May 15, 2010
::::| ජාතියට උත්තමාචාර පුදකරනු පිණිසයි |::::
අපි සිටින්නේ අපේ මාතෘභූමිය සැබෑ නිදහස දිනා වසරක් සපිරෙන අභිමානවත් මොහොතකය. තිස් වසරක කුරිරු ත්රස්ත උවදුර නිමාකරමින් සේනාධිනායකතුමන්,ආරක්ෂක ලේකම්තුමන් ඇතුලු ත්රිවිධ හමුදාව පමණක් නොවෙයි ශ්රී ලාංකික ජාතිකවාදී බලවේග ලෝකය පුරා ඒ නිදහස වෙනුවන් සටන් කලහ.එම ජය හිමිවුණි.එහෙව් නිදහසේ පලමු සැමරැම වෙනුවෙන් බ්ලොග් කලාවේ සිංහල ලකුණ වන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අපි සැබෑ නිදහසේ පලමු සැමරුමත්, ජාතික රණවිරු උපහාර සතියත් සිහිකරමින් අපේ බ්ලොග් හා වෙබ් අඩවි ජාතික ධජයෙන් සරසන ලෙසට යෝජනා කර සිටිමි.
May 13, 2010
හදවතයි...ආදරෙයි එකට, මම තනියම

මම අන්තිම වතාවටත් ඇගේ අහිංසක මුහුණ දිහා බැලුවා. කියාගන්න බැරි දුකක් ඒ මූණේ හිරවෙලා තිබුණා. මගේ හිතටත් ලොකු දුකක් දැනුනා.ඒත් මට කරන්න දෙයක් තිබුණේ නෑ.
"එතකොට ඔයා හෙට ඉඳන් මාත් එක්ක කතා කරන්නේ නෑ?"
ඇය කණගාටුවෙන් මෙන් ඇහුවා.
"ඔයා ගැන හිතන්නේ නැතිව ඉන්නනම් මුලින්ම මම ඒක කරන්නම ඕන"
මම ස්ථීරව කිව්වා
"ඇයි දෙයියනේ ඔයා මට එහෙම කරන්නේ.ඇයි අපිට බැරි යාළුවෝ විදියට ඉන්න බැරි."
ඇය අඬන්නට ඔන්න මෙන්න වගේ ඇහුවා
"පුළුවන් මටනම්, එත් මගේ හිතටනම් බෑ"
"ඇයි ඔයා ඒකට උත්සහ කරන්නේ නැත්තේ?"
"මොකද හිත කියන දේට මම කැමතියි"
මම ඇය දිහා බලාගෙන කිව්වා.
"අපි හම්බවුණ මුල්ම දවසෙම මම ඔයාට කිව්වානේ මම බඳින්න ඉන්නේ කියලා. ඉතින් ඇයි ඔයා ඒක අමතක කරන්න හදන්නේ"
"මම ආදරේ ඔයාට විතරක් නිසා"
"අනේ මගේ හිත වෙනස් කරන්න හදන්න එපා මම තාම එයාට ආදරෙයි"
ඇය බොහෝම අසරණ විදියට කිව්වා.
"නෑ මම එහෙම කරන්නේ නෑ. ඒකයි මම අරවගේ තීරණයක් ගත්තේ"
ඇය සුසුමක් හෙලීය
"ඔයා පරිස්සමින් ඉන්න. මම කැමතියි මේ විදියට ඉන්න"
ඇය යන්නට නැගිටිමින් කිව්වා
"ඔයා කොතන ඉන්න හැදුවත් ඔයා අන්තිමට නතර වෙන්නේ..."
"ඔව් ඔව් දෙයියනේ ඔයාගේ හිතේ"
ඇය යන්නට ගියාය
May 11, 2010
:::::::: දෛවය තිළිණ කල සොඳුරු පෙම ::::::::

දැඩි තදබදයක් තිබූ දුම්රියේ සෙනග සැලකිය යුතු පිරිසක් පොල්ගහවෙලින් බැසගියේය.සාලිය අසුනට බරවී සිතුවිල්ලකින් තොරව නැවත ඇදෙන දුම්රියේ කවුළුවෙන් පිට බලාගෙන සිටියේය.තදබදය තුරන්වූ දුම්රියේ අනෙක් කෙළවර පවුලේ අය සමගින් අසුන්ගෙන සිටි සිතාරා දුටුවේ පලමු වතාවටයි.එක දැක්මකින් හිතයන ලස්සන නිසා සාලියද ඇය දෙස කීපවිටක්ම බැලීය. වැඩිකතා බහකින් තොරව පවුලේ අයසමග සිනාසුවයෙන් කඳුරටට දුම්රියෙන් යන සිතාරාගේ රුව ලඟ සාලියගේ නෙත මෙන්ම හිතද නතර විය.බොහෝ වේලාවක් දෙදෙනාගේ ඇස්වලින් ආදරය හුවමාරු විය.සාලිය දුම්රියෙන් බසිද්දී හොරෙන්ම ඈ අත තම දුරකතන අංකය තැබීය.එදින රාත්රියේම ඇයගෙන් කෙටි පණිවුඩයක් ලැබිනි.දින ගනණක් පුරා දෙදෙනා අතර කෙටි පණිවුඩ බගින් අදහස් හුවමාරු විය.දිනක් සාලිය "මම ඔයාට කෝල් කරන්නද?" කෙටි පණිවුඩයක් යැවීය.ඇයගෙන් පිලිතුරු නොලැබිනි.දින කීපයකට පසු නැවතත් සාලිය ඉල්ලීමක් කලේය."මට ඔයාව මුණගැහෙන්න ඕන" පුරුදු ලෙසම එයටත් සිතාරාගෙන් පිළිතුරු නොලැබිනි. නමුත් සාලිය දැඩිලෙස පෙරැත්ත කලේය.සිතාරාට එම ආදරණීය ඉල්ලීමට පිටුපා ඉන්නට බැරිවිය. "එහෙනම් හෙට උදේ පේරාදෙණියට එන්න" ඇගේ කෙටි පණිවිඩයන් සාලිය සතුටින් ඉපිලී ගියේය.ඇය එනබව කියූ වේලාවටත් පැයක් කලින් සාලිය පේරාදෙණියට පැමිණියේය.හරියටම ඇය කියූ වෙලාවටම පැමිණියාය. "මම ගොඩක් ආසාවෙන් හිටියේ ඔයා මුණගැහෙන්න" ඇය හරි අහිංසක විදියට සිනාසුනා පමණි.දෙදෙනා බංකුවකින් වාඩිවිය. "සිතාරා මම ඔයා දැක්ක දවසේ ඉඳන් ඔයාට ආදරේ කලා.,ඉතින් කියන්න ඔයත් මට ආදරෙයිද කියලා" ඇය ආදරබරිතව සාලියගේ අත තදින් අල්ලාගෙන සිනාසුනාය. "කෝ ඉතින් ඔයා මට ආදරෙයි කියලා කියන්නේ නැද්ද" ඇය මොහොතක් සාලියගේ දෑස් දෙසබලාසිට ඇගේ දකුණු අත ඇගේ ළය මත තබා පසුව සාලියගේ ළය මත ඇගේ අත තබා හස්ත සංඥාවෙන් යමක් කීය. සාලියගේ ඇස් උඩ ගියේය "මගෙ දෙයියනේ ඔයාට කතා කරන්න බෑ නේද?" සිතාරාගේ මුහුණ කළුවිය.හිස බිමට හැරුණි. ආපස්සට හැරී යන්නට පියවර තැබීය. ඇය දැඩිලෙස ශෝකයෙන් පියවර තබන්නට විය.සාලිය තත්පර කීපයක් කල්පනා කලහ.ඉක්මණින් ඇය පසුපසින් ගොස් ඇය තදින් ඇයව ග්රහණය කරගත්තේය. "ඔයාගේ කටහඬින් ආදරේ නොකිව්වට ඔය ඇස් දෙකෙන් දැනෙන ආදරේ ජීවිතකාලෙටම මට ඇති" එලෙසින් සාලිය දෛවය විසින් තිළිණ කල සොඳුරු පෙම හදවතින්ම පිළිගත්හ.
--- ජනරඟ විජඉඳු දේවසුරේන්ද්ර විසින් නිර්මාණය කල කෙටි කතාවකි ---
May 9, 2010
ආදරණීය අම්මා සහ නුඹ.....
අද මව්වරුන්ගේ දිනය කියලා හිතලා මෙහෙම ලියන්න හිතුවත් මේක මීට කලින් ලිවිය යුතුව තිබුණ ලිපියක්. අපේ ආදරණීය අම්මා ගැන කියන්න උපමා උදාහරණ ගන්න මම සූදානම් නෑ. අම්මා කියන්නේ මිහිපිට අපි ලබපු උතුම්ම වස්තුවක් කියලා මම ඔබට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ. තාත්තා අම්මා කියන ජීවිත අත්දැකීමෙන් සුපෝෂිත චරිත දෙක අපේ ජීවිතයට කොතරම් ආශිර්වාදයක්ද.එදා අපේ තතාගත බුදුහාමුදුරුවෝ බුදුවෙන්නට පෙරුම්පුරන කාලේ තමන්ගේ අම්මා " මගේ පුතා මතු බුදු වේවා" කියලා කරපු ප්රාර්ථනාව කොච්චර බලයක් වෙන්න ඇත්ද. අන්න ඒ විදියටම තමයි ඔබේ අම්මත් ඔබ වෙනුවෙන් ප්රර්ථනා කරන්නේ. ඔබ වෙනුවෙන් රත්තරං අම්මා තමන්ගේ ජීවිතේ කොයිතරම් දේවල් කැපකරලා ඇත්ද, කැපකරනවද කියලා ඔබ දන්නවද? ඉතින් එහෙම කරන රත්තරං අම්මාට පුංචිහරි දුකක් දෙන එක ආනන්තරීය පාපකර්මයක් කියලා හිතුවට අවැඩක් වෙන්නේ නෑ. අම්මා කෙනෙක්ගේ ආදරය, උණුහුම අපිට හැමදාටම විඳින්න බෑ. අන්න ඒක නිසා අම්මා ඔබත් එක්ක ජීවත් වෙනකාලේ පුළුවන් තරම් හොඳින් ඇයව සතුටින් තියන්න. ඇය නැති දවසක ඒ අඩුව ඔබට හොඳටම දැනෙයි.ඒත් එතකොට ඔබට "අනේ මගේ අම්මට සලකන්න බැරිවුණානේද" කියලා පසුතැවෙන්නනම් ඉඩ තියන්න එපා.
May 8, 2010
එදා මෙදා
සඳ තවම එතනමයි
එදා ලෙස වටකුරුව
හිරු තවම එතනමයි
එදාලෙස පියකරුව
තණපියස එලෙසින්ම
දළු දමා වැඩී ඇත
සුදු පරවි රෑන්විත්
පෙරලෙසම සක්මනය
සුදුමල් පාවීවිත්
ගංදියට ඇදවැටෙන
සොඳුරු දසුනක් පෙනෙයි
එලෙසින්ම එකලෙසම
සුළං රළ ඇදීයන
ගංතෙරේ සිසිල මැද
ගංදියට තනිරකින
තුරුපෙලද තවම ඇත
වෙනසක් කියා නැත
දැනෙන්නේ උනුන් හට
වෙනසකට යමක් වෙත්
ගංතෙරේ මං තනිව
ඔබ නොමැති පාළුවෙන්
එදා ලෙස වටකුරුව
හිරු තවම එතනමයි
එදාලෙස පියකරුව
තණපියස එලෙසින්ම
දළු දමා වැඩී ඇත
සුදු පරවි රෑන්විත්
පෙරලෙසම සක්මනය
සුදුමල් පාවීවිත්
ගංදියට ඇදවැටෙන
සොඳුරු දසුනක් පෙනෙයි
එලෙසින්ම එකලෙසම
සුළං රළ ඇදීයන
ගංතෙරේ සිසිල මැද
ගංදියට තනිරකින
තුරුපෙලද තවම ඇත
වෙනසක් කියා නැත
දැනෙන්නේ උනුන් හට
වෙනසකට යමක් වෙත්
ගංතෙරේ මං තනිව
ඔබ නොමැති පාළුවෙන්
May 6, 2010
අමුත්තා

කාර්යාලය වසා දැමීමට ඔන්න මෙන්න තිබියදි ඩෙන්වර් වෙත පැමිණි සේවකයා යමක් පැවසීය.
“සර් මුණගැහෙන්න අමුත්තෙක් ඇවිත් "
ඩෙන්වර් මදක් කල්පනා කලේය.උදෑසනින්ම තමන් කාර්යාලය වෙත එනවිට දියණිය කල
ඉල්ලීම වූයේ ඇය හා මව සමගින් රාත්රී ආහාරය සඳහා චීන අවන්හලක් වෙත යාමයි. ඒ සඳහා තමන් වේලාසනින් ගෙදර යාමට සිතුවා පමණි.
“කිව්වේ නැද්ද මම ගෙදර යන්න සූදානම් වන බව"
ඩෙන්වර් නොකැමැත්තෙන් ඇසීය.
"මම කව්වා නමුත් හදිසි වුවමනාවකට බව කිව්වා "
තමන්ට නිවසට යාමට ප්රමාද වුවත් මේ අමුත්තා මුණගැසී යාමට ඩෙන්වර් තීරණය කළේය.
"හරි ඔහුට ඇතුලට එන්න කියන්න"
සේවකයා පිටව ගියේය. ඩෙන්වර් කඩිනම් සාකච්චාවකට සූදානමින් සිටියේය.
අමුත්තා කාර්යාල කාමරය තුලට පැමිණියේය. ඔහු මදක් කුදුගැහුණු පුද්ගලයෙකි. දුබුරු පැහැති කබායකින් සැරසී සිටියේය.
"ඔබ කව්ද? මොකක්ද වුවමනාව? කෙටියෙන් කියනවනම් වැඩ හොදයි"
ඩෙන්වර් ඉක්මනින් කියාගෙන ගියේය
"කෙටියෙන් කියනවනම් මම තමයි ඔබගේ ගැලවුම්කාරය. මම කියන විදියට වදකරොත් ඔබට තව අවරුදු හතලිස් දෙකයි මාස
හතරයි දවස් විසිතුනක් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. නැත්නම් ඔබ අද හවස භයානක රිය අනතුරකින් මියයනවා.
"මොනවා...!!! ඔබ මට තර්ජනය කරනවද?"
ඩෙන්වර් කෝපයෙන් ඇසුවේය
" නැ මම ඔබට උදව් කරනවා. මොනම හේතුවකටවත් ඔබ අද කාර්යාලයෙන් පිටව යන්න එපා"
අමුත්තා තීරණාත්මකව ප්රකාශකළේය.ඩෙන්වර් බොහෝ වේලාවක් ගෙන කල්පනා කරන්නට විය.ඔහුට මේ අදහස පිළිබඳ කිසිදු තැකීමක් කිරීමට අවශ්ය නොවන බව හැගුනි.ඒ මන්ද මෙ වන් බහුබූත කාරයින් කවදත් ඩෙන්වර් ප්රතික්ෂේප කල බැවිනි.
"මට ඕනදේ මම කරනවා ඔබට බෑ මම කරන්නේ මට වුවමනා දේයි"
ඩෙන්වර් කෝපයෙන් කෑගැසුවේය.
"ඔබ මම කියන දේ නොකලොත් පසුව දුක් විදින්නවත් ඔබ ඉතුරු වෙනෙකක් නෑ"
අමුත්තා සංවාදය අවසන්කර නැගීසිටියේය.
"හොදින් අහගන්න මහත්මයා. මේක තීරණාත්මක අවසථාවක්.හැමකෙනාටම මෙහෙම අවස්ථා
ලැබෙන්නේ නෑ. ඔබ එයින් ප්රයෝජනයක් ගන්නවානම් එය ලොකුම අවස්තාව වේවි. මගේ
යුතුකම් කොටස ඉවරයි මම යනවා"
අමුත්තා පිටව ගියේය. ඩෙන්වර් දැඩිලෙස කැලබී ගියේය. කරන්නේ කුමක්ද කල්පනා කළේය.
කොහෙවත් යන පිස්සෙක්ගේ කතාවක් අසා තම දියණියට බොරුකිරීම වරදක් බව ඔහුට දැනිණි.
ඩෙන්වර් තම බැගයද ගෙන කාරයට ගොඩවිණි. ඉක්මනින් නිවසට යාමට ඔහුට වුවමනාවිය.
රථය රන්ඩෙල් චතුරශ්රය පසුකර දුම්රිය මාර්ගයට යාබද මාර්ගයේ ගමන් ගනිමින් තිබිණි.
ඩෙන්වර් ගේ සිත තවමත් අමුත්තාගේ කතාවට කැලබී තිබිණි.
ඔහු සියුම් කල්පනාවක නියැලෙමින් රථය පාදවුයේය.හදිස්සියේම ඉදිරියෙන් පැමිණි රථයක්
තම රථයේ ගැටීමට ගියේය ඩෙන්වර් රථය පාලනයට දැඩි වෙහෙසක් දැරුවේය.අවසානයේ
තිරිංග පහරට රථය කැරකී මාර්ගයෙන් ඉවතට පැන ගසක් දෙකක්ද පහුකරමින් ගොස් අනු
නවයෙන් බේරුනි. රථය අනෙක් රථයේ නොගටුනේ මාර්ගයෙන් ඉවතට පැනීම නිසාවෙනි.
ඩෙන්වර් සැනසුම් සුසුම් හෙලමින් සිටියේය. ඔහුගේ මුහුණේ සියුම් ජයග්රහනයක සේයාවක්
තිබිණි.
" දැක්කද අර පිස්සු මිනිහ කියපුදේ බොරු..මම තව පොඩ්ඩෙන් හැප්පෙන්නේ ඒ යක කියපු
බහුබූත කල්පනා කරලා. දැක්කද? දැක්කද?"
ඩෙන්වර් තමාටම කියගත්තේය.
"දැන් ටිකක් ප්රවේසමෙන් ගෙදරට යන්න ඕන."
එසේ පවසා ඩෙන්වර් රථය පනගන්වා මාර්ගයට ගැනීමට උත්සහ කළේය. නමුත් ඔහුගේ
රථයේ ටයරය යමකට හිරවී තිබිණි.
ඒ රේල් පීල්ලකටය. එසැනින්ම විදුලියක් මෙන් පැමිණි විදුලි දුම්රියක් ඩෙන්වර්ගේ රථය
කුඩුපට්ටම් කරමින් එය මතින් ගමන් කළේය.
::::::::::: ජනරඟ විජඉදු දේවසුරේන්ද්ර විසින් රචිත කෙටි කතාවකි :::::::::::::::::::::::::
May 4, 2010
ආදරයනම්....ඔබට මට දැනෙන හැටි

ආදරයනම් ජීවිතයට කොතරම් වැදගත්ද කියල තේරුම්ගන්න ආදරය කරන්නම ඕන නෑ. ඉතින් ඒ තරමටම වැදගත් ආදරය වෙනුවෙන් සමහරු පුදුමාකාර කැපකිරීම් කරන අතරම සමහර අය ආදරයත් එක්ක අමුතුම සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලම් හැම එකක්ම කවදාහරි දවසක නොහිතපු විදියකින් කෙලවර වේවි. ඉතින් මේ කැපකිරීම් අතරේ ආදරයක් විදින්න බැරුව කීදෙනෙක් නම් දුක්විදිනවද? අද "අපේ ඉසව්වෙන්" මම ආදරේ ගෙන කතාකරන්නේ ආදරේ වටිනාකම තේරුම්ගත්ත පිරිසක් සිංහල බ්ලොග් කලාව තුල සැරිසරන නිසයි. අද මම ආදරේ ගැන ලොකුදෙයක් කියන්න උත්සහ කරන්නේ නැ. මම සුදානම් ඔයාලගේ අදහස් දැනගන්න. දැනගෙන ආදරයගැන බුද්ධිමය සංවාදයක් ගොඩනගන්න මම කැමැතියි. එක එක අය ආදරේ ගැන හිතන්නේ එක එක විදියට ඒ අදහස් සේරම එකම තැනකට එකතු කරගෙන කතාකරන්න අපිට හැකිවෙයි කියල මම විශ්වාස කරනවා.
May 1, 2010
හදවතින් මැයි දිනය සමරමු

ලෝක කම්කරු දිනය ගැන මතක් කරනකොට කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැපකරපු අභිත නායකයන් ගොන්නක් සිහියට නැගෙනවා.ඒ නායකයන්ගේ නම් එකින් එක මතකයට නගන්න මම උත්සහ කරන්නේ නෑ. නමුත් මුළු මහත් ලෝකයටම කම්කරු ව්යාපාරය ගැන මතක්වෙන එකම දවස අද නිසා ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි.මැයි දිනය සමරන අද දවසේ විතරක්වත් ඒ ජනහිතකාමී සැබෑ නායකයින් සිහිපත් කරලා ඔවුන්ට ඉන්න ලෝකෙක හොඳින් ඉන්නට ලැබෙන්න කියලා පුංචි ප්රාර්ථනාවක් කරන්න. ඒකට ඔබට වියදමක් යන්නේ නෑ. අපි හිතන්නේ ඒක අපි ඔබ හැමෝගෙන්ම ඉටුවෙන්න ඕන යුතුකමක් කියලයි. ඒකනිසා හුදු දේශපාලන පරමාර්ථ පැත්තකින් තියලා හදවතට එකඟව හිතන්න කියලා ආදරණීය ඉල්ලිමක් කරනවා.
අපේ දැක්ම

හදවතින්ම අප සමගින් එක්වී සිටින ඔබගේ ජීවිතයට නවතම විදියක අත්දැකීමක් එක්කරන්නට නිර්මාණය කල මෙම බ්ලොග් අඩවිය තුලින් ඔබට වැදගත්වූ නිර්මාණ එකතුවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමු. අපේ මෙම බ්ලොග් අඩවිය තුලින් එදිනෙදා ජීවිතයේ ඇස ගැටෙන්නා වූ විවිධ දේවල් රැසක් එක ස්තානයකට එකතු කරමින් ඔබ වෙත ගෙනෙන්නට ලැබීම මහත් සතුටක් ලෙසින් සලකමින් මින් ඉදිරියටත් වටිනා නිර්මාණ රාශියක් ඔබ වෙතට ඉදිරිපත් කරන බලාපොරොත්තුවෙන් හැමදාමත් ඔබ සමග රැඳෙන්නට "අපේ ඉසව්ව " සූදානම්.
Subscribe to:
Posts (Atom)
