May 12, 2012

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - අවසන් දිගහැරුම

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා කතාව ටිකක් නෙවෙයි ගොඩක් ප්‍රමාදවීම ගැන. ඒත් අවසන් කොටස කියවනකොට මුල ටික අමතක නම් ඉඩක් තියන වෙලාවක මුල් ටිකත් එක්කම කියවන්න අවස්ථාව ඔබට තියනවා.

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8


සියල්ල අවසන් වෙමින් පැවතිනි. පොලිස් මූලස්ථානය තුල ජයග්‍රාහී මුහුණවරකින් සියල්ල සිදුවෙමින් තිබිණි. සමස්ත බ්‍රිතාන්‍යයටම අපවාදයක් සහ නින්දාවක් වන්නට තිබූ අපරාධයක සැඟවීයාම වලක්වන්නට ස්කොට්ලන්ඩ්යාඩ් නිලධාරීන්ට හැකිවීම සුවිශේෂී දෙයක්ම විය. මහචාර්ය ඩෙවන්ස් යන බුද්ධිමය සම්පත කුමක් හෝ හේතුවක් මත අහිමිකිරීම හා එයට පසුබිම්වූ හේතු සෙවීමට පොලිස් පරීක්ෂක ගානර් ඇතුලු පිරිස විඳි  අපමණ ගැහැට අග සාර්ථකත්වයේ මල්ඵල නෙලාගන්නට ඔවුන්ට හැකිවී ඇත.

    අපරාධයට සම්බන්ධ ප්‍රධාන පුරුක ලෙස විද්‍යා හා තාක්ෂණ සංගමයේ ආරම්භක සාමාජිකයෙක් වූ මහාචාර්ය කොන්ටෝ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්නකිරීම් සිදුකිරීමට රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබිණි. එසේම විවිධ මානයන් ඔස්සේ තවත් පුද්ගලයන් කීපදෙනෙක්ම සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. අදිසි වෙඩික්කරු ලෙස හඳුනාගත් ඒ සූක්ෂම නිර්මාණය ස්කොට්ලන්ඩ්යාඩ් මූලස්ථානයේ පරීක්ෂණ සඳහා භාවිතාකරන මැදිරියේ මේසය මත තබා තිබිණි.


   එම සූක්ෂම නිර්මාණය තබා තිබූ මැදිරියට පුද්ගලයන් තිදෙනෙක් පැමිණියහ.ප්‍රීතිමත් වදන් හා තර්ක විතර්ක ඔවුන් අතර හුවමාරුවිය. ඔවුන් අන්කවුරුන්වත් නොව අති විශේෂ මෙහෙයුමක් මගින් බුද්ධිමය සටනක් කර සැඟවෙන්නට ගිය අපරාධය හෙලිකරගත් පුද්ගලයන් කණ්ඩායම විය. පොලිස් පරීක්ෂක ජෙෆ් ගානර් මෙන්ම ස්ටීවන්ස් හා මැක් එහි විය. ශක්ති ජනක පානයක් පානය කරමින් ඔවුන් තිදෙනා මැදිරියට පිවිස නතරවුනේ අදිසි ප්‍රහාරක හෙලිකොප්ටරය අසලය. ගානර් ඇසිපිය නොහෙලා මේ සූක්ෂම නිර්මාණය දෙස බලන්නට විය.

“ මැක්..... අතිදක්ෂ හා අසාමන්‍යගනයේ බුද්ධියක් හා නිර්මාණශීලිත්වයක් හොඳ පරමාර්ථයෙන් යොදාගත්තොත් එයින් ජාතියටම සම්පතක් වෙන නිර්මාන බිහිකරන්න පුළුවන් වගේම එයම නරක පැත්තට මෙහෙයවන්නට සිතක් පහලවුවහොත් එය කොතරම් බියජනකද“

ගානර් හෙලිකොප්ටරය දෙස බලාගත්වනම පැවසීය.

“පැහැදිලිවම සර්...මහාචාර්ය කොන්ටෝ නිර්මාණය කරලා තියෙන්නේ අගය කල යුතු සහ සම්මාන පිදිය යුතු නිර්මානයක් නමුත් අවාසනාවට එය යොදාගෙන තියෙන්නේ නරක පරමාර්ථයකට වීම තමයි කරුමේ“

මැක් පැවසුවේ තම බීම වීදුරුව එක හුස්මට අවසන් කරමින්ය. නැවතත් ගානර් හඬ අවදිකලහ.

“මේ පරීක්ෂණය කියන්නේ මගේ ජීවිතේ සුවිශේෂී පරීක්ෂණයක්..මෙහිදී රටේ කීර්තිය වගේම මගේ වෘත්තීය ජීවිතෙත් පරදුවට තියන්න මට සිදුවුනා..දශමයක් එහෙ මෙහෙ වුනානම් ලොකු අමාරුවක වැටෙන්න ඉඩ තිබුණා“

“සර්...පැහැදිලි කතාව සම්පූර්ණයෙන්ම අහන්න අපි සූදානමින්...“

ස්ටීවන්ස් ගේ කතාවට ගානර් මදක් සිනාසුනි. අනතුරුව කතාවට මුල පුරන්න විය.

“...ඇත්තටම මහාචාර්ය ඩෙවන්ස් ඝාතනයට එක පැත්තකින් මමත් වගකියන්න ඕන...මොකද මට පුද්ගලිකවම එදා සරසවි භූමියට ගිහින් එහි ආරක්ෂක තත්වය මෙහෙයවන්න බැරිවුනා..එහෙත් මේ සිදුවුනු දේ වලක්වන්න කවදාවත් හැකිවෙන්නේ නෑ මම එතන හිටියත්...මොකද මහාචාර්ය කොන්ටෝ එතනදි ඉතා සූක්ෂමයි.... 

පරීක්ෂණයේ මුලම භාගයේදී මට තිබුණු ලොකුම ප්‍රශ්නය වුනේ මහාචාර්යවරයාගේ ඝාතනයත් එක්ක මමත් කම්පනයට පත්වී සිටීමයි. ඒ හේතුවෙන් පරීක්ෂණයේ මුලම භාගය සාර්ථක කරගන්නට එතරම් ඉඩක් ලැබුනේ නෑ...නමුත් අපරාධය සිදුවූ ආකාරය අනුව මට හැඟී ගියපු ප්‍රධානතම කාරණය තමයි මෙම අභිරහස් ඝාතනය සිතාමතා මෙන්ම අතිශ්‍යයින්ම සැලසුම් සහගතව කරපු එකක් කියලා.

අපරාධයෙන් පසුව මුලින්ම සරසවි භූමියට ගියපු වෙලාවේ ලැබුණු සාක්ෂි හා උපකල්පනයන්ට අනුව අපිට වෙඩි තැබූ තුවක්කුව හා උස ප්‍රමාණය නිර්ණය කරගන්න හැකිවුනත් එය අසාමාන්‍ය ගනයේ ස්ථානගතවීමක් ලෙස පෙනෙන්නට තිබුණා..ඒක නිසා මම උපකල්පනය කලා මෙයට අසාමාන්‍ය ගනයේ උපක්‍රමයක් දායක වෙන්න ඇති කියලා...

ඊලඟට සොයා බැලුවේ මහාචාර්ය වරයාට තිබුණු තර්ජන...මහාචාර්ය තුමා බොහොම පාඩුවේ දිවි ගෙවපු කෙනෙක්.ඒ නිසා බොහොම තර්ජන අඩුව තිබුණත් විද්‍යා හා තාක්ෂණ සංගමේ පරණ කුනුකන්දල් ගොඩක් අවුස්සපු නිසා විශාල ජාවාරමක් හෙලිදරව් වීමේ සිද්ධියට රටේ බුද්ධිමත් වුනත් දාමරික මහාචාර්යවරුන් හා ව්‍යාපාරිකයන් පිරිසක් ඒ වනවිටත් නිශ්ශබ්දවම මහාචාර්ය ඩෙවන්ස්ට එරෙහිවෙලා තිබුණා..නමුත් අවාසනාවකට මෙන්ම වාසනාකවට මහාචාර්යතුමා මරණයට කලින් දවසේ තම මිත්‍රයා රූඩි මෙන්ඩල් සමග ඇතිවුණු ආරවුල නිසා මෙහි සැකය ඔහුවෙත යොමුවුනා...එයම වාසියක් කරන්න හැකිවුනා“


“වාසියක් කරගන්න....?“

ස්ටීවන්ස් විමතිය පලකලහ.

“ඔව් ස්ටීව්..මුල ඉදලම මම දැනගෙන හිටියා කවදාවත් මැන්ඩල් මහාචාර්ය තුමා මරන්න පෙලඹෙන්නේ නෑ කියලා..මැන්ඩල්ගේ ව්‍යාපාරවල පොඩි පොඩි හොරවැඩ තිබුණත් ඒවා ජාත්‍යන්තර අපරාධ නෙවෙයි...නමුත් මම සෘජුව ඔහුට චෝදනා කරමින් ඔහුව අපහසුතාවයට පත්කරනකොට මාධ්‍ය අවධානය මෙන්ම සමස්ථ රටේම අවධානය මැන්ඩල් දිහාවට යොමුවුනා...මම ඒ ගැන මැන්ඩල්ට කණගාටුව ප්‍රකාශකල යුතුයි...මගේ උගුලට යොදාගත්තු අහිංසක ඇම තමයි මැන්ඩල්...ඔහුගේ දිහාවට සැකය යොමුවුනු නිසා අපරාධයෙන් පසුව නිශ්ක්‍රීය වෙලා හිටපු අපරාධකරුවන් නැවත නිදැල්ලේ හැසිරෙන්න වුනා..ඔවුන් විතරක් නෙවෙයි රටේම අවදානයට ලක්වෙලා මැන්ඩල් පිස්සු නටද්දි මගේ අවධානය යොමු වුනෙත් නිදැල්ලේ හැසිරෙන අපරාධකරුවන් වෙත..

විශේෂයෙන්ම නරක ඉතිහාසයක් තිබුණ මහාචාර්යවරුන් ගැන මම අවධානයෙන් සිටියා.එහිදී විද්‍යා හා තාක්ෂණ සංගමයට සම්බන්ධ කියන කුලකය තුල මගේ අවධානය වැඩි කලා..එහිදී අවදානය වැඩි පුරම යොමුවුනේ මහාචාර්ය රින්ඩ්ස්, බින්ස් හා කොන්ටෝ දිහාවට..මොකද ඔවුන් විද්‍යා හා තාක්ෂණ සංගමයෙන් ඉවත්වෙලා තිබුණෙත් විවිධ චෝදනා නිසා...සමහර විට මහාචාර්ය ඩෙවන්ස් මැරෙන්න මොහොතකට කලින් මට කතාකරලා එන්න කිව්වෙත් මේ ගැන කියන්නම තමයි..නමුත් එතනදි මම අවාසනාවන්ත වුනා..

අපේ බුද්ධිමත් මහාචාර්යවරුන් මැන්ඩෙල්ගේ මාධ්‍ය ප්‍රකාශයට බිය වන්නට හේතු කීපයක් තිබුණා..ඒ තමයි මහාචාර්ය ඩෙවන්ස් මැරෙන්න කලින් තමන්ගේ හොදම මිතුරට මේ සේරම රහස් කියා ඇතිද නොදන්නා කම..එවිට තමයි ඔවුන්ට තේරුනේ මහාචාර්ය තුමා විතරක් ඝාතනය කරලා වැඩක් නෑ ඔහුගේ මිත්‍රයාත් වලපල්ලට යැවිය යුතුමයි කියලා..

දැඩ් ආරක්ෂක තත්වය මත මැන්ඩල් ගෙදරින් එලියට බැස්සෙත් නෑ අපවාද නිසා නිදැල්ලේ හිටියෙත් නෑ. ඒක නිසා අපරාධකරුවන්ට ඔහුව නිවසේදී මරන්න ලැබුනේ නෑ...මාධ්‍ය ප්‍රකාශය කරලා මැන්ඩල් කරන්න හිටපු එකම දේ තමන් නිර්දෝශයි කියන එක විතරයි..නමුත් බියවුනු අපරාධකරුවන් ඊට වඩා දෙයකට බය වුනා.ඒක නිසා ලැබෙන එකම අවස්ථාව තමයි මාධ්‍ය ප්‍රකාශයට යන අතරෙදි මැන්ඩල් මරා දමන එක...

ඒක සැලසුම් කරෙත් මහාචාර්ය ඩෙවන්ස් මරපු විදියටමයි..නමුත් මේක ගැන උපකල්පන මත හිටපු මම සූදානමින් හිටියා..අපරාධකරුවන්ගේ ඉලක්කය වරද්දන්න මම සියල්ල සූදානම් කරලා තිබුනේ.ඒත් එදා රාත්‍රීයේ මේ සුක්ෂම හෙලිකොප්ටරයෙන් මැන්ඩල්ට වෙඩි තියද්දි ටිකක් අනාරක්ෂිත තත්වෙකුත් තිබුනා..නමුත් අපේ උගුලට අසුවුනු අපරාධකරුවන්ගේ යන්ත්‍රය අසුවීමත් සමග සියල්ල හෙලිදරව්වුනා...මහාචාර්ය කොන්ටෝ මේ හැම එකක් ම පිටුපස හිටියා...“

“ඔහුගේ පාපොච්චාරණයෙදි මොනවද කියලා තියෙන්නේ සර්...“

අවසානයේ මැක් ඇසුවේ ඉතා තෘප්තිමත් අයුරින්ය..

“ ඔහු කලක් තිස්සේ මෙවැනි නිර්මාණ කරලා විදේශයන්ට අලෙවි කරලා තියනවා.එයින් ඔහු දැඩි ලෙස ආදායම් උපයලා තියනවා..ඔහු විතරක් නෙවෙයි තව කීපදෙනෙක්ම ඉන්නවා..ඔවුන් අත්අඩංගුවට ගන්න අපි සූදානම් කරනවා...කොන්ටෝ තම දක්ෂතාවයෙන් නිපදවලා අලෙවිකරපු දේවල් ජාතියට තර්ජනයක් වෙද්දි එයට විවිධ සාක්ෂි මතුවෙද්දි ඔහු බොරු ප්‍රශ්නයක් හදාගෙන සංගමෙන් ඉවත්වුනේ පුද්ගලික ආරක්ෂාවට...පස්සේ මිනිහා විද්‍යාත්මක දේවල්වලින් ඈත්වෙලා ආගමික හා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා කියලා ලෝකෙට පෙන්නන්න බොරුවට පල්ලි ගියා, කඩපොලට ගියා. නමුත් ඔහුගේ ජාවාරම් වැඩිවුනා මිසක් අඩුවුනේ නෑ...

නමුත් මහාචාර්ය ඩෙවන්ස් සංගමේ සභාපති වුනාට පස්සේ ඒ උතුම් බුද්ධිමතා මේ හැමදේම නිරාවරණය කරගත්තා..ඔහුට ඕනවුනේ මේ හැමදේටම ඉක්මණින් දඩුවම් දෙන්න..නමුත් කොන්ටෝ ඇතුලු කල්ලිය ඉක්මන් වුනා...

බොහොම සූක්ෂමව නිපදවුනු අදිස් ප්‍රහාරක හෙලිකොප්ටරයට ශබ්ද නොනැගෙන පුහුණු ස්නයිපර් තුවක්කුව සවිකරලා නියමුවන් රහිතව යවා තිබෙනවා. සරසවියේ තාප්පයට ඉහලින් ශබ්ද රහිතව ස්ථානගත කරලා මහාචාර්යතුමාට වෙඩි පිට වෙඩි තියලා තියෙන්නේ එහි ප්‍රබල කැමරාව උපයෝගී කරගෙනයි..

පස්සේ අපරාධය වහන්න සියල්ල ලස්සනට සැලසුම්කරලා තිබුණා..කොන්ටෝ හිතුවේ ආයෙත් ජීවිතේට මේ හෙලිකොප්ටරය මිනිහට ඕනවෙන එකක් නෑ කියලා..නමුත් මිනිහගේ හෘද සාක්ෂියේ දුර්වලතාවය නිසා නැවතත් මැන්ඩල් මරන්න එය අවශ්‍ය වුනා..එකම සැලසුමක් දෙතැනකදී සර්ව සම්පූර්ණව කරන්න බෑ කියන එක ඔප්පු කරලා එතනදි මිනිහා මගේ උගුලට අහුවුනා...“

ගානර් කතාව අවසන්කලේ සිනාමුසු මුහුණින්ය..

“සූක්ෂම බුද්ධියකට කල හැකි දෙයක්...“ 

ස්ටීවන් ඔලුව හොල්ලමින් සපථ කරන්නට විය.

“හැබැයි ස්ටීව්..මේ ප්‍රහාරකයා මෙතරම් සූක්ෂම නොවන්නට අපිත් සූක්ෂම නොවෙන්න ඉඩ තිබ්බා...“

ගානර් පැවසීය...

“ඒ වගේම ගානර් දැන් මට අවශ්‍ය එකම දෙය අතපය දිගඇරලා ටිකක් නිදාගන්න හොඳ විවේකයක් විතරයි......“







෴ අදිසි වෙඩික්කරු අවසන්ය.......෴

12 comments:

  1. Replies
    1. බොහොම ස්තූතියි සහෝදරයා

      Delete
  2. Maru kathawa..prathichaara madi unata ganan ganna epa..mokada den godak aya wedagath hoda nirmaana rasavindinawa adui..blogs walath ehmma thama..ona kenekta kunuharpa liyala popular wenna puluwan..eth hoda wedagath nirmaana karala hemin hemin yana gamana ratak watinawa..good luck brother

    ReplyDelete
    Replies
    1. වචන ටික සෑහෙන්න වටිනවා

      Delete
  3. අවසානය පරක්කු උන එක ගැනනම් මමත් මේ ලගකදි කල්පනා කලා...

    කතාවනම් සිරාවටම ලස්සනයි.. නොහිතපු පැත්තක කතාව ලිය උනා.. සුභ පැතුම්.. අළුත් එකක් ලියමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අලුත් එකක් ලඟදීම

      Delete
  4. නිමාඩු හිටපු කාලේ මුල හුඟක් කොටස් මග ඇරිල, ඒවත් කියෝලම එන්නං

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම ඔබා මාමේ...

      Delete
  5. ලස්සනට කතාව ඉවර වෙලා මල්ලි..

    ඒත් මට කලින් තියෙන කමෙන්ට් එක දැක්කාම කතාව අමතක වෙලා දුක හිතෙනවා... :(((((

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අක්කේ ඒක තමයි ඔබ්සර්වර් අන්කල් සයිබරයේ තියපු අවසන් කමෙන්ට් එක..ඊට පැය එකහමාරකට පස්සෙයි ඔහු නැතිවෙලා තියෙන්නේ...

      Delete
  6. //“ඒ වගේම ගානර් දැන් මට අවශ්‍ය එකම දෙය අතපය දිගඇරලා ටිකක් නිදාගන්න හොඳ විවේකයක් විතරයි......“//

    මම හිතන්නේ විවේක දෙන්න වෙන්නේ ජනරඟට තමයි...!!! නියම කථාව සහෝ... ආසාවෙන් මුල ඉඳන්ම කියෙව්වා... ජය !!!

    ReplyDelete
  7. නියමයි... පට්ට පට පට.. ONE MORE....

    ReplyDelete