Apr 6, 2012

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය“ රටේ අවශ්‍යතාවයක්ද?

     අපේ රටට අවශ්‍යය ඇත්ත වශයෙන්ම දේශපාලන පක්ෂයද? නැතිනම් සමාජ ව්‍යාපාරද? පොදුවේ පිලිගැනීම අනුව වර්තමානයේ හතු පිපෙන්නාක්සේ බිහිවෙන පක්ෂ විනා සෘජු හා ජනමූල සමාජ ව්‍යාපාර බිහිවීම විරල සිදුවීමක් වී ඇත. එබැවින්ම සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව දැඩිව දැනෙන අවධියක සමාජ ව්‍යාපාරයක් වෙනුවට තවත් එක් පක්ෂයක් බිහිවීම එක්තරා සිදුවීමක් පමණක් තත්වයට ඇද වැටීම වැලැක්විය නොහැක්කකි. එසේනම් “පෙරටුගාමී සමාජවාදී පක්ෂය“ යුගයේ අවශ්‍යතාව හඳුනානොගත් විකල්පයක් බව කිව යුතුය. මෙහිදී ශ්‍රී ලංකාව වැනි බහු වාර්ගික,බහු ආගමික හා බහු පාක්ෂික නාමික සමාජවාදී රාජ්‍යයකට වඩාත් උචිත වන්නේ ධනේෂ්වර ක්‍රමය උද්දීපනය කරමින් ක්‍රියාත්මක වන පක්ෂ ක්‍රමයක්ද? නැතහොත් සමාජයීය ප්‍රතිසංශෝධනයකට පාර කියන සමාජ ව්‍යාපාරයක්ද යන සමාජ යථාර්ථය වටහා ගැනීම වඩාත් වැදගත් වේ.


     උදාහරණ ලෙස ඉන්දියානු ජාතික ව්‍යාපාරය ගෙන බලන කල්හි බහු වාර්ගික බමුණ කුල පවා දැඩි ලෙස භාරතීය සමගිය බිඳදැමූ මොහොතක ජාතික ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වී වැටෙන්නට ගිය ජාතික සෛවරිත්වය නැවත ඔසවා තැබුවේ එයයි. ලංකා ජාතික සංගමයට එය කල හැකි නොවූයේ එය ජාතික ව්‍යාපාරයකට වඩා සර්ව පාක්ෂික පක්ෂයක් බවට ලක්ෂණ පෙන්වීම හේතුවෙනි. කෙසේ වෙතත් පක්ෂයකින් කල හැකි දෙයට වඩා පුළුල් මෙන්ම ස්ථිරසාර වෙනසක් සිදු කිරීමට ජාතික ව්‍යාපාරයකට හැකියාව ඇත. ජාතික ව්‍යාපාරයක් ලෙසින් පැටි අවදියෙන් ක්‍රියාත්මක වෙමින් තිබූ බොහෝ ව්‍යාපාර පක්ෂ බවට පත්වීමත් සමග මහජන විශ්වාසය බිඳවැටී ඔවුන් ධනේෂ්වර හෝ ලිබරල්වාදී මූල දේශපාලන පක්ෂ බවට ජනමතය ගොඩ නැගී කඩා වැටුනු අවස්ථා අනන්තය.

   එසේනම් ජනතා විමුක්ති පෙරමුණ නැමති ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාස කතාවේ වාමවාදීව වෙනස්ම මගකට පොදුජන විඥානය ගෙන ගිය පක්ෂයක ඇදවැටීමත් සමග එහි විකල්ප මතදාරීව බිහිවුණ “ජන අරගල ව්‍යාපාරය“ පක්ෂයක් බවට පත්වීමත් සමග එය පොදු කුලකයට වැටීම වැලැක්විය නොහැක. නමුත් ආකල්පමය සංශෝධනයකින් තොරව පාර්ලිමෙන්තුවේ අසුනක් දෙකක් ගෙන වාද හරඹ කරමින් මේ රටේ විකල්ප මතයක් ගොඩ නැගිය හැකියයි කිසිවෙක් තර්ක කරන්නේනම් ජනතා විමුක්ති පෙරමුණට දශක තුනක් තිස්සේ කලහැකි නොවූ දෙය පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියනාතරම් ඉක්මණින් කරන්නේ කෙසේද යන්න සැබෑ ව්‍යාකූල සැලැස්මකි. 

    මේ රටේ ජනතාවගේ මතය වී තිබෙන පක්ෂ පාට සංකල්පය අතුගෑවී යන වටපිටාවක් නැති හෙයින් ජන අරගල කණ්ඩායම ඒ මතයටම අනුවර්තනය වූවා යන්න සැබෑ කෝණයකින් බැලූ කල්හි පෙනෙන සත්‍යය වේ. නමුත් රටට ජාතික ව්‍යාපාරයක් අවශ්‍ය මොහොතක අතීතයේ ඉන්දීය ව්‍යාප්තවාදහ හා බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව ජවිපෙ නැගිට්ටාක් මෙන් පියවරෙන් පියවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නැගිටින්නට තිබුණි. එහෙත් දැන් පක්ෂය අරඹා අවසන්ය. එසේනම් කල යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට වැරදුණු තැන හඳුනාගෙන රටට වැරදුනු තැනත් හඳුනා ගැනීමයි. නොඑසේනම් පෙරටුගාමී සමාජවාදී පෙරමුණත් තවත් එක් බෝඩ් ලෑල්ලක් පමණක් බවට පත්වනු ඇත.

1 comment:

  1. ඔය පටන් ගන්නත් කලින් දෙන්නෙක් අතුරුදන් වෙලා කියල කියන්නේ. අනේ මන්දා මේ කස්ටියගේ දේශපාලන රග මඩල දිහා ප්‍රේක්ෂකක් ලෙස බලා ඉදිනවා ඇරෙන්න ඔය ගැන හොයන්න මට නම් වෙලාවක් නෑ

    ReplyDelete