Nov 5, 2011

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - දෙවන කොටස



වේගයෙන් පැමිණි ගානර්ගේ රථය විද්‍යා හා තාක්ෂණ සරසවියේ පිවිසුම් දොරකඩ ඉදිරිපිට නතර කෙරිණි. එවිට එහිවූයේ අති ප්‍රබල ආරක්ෂාවකි. ගානර් ගේ සිතතුල වූ ගැටළුවත් එයමයි. මෙතරම් ප්‍රබල ආරක්ෂාවක් තිබියදී කෙසේනම් මහාචාර්යවරයා ඝාතනය කලේද යන්නයි. මෙවන් සිදුවීමක් සිදුවීමට ඇති ඉඩකඩ සලකා බලමින් මෙහි ආරක්ෂක සැලසුම් නිර්මාණය කලේද ජෙෆ් ගානර්මය, එසේම මෙහිවූ සෑම ආරක්ෂක පියවරක් වෙනුවෙන්ම මූලික වගකීමක් තිබූ තැනැත්තා තමන්මය. පනස් දෙනෙක්ට ආසන්න පොලිස් කණ්ඩායමක් ආරක්ෂාවට යෙදවූවත් තමන්ට නියමිත වේලාවට මෙතැනට පැමිණීමට නොහැකිවීම ගැන ගානර් දැඩි සේ කණගාටුවිය.

ප්‍රධාන ද්වාරය අසලදී ගානර්ගේ රථය කලින්ම හදුනාගැනීමට හැකිවීම නිසාවෙන් කෙලින්ම ඔහුගේ රථය සරසවි භූමියට ඇතුල්කිරීමට හැකිවිය. ඒ වනවිටත් විශාල පොලිස් පරික්ෂකයන් පිරිසක් හා එෆ්.බී.අයි නියෝජිතයන් රැසක් එම ස්ථානයේ විය. අපරාධ ස්ථානයක් හඳුනාගැනීමේ පටි ඇද තිබූ අතර ගානර් එම ස්ථානයට ගියේ එම පටි අතරින් රිංගාය. එවිටම ගානර් දුටුවේ ලේ ගලාගොස් ඇති ස්ථානය හා එම ස්ථානයේ තිබූ සලකුණුය. ගානර්ට සිහිවූයේ මීට විනාඩි කීපයකට කලින් තමන් හා අති සුහද ලෙස කතාබස් කල මහාචාර්ය ඇලන් ඩෙවන්ස්ය. එම ගරු පුර්ෂයා දැන් මරු තුරුල්ලේය. එයට තමන්ද වගකිව යුතු බව ගානර්ගේ සිත කියන්නට විය.

... සර්..ඔබ දැන්ද ආවේ?..


ගානර් අසලට දිව ආවේ සහයක බොබ් ස්ටීවන් ය. ඔහුදෙස බැල්මක් හෙලූ ගානර් නැවතත් බැලුවේ වෙඩි වැදුනු ස්ථානය දෙසය.


..ඔව් ස්ටීවන්..ඔබ මේ වනවිට අරගෙන තිබෙන පියවර මොනවාද?..

..මම සහයක පොලිස් කණ්ඩායම් යොදවා අවට පරික්ෂා කලා නමුත් හඳුනාගත හැකි මට්ටමේ සුළු හෝ සාක්ෂියක් ලැබී නැහැ. ඒ වගේම ආසන්න සියළුම මුරපොලවල් දැනුවත් කලා පිටවන සියළු වාහන හා පුද්ගලයන් දැඩිලෙස පරික්ෂා කරන්න කියලා. ඒ වගේම මෙම ස්ථානයේ රැඳී හිටපු විද්‍යා හා තාක්ෂණ සංගමයේ නිලධාරීන් ආරක්ෂිත ලෙස ඔවුන්ගේ වාසස්ථානවලට පිටකලා...

තම සහයකයාගේ පියවර පිළිබඳ ගානර්ට සෑහීමකට පත්විය හැකිව තිබිණි. ගානර් තම කබා සාක්කුවෙන් එළියට ගත්තේ තම කුඩා සටහන් පොත හා පෑනයි. රාත්‍රීයේ සීතලට ඔරොත්තු දෙන අයුරින් ගානර් තම ශරීරය සකසාගෙන අසල තැනකින් වාඩිවී ස්ටීවන් ගෙන කරුණු සටහන් කරගන්නට විය.

...ස්ටීවන්..ඔබ හිතන විදියට මෙතන මොකද වුනේ...

..මම සහ මහාචාර්යතුමා පිවිසුම් ගොඩනැගිල්ලේ අසලට යද්දි එතුමන් සමග ආපු වාහනය තිබුණේ අඩි විස්සක පමණ දුරින්. ආරක්ෂකයන් දුසිමකට වඩා එතුමා  වටා සිටියා. පිවිසුම් ගොඩනැගිල්ලේ 

දොරකොඩ පෙනි පෙනී තිබියදී මගේ කණට නුහුරු ශබ්දයක් ඇසුනා. එය තමයි වෙඩි පහරවල්...එක්කෝ එම වෙඩි උණ්ඩ ආවේ ශබ්දය නැති කරන ලද තුවක්කුවකින්, නැත්නම් බොහොම දුරකින්...
ගානර් ස්ටීවන්ගේ කරුණු සටහන් කරගැනීමෙන් අනතුරුව තවත් මහාචාර්යවරයා අසලින්ම රැඳුනු ආරක්ෂකයින් කීප දෙනෙක්ගෙන්ම කරුණු සටහන් කරගත්හ. අවසානයේ ඔහු නැවතත් පැමිණියේ ස්ටීවන් ලඟටය.

.. සර් වෙඩි උණ්ඩ හා තුවාල පිළිබඳ වාර්තාව තවත් ටික වේලාවකින් ලැබේවි, ඒ වගේමයි අවට සෝදිසි කිරීම්වල ප්‍රතිඵල ගැනනම් සෑහීමකට පත්වෙන්න තරම් තොරතුරක් නෑ.

...ස්ටීවන් මම තව ස්වල්ප වේලාවකින් යනවා මෘත ශරීරාගාරයට හා මූලස්ථානයට.ඔබ මේ කීපදෙනෙක් සමගින් මම මේ පවරන කාර්යයන් කීපය කරන්න..

ගානර්ගේ ප්‍රකාශයත් සමගම අදාල කාරණා කීපය ලියාගැනීමට ස්ටීවන් තම සටහන් පොත පිටතට ගත්හ.

...කියන්න සර්...

..මම කියන දේවල් ලියානොගත්තට කමක් නෑ ඒත් ඔළුවේ තියාගෙන අකුරටම ඉටුකිරීම ඔබේ කාර්යභාරයයි..මුලින්ම කීපදෙනෙක් සමග ගොස් අවට ගොඩනැගිලි හා ගස් වගේම ඒවායේ පිහිටීම විශේෂ ලක්ෂණ වැනිදේ සටහන් කරගන්න, එසේම අවට නිවාස හෝ විශේෂිත ස්ථානයක් තිබේනම් එය පිළිබඳවත් සලකා බලන්න..මට එම සියළු තොරතුරු අවශ්‍යයි. ඒවත් අරගෙන මූලස්ථානයේදී මාව මුණ ගැහෙන්න...
..හොඳයි සර්..

****************************************************

ස්ටීවන් එෆ්.බී.අයි මූලස්ථානය වෙත එනවිට රාත්‍රී 11 පමණ වී තිබිණි.නිදිවර්ජිතව රාජකාරීවල නිරතවෙන සගයන් සියළු දෙනාම කැලඹීමට පත්ව සිටියේ මහාචාර්ය ඩෙවන්ස්ගේ අද්භූතජනක මරණයෙන්ය. සගයන් සියළු දෙනාම ස්ටීවන්ගෙන් විමසා සිටියේ සිදුවීමේ වර්තමාන තත්වය පිළිබඳවය. මේ පිළිබඳව මාධ්‍ය මේ වනවිටත් ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබිණි. ආරක්ෂක ලේකම්වරයා මේ පිළිබඳ මාධ්‍ය හා ජනතාව දැනුවත් කිරීමකට සූදානම් වන බවද දැනගන්නට ලැබිණි.


ස්ටීවන් ඇතුල්වූයේ ගානර් ගේ කාමරයටය. තම කබාය ඉවත්කරගෙන පුටුව මත ඇදවැටී රූපවාහිනිය දෙස නෙත් යොමාගෙන සිටින ගානර් නම්වූ සුවිශේෂී අපරාධ පරීක්ෂකවරයා අද මුළුමුණින්ම අඩපණව වැටී සිටින ආකාරය ස්ටීවන්ට වහා තේරුම්ගත හැකිවිය.


ස්ටීවන් දුටුවිට අසුනෙන් මදක් කෙලින් වූ ගානර් රූපවාහිනිය දෙසින් නෙත නොගෙනම අතින් සංඥා කලේ  ස්ටීවන්ට අසල අසුනේ වාඩිවන ලෙසයි. ස්ටිවන් අතවූ ලිපිගොනු කීපයද මේසය මත තබා රූපවාහිනිය දෙසට අවධානය යොමුකලහ. එම අවස්ථාවේ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්ය ඩෙවන්ස්ගේ මරණය පිළිබඳ දැනුම්දිම සිදුකරමින් සිටී.

... මහාචාර්ය වරයාගේ මියයාම සම්බන්ධ පරීක්ෂණ අපි කඩිනමින් සිදුකරනවා. මේ අපරාධයට හවුල්වූ පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් අල්ලා ගැනීමට සියලුම ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මේ අවස්ථාවේ කිසිඳු පාර්ශවයක් කලබල නොවන ලෙසත් මේ සිදුවීමට අදාල සියලු තොරතුරු කඩිනමින් දැනුම්දීමත් සිදු කෙරෙනු ඇති...

ප්‍රකාශය අවසන් කරමින් ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කලහ.

..මෙතරම් ආරක්ෂාවක් යොදලා තිබුණු තැනක රටේ ප්‍රභූවරයෙක් මෙහෙම මරලා දානවනම් බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව ගැන පොලීසිය පුරාජේරු දොඩවන්නේ කොහොමද? මේකෙන් පේන එකම දේ තවදුරටත් බ්‍රිතාන්‍යය ආරක්ෂිත රාජ්‍යයක් නෙවෙයි...

ඒ මොහොතේම නැගීසිටි මාධ්‍යවේදියෙක් සෘජු ප්‍රශ්නයක් ඉදිරිපත් කලේ ආරක්ෂක අමාත්‍යවරයා දැඩි අපහසුතාවයකට පත්කරමින්ය.

... ඔව් අපි පිළිගන්නවා එතන ආරක්ෂාවේ යම් අඩුපාඩුවක් වුනා කියලා.නමුත් මෙම අපරාධය බොහොම සූක්ෂම හා සැලසුම් සහගත ලෙස කරන ලද්දක්. නමුත් මේක කඩිනමින් විසඳගන්න සියළු කටයුතු කරමින් පවතිනවා..

ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රශ්නයෙන් ගැලවීමට ලබාදුන් පිළිතුරෙන් මාධ්‍යවේදීන් සෑහිමකට පත්නොවූ අතර ඔවුන් විවිධ මත ඉදිරිපත් කරද්දී අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියහ. දුරස්ථ පාලකය අතට ගත් ගානර් රූපවාහිනිය නිවා දැමීය. නෙත් දෙක ඒ මතම තබාගෙන විනාඩි කීපයක් කල්පනාවේ යෙදුනි. අවසානයේ ඔහු ස්ටීවන් දෙසට හැරුණි.

... කොහොමද මම පවරපු වැඩ රාජකාරි ටික?..

..ඒ විදියටම සිදුකලා සර්..

.. ඔබ දන්නවද ස්ටීවන් මම ගියා මෘත ශරීරාගාරයට හා රෝහලට මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මහාචාර්ය තුමා මියගොස් තිබෙන්නේ හිස හරහා මොළය විනිවිද ගියපු උණ්ඩ දෙකකින් හා ගෙල හරහා ගියපු උණ්ඩයක් හේතුවෙන්..මේ උණ්ඩ තුනම එකම තුවක්කුවකින් එකම ස්ථානය ඉඳන් තියපු පහරවලා තුනක්...එම උණ්ඩ ගැන කතාකරනවනම් ඉතාකුඩා වර්ගයේ ස්නයිපර් උණ්ඩ..නමුත් එය එතරම් දුර සිට 
වෙඩි තැබිය හැකි මට්ටමේ ස්නයිපර් වර්ගයක් නොවෙයි. ස්නයිපර් තුවක්කු වලින් වෙඩි තැබීම සඳහා පුහුණුවීම වලදී භාවිතා කරන මට්ටමේ ස්නයිපර් එකක්..බොහෝවිට මේවා අපරාධයක් සඳහා යොදවාගන්නවනම් යොදාගන්නේ කෙටිදුරක සිට වෙඩි තැබීමටයි.

..එතකොට ඔබ කියන්නේ මෙම වෙඩි තැබීම කරලා තියෙන්නේ ලඟ සිට කියලද?..

ස්ටීවන් බොහොම උනන්දුවෙන් ගානර්ගෙන ප්‍රශ්න ඇසීය.

.. ලගින් කියන කොට අපිට ඉතාම ලඟින් කියන කාරණය අතඅරින්න වෙනවා ස්ටීවන්. මොකද ආසන්නව පොලිස් නිලධාරීන් සන්නද්ධව ආරක්ෂාව දී තිබුණු නිසා. මේ වාර්තාවලට අනුව උපරිම වශයෙන් මීටර සීයත් එකසිය පනහත් අතර දුරක සිට තමයි වෙඩි තැබීම කරලා තියෙන්නේ...

මෙම ප්‍රකාශයත් සමගම ස්ටීවන්ගේ මුවින් විශ්මය පලවන ආකාරයේ ශබ්දයක් නිකුත්විය.

... සර් අපි අසල සියලුම ගොඩනැගිලි හා ස්ථාන පරික්ෂා කරා. සිද්ධිය වුන ස්ථානයට බටහිර දිසාවෙන් හා නිරිත දශාව අපිට අමතක කරන්න වෙනවා සරසවියේ ගොඩනැගිලි නිසාවෙන්..ඊට පස්සේ වයඹ දිශාවෙන් දිගටම වගුරු බිම..මීටර් අටසීයක් දුරින් බැරිංටන් උද්‍යාන ගොඩනැගිල්ල නමුත් එයට සරසවියේ වහල පේන්නෙත් යන්තමට..ඊළගට උතුරු පැත්තෙන් නිවාස කීපයක් තිබෙනවා සියල්ල තනි තට්ටුවේ  ඒ වගේම සියල්ලම පිහිටලා තියෙන්නේ මීටර් පන්සීයකට වඩා දුරින්..ඊසාන දිග පැත්තෙන් තියෙන්නේ නිවාස සංකීර්ණය එය තට්ටු කිපයකින් සමන්විතයි..අපි එයත් පරික්ෂාකලා සැක කටයුතු යමක් හෝ තොරතුරක් ලැබුණෙ නෑ..එය පිහිටලා තිබෙන්නෙත් මීටර් පන්සීයක් පමණ දුරින් නැගෙනහිර පැත්තෙන් හා ගිණිකොණ පැත්තෙන් විවෘත භූමිය හා සරසවියට  ප්‍රවේශ මාර්ගය..එය එලිමහන් භූමිය..ඒ වගේම ඉතිරිවෙන්නේ දකුණු පැත්ත ඒ පැත්ත තනිකර ගණ කටුපඳුරු සහිත කැලෑව..මේ හැම පැත්තටම ඉතා  ඉහල ආරක්ෂාවක් යොදවලා තිබුණා.
.
..එතකොට ඔබ කියන්නේ මීටර සීය හා එකසිය පනහ  කියන දුරකින් වෙඩි පහර එල්ල කරන්න පුළුවන් කිසිම තැනක් නෑ කියලද?..

..ඔව් සර් බොහෝ විට නැහැ..

..එතකොට ස්ටීවන් සරසවියේ තාප්පය අඩි අටක් උසයි එය මත තිබෙන ආරක්ෂිත වැට අඩි දහයකට වඩා උසයි තාප්පයෙන් මෙපිට සිටි අයෙක් වෙඩි තැබුවානම් එය සගවන්න අමාරුයි..එම නිසා උණ්ඩ පැමිණිය යුත්තේ එළියෙන්..ඒත් ඔබ කියන විධියට මීටර දෙසීය සීමාවේ එලෙස ඉහල සිට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කල හැකි තැනක් නෑ...

..ඔව් සර්.. වැටට එපිටින් තිබෙන්නේ විලෝ ගස්..අතරින් පතර හැදුනු..ඒත් එවායේ මත නැග සිට කෙනෙක්ට වෙඩි තබන්න අපහසුයි..ඒ වගේම එය එසේ වූවානම් කව්රුහරි ආරක්ෂකයෙක් එය දකිනවා..

..ඒ කියන්නේ එතකොට උණ්ඩ තුනක් ආවේ අහසින්ද?..නැත්නම් මහචාර්යතුමා තමන්ටම වෙඩි තියාගත්තද? මොන මගුලක්ද මෙතන වෙලා තියෙන්නේ?..

මෙහි සංකීර්ණත්වය දැනුනු විට ජෙෆ් ගානර් නැමති සුපිරි අපරාධ පරීක්ෂකයාට පවා කෑගැසිණි.

.. සර් මෙතන මොකක් හෝ නොගැලපෙන දෙයක් තිබෙනවා..

ගානර් ස්ටීවන් දෙස බැලූ බැල්මෙන්  එය අනුමත කලා වැනි විය.

..ඔව් ස්ටීවන් මෙතන මොකක්හෝ වරදක් වෙලා තියනවා අපේ ඇස්වලින් පිට..ඒත් දෙයියනේ ඒක මොකක්ද කියලා හොයන එක ලේසි නෑ වගේ....

෴ ස්නයිපර් ප්‍රහාරය පැමිණියේ කොහිසිටද? රහස් පරීක්ෂකයන් එය සෙවීමට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?.. තුන්වැනි කොටස මෙතැනින්෴






10 comments:

  1. මේක ගෙස් කරනවට තෑගි දෙන්නේ නැද්ද....
    මට නම් හිතෙන්නෙම මෙ වෙඩික්කරුව ඉන්ට ඇත්තේ සරසවි ගොඩනැගිල්ලෙමයි...

    ReplyDelete
  2. හරිම කුතුහලය අවුස්සන සුළුයි.. ඉක්මනටම ඉතිරි කොටසුත් දාන්න..

    ReplyDelete
  3. දෙයි හාංදුරුවනේ ....කව්ද වෙඩි තිබ්බේ කොහේ ඉඳලද වෙඩි තිබ්බේ...
    මේක එන්ට එන්ටම රසවත් ,සංකීර්ණ වෙනවනේ...
    මං නම් මේකට පස්ට ආසයි..කොහොමත් මං රහස් පරීක්ෂක කතා වලට ආසයි....
    ඉක්මනට අනික දානවනං මම බොහෝ මනාපයි.....
    නරකද මේක සීරීස් එකක් කරොත්....
    ගානර් හා ස්ටීවන් මේන් කැ‍රැක්ටර් කරලා....
    අදහසක් පමණි...

    ReplyDelete
  4. @ගයාන් - බොහොම ස්තූතියි සහෝදරයා

    @ගලයා - ස්තූතීයි මලයා, හොඳ අදහසක්.ඇත්තටම මලයා කිව්වට පස්සේ තමයි මටත් ඒක මීටර් වුනේ..බලමුකෝ ඉස්සරහට. කස්ටියට මේක අල්ලලා ගියොත් එහෙම කරනවා.

    ReplyDelete
  5. එළ එළ! වෙනස් විදියක කතාවක්! මම කිව්වෙ, මොලේට කතාකරන,

    වතුවල මල් ගස් වටේ දුවන, බූට් මතක් කරකර කඳුලු බොන සාහිත්‍යයෙන් ඔබ්බෙහි වූ කතාවක්!

    සුභ පතනව! :)

    ReplyDelete
  6. මගෙත් අදහස වුනේ රාමුවෙන් පිට වෙනස් දෙයක් ලියන්න. ගොඩක් ස්තූතියි යාළුවා..

    ReplyDelete
  7. @ තනි අලියා :
    ආදර කථා බොළඳ වුනත් ඒවයෙත් වීරයෝ ඉන්නවා. ආදරේ වගේම ජීවිතේ ඉස්සරහට එන අභියෝග වලටත් මුහුණ දෙන්න ඕනේ මොලෙන්... එහෙම ගේම ගහන එකාත් වීරයෙක් තමා !!!

    @ ජනරඟ :
    කථාව සෑහෙන්න ඉන්ටරෙස්ට් වෙනවනේ සහෝ... නියමයි නියමයි... මමත් ආසම කථාව කියවද්දී පාඨකයාටත් හිතන්න ඉඩ තියෙන කථා වලට තමා... බලමු අපිත් සපෝට් එකක් දෙන්නම් ගානර්ට !!!

    පරක්කු නිසා මමත් බැලුවේ හිරවෙලාද කියලා... නතර කරන්න නම් එපා හරී !!! පරක්කු වෙලා හරි දිගටම ලියමු... ජයවේවා !!!

    ReplyDelete
  8. අප්පේ ශර්ලොක් හෝම්ස්ව ගෙන්නන්න වෙනවා වගේ. නියම කතාව මල්ලි.මං කොහොමත් රහස් පරීක්ෂක කතා වලට ආසයි.

    ReplyDelete
  9. @චතුරංග - බොහොම ස්තූතියි සහෝදරයා. කතාව ටිකක් වෙනස් මාර්ගයකට තමයි යොමුවෙන්නේ..තාමත් කට්ටියට හිතන්න නිදහස තියනවා..

    @නිසුපා - ස්තූතියි අක්කණ්ඩි. ෂර්ලෝක් හෝම්ස් යනු මා ජීවිතයේ ආසාවෙන්ම හා වැඩිම වරක් කියවූ පොත් මාලාවයි

    ReplyDelete
  10. නියමයි. වෙනස්ම ආකාරයක කතාවක්.හරිම ලස්සනට ගලාගන යනවා.කියවන්න කියවන්න ආසයි.
    අවුලක් නැත්තං මට හිතෙන පුංචි පහේ කේස් එකක් කියන්නද?

    පළමු කොටසේ තියනවා මෙහෙම
    “එය රහසක් වන්නේ එංගලන්තයේ රජයට හෝ විද්‍යා හා තාක්ෂණ සංගමයේ බල අධිකාරියට නොවේ, එය රහසක් වන්නේ එංගලන්තය, වේල්සය හා අයර්ලන්ත වැසියන්ට පමණි. අනෙක් ලෝකවාසීන් මේ පිළිබඳ අල්පමාත්‍ර තොරතුරක් නොදනී.“

    දෙවනි කොටසේ තියනවා මෙහෙම
    “ස්ටීවන් එෆ්.බී.අයි මූලස්ථානය වෙත එනවිට රාත්‍රී 11 පමණ වී තිබිණි.“

    බ්‍රිතාන්‍ය විතරක් දන්නා දේකට බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය MI6 සම්බන්ධ නොවී ඇමරිකානු FBI එක සම්බන්ධ වුනේ ඇයි කියන එක මට පුංචි ගැටලුවක් ආවා...

    ReplyDelete