Oct 24, 2012

කසාවත සහ බැට් පිත්ත


අපේ අම්මා දනට පිනට බොහෝම බරය. එබැවින් ඇය තමන්ගේ ජන්ම දිනය දා තම දෑතීන්ම පිලියෙල කල දක්ෂිණාව සංඝගත කිරීමේ වගකීම මට පැවරීය. එයට සහයට ලඟ ඥාතියෙක්වන ගුණසේන මාමා ද කැටුව යන්නට තීරණය කලෙමි. 

“හාමුදුරුවෝ කී නමක්ද?“

“දහ නමක්“

ගුණසේන මාමා ඇසූ පැනයට අම්මා පිලිතුරු දුන්නේ භක්තියෙනි. එය අසා ගුණසේන මාමාගේ නලලද රැලි වැටුණි.

“දැන් එහෙනම් දාන දෙන්නත් ලේසි නෑ..මේ ගමේ ඉන්න දුප්පත් මිනිස්සු එදා වේල හොයාගන්නෙත් අමාරුවෙන්..කොහොමද මන් දන්නේ නෑ හාමුදුරුවෝ දහනමකට දානේ දෙන්නේ...“

අම්මා කතාකලේ එයට විරුද්ධවය.

“ඒ වුනාට ඉතින් මේ ගෙදර මහ මිනිස්සු ඉන්න කාලේ ඉඳන් දීපු මාසේ දානේනේ..ඒවා එහෙම කියලා අතාරින්න පුළුවන්ද“

Oct 21, 2012

රෑ සමනලියකගෙන් පාර අසාගෙන..


දුර ගමන් සේවා රාත්‍රී බස් රථයේ මගීන් තරමක ප්‍රමාණයක් අසුන්ගෙන සිටියහ. කීපදෙනෙක් හැරෙන්නට අන් සියල්ලම පසුවූයේ නින්දේය. නින්ද නොයන අය අතර මා මෙන්ම මගේ මනසද විය. පසුවන වීදි පහන්  ආලෝකය සහ නිවෙස්වල මන්දාලෝකය හැරෙන්නට සිතිවිල්ලකට පාදක වන යමක් අවට නොවීය. අධික වේගයෙන් ගමන් ගන්නා බස් ර ථ යේ අඩක් විවෘත කවුලුවෙන් ගලන සීතල වාත ධාරාව හිරගඬු පිපෙන තරමට දරුණු විය. බස් රථය නිසොල්මනේය. මා අසුනේ අනෙක් පස වූයේ යුවතියකි. පැහැපත් රුවකින් හෙබි විචිත්‍රවත් ඇඳුම් ආයිත්තමින් සැරසි ඇය කොහි යන්නේදැයි නොදන්නෙමි. මා බසයට ගොඩවන විට ඇය අසල අසුනින් වාඩිවූ බව පමණක් මතකයේ  රැඳී ඇත. ඇයද නිසොල්මනේ මද දුරක් ගමන් කල අතර අවධානය රැඳුනේ කවුළුවෙන් පිටතටය.

   බසයේ සිටි ඇතැම් පිරිමින් ඇය දෙස වුවමනාවටත් වඩා බලන අයුරු දුටුවේ එක් වරක් දෙවරක් නොවේ. බොහොමයක් පිරිම කාර්යාල සේවය නිමවී අගනුවරින් නික්මෙන පිරිස් බවට අනුමාන කල හැකි විය. මෙම බස් රථය ඔවුන්ට හුරුපුරුදු බව පෙනුනේ ඔවුන්  අසුන්ගෙන සිටිනා අයුරින්මය. මෙම බසය තුල සිටි එකම කාන්තාව ඇය නොවුණි එසේම එකම තරුණියද ඇය නොවුණි. නමුත් ඔවුන් ඇය දෙස වරින් වර බැල්ම හෙලන අයුරු නෙත් කොණෙන් මාද දුටිමි. මට එය කුකුසක් ඇ ති කල හැකි කරුණක් විය. 

Oct 20, 2012

හන්තාන සිසිල දුන් එකම එක සිව් වසර



හන්තාන ගැන පේරාදෙණිය ගැන බොහොමයක් සාහිත්‍යධරයන් අතින් ලියවුණු නිර්මාණවල බරිත සාමාන්‍ය අගය ගෙන බැලුවම හන්තාන කියන්නේ නිර්මාණයකට කොතරම් සුන්දර වස්තු බීජයක්ද කියලා ඕනෑම හිතකට වටහා ගන්න පුළුවන්. ප්‍රේමය හෝ වේවා සෞන්දර්ය හෝ වේවා හන්තානට උරුම වෙන්නේ වෙනස්ම ආකාරයකට. එයටම අනන්‍ය ආකාරයකට. ඈත තියාම උදෑසන මීදුම් සළුවේ දැවටෙන හන්තාන දැක්කම කෙනෙක්ට හිතන්න පුළුවන් කඳුකරයට උරුම ගස් වැල් කටුපඳුරු වලින් වැහිලා ගිහ පස් කන්දක් මෙච්චර ආදරය හෝ සෞන්දර්ය වපුරන්නේ කොහොමද කියලා. ඒක තමයි භෞතික විඳීමකට වඩා ආධ්‍යාත්මික විඳීමක ප්‍රබලත්වය. භෞතිකව විඳින දේවල් වලින් නොලැබෙන තෘප්තිය ආධ්‍යාත්මිකව විඳින්න පුළුවන් කියන එකට හන්තාන හොඳ සාධකයක්.

   පේරාදෙණියේ සරසවිය තුල නිතර ඇස ගැටෙන පෙම් කතාවලට තුන්වෙනි පාර්ශවයක් විදියට හන්තාන නොගැටෙන්නේ බොහොමත් කලාතුරකින්. මෙහෙම හන්තානේ සුන්දරත්වය සිය පෙම්කතාවට මුසු කරන ආදරණීය හිත අතරින් කීයෙන් කීයක්නම් විතරක්ද ජීවිතය පුරාවට භෞතිකව රැඳෙන්නේ. වැලිගම ප්‍රදේශයේ දරුවන්ට සිප්සතර උගන්වන පේරාදෙණිය සරසවියේම උගත් වැලිගම “තුන්වෙනි පරපුර“ සංවිධානයේ හිතවත් රුවින් බුද්ධික සහෘදයා තුන්වෙනි පරපුර සංවිධානයේ නිල සඟරාව වන “ප්‍රබුද්ධ ලංකා“ සඟරාවට මෙවර අපූරු ලිපියක් එක්කරලා තිබුණා. එයින් කියවුනේ ආදරය යනු වෙන්ව ගිය පසු දැනෙන දෙයක් බවයි..ඔබ එයට විරහව ලෙස නම් යෝජනා කරන්නට පුළුවන්. රුවින් දකින විදියට ආදරය යනු සැබෑ ලෙසම වෙන්ම ගිය පසු දැනෙන දෙයකි. ලොව අමරණීයව ඇත්තේ වෙන්ව ගිය ආදර කතා මිස එක්වුණු කතා නොවන බව ඔබ දන්නවා ඇති, එසේම ආදරය සදාකාලික වන්නේ එක් නොවුණහොත් බව සම්මත ප්‍රකට කියමනකි.

Oct 10, 2012

නොකියවූ Che සහ කියවූ Che



හරිත විප්ලවය පොත රාක්කයේ තිබුණත් හමුදාවෙන් හෝ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන දසවද දුන් කාලයක් තිබුණි. එම යුගයේ “චේ“ යනු ත්‍රස්තවාදියෙකි. ජනතාවගේ කෝණයෙන් ඒ කාලයේ සිටියේ “චේ ගුවේරා කල්ලිය“. ජනතාවට පිරභාහරන් සහ චේ ගුවේරා අතර වෙනසක් නොදැනුනි. ඒ මන්ද චේ දර්ශනය ලංකාවට රැගෙන ආ නියෝජිතයන් ලංකා මායිමේදී චේ කෙලසා දමා වෙන යමෙකුට පණදී තිබුණ බැවින්ය. නමුත් ලංකා සමාජයේ එවකට සිටි සීමිත පිරිසක් ලංකා මුහුදු සීමාවේ වැටෙන් එපිට ලෝකය පිලිබඳ අවබෝධයක් සහ දැනුමක් සහිතව සිටි අතර ඔවුන්ට චේ පිළිබඳව ස්වචින්තනයට අනුගත වූ අවබෝධයක් විය. එම නිසාවෙන් ඔවුන් “චේ“ දුටුවේ වෙනස් ආකාරයකටය, එසේම මෙරට පන්ති දේශපාලනයේ නිරතවූ පිරිස් “චේ“ දුටුවේ තම ගුරුවරයා කියූ ආකාරයටය. 

   එකල එහෙන් මෙහෙන් රහසේ හුවමාරු වූ පොත් සහ පත්‍රිකාවල “චේ“ ගේ  ඡායාරූප දුටු ඇතමෙක් දුටුවේ පිස්සෙක් වගේ රැවුලක් වවාගෙන මිලිටරි මාදිලියේ තොප්පියක් පැලඳගෙ, තඩි සුරුට්ටුවක්ද කටේ ගසාගෙන උජාරුවෙන් සිටින විදේශිකයෙක් ලෙසයි. මෙම සෑම ජන චින්තනයකටම පාහේ සාධාරණ හේතුවක් තිබුණි. නමුත් වර්තමාන  සමාජයට “චේ“ හැදෑරීමට වුවමනාවටත් වඩා සම්පත් පවතී. නමුත් එසේ සම්පත් තිබියදීත් “චේ“ දර්ශනයේ අල්පමාත්‍රයක්වත් මීට දශක දෙකකට තුනකට පෙර කාලයේ තරමටවත් හැදෑරීමට සහ අනුගමනයට සමාජය හුරුවී නැත්තේ ඇයිද යන්න විශාල ගැටළුවකි.

Sep 25, 2012

“නච්ච දා කව්“ - කාව්‍ය ගෙත්තම ඔබට..

සිංහල සාහිත්‍ය තුල බොහෝ කාව්‍ය කෘති බිහිවී ඇත. සිංහල සාහිත්‍ය යේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙණ කලිකාලසාහිත්‍ය,සර්වඥපණ්ඩිත සවැනි පැරකුම්බා රජ සමයේ නිර්මාණය වූ තරම් සාහිත්‍ය නිර්මාණ කවර කලෙකවත් මේ සිරිලක බිහිවී නැත. එසේම බෞද්ධ සාහිත්‍ය සහ ශිෂ්ටාචාරය යොදාගනිමින් සිංහල සාහිත්‍යය තුල බිහිවූ නිර්මාණද අදත් මහා වෘක්ෂ මෙන් අප අතර ශේෂව පවතී, සැළලිහිණි,පරවි,කෝකිල වැනි සඳැස් කාව්‍ය..කුස ජාතකය ඇසුරෙන් රචනා කල “කව්සිළුමිණ“ මෙන්ම සඳ කිඳුරු දා කව වැනි කාව්‍ය නිර්මාණ මෙකල්හිද නිර්මාණ කරුවන්ට අභියෝගවන මට්ටමට පවතී. තාක්ෂණය හෝ කිසිම සාධකයකින් දියුණු වූවත් අදටත් අපේ නිර්මාණ කරුවනට එම නිර්මාණ පරයා යමක් කල නොහැකි බව පිළිගත යුතුය.

  බෞද්ධ ඉතිහාසය පදනම් කරගෙන නිර්මාණයක් බිහිකිරීම වෙනුවෙන් කලක පටන් පැවති ආශාවක් ඉටුකරගනිමින් “නච්ච දා කව“ යන මෙම කාව්‍ය කෘතිය විද්‍යුත් ඊ- පුස්තකයක් ලෙස අද ඔබට මෙලෙස ගෞරවයෙන් පුදකරමි. “සබ්බ දානං ජිනාති ධම්ම දානං“ යන කියමනට අනුව සැම දානයකට වඩා උතුම් ධර්ම දානය පිරිනමනු වස් ජාතක කතා පොතේ එන “නච්ච ජාතකය“ පදනම් කරගෙන ලියන ලද කාව්‍ය කෘතියක් ලෙස මෙය ඔබට තිළිණ කරන්නෙමි.

Sep 21, 2012

“සඳ දුටු සඳ“ විඳින්නට එනු සබඳ..

“පේරාදෙණියේ ගස් ගල් පවා කිව සිතුවිලි උපද්දවද්දි ඒ පරිසරය තුලින් බිහිවුණු ඉරංගා තුලින් ඒ නිර්මාණාත්මක හැකියාව මතුවීම පුදුමයක් නෙවෙයි..“ මේ කතාව ඇහෙන්නේ මීට තෙවසරකට කලින්. ඒ ඉරංගා සචින්තිකා යද්දෙහිගේ නම්වූ සොඳුරු කවි චින්තනාධාරිණියගේ කුළුඳුලු පුස්තකය “බැඳි නොබැඳි බැවි“ දොරට වැඩමෙව් අවස්ථාවේ ප්‍රවීණ සාහිත්‍යධර රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ මුවින්. ඒ කතාව කොතරම් සත්‍යද යන්න එතන හිටපු බොහෝ දෙනෙක් හොඳින් දැනගෙන හිටියා. එයට දිගුවක් එක්වන මොහොතක..නැතිනම් වෛද්‍ය ඉරංගා සචින්තිකා යද්දෙහිගේ තමන්ගේ සාහිත්‍ය නිර්මාණ පොකුර තවත් සුගන්ධවත් මලකින් තර කරන මොහොතේ යමක් නොලියා ඉන්න හිත ඉඩදෙන්නේ නෑ. 

   “සඳ දුටු සඳ“ පොත ගැන ඉරංගා සහෝදරිය මුලින්ම මාත් එක්ක කතා කරන්නේ “බැඳි නොබැඳි බැමි“ පොත ප්‍රසිද්ධියට පත්කරලා මාස තුන හතරකට පස්සේ. පලමු පොත එලිදැක්වීමත් එක්ක හිතට දැනුණු සැබෑ සංතුෂ්ටිය සහ තෘප්තිමත්භාවය එක්ක ඇයට තවත් එයට එහා ගිය නිර්මාණයක් කරන්න කියලා දිරිගැන්වීම් අනන්තවත් ලැබුණා.. එහෙම ලැබුණු ආරාධනා අතරතුර දිනක් වෛද්‍ය ඉරංගා “සඳ දුටු සඳ“ කෘතිය වෙනුවෙන් කරපු පලමු නිර්මාණය තමන්ගේ හඬින්ම මගේ ඉදිරියේ ඉඳන් කියවපු වෙලාවේ මම කියපු එකම දේ “අනිවාර්යයෙන්ම අක්කේ මේ පොත ඔයාට කරන්නම වෙයි..මොකද නැත්නම් ඔයා හඳ දිහා බලාගෙන කරන මේ නිර්මාණ ටිකම දවසක ඔයාට කරදර කරාවි..“ මේ වචන ටික බොහොම කෙටි කාලයකින් යථාර්ථයක් වෙයි කියා නොහිතූ බවනම් සත්‍යයි. මොකද ඒ සමයේ කවි පොතක් මෙන්ම නවකතාවක් ද රචනය කරමින් හිටපු නිසාවෙන් ඒ දෙකෙන් කුමක් ඉස්සර වෙයිද යන්න මට හිතාගන්නට බැරිවුණු නිසා. නමුත් “සඳ දුටු සඳ“ ඉස්සර වෙලා.

Jul 28, 2012

අසාධ්‍ය ලෙඩාගේ අන්තිම ඉල්ලීම

කාලෙකට පස්සේ අහපු කතාවක රසය දෙන්න හිතුවේ ටිකක් ලේ පිරිසිදු කරගන්න එක්ක. මොකද මේ දවස්වල රටේ වාතාවරණය නිසාවෙන් ගොඩක් අය ඉන්නේ පිපිරි පිපිරි.ඉතින් කාලීන හා සමාජ මෙන්ම කලාව සම්බන්ධ ලිපිවලින් ටිකක් එපිටට ගිහින් සාමාන්‍යකරණීය කරපු කතාවක් ඉදිරිපත් කරන්න හිතුවේ ඒකයි. මේ කතාව සමහරවිට අහලත් ඇති, මගේ කණට ඇහුණෙත් ටිකක් කාලෙකට ඉස්සර. මෙන්න මේකයි කතාව. එක තරුණයෙක් හිටියලු බොහොම මහන්සියෙන් අලුත් රැකියාවක් එහෙම හොයාගෙන බොහොම ධෛර්ය සම්පන්නව මාසෙට ගාණක් හොයාගෙන  ජීවත් වෙන. ඉතිං දවසක් මේ තරුණයා කාර්යාලයේ වැඩකරගෙන හිටිද්දි දුරකතන ඇමතුමක් ආවලු තරුණයාගේ ගෙදරින්, ඒ පණිවුඩයෙන් කිව්වේ මේ තරුණයාගේ ලඟම ඥාතී කෙනෙක් වෙන මාමා කෙනෙක් අසාධ්‍යවෙලා රෝහලේ ඉන්නවා කියලත් ඒ මාමට මේ තරුණයා ඉක්මණින් මුණගැහෙන්න ඕන කියලත්. මේ පණිවුඩේට තරුණයා ටිකක් කලබල වුනා. මොකද මේ මාමා තරුණයට බොහොම ආදරෙන් සලකපු කෙනෙක්.කොහොම වුනත් තරුණයට මේ මාමාව බලන්න කාලෙකින් යන්නත් බැරිවෙලා තිබුණේ. අන්තිමට තරුණයා රෝහලේ මාමා ඉන්න කාමරේට ගියා.

  මාමා බලාගන්න හිටපු කීපදෙනා තරුණයා එක්ක කතා කරලා මේ තරුණයාට මාමව බලන්න ඉඩ දුන්නා.

“මේ දැනුත් අංකල් ඔයා ආවද කියලා ඇහුවා..“

Jul 21, 2012

ගී මිහිර - 4 වැනි වැඩසටහන ( සුමියුරුතම රේඩියෝ අත්දැකීම)


අද “ගී මිහිර“ වැඩසටහනේ 4 වැනි පියවර. බොහොමයක් දෙනාගේ අදහස් උදහස් මැදින් ගී මිහිර තව තවත් පෝෂණය වෙමින් ඉදිරියට ගමන් කරනවා. එසේම “ගී මිහිර“ වැඩසටහනට දැනට ඕස්ට්‍රේලියාවේ සිට විකාශය වන “තිසර“ ගුවන් විදුලි නාලිකාවෙන්ද ආරාධනයක් ලැබී ඇති අතර නුදුර දිනකදී “ගී මිහිර“ වැඩසටහන ලෝකය පුරා අන්තර්ජාලය මූලික කරගත් සිංහල ගුවන් විදුලි නාලිකා අතර ඉදිරියෙන්ම සිටින “තිසර“ ගුවන් විදුලිය හරහාද විකාශනය වනු ඇති.

  අද ගී මිහිර දිගහැරෙන්නේ බොලිවුඩ් සිනමාවෙන් මෙන්ම ජීවිත සිනමාවෙන්ද සමුගත් සැබෑ සුපිරි තරුව රාජේෂ් ඛන්නා ගේ ජීවිතය සහ ඔහු රංගනයෙන් දායක වු සොදුරු ගීත වල සිට සිංහල ගීතයට රසමීවිත සැපයූ මිල්ටන් මල්ලවාරච්චි ගායකයානන් දක්වාය. 

Jul 20, 2012

බුදුන් සිව්වෙනි වරටත් සිරිලක්දිව රිදීගමට වැඩමකල අසිරිය...

දිනය 2001 වර්ෂයේ මාර්තු 16 වැනිදාය. එදා ඇෆ්ගනිස්ථානයේ අන්තගාමී ත්‍රස්තවාදී තලේබාන් සංවිධානය සිය මුරණ්ඩු ප්‍රතිපත්ති නැවත වරක් ක්‍රියාත්මක කරමින් ඇෆ්ගනිස්ථානයේ ශේෂව පැවති ඉපැරණි ප්‍රධානතම බෞද්ධ උරුමය වූ “බාමියන්“ බුදු පිලිම විනාසකර දැමුවේ මුළු ලොවක් බලා සිටියදීය. එය නතර කර ගැනීමට කිසිඳු පාර්ශවයකට නොහැකිවිය.(එහි දිට්ඨධම්මවේදනීය කම්ම තත්කාලීනව ක්‍රියාත්මකවී ඇත) ලොව පුරා බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනකොට්ඨාශ පවා ඒ දෙස බලා සිටියේ මහත් ශෝකයෙන්ය. එදින ශ්‍රී ලංකාද්වීපයේ කුරුණෑගල පෙදෙසේ රිදීගම, රම්බඩගල්ල මොණරාගල විහාරයේ නායක හිමියන්වන එගොඩමුල්ලේ අමරමෝලී ස්වාමීන්ද්‍රයන් පවා ඒ දෙස බලාසිටියේ කළකිරුණු සිතිනි. නමුත් උන්වහන්සේ හිතට වෛරය ආරෝපණය කර නොගත්හ. සවස් භාගයේ රම්බඩගල්ල ගමේ දායකයන් මේ පිළිබඳ දැනගෙන ලොකු හාමුදුරවන් මුණගැහෙන්නට ආවේ වැඩිදුර මේ පිළිබඳ තතු දැනගැනීමටය. උන් වහන්සේ තමන් දන්නා පරිදි සිදුවීම ගමේ දායකයන්ට පහදාදුනි. ඒ අසාසිටි ගමේ පොඩි කොළුගැටයෙක් උන්වහන්සේට මෙසේ කීය..

Jul 19, 2012

සන්තාප මාවත...[කෙටි කතාව]

මම තකමස්තු නගරේ ගිනිගහන මද්දහන වෙලාවේ වුවත් නෙත් සිත දෙකම යොමු වුනේ කිලෝමීටර සීයකට නොවැඩි දුරින් පිහිටි තොකුෂිමා නගරය දිහාවට. ඒ නගරය කොතරම් සැමරුම් දරනවද අපි දෙන්නගේ. නක්හිරුගේ සොඳුරු ඇස්දෙක මුලින්ම දැක්කේ හිම වැටෙන කාලෙක සකුරා බලන්න තොකුෂිමාවේ පා ගමන් චාරිකාවේ යද්දි. තාමත් දස දහස් ගණන් දෙනා තොකුෂිමාවේ පාද චාරිකාවේ යෙදෙනවා ඇති සකුරා බලන්නට, ඒත් අපි දෙන්නගේ ඇස් මුණ ගැහේවිද ආයෙමත්. තකමස්තු නගරයේ  මහල් හතලිස්පහක ගොඩනැගිල්ලක  විසි දෙවනි මහලේ පුද්ගලික කාර්යාලය තුලින් පෙනෙන ඈත් ඉසව්ව දෙස බලාගෙන මොෂුරි කල්පනා කලා.

“ඔයා හිතන්නේ ජීවිතේ හරි සුන්දරයි කියලද?...ඒ සුන්දර බව මැද්දේ තියෙන කටුක බව මගේ ජීවිතය දවනවා..“

හරියටම දවස් කීපයකට කලින් අන්තිම වතාවට දුරකතන ඇමතුමක් දීපු නක්හිරු කතාකලේ ඉකිබිඳින වදනකින් නෙවෙයි. බොහොම ස්ථිරසාර කටහඬකින්.