Nov 10, 2014

මහින්ද අයියට එන්න කියාපිය..(කඩාකප්පල්කාරී කතා වස්තුව)


මහින්ද මාමා උදේම සයනයෙන් අවදිවෙලා බිත්තියේ ගහලා තිබුණ පොටෝ ටික දිහා බැලුවා..ජේ.ආර්, ගඩාෆි, චාවේස් හෙන මරුමුස් පාටින් පේලියට පොටෝස් එල්ලලා තියනවා..එතන කොනේම පොටෝ එකේ කුරක්කන් සාටකේ බෙල්ලේ එල්ලගෙන ලතාවට හිනාවේගෙන අත් දෙකම උස්සගෙන ඉන්න තමන්ගේ පොටෝ එක දැකපු මහින්ද මාමට ලැජ්ජත් හිතුනා. මොන උලව්වකට තමන්ගේ පොටෝ තමන්ගෙම ඇඳ ගාව එල්ලගෙනද කියලා. එහෙම කල්පනා කරලා හැරිලා බැලුවා ආරියාව ශිරන්ති නැන්දා තාම නිදිද කියලා..හුටා පටොං කිව්වල ශිරන්ති නැන්දා ඇඳේ හතර මායිමක නෑ...මහින්ද මාමා මුලින්ම ජංගමේ අරගෙන නිව්ස් ඇලර්ට්ස් බැලුවා..එහෙම බැලුවේ ශිරන්ති නැන්දා නින්දෙන් නැගිටලා විපක්ෂෙටවත් ගිහින්ද කියලා..එහෙම ඇලර්ට් එකක් නෑ කියලා දැක්කම මහින්ද මාමාගේ ඇඟට ලේ සුට්ටක් උනන්න පටන් ගත්තා. මොකා ගියත් පාඩුවක් නැතිවුනාට තමන්ගේ ගෙදර මනුස්සයා විපක්ෂෙට ගියොත් හිත හදාගෙන ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද..මහින්ද මාමා කල්පනා කලා.. තාම විපක්ෂේ එවුන්ට ඕක තේරිලා නැත්තේ වෙලාවට..නැත්නම් යන යන තැන ගෑණු මහින්ද මාමගේ අරකයි මේකයි අතගාන කොට, රට වටේ පොඩි එවුන් වඩාගන්නකොට උන් තාත්තේ ගානවා, සීයේ ගානවා..ඕවා ඇහෙද්දිත් ගෙදර උන්දෑ බොහොම අමාරුවෙන් ඒවා ඉවසගෙන රජ සැප නේද කියලා ඉන්නවා..එහෙව් එකේ විපක්ෂේ එතනට ඉලක්කේ බලලා කෙලියොත් තමන් සෙත්ත පෝච්චි තමයි කියලා මාමට හිතුනා..කෙල ගුලියක්ම ගිලුණා මාමට.

   ඇඳෙන් බැස්ස මාමා ඇඳ යට බැලුවා, ටීපෝ එක යට බැලුවා. ඒ ශිරන්ති නැන්දා රෝල් වෙලා ඇඳෙන් වැටිලාවත්ද කියලා. ඒත් හිටියේ නෑ..ඒ අතරේ මහින්ද මාමට ලාවට ඇහෙනවා මාලිගාවේ තාප්පෙන් එහා කව්දෝ කට්ටියක් මර විලාප තියනවා..

“මහින්ද අයියට එන්න කියාපිය - මේවට උත්තර දෙන්න කියාපිය“
“නෑ නෑ නෑ..දෙන්නෙම නෑ - මෙදා පාර දෙන්නෙම නෑ“
“අපි යන්නේ කොයි පාරේ - කලින් එවුන් ගිය පාරේ“


මහින්ද මාමට පුරුදු බයිලා ටිකක් ඇහුණා. මාමා ටිකක් කල්පනා කරලා බැලුවා මොකක්ද මේ කලබලේ කියලා. ටිකක් තරහත් ගියා. නිදි මරාගෙන අයවැය හදලා, රට වටේ බයිසිකල් දන්සල් දෙන්න ගිහින් මහන්සි වෙලා ඉන්න කොට මොකුන්ද මේ තමන්ගේ නිදහසට බාධා කරන්නේ කියලා..මහින්ද මාමා සරම එක අතකින් උස්සරගෙන දෙන්නම් ජම්බු කියලා හිතාගෙන මන්දිරෙන් එලියට බැස්සා..දඩ බඩ ගාලා ආරක්ෂකයෝ රොත්තක් උන්නැහේ වටකරගත්තා.

 “සර් සර්..යන්න එපා..එලියේ හෙණ පිකටින් එකක්..“

ප්‍රධාන ආරක්ෂක තැන ඇවිත් මහින්ද මාමට උපදෙස් දුන්නා..මමා ප්‍රධාන ආරක්ෂකට කින්ඩි හිනාවක් දැම්මා..මැදමුලන පැත්තේ කෙහෙල් වත්තක් බලාගෙන මදුරුවෝ මරපු එකෙක් ප්‍රධාන ආරක්ෂකයා කොරා මදිවට දැන් මූ මටම උපදෙස් දෙන්න එනවා කියලා හිතිලා..

“කව්ද බොල මගේ ගෙදර ඉස්සරහා පිකටින් කොරන්නේ...කඩනවා බොල කකුල්“

මහින්ද මාමට හෙණට මල පැන්නා. දැන් හතර වටේ හොයනවා පොල්ලක්. මාලිගාව ඉස්සරහා අගේට වැවෙන බෝධීන් වහන්සෙට හදලා තිබුණ රන් වැටට හේත්තු කරලා තිබුණ තඩි පොල්ලක් දැකලා මාමා ගිහින් ඒක අතට ගත්තා..මාමා දැන් අඩියට දෙකට ගේට්ටුව දිහාට යනවා..ආරක්ෂකයෝ පස්සෙන් දුවනවා..උදේ ඉඳන් අහස් කූරු හතරක් ගැටගහලා ගැල්වනයිස් බටයක් අහසට යවන්න ට්‍රයි කරන රොකට් රජා බේබිත් මේක දැක්කා..දැකලා පොරටත් හෙණ ප්‍රශ්නේ දැන් මේක.

“සර් සර්..යන්න එපා..කොමියුනිස්ට් පක්ෂේ එවුන් ඔබතුමාට විරුද්ධව පිකටින් කොරනවා..යන්න එපා සර් උන් හෙණ දරුණුයි...“

ආරක්ෂකයා එහෙම කිව්වම මහින්ද මාමට බඩ අල්ලගෙන හිනා. පොල්ල අතෑරලා මාමා හිනාවෙන්න ගත්තා

“කොහෙද යකෝ ලංකාවේ එහෙම පක්ෂයක්..තොට පයිත්තියන්“

“නෑ නෑ සර්...මම ගිහින් බැලුවා..උන් කියනවා සර් උන්ලු රුසියාවේ විප්ලවේ කරෙත්..කව්ද ලෙනින් කියලා බුවෙක් එක්කලු එහේ වැඩ කලේ..සර් යන්නනම් එපා..අපි සර්ට යන්න දෙන්නේ නෑ“

“අනේ පල ඩෝ යන්න..“

එහෙම කියපු මහින්ද මාමා ආරක්ෂකයෝ පෙරලගෙන යන්න ගත්තා. ඒත් මාමගේ හිතට බයයි. මොකක් වුනත් මුන් තමන්ට නෙලයිද දන්නේ නෑ කියලා. කෝකටත් මාමා ගේට්ටුවේ යකඩ කවුළුව අැරලා බැලුවා..හපොයි දෙයියනේ හැත්තෑව අසූවේ දහ පහලොස් දෙනෙක් බෝඩ් උස්සගෙන පාර මැද ඉඳගෙන කෑගහනවා..ඒ සෙට් එක ආපු ලා රතු පාට ත්‍රීවීල් දෙකක් විතර පාර අයිනේ නතර කරලා තියනවා “ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්සය“ කියලා ගහපු. ත්‍රී වීල් ඩ්‍රයිවර් උන්නැහේ තාප්පෙට හේත්තු වෙලා බීඩියක් අදිනවා සීරුවට..මහින්ද මාමට දහ පොලේ හිනා..ඒ අතරේ මාමා දැක්කා තමන්ගේ කැබිනට්ටුවේ එකෙක් දෙන්නෙක් අනික් සෙට් එකට මුවා වෙලා බෝඩ් විතරක් පෙන්නගෙන ඉන්නවා.

   දැන් ඉතින් මාමට බයක් නෑ..පොර වගේ ගේට්ටුව ඇරලා නිකන් රජිනි කාන්ත් වගේ සරම එක පැත්තකින් උස්සගෙන් රැවුල වටයක් කරකවලා ගියා පිකටින් කරන සෙට් එක ඉස්සරහට.

“මහින්ද අයියට එන්න කියාපිය..මහින්ද අයියට එන්න...මහින්ද එන්න...එන්න එන්න එන්න උතුරු කරෙන් එන්න..එන්න එන්න එන්න දකුණු කරෙන් එන්න..එන්න එන්න එන්න ලයිට් නිවලා එන්න..එන්න එන්න එන්න ලංගමේම එන්න..“

සටන් පාට සට සට ගාලා වෙනස් වුනේ මාමාගේ මූඩ් එක දැක්කා විතරයි. කැබිනට් එකේ සෙට් එක තවත් පස්සට ගියා. ඒත් එතන හිටපු ටිකක් නාහෙට අහන්නේ නැති එකෙක් ආවා ඉස්සරහට.

“මොකෝ ප්‍රශ්නේ...“

මහින්ද මාමා පොල්ලත් වනන ගමන් ඇහුවා..තාමත් සරම එක අතකින් උස්සගෙනම.

“අපි ඔබතුමාට මේ පාර වැඩ කරන්නේ නෑ..නෑ..නෑ මයි“

පොර එහෙම කිව්වම මහින්ද මාමටත් ටිකක් තදවුණා. ආරක්ෂකයා ලංවෙලා ඇහුවා “සර් වතුර බාල්දියක් ගේන්නද“ කියලා. මාමා ඔලුවෙන් එපා කිව්වා.

“හරි දැන් මොකක්ද ඒකට හේතුව..“

මාමා ඇඟට පතට නොදැනී ඇහුවා. ආයෙත් අර පොර එක්ක කීපදෙනෙක්ම උත්තර දෙන්න ගත්තා. දැන් මාධ්‍ය කාරයොත් එකා දෙන්නා ඇවිල්ලා පොටෝ ගහනවා. දිල්කා අක්කත් දඩි බිඩි ගාලා ත්‍රීවිල් එකකම ඉඳගෙන කුරුලෑ ටික වැහෙන්න මේකප් බදාම දානවා ලයිව් කවරේජ් එකක් දෙන්න.

“අපිට සාධාරණ ඉල්ලීම් ටිකක් තියනවා..ඒවා ඉටුවෙලා නෑ..ඒවා ඉටුවෙනකම් අපි ඔබතුමාට ඡන්දෙට වැඩ කරන්නේ නෑ..“

“හරි මොනවද ඉල්ලීම්..“

මාමා තීරණාත්මකව ඇහුවා.

“අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න ඕන..“

“ඉතින් දුන්නේ ඔය..තව මොනවද..“

“දුන්නද..හරි එහෙනම් ඒක හරි“

පොර කොලයක් අරගෙන ලකුණු කරගන්නවා එකින් එක.

“ඊළඟ එක..බෙදුම්වාදය නවත්තන්න ඕන..“

“ඉතින් හරිනේ ඕයි..ඒකත් කරන්න දෙන්නේ නෑනේ..“

“හරි එහෙනම් ඒකත් හරි...“

පොර ආයෙත් කොලේ ලකුණු කරගත්තා.

“තව මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සහන දෙන්න ඕන..ඒක අනිවාර්යයි“

“ඉතින් හරිනේ ඕයි...තෙල් අඩුකලා..වතුර අඩුකලා..ලයිට් බිල අඩුකලා..ගෑස් අඩු කලා තව ඉස්සරහට තව දෙනවා..මොනවද ඔයි තමුසෙලාට පිස්සුද..“

ඉල්ලීම් ඉදිරිපත් කරපු පොර ඔලුව කහ කහ පිකටින් කරපු පිරිස දිහා බැලුවා. 

“ඇත්ත නේ..අපි ඉල්ලපු ඒවා දීලා නේ..ඒකනේ..එහෙනම් ඉතින් අපි තව දුරටත් පිකටින් කරන එකේ තේරුමක් නෑනේ...හරි අපි ඔබතුමාට මේ පාරත් කොන්දේසි විරහිතව වැඩ කරනවා..මහින්ද අයියට ජයවේවා..මහින්ද අයියට ජයවේවා..ශිරන්ති අක්කට ජයවේවා...නාමල් බේබිට ජයවේවා..“

මහින්ද මාමා කින්ඩි හිනාවක් දාලා ෆ්ලයිං කිස් එකකුත් දීලා ආරක්ෂකයෝ එක්ක ඇතුලට යන්න ගියා. ගේට්ටුවත් වැහුවා. දඩ බඩ ගාලා මාධ්‍ය කාරයෝ ඇවිත් පිකටින් කරපු දහ පහලොස් දෙනා වටකරගත්තා.

“අපේ ඉල්ලීම් සේරම එතුමා ඉල්ලන්නත් කලින් ඉටුකරලා..ඉතින් අපිට එතුමට වැඩ නොකර ඉන්න හේතුවක් නෑනේ...ඉතින් අපි මේ පාරත් වැඩකරනවා..“

- පොලිටික්කා

12 comments:

  1. ඕයේ ජහ ජහ ජිගි ජිගි චං...

    ReplyDelete
    Replies
    1. ජිංකි ජිකා ජිංකි ජිකා ජිකා ජිකා

      Delete
  2. ලංකාවේ "වම" කියන්නේ දකුණට කියන තවත් නමක්!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වම වම වගේ දකුණ දකුණ වගේ බං..වම් අතෙන් පුක හෝදගන්නවා ඒකම දකුණෙන් කරන එවුනුත් ඉන්නවා බං

      Delete
  3. මේ ලංකා පත්තරෙන් නේද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ මිත්‍රයා..මගේ කොපි කිරීමේ කලාවක් නෑ...සමහර විට මේ වගේ ආරක ලිපියක් වෙන්න පුළුවන්..මොකද මේක ලෝකයේ ප්‍රකට Fiction කලාවක්

      Delete
    2. අනේ සමාවෙන්න මිත්‍රයා, ඔබ කොපිකලා කියල මං අදහස් කලා නෙවෙයි. ඔය යටින් දාල තියෙන පොලිටික්කා කියන නම නිසයි ඇහුවෙ. ඔය නමින් මං ලංකා පත්තරේ ලිපි දැකල තිබුනා.

      සමාවෙන්න.

      Delete
    3. අපෝ ඒක ගාණක් නෑ මිත්‍රයා..පොලිටික්කා යනුවෙන් ලිපි ලියන්නේ මේකේ දේශපාලනික ප්‍රහසන ලියන විට පමණයි..සමාව ගන්න දෙයක් නෑ බං..අපි මිනිස්සු

      Delete
  4. හෙහ් අනේද කියන්නේ.. ඉල්ලන්න කලින් ඔක්කොම දීලා තියෙන එකේ මේ පාරත් වැඩ කලාම මොකද වෙන්නේ.. ඔන්න ඔහේ බැහැලා වැඩ කරමු..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බං වැඩ කරන්න හදන්නේ..මේ පාප්ප බාල්දියක් හදනවා දැනටත්

      Delete
  5. රසවත් විදිහට ලියලා තියෙනවා. හැබැයි පුතෝ මේ පාර නම් සමසමජෙයි, කොමියුනිස්ට් එකයි දෙකට බෙදුනා නේද. ඇමතිකමට ගොට්ට අල්ලන එවුන් මරා ගාව නැවතුනා. සෙට් එකක් ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා. ඒක ඇත්ත..පැණි වරකෙටත් හෙණ ගහනවනේ ඉඳලා හිටලා.එහෙම එකක් තමයි මේ පාර වුනේ..මහින්ද මහත්මයා හැමදාම කලේ සුළු පක්ෂ භේද කරලා වාසි ගත්ත එක. කවදහරි ඒක එයාගෙම අවාසියට හේතු වේවි

      Delete