Jun 1, 2015

ඉරුණු ජොකා සහ ආර්ථික අවපාතය


පහුගිය දවසක ගමේ දන්න හඳුනන මිත්‍රයෙක් මුණගැහෙන්න මිත්‍රයගේ වාසභූමියට යනකොට මිත්‍රයා කාලෙකට පස්සේ වැටෙන වැස්සේ ආශිර්වාදයෙන්ද මන්දා රෙදි ටිකක් පිළිවෙලට හෝදනවා. හෝදලා මිරිකලා රෙදි වැලේ එල්ලනවා අව්වට වේලෙන්න. සාදරයෙන් මාව පිළිගත්ත මිත්‍රයා රෙදි එකින් එක එල්ලන ගමන්ම කතාව පටන් ගත්තා. මේ අතරේ මිත්‍රයගේ අතින් වතුර මිරිකිලා වැලේ එල්ලුන මිත්‍රයාගේ පරණ ජොකෙක් එහෙමත් නැත්නම් යට ඇඳුමක් කණ කැස්බෑවෙකුට හරි අගේට ඔළුව දාලා වර්තමාන සමාජ ආර්ථික තත්වය ගැන විමසුමක් කරන්න පුළුවන් මට්ටමේ හිල් කීපයකින්ම සමන්විත වෙලා තියනවා දැකලා මට “හෑ...“ කියවුනේ ඉබේටමයි.

   අවුරුදු ගාණක් තිස්සේ රස්සාවක් කරන, තවමත් පවුල් බරක් නොදැනෙන, අම්ම තාත්තා දහදුක් විඳලා හදලා දුන්න ගෙදරක ගෙවල භූතයෙක් වගේ අරක්ගෙන ඉන්න මිත්‍රයට ජොකාගේ හිල් හැදෙනකන් පිහිටපු අහේනිය මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා.


“ඇයි යකෝ කව්රුවත් තොගේ පුකට වෙඩි තිබ්බද..?“

මම විශ්මයාර්ථය පදනම් කරගත්ත විස්සෝපය සමග මිත්‍රයාගෙන් ඇහුවා.

“ඇයි බොල මොකද?“

“නෑ බං මොකද උඹේ ජොකාගේ මෙච්චර හිල්..?“

“ආ...ආර්ථික අවපාතේ බං...අවපාතේ..උද්ධමනය එක්ක බැලුවම සීඝ්‍රයෙන් බඩුමිල උඩ යනවා..අද ජොකෙක්ගේ මිල නෙවෙයි හෙට..එහෙම බැලුවම ජොකෙක් ගන්න එක පාඩුයි..හිල් වෙච්ච එක අඳින්න වෙලා තියෙන්නේ ඒකයි“

පැනලා හොම්බට හැටක් අනින්න උත්තසහ කලේ මගේ ඇතුලේ දඟලන ආර්ථික විද්‍යාව දැනුම මිසක් වෙන එකක් නෙවෙයි. මේ යකා හිල් වෙච්ච ජොකා පට්ට ගහනවා මදිවට ඇඩම් ස්මිත් ඇතුලු සනුහරයටම ගරහන කතාත් කියනවා.

“යකෝ ජොකෙක් ගන්න එක කාර් එකක් ගණ්න තරමටම සංකීර්ණ වෙලා කියලා මම දන්නේ අදනේ.. මොන ආර්ථික අවපාතේ තිබුණත් හිඟන්නොත් තොට වඩා හොඳ ජොක්කු අඳිනවා“

මිත්‍රයා මට කෝචොක් හිනාවක් දැම්මා. දැන් මිනිහා රෙදි බාල්දිය පැත්තකින් තියලා ගෙදර පඩි බැම්මේ වාඩි වුණා.

“බං උඹට තේරෙන්නේ නෑ බිම් මට්ටමේ අර්බුදේ..මැතිණි ආණ්ඩුවේ පෝලිම් ක්‍රමේ තිබුණ කාලෙටත් වඩා උග්‍ර ජොක්කු හිඟයක් ඇතිවෙන ලකුණු පේන්න තියනවා...“

“ඉතින් ඒකට හිල් වෙච්ච එවුන් ඇඳලා වැඩක් තියනවද, ස්ටොක් කරගන්නේ නැතුව“

මගේ හරස් ප්‍රශ්න හමුවේ මාධ්‍ය සාකච්ඡාවකදේ කොරවෙච්ච කෙහෙළිය රඹුක්වැල්ල ගාණට පත්වෙච්ච මිත්‍රයා ඊට පස්සේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ භූමිකාවට පණපොවන්න පටන් ගත්තා.

“මචං ජොකා කියන්නේ ඇතමෙක්ට අත්‍යාවශ්‍ය භාණ්ඩයක්..ඇතමෙක්ට එහෙම නෙවෙයි...මගේ වත්කම සහ ආදායම් උත්පාදන මාර්ග අනුව මට අඳින්න පුළුවන් සුපිරිම ජොකා මේක තමයි... උඹට තියන වත්කම් අනුව උඹට අන්තර්ජාතික සන්නම් එහෙම පාවිච්ච කරන්න පුළුවන්..නමුත් මට හිමි මේ හිල් සහිත සුසිනිඳු අභ්‍යන්තර වායු සංසරණය වෙන එකා හොඳයි“

මේ යකා මහ දවල් මගේ ලේ ධාතුව ප්‍රකෝප කරන ආකාරය සහ නිකන් පාඩුවේ ගෙට වෙලා නිවාඩු දවසේ ඇඳ ලෑලිවල මකුණන්ට බර එසවීමේ ව්‍යායාම පුරුදු කරන්නේ නැතුව රස්තියාදුවේ යන ගමන් මේ වගේ එවුන් මුණගැහෙන්න එනවට මඩු වල්ගෙන් සෙල්ෆියක් ගහගන්න ඕන කියලා හිතෙන්නේ මේ වෙලාවටයි.

“මේ යකෝ..උඹ තියන පෙරේත කමට ජොකෙක් ගන්නේ නැතිව පරණ හිල් වෙච්ච එකා පට්ට ගහන ගමන් ඒක සාධාරණීයකරණය කරන්න හතරවරං ටෝක් දෙන්න එපා යකෝ..ප්‍රායෝගික වෙයං..නැත්නම් මං තොට හතරේ පැකට් එකක් හරි අරං එවන්නම්..කුණු ලෝභයා“

මිත්‍රයා මට රනිල් වික්‍රමසිංහ ටයිප් හිනාවක් දැම්මා. හරියට ඡන්ද ගණනාවක් පරාද වුනත් විපක්ෂනායක පුටුව අල්ලන් ඉන්න එක මොන කජ්ජක්ද වගේ ගතියක් තමයි මුටත් තිබුනේ.

“හරි ඉතින්..දැන් උඹ කියන්නේ ආර්ථික අර්බුදයක් තියන කාලෙක හිල් වෙච්ච ජොක්කු අඳින්න පවා මිනිස්සු පුරුදු නොවේවි කියලා උඹට කියන්න පුළුවන්ද..“

“මේ හිවලෝ..එහෙම අවපාතයක් තියන කාලෙක ලැජ්ජාවක් තියන මිනිස්සු විකල්ප ක්‍රමවේදයක් පාවිච්චි කරලා අඩුම ගානේ අමුඩයක් වත් ගහගනීවි උඹ වගේ හිල් වෙච්ච මගුල් අඳින්නේ නැතුව“

හොම්බට හැටක් අනින්න තරම් තත්වෙකට ජොකා සහ ආර්ථිකය ඇදීගෙන ගියපු නිසා අඩියට දෙකට ගෙදර යන්න ආවා.

6 comments:

  1. එ් කතාවෙත් අැත්තක් නැත්තෙ නෑ! :)

    ReplyDelete
  2. ME JOKA KATHANDARA KARAYAGEN ILLAGATHTHU EKAKLU

    ReplyDelete
  3. ඌ හිතනවා ඇති කාට පේන්නද කියලා! තාම පවුල් වෙලත් නෑ කියනවනේ

    ReplyDelete
  4. ‍‍ජෙංකං එක්ස්පයර් වෙන්නෙ ( ජොකාට) වැඩියෙන්‍ෙ ලොතු හිලක් හැදුනාමයි!!!!

    ReplyDelete