධියෙන් පස්සේ තමයි ෆේස්බුක් සමාගම පුළුවන් තරම් වෛරීය ප්රකාශ report කරන්න සහ ඉවත් කරන්න අවශ්ය පසුබිම සකස් කරන්නේ. ඒත් අදටත් මේවා පාලනය කරන්න අමාරුයි.
2018 වාර්ගික ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් කරපු විමර්ශණයේ වාර්තාවෙදි කියපු ප්රධාන කාරණයක් තමයි මුස්ලිම් ජනතාවට එරෙහිව මරණීය ප්රචණ්ඩත්වයක් වපුරන්න තරම් වෛරීය ප්රකාශන සහ කටකතා ෆේස්බුක් එකේ හුවමාරුවෙද්දි, ෆේස්බුක් සමාගම ඒවා පාලනය කරන්න, ඉවත් කරන්න හරිහමන් පියවරක් ගත්තේ නෑ කියන චෝදනාව.
ඒ වගේම මේ විමර්ශණවලදි මතුවුණු තවත් බරපතල කාරණයක් වුනේ මේ ප්රචණ්ඩ ක්රියා සංවිධානය කරන්න, ප්රචාණය කරන්න ෆේස්බුක් පාවිච්චි කරා කියන එක. ඒත් ඒවා හරිහමන් විදිහට පාලනය කරන්න බැරිවුණේ, ඒ වෙද්දි ෆේස්බුක් සමාගමට සිංහල content නියාමනය කරන්න හිටියේ සේවකයන් දෙන්නෙක් විතරයි කියන ගැටළුව එක්ක.
අදටත් ෆේස්බුක් මොන තරම් නියාමනය කළත්, වැට බැන්ඳත්, වාර්තා කළත් මේ හැම තැනකින්ම රිංගලා අපූරුවට වෛරය සහ හරිහමන් සාධක නැති කටකතා පතුරවන එක නවත්තන්න බැරිවෙලා තියනවා. 2018ටත් වඩා ඉතාම සංවිධානගතව, AI තාක්ෂණය පවා පාවිච්චි කරලා වෛරය වැපිරීම් සිදුකරන්න සෑහෙන්න සල්ලි පොම්ප කරන බවක් දැන් දැන් පෙනෙන්න තියනවා. ‘
2018 දි වඳ කොත්තු, පැලෝපීය නාලය මිරිකලා අම්මලා වඳ කරනවා වගේ කිසිම පදනමක් නැති කතා පතුරවලා, ඒ මොහොතේ ඇති කරපු වෛරයේ ගිනිසිළුවේ ප්රතිඵලය නතරවුණේ කොතනින්ද? අන්තිමට පාස්කු ප්රහාරයක් සිද්ධවෙලා තවත් මිනිස්සු සිය ගාණකට ජීවිතේ නැතිවෙලා අද ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන සහ රාජ්ය මැදිහත්වීම් ගැන පවා තොරතුරු මතුවෙමින් තියනවා.
මේ සිද්ධි දාමයේ හිටපු බොහොමයක් ආයෙත් අවුරුදු 8කට පස්සේ සුදු පිරුවට ඇඳගෙන කල එළිබහිමින් ඉන්න ආකාරය පේන්න තියනවා. හැබැයි එදා ආන්ඩුව වගේම මේවා ලේසියෙන් අතහැරලා හිටියොත් ආයෙත් රට යන්නේ පුරුදුම තැනට කියන එක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වගේම ආන්ඩුවත් ටිකක් පරිස්සමින් කල්පනා කරලා බලන්න ඔින.
ඒ නිසා මේ සමාජ මාධ්ය ලෝකයේ බොහොමයක් පාවිච්චි කරන්නේ වැදගත් සහ ධනාත්මක සන්නිවේදනය වෙනුවෙන් නෙවෙයි. ලෝකයම ගිනි තබන දේශපාලනික ගැටළු නිර්මාණය කරන්න කියන එක අපි එදා ලංකාවේ වගේම අදත් ලංකාවේ, ලෝකයේ මොනතරම් උදාහරණ වලින් පෙන්වන්න පුළුවන්ද.
ලෝකයක් ගිනිතියන්න ගිනි පුපුරු එකතු කරන්න බොහොම ලේසියි. ඒ ගින්න ඇවිලෙද්දි කොයි මොහොතක හරි ඒ ගින්නට අපි සහ අපේ හිතෛශීන් පවා ගොදුරු වෙන්න පුළුවන් කියන තැන දක්වාවත් හිතන්න පුළුවන් තරමට ෆේස්බුක් සහ වෙනත් සමාජ ජාල පාවිච්චි කරන අපේම ජනතාවගේ මනස දියුණුවුනොත් මම හිතන්නේ රටක් විදිහට ඉතාම හොඳ තත්ත්වයක් වේවි.
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්ර
2026.10.29

No comments:
Post a Comment